දේශපාලන අරමුදල් හෙවත් දූෂණයේ මුදුන් මුල

January 15, 2009
Publication:
Ivan puts the cost of a Sri Lankan presidential campaign at between 500 million and a billion rupees and shows that no law governs where any of it comes from, J.R. Jayewardene having repealed the pre-1978 controls. Setting the American, French and Indian regimes against the Sri Lankan vacuum, he argues that parties financed by a few men with black money must repay them from public resources, and calls this the taproot of the country's corruption.

1978 න් පසුව රාජ්‍ය නායකත්වයට පත්වන ජනාධිපතිවරුන් පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවලට තේරී පත්වන මහජන නියෝජිතයන් එම තනතුරුවලට තේරී පත්වන්නේ ආපසු ගෙවිය යුතු ණය කන්දරාවක් ද කර තබාගෙනය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයකු වර්තමාන මිල ගණන් අනුව රුපියල් මිලියන 500-1000 ත් අතර වියදමක් දැරිය යුතුය. ඉන් 1$3 ක් තරම් මුදලක් වැය වන්නේ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යවල පළ කෙරෙන වෙළෙඳ දැන්වීම් සඳහාය. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රශස්ත ලෙස පාවිච්චි කරන ජනාධිපති අපේක්ෂකයෙකුට දිනකට රුපියල් මිලියන 3-5 ත් අතර වියදමක් දරන්නට සිදුවේ. භාෂා තුනකින් පළවන පුවත්පත් 4ක, රූපවාහිනී නාලිකා 8 ක හා ගුවන්විදුලි නාලිකා 12 ක දැන්වීම් පළකරන්නට සිදුවේ. දිනක වියදම රුපියල් මිලියන 3 ක් ලෙස සැලකුව ද දින 60 ක් සඳහා රුපියල් මිලියන 180 ක් වැය කරන්නට සිදුවේ.

මීට අතිරේකව ජනාධිපති අපේක්ෂකයාට සියලු ආසන සංවිධානයන් සඳහා ද කිසියම් වියදමක් දෙන්නට සිදුවේ. පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකයකුට දෙන ලද වියදම රුපියල් මිලියනයකි. මහින්ද රාජපක්ෂ මහතා කොපමණ මුදලක් දුන්නේදැ”යි පැහැදිලි නැත. ආසන සංවිධායකයකුට ගෙවන මිල රුපියල් මිලියනයක් ලෙස සලකතොත් ආසන සංවිධායකයන් 250 සඳහා රුපියල් මිලියන 250 ක් වැය කරන්නට සිදුවන්නේය. මීට අතිරේකව බිල් බෝඩ්, පෝස්ටර්, ප්‍රචාරක පත්‍රිකා සඳහා ද විශාල වියදමක් දරන්නට සිදුවන්නේය. ජනාධිපතිවරණයකට තරග කරන ප්‍රධාන අපේක්ෂකයකු රුපියල් මිලියන 500-1000 ත් අතර වියදමක් දරන විට පාර්ලිමේන්තුවට තරග කරන අපේක්ෂකයෙක් රුපියල් මිලියන 25 ත් 40 ත් අතර මිලක් ද, පළාත් සභාවකට තරග කරන අපේක්ෂකයෙක් රුපියල් මිලියන 5 – 10 ත් අතර මිලක් ද වැය කරති. පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් පාලනය සඳහා නීති නැති එකම රට විය හැක්කේ ද ශ්‍රී ලංකාවය.

ශ්‍රී ලංකාවේ පක්ෂ අරමුදල් අප්‍රසිද්ධය. කිසිවකුට පරීක්ෂා කළ නොහැකිය. පක්ෂ වියදම් ද අප්‍රසිද්ධය. පුද්ගලයකුට කැමති ඕනෑ තරම් මුදල් ප්‍රමාණයක් පක්ෂයකට හෝ මැතිවරණයකට තරග කරන අපේක්ෂකයෙකුට දිය හැකිය. ඒවාට සීමා නීති නැත. ලැබෙන අරමුදල් ප්‍රකාශ කිරීමක් ද කළයුතු නැත. ඉතාමත් බලවත් තත්ත්වයක නොවූවද මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගේ ආදායම් හා වියදම් පාලනය කරන හා පරීක්ෂාවට ලක් කරන ක්‍රමයක් අපේ රටේ ද තිබුණි. 1978 ට පෙර මැතිවරණයට තරග කරන හැම අපේක්ෂකයක්ම ආදායම් හා වියදම් පිළිබඳ වාර්තාවක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබාදීමට නීතියෙන් බැඳී සිටියේය. එහෙත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මේ සියලු නීති බලරහිත කොට පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් කාගේවත් පරීක්ෂාවට ලක් නොවන අරාජික දෙයක් බවට පත් කළේය. ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක්‍රමය ගොඩනැගීම සඳහා ආදර්ශයට ගත්තේ ඇමරිකා එක්සත් ජනපදය හා ප්‍රංශයයි.

එහෙත් පුදුමයට මෙන් මෙම විෂයය සඳහා ඒ රටවල් දෙකේ පවතින පාලන නීති වුවමනාවෙන්ම නොසලකා හැර තිබෙන බව පෙනේ. ජේ.ආර්. ජයවර්ධන අපට උරුම කරදී තිබෙන දේශපාලන ක්‍රමය සියුම් ලෙස පරීක්ෂා කරන්නෙකුට ක්‍රමයේ දූෂිත බව කෙරෙහි බලපා තිබෙන මුදුන් මුල ඇත්තේ ද මෙතැන බව තේරුම් ගත හැකිය.

ඇමරිකාව

ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයකුට ජනාධිපතිවරණයකදී ඍජු ලෙස වියදම් කළ හැකි උපරිමය ඩොලර් මිලියන 20 කි. අපේක්ෂකයකුට තමන්ගේ පෞද්ගලික අරමුදල්වලින් වැය කළ හැකි උපරිමය ඩොලර් 50,000 කි. ජනාධිපතිවරණයක් සඳහා විදේශිකයන්ගෙන්, ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරුවන්ගෙන්, වානිජ බැංකුවලින් හෝ වෘත්තීය සමිතිවලින් මුදල් ලබාගැනීම තහනම්ය. පුද්ගලයෙකු අපේක්ෂකයකුට දිය හැකි ආධාර ප්‍රමාණයේ උපරිමය ඩොලර් 2300 කි. ඇමරිකන් ජනාධිපති අපේක්ෂකයකුට අවශ්‍ය නම් රජයෙන් ලබාගත හැකි මුදලින් පමණක් ජනාධිපතිවරණයක් කළ හැකිය. එහෙත් රජයේ මුදල් ලබාගන්නේ නම් මහජනතාවගේ මුදල් ලබාගැනීම තහනම්ය. නැතිනම් රජයෙන් මුදල් ලබානොගෙන මහජනයාගෙන් ලබාගන්නා මුදලින් ජනාධිපතිවරණයක් කළ හැකිය. පසුගිය ජනාධිපතිවරණයේදී ඔබාමා පෙඩරල් අරමුදලෙන් මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කොට මහජනයාගෙන් ලබාගන්නා අරමුදල්වලින් සිය මැතිවරණ ව්‍යාපාරය පැවැත්වීය.

ඇමරිකාව ජනාධිපති අපේක්ෂකයකුට රජයෙන් මුදල් ලබාගත හැකි ක්‍රමයක් ඇති කරන ලද්දේ වෝටර් ගේට් අපචාරයෙන් පසුවය. ඒ සඳහා නව ක්‍රමයක් ඇති කිරීමෙන් පසු රජයේ වියදමෙන් වෙනුවට මහජන වියදමෙන් මැතිවරණ ව්‍යාපාරයක් සාර්ථක ලෙස පවත්වාගෙන ගිය පළමු ජනාධිපති අපේක්ෂකයා ඔබාමාය. අපේක්ෂකයාගේ මැතිවරණ කමිටුව, පක්ෂ මැතිවරණ කමිටුව හා අපේක්ෂා වෙනුවෙන් වැඩ කරන දේශපාලන සංවිධාන, පෙඩරල් මැතිවරණ කොමිසමට නිතිපතා ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතුය. ඒවා ජනමාධ්‍යවලට පමණක් නොව, ඕනෑම පුරවැසියෙකුට වුවද ලබාගත හැකිය. පවතින නීති රිතිවලට පටහැනිව මුදල් ලබාගැනීම, මුදල් වියදම් කිරීම හා තොරතුරු සැඟවීම දඬුවම් දිය හැකි සාපරාධී වැරදි ලෙස සැලකේ.

ප්‍රංශය

ප්‍රංශයේ ජනාධිපති අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයක් සඳහා වැය කළ හැකි උපරිම වියදම යුරෝ මිලියන 16 කි. දෙවැනි වටයට ද ඡන්දයක් පැවැත්වෙන්නේ නම් ඒ වෙනුවෙන් වැය කළ හැකි උපරිම වියදම යුරෝ මිලියන 21 කි. පාර්ලිමේන්තු මැතිවරණයකදී අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම වියදම යුරෝ 40,000 ක් හෙවත් එක් ඡන්දදායකයකු සඳහා යුරෝ ශත 20 කි. සමාගම්වලට, පක්ෂ අරමුදල්වලට හෝ අපේක්ෂක අරමුදල්වලට මුදල් පරිත්‍යාග කළ නොහැකිය. එහෙත් පක්ෂයට හා දේශපාලන ආධාර කණ්ඩායම්වලට අපේක්ෂකයෙකුට මුදලින් ආධාර කළ හැකිය. ඊට අතිරේකව පනවා තිබෙන සීමාවන්ට යටත්ව පුද්ගලයන්ට ද පක්ෂ අරමුදල්වලට හා අපේක්ෂකයන්ගේ අරමුදල්වලට මුදලින් ආධාර කළ හැකිය. පුද්ගලයෙකුට වාර්ෂිකව පක්ෂයට ලබාදිය හැකි උපරිම මුදල් ආධාරය යුරෝ 7500 කි. අපේක්ෂකයකු සඳහා නම් පුද්ගලයෙකුට දියහැකි උපරිමය යුරෝ 4600 කි. මෙම උපරිම සීමාවන්ට යටත්ව පක්ෂයකට හෝ අපේක්ෂකයකුට මුදල් ආධාර කරන පුද්ගලයන්ට බදු සහන ලබාගත හැකිය.

මැතිවරණවලදී විද්‍යුත් මාධ්‍ය හෝ මුද්‍රිත මාධ්‍යවල දැන්වීම් පළකිරීම තහනම්ය. එහෙත් මැතිවරණවලදී තරග කරන පක්ෂවලට විද්‍යුත් මාධ්‍ය මගින් මහජනතාව අමතා කතා කිරීමට සමාන අවස්ථාවක් ලබාදෙයි. ජනාධිපති අපේක්ෂකයෙකු මැතිවරණයක් සඳහා කරන වියදමෙන් සැලකිය යුතු කොටස් ආපසු ලබාගත හැකි ක්‍රමයක් ක්‍රියාත්මක වේ. ජනාධිපති අපේක්ෂකයෙකුට යුරෝ 180,000 ක් හා අනුමත උපරිම වියදමෙන් 8% ක් ලබාගත හැකිය. ඊට අතිරේකව 5% කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා අපේක්ෂකයන්ට මුළු වියදමෙන් තවත් 36% ක් ලබාගත හැකිය. පක්ෂ අරමුදල් හා අපේක්ෂක අරමුදල් පිළිබඳව විගණනය කළ ගිණුම් වාර්තා ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යුතුය. ඉදිරිපත් කරන ගිණුම් වාර්තා පරීක්ෂාවට ලක්කිරීමේ බලය ව්‍යවස්ථා සභාව සතුය. එම වාර්තා මහජනතාවට දැනගැනීම සඳහා ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබේ. පක්ෂ අරමුදල්වලට අදාළ විස්තර හා අපේක්ෂක අරමුදල්වලට අදාළ විස්තර වසන් කිරීම හෝ විකෘති කිරීම දඬුවම් පැමිණවිය හැකි සාපරාධී වරදක් ලෙස සැලකේ.

එවැනි වැරදි සඳහා පසුගිය වසර දහසය තුළ සිරදඬුවම් පමුණුවනු ලැබූ අය අතර, ඇමතිවරු හතරදෙනෙක් ද සිටිති.

ඉන්දියාව

ඉන්දියාවේ ද මැතිවරණයකදී අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම සීමාවක් පවතී. උපරිමය තීරණය කර ඇත්තේ තරග කරන ආසනයේ ජන සංඛ්‍යාවේ ප්‍රමාණය ද පදනම් කොටගෙනය. එය පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා රුපියල් ලක්ෂ 10 -25 දක්වා වන අතර, රාජ්‍ය සභා මැතිවරණයකට තරග කරන අපේක්ෂකයකු නම් එය රුපියල් ලක්ෂ 5 – 10 දක්වා අතර වේ. මැතිවරණ අරමුදල් හා අපේක්ෂක අරමුදල් සඳහා පුද්ගලයෙකුට ලබාදිය හැකි මුදල් ආධාරවලට සීමා පනවා නැත. එහෙත් සමාගමකට, පක්ෂයට හෝ අපේක්ෂකයකුට දිය හැකි ආධාරවල ප්‍රමාණය පිළිබඳ සීමාවක් පවතී. සමාගමේ ශුද්ධ ලාභයෙන් 5% ක් හෝ රුපියල් 25,000 කි. මැතිවරණවලට තරග කරන හැම අපේක්ෂකයකුටම සවිස්තර ආදායම් හා වියදම් වාර්තාවක් දින 30 ක් තුළ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාරදිය යුතුය. ඊට අතිරේකව නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශයක් ද භාරදිය යුතුය.

පක්ෂවල අරමුදල් පිළිබඳ ගිණුම් වාර්තා විගණකාධිපති විසින් විගණනය කරනු ලබන අතර, විගණකාධිපතිගේ නිරීක්ෂණ සමග එම වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ. අපේක්ෂකයන් හා පක්ෂ විසින් ඉදිරිපත් කරන ආදායම් හා වියදම් වාර්තාවල මුදල් ලැබුණු මාර්ග විස්තර කළ යුතුය. තොරතුරු වසන් කිරීම හෝ විකෘති කිරිම සාපරාධී වරදක් ලෙස සලකනු ලැබේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇත්තේ කිසිදු පරීක්ෂාවක් හෝ පාලනයක් නැති අරාජික තත්ත්වයකි. මැතිවරණ වියදම් සඳහා සීමා පැනවීමක් නැත. පක්ෂයට හෝ අපේක්ෂකයෙකුට මැතිවරණයකදී තමන් කැමති ඕනෑම තරමක් වියදම් කළ හැකිය. ලැබෙන ආධාර පිළිබඳව ද කිසිදු පරීක්ෂාවක් හෝ සීමා පැනවීමක් නැත. පක්ෂයට හෝ අපේක්ෂකයෙකුට මැතිවරණයකදී තමන් කැමති ඕනෑම කෙනෙකුගෙන් ඕනෑතරම් මුදල් ප්‍රමාණයක් ලබාගත හැකිය. පක්ෂය හෝ අපේක්ෂකයන් ආදායම් වියදම් වාර්තා ප්‍රකාශ කිරීමට ද බැඳී නැත. අවසාන විග්‍රහයේදී පක්ෂවලට ලැබෙන මුදල්, අපේක්ෂකයන්ට ලැබෙන මුදල් නැවත පක්ෂ හා අපේක්ෂකයන් ඒ මුදල් වියදම් කරන ආකාරය පරීක්ෂාවට ලක් කෙරෙන මොනම ක්‍රමවේදයක්වත් රටේ ඇත්තේ නැත. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීමට නීතියෙන් බැඳී සිටියත් ඒ සඳහා තිබෙන එකම නීතිය පවා හරියාකාරව ක්‍රියාකරන තත්ත්වයක් රටේ නොපවතී.

වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදෙන්නේ මැතිවරණවලට තරග කරන සමහර අපේක්ෂකයන් පමණය. ඒවා ලබා නොදෙන අයට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයා කිසිවක් නොකරයි. ඔහු ඒ ගැන නිදහසට කියන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අය සම්බන්ධයෙන් අනුගමනය කළයුතු පිළිවෙත වත්කම් බැරකම් නීතියේ විස්තර කර නැති නිසා තමන්ට ඔවුන්ට එරෙහිව කිසිවක් කළ නොහැකි බවය. නාමයෝජනා පත්‍ර සමග වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම අනිවාර්ය කිරීමේ බලයක් ඔහුට ඇතත්, තමන්ට ලැබී තිබෙන බලය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා සූදානම්බවක් පෙනෙන්නට නැත.

අරමුදල් පාලනයක් අවශ්‍ය ඇයි?

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය තුළ රාජ්‍ය පාලකයා, ආණ්ඩු පක්ෂය ඇතුළු ව්‍යවස්ථාදායකය සඳහා තේරී පත්වන මහජන නියෝජිතයන් තෝරාපත් කරගන්නේ මහජනයාය. දේශපාලන ක්‍රමය සකස් කර ඇත්තේ රාජ්‍ය නායකයා ඇතුළු මහජනයා පත් කරන නියෝජිතයන් අනියම් ලෙස පාලනය කිරීමේ හැකියාව දේශපාලකයන්ට විශාල වශයෙන් මුදලින් ආධාර කරන සල්ලිකාර සුළු පිරිසකට ලැබෙන ආකාරයටය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් පවත්නා රටවල දේශපාලන අරමුදල් හා මැතිවරණ අරමුදල් පාලනය කරන දැඩි නීති ඇති කොට ඇත්තේ මහජන ඡන්දයෙන් තේරී පත්වන ආණ්ඩු සල්ලිකාර සුළු පිරිසකට අනියම් ලෙස පාලනය කිරීමට තිබෙන හැකියාව අවම කිරීම සඳහාය. දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයකුට පුද්ගලයෙකුට දිය හැකි ආධාර මුදල් ප්‍රමාණය සඳහා හා මැතිවරණයකදී කළහැකි වියදම් සඳහා සීමා පනවා ඇත්තේ දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් සල්ලිකාරයන් කිහිපදෙනෙකු මත රඳා නොපවතින ඒ වෙනුවට විශාල මහජනතාවක් මත රඳා පවතින තත්ත්වයක් සහතික කිරීම සඳහාය.

අපේ රටේ දේශපාලන ක්‍රමය නිර්මාණය කර ඇත්තේ දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් විශාල මහජනතාවක් මත නොව, සල්ලිකාර කිහිපදෙනෙකු මත රඳා පවතින ආකාරයටය. පුරවැසියකු තමන් කැමති දේශපාලන පක්ෂයට දෙන ආධාරය රුපියල් 1000 ක් නම් ඔහු ඒ මුදල ආපසු ලබාගැනීමට බලාපොරොත්තුවන්නේ නැත. එහෙත් කිසියම් පුද්ගලයෙකු දේශපාලනඥයෙකුට මිලියන 500 ක් ලබාදෙයි නම් ඔහු එය නිසි පොලියක් ද සමග ආපසු ලබාගැනීම බලාපොරොත්තුවීම ස්වාභාවිකය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට නාමික සාමාජිකයන් මිස, සාමාජික මුදල් ගෙවන සාමාජිකයන් ඇත්තේ නැත. දේශපාලන පක්ෂ ආර්ථික වශයෙන් යැපෙන්නේ සාමාජික මුදල්වලින් හෝ ආධාරකරුවන් විශාල සංඛ්‍යාවකගෙන් ලබාගන්නා ආධාරවලින් නොව, යහමින් සල්ලි ඇති කළු සල්ලිකාරයන් කිහිපදෙනෙකුගෙන් ලැබෙන මුදල්වලිනි. පක්ෂ නායකයන් බලාගැනීමට උනන්දුවක් දක්වන ව්‍යාපාරික විශේෂයක් රටේ සිටින්නා සේ ම කැපී පෙනෙන දේශපාලන නායකයන් බලාගැනීමට උනන්දුවක් දක්වන එවැනි ව්‍යාපාරික විශේෂයක් ද රටේ සිටින්නේය.

රටේ පවතින හැම පක්ෂයක්ම පාහේ ආධාරකරුවන් විශාල සංඛ්‍යාවකගෙන් ලබාගන්නා ආධාර මත යැපෙන ක්‍රමයකට වඩා කළු සල්ලිකාරයන් කිහිපදෙනෙකුගෙන් යැපෙන්නට කැමතිය. පක්ෂයට අවශ්‍ය කරන ලොකු මුදලක් පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසකගෙන් එකතු කරගැනීමට දරන දුෂ්කර උත්සාහයකට වඩා පක්ෂයට ආධාර කරන ව්‍යාපාරිකයෙකුගෙන් හෝ කිහිපදෙනෙකුගෙන් එය ලබාගැනීම පහසුය. ඔවුන් පාක්ෂිකයන්ට වඩා නිර්ලෝභීය. එහෙත් පාක්ෂිකයන්ගෙන් ලබාගන්නා ආධාර මුදල් මෙන් නොව, ව්‍යාපාරිකයන්ගෙන් ලබාගන්නා විශාල මුදල්වලදී නිසි අවස්ථාව පැමිණි විට ඔවුන්ට ඒවා සුදුසු පොලියක් සමග එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ආපසු ගෙවිය යුතුය. දේශපාලකයන් ඒවා ගෙවන්නේ තමන්ගේ පුද්ගලික මුදලින් නොව රටේ පොදු සම්පත්වලිනි.

ආපසු ගෙවීම්

සිරිමා බණ්ඩාරනායක නිසාම ශක්තිමත් පදනමක් ගොඩනගා ගත් ව්‍යාපාරික ලෝකයේ ප්‍රමුඛ පුද්ගලයෙක් දීර්ඝ කාලයක් සිරිමා බණ්ඩාරනායක මැතිනිය සේ ම ඇගේ පුත් අනුර බණ්ඩාරනායක මහතා ද බලා ගත්තේය. මෙම ව්‍යාපාරිකයා හා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර, 1994 පාර්ලිමේන්තු මැතිවරණය වනවිටත් තිබුණු සහසම්බන්ධය යහපත් නොවීය. 1994 පාර්ලිමේන්තු මැතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ව්‍යාපාරික ලෝකයෙන් එම මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණයටත් වැඩි මුදල් ප්‍රමාණයක් ලැබුණේය. එම මුදල් මනා ලෙස කළමනාකරණය කිරීමට සමත් වී නම්, ඒ ලැබුණු මුදල් ප්‍රමාණය 94 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පමණක් නොව, ඉන්පසු පැවැත්වීමට නියමිතව තිබුණු ජනාධිපතිවරණය සඳහා ද ප්‍රමාණවත් වන්නට ඉඩ තිබුණි. එහෙත් මනා කළමනාකරණයක් නොවීම නිසා ඊළඟට පැවැත්වුණ ජනාධිපතිවරණයට අවශ්‍ය වියදම් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ළඟ නොතිබුණු අතර, ඇගේ අම්මා බලා ගත් ව්‍යාපාරිකයා මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇය සමග මිතුරු වී ජනාධිපතිවරණයේ ලොකුම බර පැන දරන්නා බවට පත්වීමට සමත්විය.

ඉන්පසු ඒ වෙනුවෙන් රටට ගෙවන්නට සිදුවූ වන්දිය අතිවිශාලය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඒ ලබාගත් මුදල් වෙනුවෙන් ආපසු ගෙවන ලද්දේ රටේ පොදු සම්පත්වලිනි. රාජ්‍ය ආයතනය පුද්ගලික අංශයට විකුණන අවස්ථාවලදී ඔහු උනන්දුවක් දක්වන ආයතන නොවටිනා මිලකට ඔහුට මිලදී ගැනීමට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කිරීමට ජනාධිපතිනියට සිදුවිය. එපමණක් නොව, රටට විශාල අලාභයක් ඇති කරන නීති විරෝධී ගනුදෙනුවලදී පවා නීතිය නොසලකා මෙම ව්‍යාපාරිකයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමට ජනාධිපතිනියට සිදුවිය. අවසානයේදී ඔහුගෙන් ලබාගත් ආධාර වෙනුවෙන් පොදු සම්පත්වලින් ගෙවන ලද මිල ලබාගත් ආධාරවල වටිනාකම මෙන් සිය ගුණයක් තරම් විශාල විය හැකිය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පමණක් නොව, මේ රටේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත හැම දේශපාලකයෙක්ම අඩු වැඩි වශයෙන් මෙවැනි ව්‍යාපාරිකයෙකුගෙන් හෝ ව්‍යාපාරික කිහිපදෙනෙකුගෙන් ආර්ථික වශයෙන් යැපෙන තත්ත්වයක් රටේ පවතී.

මෙම විසම දේශපාලන ක්‍රමය තුළ හොඳම පුද්ගලයෙකුටවත් එයින් අත්මිදීමේ හැකියාවක් නැත. අවසානයේ ඒ සියලු දේශපාලනඥයන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සේ ම ඔවුන්ට ආපසු ගෙවන්නේ රටේ පොදු සම්පත්වලිනි. ඒ නිසා පමණක් භාණ්ඩාගාරයට වාර්ෂිකව අහිමි වන ආදායම රුපියල් කෝටි සිය ගණනක් විය හැකි අතර, එම තත්ත්වය රාජ්‍ය ආර්ථිකය දුර්වල කිරීමට හේතුවීමෙන් නොනැවතී රටේ නීතියේ පාලනය විශාල ප්‍රමාණයකට බිඳ දැමීමට ද හේතුවී තිබේ. එය දූෂණයේ මුදුන් මුල ලෙස ද සැලකිය හැකිය. එම මුදුන් මුල කපාහැරීමෙන් පමණක් ශ්‍රී ලංකාවට ලැබෙන සංක්‍රාම ආදායම තරම් විශාල ආදායමක් භාණ්ඩාගාරයට ලබාගත හැකිය. ඒ සමග එය විකෘති කිරීමට හේතුවී තිබෙන නීතියේ ආධිපත්‍යය ද විශාල ප්‍රමාණයකට ප්‍රකෘති කිරීමට හේතුවිය හැකිය.

කොයිබටද?

එහෙත් අවාසනාවකට මෙන් රටේ යහපාලනයක් සඳහා ඇති කරගත යුතු වෙනස්කම් ගැන උනන්දුවක් දක්වන උගතුන්ගේ පවා මෙම විෂයට ලැබිය යුතු වැදගත්කම කෙරෙහි නිසි අවධානය යොමුවී නැත. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන්ට ද මෙම ප්‍රශ්නයට ලැබිය යුතු වැදගත්කම නොපෙනුණේය. පක්ෂ අරමුදල් හා මැතිවරණ අරමුදල් මැතිවරණ කොමිසමේ විෂය පථයට ඇතුළත්ය. එහෙත් 17 වැනි සංශෝධනය නිර්මාණය කරන මැතිවරණ කොමිසමට මෙම විෂය ඇතුළත් නැත. වෙනස්කම් දිනාගැනීම සඳහා අධිකරණය ඉදිරියට යන ප්‍රතිසංස්කරණවාදීන්ගේ අවධානය ද තාමත් මෙම විෂය කෙරෙහි යොමුවී නැත. ඒ සියල්ලෙන් පෙනීයන්නේ ශ්‍රී ලංකාවේ තාමත් යහපත් වෙනස්කම් දිනාගැනීම සඳහා කරන අරගළය මුළු එකක් වශයෙන් ගැඹුරින් සලකා බලන තැනක තිබෙනවා වෙනුවට උඩින් පල්ලෙන් අතපතගාන තත්ත්වයක තිබෙන බව නොවේද?

Editors Note

The businessman said to have supported Sirimavo Bandaranaike and later Chandrika Kumaratunga
is not named in the article.