ප්‍රගතිශීලිත්වය හා ප්‍රතිගාමිත්වය

February 15, 2009
Publication:
A philosophical and historical reflection by the author on their controversial support for the state's harsh military suppression of both the JVP insurrection and the LTTE. Drawing comparisons to the non-violent civil rights movements of Martin Luther King Jr. and Mahatma Gandhi, the author argues that when armed rebellions become devastatingly brutal and jeopardize society, state counter-violence can sometimes be a progressive necessity rather than a reactionary evil.

උපුල්ශාන්ත සන්නස්ගල සිකුරාදා රාත්‍රියේ මට දුරකතනයෙන් කතා කළේය. රාවය කියවන විට අදහස් පළකිරීමේ නිදහසේදී කර්තෘ මණ්ඩල සාමාජිකයන්ට ලබාදී තිබෙන නිදහසේ ප්‍රමාණය පෙන්නුම් කරනමුත්, අතුල අයියා දරන අදහස් හා ඔවුන් දරන අදහස් අතර විශාල පරස්පරයක් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ඔහු කියා සිටියේය. ඊළඟට ඔහු කීවේ අතුල අයියා සාමාන්‍යයෙන් විකල්ප අදහස් ප්‍රකාශ කරන්නෙකු වුවත්, දැන් එම විකල්ප බවෙන් ඉවත් වී තිබෙන බවක් ද පෙනෙන්නට තිබෙන බවය. මම හැමවිටම සාම්ප්‍රදායික අර්ථයෙන් විකල්ප අදහස් පමණක් පළ කළ පුද්ගලයෙකු නොවන බවත්, සමහර අවස්ථාවලදී සාම්ප්‍රදායික අර්ථයෙන් ඉතාමත් ප්‍රතිගාමී ලෙස පෙනෙන අදහස් ද පළකර ඇති බව කියා සිටිමින් ජවිපෙ දෙවැනි කැරැල්ලේ උච්චතම අවස්ථාවේදී මා පළ කළ අදහස් හා රන්ජන් විජේරත්න සම්බන්ධයෙන් මා පළ කළ අදහස් ඒ සඳහා දැක්විය හැකි නිදර්ශන බව කියා සිටිමින් එම නිදර්ශන දෙක කෙටියෙන් විස්තර කිරීමට මට සිදුවිය.

දෙවැනි කැරැල්ලේදී ජවිපෙට ආත්ම ගෞරවයකින් යුතුව ප්‍රධාන ධාරාවට ඒමට ලැබුණු ඉඩ ප්‍රයෝජනයට නොගැනීමෙන් නොනැවතී 1988 ජනාධිපතිවරණය තහනම් කරමින් හා ඊට ක්‍රියාකාරීව සම්බන්ධවන්නන් මරා දමන පිළිවෙතක් අනුගමනය කළ අවස්ථාවේදී ජවිපෙ අනුකම්පා විරහිතව මර්දනය කරනවා හැර තෝරා ගැනීමට අන් විකල්පයක් නැති බව මම කියා සිටියෙමි. ජවිපෙන් එල්ල වී තිබෙන මරණ තර්ජන නොසලකා ඡන්දය පාවිච්චි කිරීම මහජනයාගේ වගකීමක් බව ද මම ප්‍රකාශ කළෙමි. ජනාධිපතිවරණයට පෙර ජවිපෙ ශ්‍රීලනිප සමග එක්සත් පෙරමුණක් ඇතිකර ගැනීම සඳහා සාකච්ඡා කරන තැනකට ගොස් තිබුණ ද එහි අරමුණ වූයේ ශ්‍රීලනිප ද ඡන්ද වර්ජනයකට තල්ලු කරමින් තමන්ගේ කැරැල්ල වඩා බලවත් ලෙස ඉදිරියට ගෙනයෑමටය. සිරිමා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙලට එකඟ නොවී ජනාධිපතිවරණයට තරග කරන තැනකට ගිය විට අලුතෙන් පත්වන ශ්‍රීලනිප ආණ්ඩුවක් වෙනුවට 11 වසරක් රට පාලනය කළ එජාපයට නැවත බලය ලැබෙන තත්ත්වයක් නිර්මාණය කොට ඡන්දයෙන් පරාජය වන ශ්‍රීලනි පාක්ෂිකයන්ගේ ද සහාය ඇතිව තම කැරැල්ල වඩා බලවත් ලෙස ඉදිරියට ගෙනයෑම ජවිපෙ අභිලාසය විය.

මෙම ජවිපෙ වැඩපිළිවෙලේ අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ තමන්ට බලය ලැබීමට තිබුණු අවස්ථාව අහිමි කිරීම ගැන ශ්‍රීලනි පාක්ෂිකයන්ගේ ද කෝපය ජනතා විමුක්ති පෙරමුණට එල්ලවීම හා තමන් විසින් බලයට පත් කළ රණසිංහ ප්‍රේමදාස අතින්ම ජවිපෙ විනාශවීම බව මම එදා කියා සිටියෙමි. එය එසේම සිදුවිය. එකල මතවාදී තලයේ ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න සැලකුණේ දේශපාලන අලුගෝසුවකු වශයෙනි. ජවිපෙ කැරැල්ල අනුකම්පා විරහිතව මර්දනය කිරීමේ වැඩපිළිවෙලට නායකත්වය දුන්නේ ඔහුය. එහෙත් මට රන්ජන් විජේරත්න පෙනුණේ දේශපාලන අලුගෝසුවකු වශයෙන් නොවේ. ඔහු ඝාතනයට ලක්වූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් ලියන ලද කතුවැකියෙන් මා කියා සිටියේ ජවිපෙ කැරැල්ල මර්දනය කිරීම ප්‍රාතිහාර්යයක් ලෙස සැලකිය හැකි නම් එම ප්‍රාතිහාර්යය පිටුපස සිටි ආශ්චර්යමත් නායකයා රන්ජන් විජේරත්න බවය. මම එම කතුවැකියට යොදන ලද ශීර්ෂ පාඨය වූයේ ““සාහසිකත්වයට එරෙහිව සාහසික ලෙස සටන් කොට සාහසිකත්වය තුළ මිය ගිය රන්ජන්”” වශයෙනි.

දැන් එල්ටීටීඊ කැරැල්ල මර්දනයේදී සේ ම එදා ජවිපෙ කැරැල්ල මර්දනයේදී ද මා පෙනී සිටියේ පීඩිතයාගේ සාහසිකත්වය වෙනුවෙන් නොව පීඩකයාගේ සාහසිකත්වය වෙනුවෙනි. එල්ටීටීඊ කැරැල්ල මර්දනයේදී අද මට ගෝඨාභය වීරයෙකු ලෙස පෙනුණා සේ ම, ජවිපෙ කැරැල්ල මර්දනයේදී මට එදා රන්ජන් විජේරත්න වීරයෙකු ලෙස පෙනුණේය. එහි තේරුම පීඩිතයන්ගේ සාධාරණ දුක්ගැනවිලි වලට මා විරුද්ධ බවද? නැත. මා විරුද්ධ වන්නේ සාධාරණ දුක්ගැනවිලි ඇතිවිට පවා ඒවා විසඳා ගැනීම පිණිස සමාජය කෙරෙහි මහත් විනාශකාරී ප්‍රතිවිපාක ඇති කිරීමට හේතුවන සාහසික සටන්වලටය. එවැනි සාහසික සටන් අවසාන විග්‍රහයේදී සමාජය කෙරෙහි ඇති කරන ප්‍රතිඵල විනාශකාරී වේ නම් එවැනි සටන් වඩා සාහසික ලෙස හෝ පරාජය කළ යුතුය යන්න මා දරන මතයයි. ඇමරිකාවේ කල්ලන්ට ද ජවිපෙ තරුණයන්ට හෝ එල්ටීටීඊ තරුණයන්ට නැති තරම් විසඳා ගැනීමට බරපතළ දුක්ගැනවිලි තිබිණි.

එහෙත් කල්ලන්ට තිබුණු අසමානතාව ජයගැනීම සඳහා කල්ලන් බෙදුම්වාදී ප්‍රතිපත්තියක පිහිටා සුද්දන්ට එරෙහිව වෛරය හා හිංසාව වපුරන තැනකට ගියේ නැත. හිංසාකාරී බෙදුම්වාදයක් වෙනුවෙන් පෙනී සිටි කළු ව්‍යාපාර තිබුණ ද ඒවාට බලවත් පිළිගැනීමක් ලැබුණේ නැත. මැල්කම් එක්ස් පවා මුලදී පෙනී සිටියේ හිංසාවාදී බෙදුම්වාදයක් වෙනුවෙනි. එහෙත් පසුව ඔහු ඒ අදහස් අත්හැරියේය. අවසානයේ ඔහුට ඔහුගේ අනුගාමික කල්ලකුගේ අතින්ම මැරුම් කන්නට සිදුවිය. මාටින් ලුතර් කිං සුද්දන්ට එරෙහිව හිංසාවාදී ව්‍යාපාරයක් වෙනුවෙන් පෙනී සිටියේ නම්, කුමකින් කුමක් විය හැකිව තිබුණේද? එහෙත් ඔහු ලෙනින්ගේ හිංසාවාදී මග තෝරා නොගෙන මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදී මග තෝරා ගත්තේය. ඔහු පෙනී සිටියේ අවිහිංසාවාදයක් වෙනුවෙන් වුවත්, ඔහු හිංසාවාදී ප්‍රතික්‍රියාවන්ගේ ගොදුරක් බවට පත්විය. ඔහුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

අවසානයේ ඔහු අන්තවාදී සුද්දකු අතින් ඝාතනයට ලක්විය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දෙමළ නායකයන් මෙන් මාටින් ලුතර් කිං තමන්ට එල්ල වූ හිංසාකාරී ප්‍රහාර නිසා හෝ ඔහුගේ අනුගාමිකයන් සිය නායකයා ඝාතනයට ලක්කිරීමෙන් පසුව හෝ තෝරාගත් අවිහිංසාවාදී මාවත අතහැර හිංසාවාදී මාවතට මාරුවූයේ නැත. මාටින් ලුතර් කිංගේ මරණයෙන් පසුව වුවත්, අවිහිංසාවාදී මාවතට ඉඩක් නැතැ”යි සලකා කල්ලන් හිංසාවාදී මාවතට මාරුවී නම් කුමකින් කුමක් වන්නට ඉඩ තිබුණේද? මාර්ටින් ලුතර් කිං සිය ප්‍රතිපක්ෂයට එරෙහිව වෛරය හා හිංසාව නොවපුරා සිය අරමුණ වෙනුවෙන් අවසානයේ සිය ජීවිතය පූජා කළේය. ඔහුගේ ඝාතනය ඇමරිකානු සුදු අධ්‍යාත්මය කම්පාවට පත් කළේය. ඔහුගේ මරණය ගමනාගමනයේදී, අධ්‍යාපනයේදී, රැකීරක්ෂාවලදී හා නවාතැන් ලබාදීමේදී කල්ලන්ට වෙනස් ලෙස සලකන ප්‍රතිපත්තිය නීති විරෝධී කෙරෙන සිවිල් අයිතිවාසිකම් පනතක් සම්මත කරගැනීමට අවකාශ සලසා දුන්නේය.

ඒ සමග ඇතිවූ වෙනස්කම්වල කූට ප්‍රාප්තිය වූයේ මාර්ටින් ලුතර් කිංගේ මරණයෙන් දශක හතරකට පසුව කල්ලෙකු ඇමරිකානු ජනාධිපතිවීමය. විජේවීර තමන් නියෝජනය කළ සිංහල සමාජයේ පීඩිත ග්‍රාමීය තරුණ පරපුරට විනාශයට වැඩි යමක් ලබාදීමට අසමත්වූවා සේ ම, ප්‍රභාකරන් ද තමන් නියෝජනය කළ පීඩිත දෙමළ ජනතාවට විනාශයට වැඩි යමක් ලබාදීමට සමත් නොවීය. සමහර වෙනස්කම් තිබියදීත් මෙම නායකයන් දෙපළම සමාන සමාජ පසුබිමකින් පැමිණි, බොහෝ දේවල් සමාන ලෙස දකින්නට උත්සාහ කළ, සිය අරමුණ වෙනුවෙන් අතිවිශාල කැපවීමකින් ක්‍රියා කළ තමන්ගේ අරමුණ ජයගැනීම සඳහා දස දහස් ගණනකගේ වුවත් ජීවිත බිලිගැනීමට මැලි නොවූ, ශ්‍රී ලංකා සමාජය කෙරෙහි විනාශකාරී ලෙස බලපෑ සාහසික නායකයන් දෙදෙනෙකු ලෙස සැලකිය හැකිය. ඉතිහාසයේ එක් වටාපිටාවක් තුළ ප්‍රගතිශීලී වන දෙයක් තවත් වටාපිටාවකදී ප්‍රතිගාමී විය හැකිය.

කකුලක තුවාලයක් ඇති අවස්ථාවලදී කකුල නොකපා තුවාලය සුව කළ හැකි අවස්ථා තිබිය හැකිවා සේ ම, කකුල නොකපා සිටිය නොහැකි අවස්ථා ද තිබිය හැකිය. අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කෙරෙන ප්‍රචණ්ඩ අරගලවලදී සාකච්ඡා මගින් ආරාවුල් විසඳා ගතහැකි අවස්ථා තිබිය හැකිවා සේ ම, එසේ නොවන අවස්ථා ද තිබිය හැකිය. ප්‍රතිප්‍රචණ්ඩත්වය සමහර අවස්ථාවලදී ප්‍රතිගාමී විය හැකි අතර, ප්‍රගතිශීලී විය හැකි අවස්ථා ද පවතී. නාසිවාදයට එරෙහිව කෙරුණු දෙවැනි ලෝක යුද්ධයේදී අවිහිංසාවාදියෙකු වූ මහත්මා ගාන්ධි ද, විවිධ ආකාරවලින් මිත්‍ර පාක්ෂිකයන්ට ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඔහු නාසීන්ගේ කෝපයට හේතුවන ලෙස හිට්ලර් විවේචනය කළේය. ““හිට්ලර්වාදය යනු විද්‍යානුකූල නිරවද්‍යතාවයෙන් යුතුව නියත විද්‍යාවක් බවට පමුණුවන ලද නග්නවූද, කෲරවූද බලහත්කාරයක් වෙතැ”යි ඔහු ලීවේය.

දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ පසු දිනම තමා බි්‍රතාන්‍ය ආණ්ඩුව අසීරුතාවට පත් කරන්නේ නැතැ”යි කියන ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් දුන්නේය. හිට්ලර් විසින් නෝර්වේ, ඩෙන්මාර්කය, ඕලන්දය හා බෙල්ජියම යටත් කරගනිමින් ප්‍රංශය ආක්‍රමණය කරමින් තිබුණු අවස්ථාවේදී බි්‍රතාන්‍යයට පහරදීමට තිබෙන හොඳම අවස්ථාව එය බව කියමින් ඉංග්‍රීසින්ට එරෙහිව පහර දෙන තැනකට යමුයි ඇතැම් කොංග්‍රස් නායකයන් ගාන්ධිට බලකරන්නට වූ විට ගාන්ධි ඔවුන්ට කීවේ “අප බි්‍රතාන්‍යය විනාශයේ නටඹුන් තුළින් අපගේ නිදහස සොයා යායුතු නැති”” බවය. ගාන්ධි දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍ර පාක්ෂිකයන්ට ආධාර පිණිස ආයුධ අතට ගන්නා තැනකට නොගියද ඔවුන්ට ආධාර කළේය.

Editor’s Note

This deeply reflective piece addresses the author’s editorial stance at Ravaya newspaper. It justifies the author’s support for controversial political figures like Ranjan Wijeratne and Gotabaya Rajapaksa during times of extreme national crisis, framing their ruthless suppression of the JVP (1988-89) and the LTTE as necessary measures to prevent total societal collapse.