සිදුවූයේ කුමක්ද? විය හැක්කේ කුමක්ද?

February 8, 2009
Publication:
Sri Lanka's throat was caught in two nooses, Ivan writes — terrorism and the political system — and the first is nearly loosed. He explains his own shift: he doubted the account that armed struggle followed the failure of non-violent politics, doubted the Tamil homeland claim, and was moved decisively by the LTTE's treatment of Ranil Wickremesinghe, who had given them more space than any Sinhala leader and whom they destroyed politically. He defends Rajapaksa's decision as the most important and most dangerous taken since independence, and argues the war could have gone very differently had the LTTE succeeded in mass suicide attacks, a single trap killing thousands of soldiers, or coordinated massacres in fifty or sixty villages. He then judges the opposition, the courts and the press all to have acted without responsibility, and disputes the reported threatening of Poddala Jayantha and Sanath Balasuriya by the Defence Secretary.

විය හැක්කේ කුමක්ද යන ප්‍රශ්නය පිළිබඳව මතධාරී සමාජය තුළ විවිධ මත පවතී. අනාගතය තේරුම් ගැනීම සඳහා මෙතෙක් සිදුවී තිබෙන දේවල් තේරුම් ගැනීම අවශ්‍ය වන්නේය. ශ්‍රී ලංකාවේ බෙල්ල තොණ්ඩු දෙකකින් හිරවී තිබුණු බව මගේ විශ්වාසයයි. ත්‍රස්තවාදය එක් තොණ්ඩුවක් වන විට ඊළඟ තොණ්ඩුව වූයේ දේශපාලන ක්‍රමයයි. මෙම සාධක දෙක රටේ ගමන් මග අධි නිශ්චය කරන සාධක ලෙස ක්‍රියාකළේයැ”යි මම සිතමි. දැන් අපි ත්‍රස්තවාදය නැමති තොණ්ඩුවෙන් ගැලවීමට ආසන්න තැනකට පැමිණ සිටිමු. දේශපාලන ක්‍රමය නමැති තොණ්ඩුවෙන් ද ගැලවිය හැකි නම් රටක් වශයෙන් අපට උදා කරගත හැකි දියුණුවේ පරිමාව අතිවිශාල වනු ඇති බව මගේ විශ්වාසයයි. ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය යන සටන් පාඨය සාමාන්‍ය සමාජයේ මහත් පිළිගැනීමට හේතුවූ ජනප්‍රිය සටන් පාඨයක් වුවත්, එය මතධාරි සමාජයේ විශ්වාසයට හෝ ගෞරවයට හේතුවූ පාඨයක් නොවීය.

එම සමාජය පළමු කොට එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කළ හැකියැ”යි විශ්වාස නොකළේය. එහෙත් යුද්ධය ගමන් ගන්නේ ඔවුන්ගේ පිළිගත් විශ්වාසයන්ට පටහැනිවය. දැනුදු ඔවුන් ඒ ගැන දරන ලද ගල්ගැසුණු මතය ගැන විවේචනාත්මකව ආපසු හැරී බැලීමක් කිරීමට සූදානම් නැත. එහෙත් යුද්ධයෙන් එල්ටීටීඊය පරාජිත තත්ත්වයකට පත්ව ඇති බව දැන් ඔවුහු අඩු වැඩි වශයෙන් පිළිගනිති. එහෙත් ඒ නිසා රටට විශේෂ යහපතක් වනු ඇතැ”යි ඔවුහු විශ්වාස නොකරති. ඔවුන්ට පෙනෙන ආකාරයට රටේ අනාගතය අඳුරුය.

එල්ටීටීඊ භූමිකාව

මහින්ද රාජපක්ෂගේ එල්ටීටීඊ විරෝධී යුද්ධය මා දැක්කේ සුබවාදී ආකල්පයකිනි. මේ ආරාවුල සාකච්ඡා මගින් විසඳාගත යුතුයි සිතන තැනක ඊට පෙර සිටිය ද, ඒ මතයේ සිටියදී පවා මා තුළ එල්ටීටීඊ අරගලය ගැන සැකයක් තිබුණි. දෙමළ අරගලය සන්නද්ධ අරගලයක් බවට පත්වූයේ අවිහිංසාවාදී අරගළ ක්‍රමයක් ඔස්සේ අයිතිවාසිකම් දිනාගැනීමට දරන ලද සියලු උත්සාහයන් පරාජය වීමෙන් පසුව බව කියන විග්‍රහය හැමදාමත් මගේ සැකයට හේතුවී තිබුණි. දෙමළ නිජබිම පිළිබඳව ඉදිරිපත් කරන අයිතිවාසිකම් ද මාගේ විශ්වාසයට හේතුවී නොතිබුණි. දේශපාලන නියෝජනයේ ඒකාධිකාරී අයිතිය තමන් වෙත හිමිකර ගැනීම සඳහා එල්ටීටීඊය දෙමළ නායකයන්ට එරෙහිව ක්‍රියාවට නගන ලද සමූල ඝාතන ප්‍රතිපත්තිය ද මගේ සැකයට හේතුවී තිබුණි. ඔවුන් දෙමළ ජනතාව මුහුණ දී තිබෙන ඇත්ත ප්‍රශ්න විසඳා ගැනීමට උනන්දුවක් දක්වන ව්‍යාපාරයකට වඩා සාධාරණ හේතු ඇතිව හෝ නැතිව වෙනම රාජ්‍යයක් වෙනුවෙන්ම පෙනී සිටින බෙදුම්වාදී ව්‍යාපාරයක් වන බව වැඩි වැඩියෙන් පිළිගන්නා තැනකට මම තල්ලුවෙමින් සිටියෙමි.

එල්ටීටීඊය තමන් ඉල්ලා සිටින මස් රාත්තල වෙනුවෙන්ම පෙනී සිටින ෂයිලොක් ව්‍යාපාරයක් බව මා සැක නෑර තේරුම් ගත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්තියත් සමගය. රනිල් වික්‍රමසිංහ එල්ටීටීඊය සමග කරන්නට ගිය ගනුදෙනුව ගැන මට මගේ විවේචන ඇතත්, දෙමළ කෝණයකින් බලන විට වෙනත් කිසිම සිංහල නායකයෙකු නොදෙන ලද තරම් විශාල අවකාශයක් ඔවුන්ට රනිල් වික්‍රමසිංහගෙන් ලැබුණේය. ඔවුන් තමන්ගේ ගැලවුම්කරුවා දේශපාලන වශයෙන් ඝාතනය කොට ඓතිහාසික අර්ථයෙන් තමන්ගේ දේශපාලන මිනීවළ හාරන්නා බලයට ගෙනාවේය. එහිදී වඩාත්ම මගේ පුදුමයට හේතුවූයේ එල්ටීටීඊයේ එම සාහසික තීරණය නොව, එල්ටීටීඊයේ එම සාහසික තීරණය කිලිනොච්චියෙන් පිටස්තර දෙමළ ජනතාව ද අනුමත කිරීමය. රනිල් වික්‍රමසිංහ සාම සාකච්ඡා ආරම්භ කරන අවස්ථාව වන විට එල්ටීටීඊය සිටියේ සිය සංවර්ධනයේ උච්චතම තත්ත්වයකය.

ඔවුන් එකකට එකක් පසු යනාදී වශයෙන් හමුදා කඳවුරු ගණනාවකට පහරදී ඒවා අල්ලා ගනිමින්, අවසානයේ උතුරේ තිබුණු විශාලතම හමුදා සංකීර්ණය ලෙස සැලකිය හැකි අලිමංකඩ ද අල්ලා ගනිමින් අවසානයේ කටුනායක හමුදා කඳවුරට හා ගුවන් තොටුපළට ද දැවැන්ත ප්‍රහාරයක් එල්ල කොට විජයග්‍රාහී තත්ත්වයක් හිමිකරගෙන සිටියේය. මාගේ මතය ඔවුන් දේශපාලන වශයෙන් ද ප්‍රඥාවන්ත ව්‍යාපාරයක් වී නම් තමන්ට තිබෙන ප්‍රශ්න විසඳා ගනිමින් ප්‍රධාන ප්‍රවාහයට එකතුවිය යුතුව තිබුණේ ඒ අදියරේදීය. එහෙත් එය එසේ සිදු නොවීය. ඓතිහාසික අර්ථයෙන් ඉන්පසු ඔවුන්ට යා හැක්කේ පරිහානිය කරාය යන්න මගේ නිගමනය විය.

මහින්ද රාජපක්ෂගේ භූමිකාව

ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරන තැනකට ගිය විට එල්ටීටීඊයේ පරාජය නොවැළැක්විය හැකි බව මා කීවේ එම න්‍යායික ප්‍රවේශය මත පිහිටාය. මෙම යුද්ධයේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ භූමිකාව තාමත් නිසි අර්ථකථනයකට ලක්වී නැත. ඒ ගැන කෙරෙන අවංක අර්ථකථනයක් මතධාරී සමාජයේ සමච්චලයට මිස පිළිගැනීමට හේතු නොවන බව දැන දැනම වුවත්, මට පෙනෙන ඇත්ත මෙහි කිවයුතුය. ආණ්ඩුවට වැඩි හමුදා බලයක් හා ආයුධ බලයක් ඇති තත්ත්වයක් තුළ එය වෙනත් ඕනෑම නායකයකුට ද කළ හැකි සරල දෙයක් ලෙස කෙරෙන අර්ථකථනය මා පිළිගන්නේ නැත. එල්ටීටීඊය සම්බන්ධයෙන් ජනාධිපති ගනු ලැබූ තීරණය නිදහසින් පසු ජනනායකයකු විසින් ගනු ලැබූ වැදගත්ම, බලවත්ම හා අවදානම් සහගතවුවත් වඩාත්ම ඉදිරිගාමී තීරණය ලෙස සැලකිය හැකිය. ඉතාමත් දුෂ්කර දේ වනුයේ එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කිරීමට තීන්දු කිරීම නොව, එම තීන්දුව මත එක දිගට දැඩිව පිහිටා සිටීමය.

එය තමන්ගේ ජීවිතය ද, ත්‍රිවිධ හමුදාවේ ජීවිත ද, මුළු මහත් සමාජ ජීවිතය ද පරදුවට තබා ගනු ලැබූ ඉතාමත් හිතුවක්කාරී එහෙත් නිවැරදි තීන්දුවක් ලෙස සැලකිය හැකිය. එය සම්ප්‍රදාය විරෝධී තීන්දුවක් ද විය. එය මෙතෙක් බලයට පැමිණි ජන නායකයන් තෝරාගත් මාර්ගයට පටහැනි ජාත්‍යන්තර ප්‍රජාව ද තෝරාගෙන තිබූ මාර්ගයට පටහැනි තීන්දුවක් විය. ඒ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂට ඒ ගමන යන්නට සිදුවූයේ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ල වන අවහිරතා මැද්දේය. යුද්ධය කෙරෙන අතරතුරේ විය හැකිව තිබුණු විනාශකාරී දේවල් ද තිබුණි.

(1) එල්ටීටීඊය සිය මරාගෙන මැරෙන හමුදා යොදා ගනිමින් ජනතාව මුසපත් කිරීමට හේතුවන ආකාරයේ පහරදීම් වැලක් කිරීමට සමත් වී නම්,

(2) යුද්ධ පෙරමුණේ දී එකවර හමුදාවේ දහස් ගණනකගේ ජීවිත විනාශයට ලක් කෙරෙන මර උගුලක් ඇටවීමට සමත් වී නම් හා

(3) තෝරාගත් ගම් පණහකට හැටකට තමන්ගේ කණ්ඩායම් යවා අහිංසක ගම්වැසියන් දහස් ගණනක් ඝාතනය කරවීමට සමත් වී නම්,

කුමක් විය හැකිව තිබුණේද? මේ දේවල් අතරින් එකක් හෝ ලොකුවට සිදුවී නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහජනයාගේ වෛරයට හා කෝපයට ලක්වන්නට ඉඩ තිබුණා පමණක් නොව, සමස්ත යුද ව්‍යාපාරය ද අවුලකට ගොස් රටත් අවුලකට යන්නට ඉඩ තිබුණි.

මරාගෙන මැරෙන හමුදාවක් තිබුණේ එල්ටීටීඊයට පමණය. එහෙත් මේ යුද්ධයේදී එල්ටීටීඊයේ මරාගෙන මැරෙන හමුදාවට අතිවිශේෂ භූමිකාවක් රඟපෑමට ඉඩ නොලැබුණි. අවසානයේ ලෝකයේ බිහිසුණු බවෙන් හා සංවිධාන ක්‍රියාකාරිත්වයෙන් අංක එකේ ස්ථානය හිමි කරගෙන සිටි එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා සමත් විය. එම ජයග්‍රහණය වෙනුවෙන් රට වන්දියක් ගෙවා ඇතත්, එය ගෙවිය යුතුව තිබුණු වන්දිය තරම් විශාල වන්දියක් නොවන බව ද කිව යුතුය. මෙම අර්බුදයේදී විරුද්ධ පක්ෂය, අධිකරණය, ජනමාධ්‍ය වැනි ආයතන රඟපෑ භූමිකාව ද සාකච්ඡාවට ලක්විය යුතුය. එම ආයතන තුනේම හැසිරීම වගකීමෙන් තොර බවයි මගේ පිළිගැනීම. එහෙත් ඒ වැරැද්ද පුද්ගල වැරැද්දකට වඩා ක්‍රමයේ වරදක් ලෙස සැලකිය හැකිය.

යුද්ධයකදී මානව හිමිකම්

රටක යුද්ධයක් පවතින අවස්ථාවක හෝ ඒ සමාන ජාතික වැදගත්කමක් ඇති හදිසි තත්ත්වයක් පවතින අවස්ථාවකදී මානව හිමිකම් සීමා කිරීමේ බලය රජයකට අයිතිය. රජයකට තිබෙන එම අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පිළිගනී. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට ද එය ඇතුළත්ය. එවැනි අවස්ථාවකදී පවා බෙලහීන කළ නොහැකි අයිතීන් ලෙස සැලකෙනුයේ කෲර වදහිංසාවන්ට ලක්වීමෙන් තොරව ඉඳීමේ අයිතිය, වහල්භාවයට ලක්වීමෙන් තොරව ඉඳීමේ අයිතිය හා අතීතයට බලපාන ආකාරයට පනවන අපරාධ නීතිවලින් තොරව ඉඳීමේ අයිතිය යන අයිතිවාසිකම් තුන පමණය. එවැනි විශේෂ තත්ත්වයක් රටක පවත්නා අවස්ථාවක භාෂණයේ නිදහස, අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමෙන් තොරව ඉඳීමේ නිදහස, නිදහසේ ගමන් කිරීමේ අයිතිය වැනි අනෙකුත් මානව අයිතිවාසිකම් ක්‍රියාත්මකවීම තාවකාලික ලෙස අත්හිටුවීමේ බලය රජය සතුය.

ඒ බව අන්තර් ජාතික නීතියේ පමණක් නොව, දේශයේ මූලික නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද පැහැදිලිව සඳහන් වේ. එහෙත් ආණ්ඩුව මේ යුද්ධයේදී එම අයිතිවාසිකම් සීමා කිරීමට හේතුවන නීති පනවන තැනකට නොගියේය. එසේම ඒ මගින් ලැබී තිබුණු නිදහස මෙම කවර ආයතනයක්වත් වගකීමකින් යුතුව පාවිච්චි කළේ යැ”යි ද කිව නොහැකිය. මොනම යුද්ධයකදීවත් සිදුවන දේවල් ලස්සන හෝ මටසිලුටු විය නොහැකිය. යුද්ධයක් යනු අවි ගත් කණ්ඩායම් දෙකක් අතර කෙරෙන නග්න අරගළයකි. යුද්ධයකදී ක්‍රියාත්මක වන්නේ නග්න බලය මිස ප්‍රජාතන්ත්‍රවාදී බලය නොවේ. ඕනෑම යුද්ධයක අරමුණ වන්නේ ප්‍රතිපක්ෂයට උපරිම විනාශයක් ඇති කොට තමන් ජය ලැබීමය. ආණ්ඩුවේ හමුදාවන්ට සටන් කරන්නට සිදුවූයේ නිල ඇඳුම් ලාගෙන සටන් කරන සාම්ප්‍රදායික හමුදාවක් සමග නොව විටෙක නිල ඇඳුම් ඇතිවත්, තවත් විටෙක නිල ඇඳුම් නැතිව මහජනතාව අතරත් ඉඳිමින් සටන් කරන ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සමගය.

ආණ්ඩුවේ හමුදාවන්ට විශාල සංඛ්‍යා බලයක් හා අවි බලයක් තිබුණද, ඔවුන්ට නැති මරාගෙන මැරෙන හමුදාවක් ප්‍රතිපක්ෂයට සිටියේය. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම මෙවැනි යුද්ධයකදී අත්‍යවශ්‍ය කොන්දේසියක් වූ අතර, ඒ සඳහා කෙරෙන මෙහෙයුම් අනුකම්පා විරහිත ස්වරූපයක් ගැනීම ද නොවැළැක්විය හැකිය. ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සමග කරන යුද්ධයකදී සෝදිසි කිරීම්, අත්අඩංගුවට ගැනීම්, පැහැර ගැනීම් හා අතුරුදහන් කිරීම් නොවැළැක්විය හැකිය. එල්ටීටීඊය වාර්ගික පදනමක් මත පිහිටා ක්‍රියා කරන ව්‍යාපාරයක් වීම නිසා ඔවුන්ට එරෙහිව කෙරෙන යුද්ධයක් දෙමළ ජනතාව කෙරෙහි කිසියම් ප්‍රමාණයක පීඩාවක් ඇති කිරීම ද නොවැළැක්විය හැකිය.

විරුද්ධ පක්ෂය

රටේ පවතින දේශපාලන ක්‍රමය තුළ කවර වැදගත් ප්‍රශ්නයකදීවත් මෙම දෙපක්ෂය අතර සංහිඳියාවක් තිබිය නොහැකිය. ආණ්ඩුව විරුද්ධ පක්ෂය පීඩාවට පත් කළ යුතුය. විරුද්ධ පක්ෂය ආණ්ඩු බලය උදුරා ගැනීමට තමන්ට ලැබෙන හැම අවස්ථාවක්මත් ප්‍රයෝජනයට ගත යුතුය. යුද්ධය විසින් ඇති කර තිබුණු උද්වේගකර වටාපිටාව විරුද්ධ පක්ෂය ප්‍රයෝජනයට ගත්තේ ආණ්ඩුවට උපරිම හානියක් ඇති කිරීම සඳහාය. ආණ්ඩුව උපරිම ලෙස අර්බුදයට යවා ආණ්ඩු බලය අල්ලා ගැනීමට වෙර දැරීම විරුද්ධ පක්ෂයේ අභිලාසය විය. ජාත්‍යන්තර ප්‍රජාව අතර ඇතිවී තිබෙන විමතිය හා විරෝධය ප්‍රයෝජනයට ගනිමින් ලංකාවට ලැබෙන ආධාර අහිමි කිරීමට උත්සාහ කළේය. ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබාගැනීම මගින් ආණ්ඩුව අර්බුදයට යවන්නට උත්සාහ කළේය. ඔවුන්ගේ වැඩපිළිවෙල ඔවුන් අපේක්ෂා කළ තරමටම සාර්ථක වී නම් එය ආණ්ඩුව කෙරෙහි පමණක් නොව, සමස්ත යුද්ධය කෙරෙහි සේ ම පොදුවේ රට කෙරෙහි ද විනාශකාරී ලෙස බලපාන්නට ඉඩ තිබුණි.

අධිකරණය

අධිකරණය ද මෙම අර්බුදකාරී අවස්ථාවේදී නිසි වගකීමකින් යුතුව ක්‍රියාකිරීමට සමත් නොවීය. නිවාස සෝදිසි කිරීමේ පිළිවෙත, සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ පිළිවෙත හා මාර්ග බාධක පැනවීම යන ආරක්ෂක පිළිවෙත්වලට අවහිර කරන ප්‍රතිපත්තියක් අධිකරණය අනුගමනය කළේය. ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ තර්ජන නිසා හීත්‍රෝ ගුවන් තොටුපලට එන මගීන් අසාමාන්‍ය ලෙස සෝදිසියට ලක් කරන දැඩි පිළිවෙතක් හීත්‍රෝ ගුවන් තොටුපළේ පාලන අධිකාරිය විසින් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගියේය. අතේ රැගෙන යන ගමන් මල්ලේ පුංචි සුවඳ විලවුන් කුප්පියක්වත් රැගෙන යෑමට ඉඩ නොදුන්නේය. මගීන් පැළඳගෙන එන සපත්තු පවා පරීක්ෂණ යන්ත්‍රයට යවා පරීක්ෂාවට ලක් කළේය. එම ගුවන් තොටුපල පවත්වාගෙන ගිය මෙම දැඩි සෝදිසි පිළිවෙත ගුවන් මගීන්ට අනවශ්‍ය පීඩාවක් ඇති කළ ද ගුවන් මගීන්ගේ ආරක්ෂාව සඳහා එසේ කිරීම අවශ්‍ය වූවා සේම, එය යහපත් ක්‍රියාවලියක් ද විය.

ආරක්ෂක හමුදාවන් ද කොළඹ දෙමළ ජනතාව ජීවත්වූ ලොජ් හා නිවාස දැඩි පරීක්ෂාවට ලක් කළේ ද, සැකකටයුතු පුද්ගලයන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත්තේ ද දෙමළ ජනතාවට පීඩා කිරීමේ අරමුණින් නොව, කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා එසේ කිරීම අත්‍යවශ්‍ය වූ නිසාය. එහිදී අධිකරණය ඒ නිසා දෙමළ ජනතාවට සිදුවූ පීඩනය සැලකිල්ලට ගත්තත්, එහිදී ජාතික ආරක්ෂාවට ලැබෙන වැදගත්කම සැලකිල්ලට ගත්තේ නැත.

ජනමාධ්‍ය

මෙම අර්බුදයේදී ජනමාධ්‍ය ද නිසි වගකීමකින් ක්‍රියා නොකළේය. රටේ සාමාන්‍ය තත්ත්වයක් පවතින කාලවලට පෑන හසුරුවන ආකාරයටම පෑන හැසිරවූවා මිස, රටේ පැවති විශේෂ තත්ත්වය සැලකිල්ලට ගත්තේ නැත. රටේ යුද්ධයක් පවතින අවස්ථාවක ජනමාධ්‍ය විවේචනාත්මක විය යුතු නැති බව ඉන් අදහස්වන්නේ නැත. එහෙත් එවැනි විටෙක සමස්ත චිත්‍රය කෙරෙහි ඇති කරන බලපෑම ද සැලකිල්ලට ගත යුතුය. ජනමාධ්‍යවේදීන් පෑන හැසිරවීමේදී රටේ පැවති විශේෂ තත්ත්වය සැලකිල්ලට නොගත්තා පමණක් නොව, යුද්ධයක් පවතින අවස්ථාවක ආරක්ෂක හමුදාවල අභ්‍යන්තර ප්‍රශ්නවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගසන ප්‍රතිපත්තියක් ද අනුගමනය කළේය. කීත් නොයාර්ට එල්ල වූ පහරදීම කෙරෙහි සේම නාමල් පෙරේරාට එල්ල වූ පහරදීම කෙරෙහි ද බලපෑවේ එවැනි සිද්ධි දාමයකි. නාමල් පහරදීමකට ලක්වන අවස්ථාව වන විට ජනමාධ්‍යවලට ලියන හෝ කථාකරන ජනමාධ්‍යවේදියෙක් නොවීය.

ජනමාධ්‍යවලට ලියන හෝ කථා නොකරන පුද්ගලයෙකු පහරදීමකට ඉලක්ක වුණේ ඇයිද යන ප්‍රශ්නය ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සංගම් සොයා බලන තැනකට ගියේ නම් එම අමානුෂික පහරදීම් දෙක කෙරෙහි බලපෑ ඇත්ත හේතු සොයා ගන්නට හැකි වන්නට ඉඩ තිබුණි. පෝද්දල ජයන්තට හා සනත් බාලසූරියට ආරක්ෂක ලේකම්වරයා තර්ජනය කළේයැ”යි කියන කථාවද අතිශයෝක්තියට නගන ලද කථාවකි. මේ දෙදෙනා පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධානයේ ආධාරකරුවන් ලෙස ක්‍රියා කළහ. ඔවුන් හමුදා පතිවරයා පිළිබඳ කරන ලද ප්‍රසිද්ධ විවේචන හමුදාපතිවරයා තේරුම්ගෙන තිබුණේ ජනාධිපතිවරයා දැනුවත්ව ඒ අය ලවා කරවන විවේචන ලෙසය. මේ බව ජනාධිපතිවරයාට දැනගන්නට ලැබී මෙම වැරදි අවබෝධය නැති කිරීම පිණිස පෝද්දල ජයන්තට හා සනත් බාලසූරියට ලේක්හවුස් සභාපතිවරයා ලවා මේ තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් කරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇතත් බන්දුල පද්මකුමාරගේ මතය වී ඇත්තේ එම කරුණු පැහැදිලි කිරීම තමා විසින් නොව ආරක්ෂක ලේකම්වරයා විසින් කිරීම වඩා සුදුසු බවය.

ආරක්ෂක ලේකම්වරයා සමග ඔවුන්ගේ හමුව සිදුවී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මර්වින් සිල්වා, ජනාධිපති යන අය දේශපාලකයින් වන නිසාත් ආරක්ෂක ලේකම් වශයෙන් තමා වුවත් දේශපාලන පත්වීමක් වන නිසා ඒ සියලු දෙනා විවේචනය කිරීම වරදක් නැතත් හමුදා පතිවරයා විවේචනය කිරීම සුදුසු නොවන බව ආරක්ෂක ලේකම්වරයා ඔවුන්ට කියා තිබේ. මෙම කරුණු පැහැදිලි කිරීම තමන්ට කරන ලද තර්ජනයක් ලෙස පෝද්දල ජයන්ත හෝ සනත් බාලසූරිය පවා ඒ අවස්ථාවේදී සලකා නැතත් ඒ ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියමුවන් සමග කරන ලද සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ එම කථාව තුළ සැඟවුණු තර්ජනයක් තිබිය හැකි බවය. ඒ අනුව ආරක්ෂක ලේකම්වරයා ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු තමන් වෙත කැඳවා කරන ලද තර්ජනය කිරීමක් ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරන ලද අතර, ඉන්පසු එය ලෝක අවධානය දිනාගත් දැවැන්ත ප්‍රවෘත්තියක් බවට පත්විය.

ආණ්ඩුවේ පැත්තෙන් ජනමාධ්‍යවලට හෝ ජනමාධ්‍යවේදීන්ට කිසිදු වරදක් සිදුවූයේ නැතැ”යි මම නොකියමි. ආණ්ඩුව අතින් ද වැරදි සිදුවූයේය. ඊට අතිරේකව ජනමාධ්‍යවේදීන් අතින්ද අතිශයෝක්තියට නගන ලද කාරණා ද ඊට එකතු විය. ආණ්ඩුව විසින් තම්බමින් තිබුණු ජනමාධ්‍ය මර්දනය නමැති කසාය හැළියට ජනමාධ්‍යවේදීන් අතින් ද අරලු බුලු නෙල්ලි වැනි දෑ එකතු විය. ජනමාධ්‍ය මර්දනය නමැති සමස්ත චිත්‍රය සකස් වූයේ සත්‍යය, අර්ධ සත්‍යය හා අසත්‍යය යන බොහෝ දේවල් එකට එකතුවීමෙනි.

විය හැක්කේ කුමක්ද?

යුද පෙරමුණේදී දැන් බේරාගත යුතුව තිබෙන සංකීර්ණම ගැටලුව වී ඇත්තේ එල්ටීටීඊය තමන් ළඟ බලයෙන් තබාගෙන සිටින සිවිල් වැසියන් මුදාගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. ඔවුන් ආණ්ඩුවේ පාලනය යටතේ තිබෙන ප්‍රදේශවලට නොඒම කෙරෙහි එල්ටීටීඊය කෙරෙහි ඇති බිය, එල්ටීටීඊයට ඇති සමීප සම්බන්ධතා, ආණ්ඩුවේ ආරක්ෂක හමුදා කෙරෙහි විශ්වාසයක් නැතිකම වැනි හේතු බලපා තිබෙනවා විය හැකිය. දැනටමත් ආරක්ෂක හමුදා වන්නි කැලයට සිය භට පිරිස් යවා ඇති බැවින් එල්ටීටීඊයට වනාන්තර ගතවීමේ හැකියාවක් නැත. ඔවුන්ගේ පැවැත්ම රැඳී ඇත්තේ සිවිල් ජනයා තමන් වෙත රඳවා ගැනීම මතය. යුද්ධයට කොටුවී සිටින සිවිල් ජනයා පිළිබඳ අර්බුදය එම සිවිල් ජනයාට හානියක් ඇති නොවන ආකාරයට ජයගැනීමට ආණ්ඩුව සමත් වේ නම් කොටි සංවිධානයේ ඉතිරි වී තිබෙන යුද ආධිපත්‍යය පරිපූර්ණ වශයෙන් පරාජය කිරීමට ගතවන කාලය දින කිහිපයකට වැඩි නොවනු ඇත්තේය.

එහෙත් ඉන් අවසන් වන්නේ අර්බුදයේ එක් අදියරයක් පමණය. ඊළඟට ඉතිරි වනු ඇත්තේ දෙමළ ජනතාවගේ දුක්ගැනවිලිවලට ආණ්ඩුව දෙන විසඳුම කුමක්ද යන්නයි. රටේ පවතින දේශපාලන වාතාවරණය තුළ ඉදිරියේ පළාත් සභා මැතිවරණවලින් ආණ්ඩුව පහසු ජයක් ලබාගනු ඇත්තේය. ප්‍රමාද නොකොට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම ආණ්ඩුවේ අභිලාසය වී තිබෙන අතර, එම පාර්ලිමේන්තු මැතිවරණය තවදුරටත් ආණ්ඩුවේ වාසියට හේතුවන ලෙස විවිධ දේශපාලන බලවේගයන්ට තිබෙන පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ප්‍රමාණයන්හි වෙනස්කම් ඇති කිරීමට නියමිතය. එකිනෙක දේශපාලන පක්ෂ මත රඳා පැවතීමේ තත්ත්වය අහෝසි වී බහුතර පාර්ලිමේන්තු බලයක් දිනාගැනීමට ආණ්ඩුව සමත් වනු ඇති අතර, එජාපයේ පාර්ලිමේන්තු නියෝජනය ද ආසන 80 ක් පමණ දක්වා ඉහළ දැමීමට සමත් වනු ඇත. පාර්ලිමේන්තු මැතිවරණයකින් ජවිපෙ හා දෙමළ සන්ධානය විශාල අවාසි ලබන ව්‍යාපාර බවට පත්වනු ඇත්තේය.

ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය ආසන 07 ක් පමණ දක්වාත්, දෙමළ සන්ධානයේ නියෝජනය ආසන 12 ක් පමණ දක්වාත් පහත වැටිය හැකිය. මෙසේ දේශපාලන චිත්‍රයේ පුංචි පුංචි අතුරු බලවේගයන්ට ලැබී තිබුණු අතිවිශාල වැදගත්කම අවසන් වී නැවත ප්‍රධාන පක්ෂ දෙක දේශපාලනය හසුරුවන ප්‍රධාන බලවේග බවට පත්වනු ඇත්තේය.

Editor’s Note

Published on 8 February 2009. Ivan sets out his own account of the reported summoning of Poddala Jayantha and Sanath Balasuriya by Defence Secretary Gotabaya Rajapaksa, which he describes as an exaggeration: he writes that the two had supported the government at the previous presidential election, that the army commander had taken their criticism of him to be made at the President’s instigation, and that the meeting was arranged to correct that impression after the Lake House chairman declined to do it. He states that neither man treated it as a threat at the time, and that it was the Free Media Movement that judged an implicit threat to be present. This account is Ivan’s own, rests on unnamed sources, and is contested.

Poddala Jayantha was abducted and severely assaulted on 1 June 2009, four months after this article; he later left the country. Namal Perera, whom Ivan describes as not writing or broadcasting at the time of his assault, was a media trainer working with the Sri Lanka Press Institute.

Ivan argues that a state may lawfully restrict most rights during wartime, that searches, arrests, abductions and disappearances are unavoidable in a war against a terrorist movement, and that pressure on Tamil civilians could not be avoided. These are his views as published in February 2009.