ලසන්තගේ හිසට වෙඩි තබා ඇති බව අසන්නට ලැබුණු විට ඔහු මියයනු ඇති බව මගේ විශ්වාසය විය. ඔහු මියගිය පුවත අසන්නට ලැබුණේ දහවල් ආහාර ගැනීම ආරම්භ කළ අවස්ථාවේදීය. මම ආහාර ගැනීම නවතා අත හෝදාගෙන ජංගම දුරකතනය ද ක්‍රියාවිරහිත කොට ඇඳ මත දිගා වූයෙමි. ලසන්තගේ විවිධ දර්ශන මගේ මතකයට ආවේය. අප දෙදෙනා අතර සමීප බවක් තිබුණු කාලයක් තිබුණි. එහෙත් ඔහු මරණයට පත්වන අවස්ථාව වන විට අප අතර සමීප බවක් නොතිබුණි. එහෙත් ඔහුගේ මරණය සමීප මිතුරකු අහිමිවූවාය යන හැඟීමක් මා තුළ ඇති කළේය. මා දන්නා කාලයේ සිටම ලසන්ත සිය ජීවිතයෙන් වැඩි කොටසක් ගතකර ඇත්තේ තර්ජන ගර්ජන මැද්දේය. මරණ තර්ජන ඇතිවිට පවා මරන බියකින් තොරව ජීවත්වීමේ අපූරු හැකියාවක් ඔහුට තිබුණි.
මරණය හා ඝාතනය
මරණය වර්තමානයේ පමණක් නොව, අතීතයේදී ද මගේ බලවත් උනන්දුවට හේතුවූ මාතෘකාවකි. මිනිසුන් උපන් දිනය දන්නා සේ මරණ දිනය ද දන්නේ නම් ලෝකය මීට වඩා කොතරම් වෙනස්වන්නට ඉඩ තිබුණේද? මා අධ්‍යාපනය ලද එක පාසලක අපේ සංගීත ගුරුවරයා නිදන ඇඳ වෙනුවට මිනී පෙට්ටියක් පාවිච්චි කළ බව මම අසා ඇත්තෙමි. හැම රාත්‍රියකම තමා මැරෙන මිනිසකු බව මෙනෙහි කිරීම එහි අරමුණ වූවා විය හැකිය. මරණයකදී මැරුවාද, ස්වාභාවිකව මැරුණේද යන ප්රශ්නය වැදගත්වන්නේ ජීවත්වන මිනිසුන්ට පමණය. මරණයට ඒ දෙක අතර වෙනසක් නැත. සියලු මරණ අතුරින් මා වඩාත්ම ප්‍රිය කරන මරණය වන්නේ සොක්රටීස්ගේ මරණයයි. පලායෑමේ හැකියාව තිබියදී ඔහු මරණ දඬුවම බාරගත්තේය. ජීවිතයේ ඉතාමත් නීරස අවස්ථාවක් ඔහු ජීවිතයේ රසවත්ම අවස්ථාව බවට පත්කර ගත්තේය. ස්වාභාවික මරණයක් වෙනුවට ඝාතනය ද සමහර මිනිසුන්ට ලැබෙන වටිනාකම තීව්ර කරයි.
මහත්මා ගාන්ධි හා මාටින් ලුතර් කිං ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශන වේ. ලසන්ත, සොක්රටීස්, මහත්මා ගාන්ධි හෝ මාර්ටින් ලුතර් කිං වැනි මහා පුරුෂයකු නොවෙතත්, ඝාතනය ඔහුගේ ජීවිතය අර්ථපූර්ණ කළේයැ”යි මම සිතමි.
ජනමාධ්‍යවේදියා හා දේශපාලකයා
ලසන්ත එකවිට ජනමාධ්‍යවේදියෙක් ද, දේශපාලකයෙක් ද විය. ඔහු තුළ ජීවත් වූ ජනමාධ්‍යවේදියා දැවැන්තයෙකු වුවත්, ඔහු තුළ ජීවත් වූ දේශපාලනඥයා කුරුමිට්ටෙක් විය. ඔහු සීමිත දේශපාලන අරමුණක් වෙනුවෙන් පෙනී සිටි දක්ෂ, ධෛර්යසම්පන්න හා නිර්භීත ජනමාධ්‍යවේදියෙක් විය. ඔහුගේ දේශපාලන ඉලක්කය දැවැන්ත හෝ උතුම් නොවීය. ඔහු පෑන හැසිරවූයේ එජාප ආණ්ඩුවක් ඇතිකර ගැනීම සඳහාය. එසේ ගොඩනගන ආණ්ඩුවේ බලවත් ඇමති ධුරයක් ද ඔහු අපේක්ෂා කළේය. ඒ අරමුණ ඔහු සිය මිතුරන්ට ද නොසැඟවීය. ඔහු ශ්‍රී ලංකාව මෙතෙක් බිහිකළ දක්ෂතම ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියා ලෙස සැලකිය හැකිය. ගවේෂණාත්මක වාර්තාකරණයේදී අවශ්‍ය කරන ඉව, කරුණු පසුපස ලුහුබැඳයෑමේ උනන්දුව, සොයා ගත් කරුණු විශ්ලේෂණය කොට සැඟවුණු රහස් තේරුම් ගැනීමේ හැකියාව හා සොයාගත් කරුණු තර්කානුකූලව පෙළගැස්වීමේ හැකියාව ඔහු තුළ නොඅඩුව තිබුණි.
තොරතුරු ගැන තිබෙන උනන්දුව, එජාපයට තිබුණු අනන්‍යතාව හා එජාප නායකයාට තිබුණු සමීපතාව වැනි හේතු එකට එකතුවීම නිසා ඔහුට තොරතුරු ගලා ආවේය. එජාපයට හිතවත් රාජ්‍ය නිලධාරීහු ද අනාගත අපේක්ෂා ඇතිව ඔහුට තොරතුරු නොමසුරුව ලබා දුන්නෝය. එහෙත් ඔහු ඒ සියලු තොරතුරු පාවිච්චි කළේ සීමිත ඉලක්කයක් සඳහාය. එනම් බලයේ සිටින ප්රතිපක්ෂ ආණ්ඩුව අවමානයට ලක් කොට එජාප ආණ්ඩුවත් ඇති කරගැනීම සඳහාය. ප්රතිපක්ෂ දේශපාලකයන් වෛර කළේ ද ඔහු තුළ ජීවත් වූ ජනමාධ්‍යවේදියාට වඩා ඔහු තුළ ජීවත් වූ දේශපාලකයාටය. එක් අතකින් ඔහු එජාපයට තිබුණු වටිනාම සම්පතක් වූ අතර, අනෙක් අතට එම පක්ෂයට තිබුණු ලොකු හිසරදයක් ද විය. එජාප නායකයාට සිය පක්ෂයේ කිසියම් පුද්ගලයෙකු විනාශ කිරීමට අවශ්‍ය වූ විට ලසන්තගේ සහාය ලබාගන්නේය කියන මතයක් එජාපයේ මන්ත්‍රීවරුන් අතර ගොඩනැගී තිබුණි.
එහෙත් පක්ෂයේ අයට පහර දෙනවිට ලසන්ත පහර දුන්නේ නායකයා කියන අයට පමණක් නොවේ. තමන් අකමැති අයට ද ඔහු පහර දුන්නේය. මේ නිසා ලසන්ත කෙරෙහි කෝපයෙන් හෝ වෛරයෙන් ක්‍රියා කරන පිරිසක් එජාපය තුළ ද සිටියෝය. පක්ෂ නායකයා හැසිරවීමට ලසන්තට තිබූ අතිවිශාල බලය නිසා ලසන්ත ද විශාල ප්‍රමාණයකට එම පක්ෂය පාලනය කළේය. ඒ නිසා එම පක්ෂයට බලවත් හානි ඇතිවූ අවස්ථා ද තිබුණි. ලසන්ත මත්පැන් නොබිව්වේය. දුම්පානය නොකළේය. වේලාසනින් නින්දට ගොස් හිමිදිරියේ අවදි වන පුරුද්දක් ඔහු ඇති කරගෙන තිබුණි. ඔහු තමන්ගේ දරුවන්ට සේ ම තමන් දන්නා හඳුනන මිතුරන්ගේ දරුවන්ට ද ආදරේ කළේය. කුඩා දරුවන් සුරතල් කිරීමෙන් ඔහු විශාල තෘප්තියක් ලැබුවේය. ඔහු අහිංසක හදවතක් ඇති ළයාන්විත පුද්ගලයෙකු වුවත් ඔහු තුළ ජීවත් වූ පුවත්පත් කලාවේදියා හා දේශපාලකයා දයාවිරහිත ගොරෝසු පුද්ගලයෙක් විය.
පුවත්පත් කලාවේදී ඔහු තමන් අතින් සිදුවන බරපතළ වරදකදී පවා වරද පිළිනොගත්තේය. ඔහු ප්රතිපක්ෂයේ දූෂණ නිර්භීතව හා අනුකම්පාවිරහිතව හෙළිදරව් කරන පිළිවෙතක් අනුගමනය කළ ද, සිය පක්ෂයේ දූෂණ ඉවසුවේය. වසන් කළේය. ඔහු කෙරෙන් පළවූ මෙම පරස්පරය කෙරෙහි ඔහුගේ සීමිත දේශපාලන දැක්ම බලපෑවේය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඔහුට පළමු පහරදීම එල්ල වන අවස්ථාවේදී මා සිටියේ චන්ද්‍රිකා පිලේ වුවද, මම ඒ බව නොසලකා ප්‍රසිද්ධියේ ඔහු වෙනුවෙන් පෙනී සිටියෙමි. අප අතර සමීප බවක් ඇතිවීම ආරම්භ වූයේ එතැන් සිටය. ඉන්පසු අවස්ථාවක ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර ලසන්ත වික්රමතුංගට හා බන්දුල පද්මකුමාරට ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට අභියෝග කළේය. ඊට එකතු වන ලෙස ඒ දෙදෙනා මට ද ආරාධනා කළෝය. මම ඊට කැමති වීමි. ඔවුහු මංගලගේ අභියෝගය පිළිගත්තෝය. විවාදය පැවති දිනයේ මංගල විවාදයට ආවේ එස්.බී.
දිසානායක ද කැන්දාගෙනය. මගේ පැමිණීම මංගලගේ සේම එස්බීගේ ද විස්මයට හේතුවිය. අවසානයේදී විවාදයක් වෙනුවට පැවතියේ සුහද කතාබහක් පමණය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මා කෙරෙහි ඇති කරගෙන තිබූ වෛරසහගත ආකල්පය කෙරෙහි බලපෑ විවිධ හේතු අතර, ලසන්ත වික්‍රමතුංග ආරක්ෂා කිරීමේ ප්රශ්නය ද බලපෑවේය. තවත් ටික කලකට පසුව ලසන්තට පමණක් නොව, මට ද ජීවත් වන්නට සිදුවූයේ මරන තර්ජන මැද්දේය.
එක්ව පලායෑමට උත්සාහ කිරීම
99 ටවුන්හෝල් බෝම්බ සිද්ධියෙන් පසුව ප්‍රබල ඇමතිවරයෙකුට සමීප මා දන්නා පුද්ගලයෙක් මට දුරකතනයෙන් කතා කොට ටවුන්හෝල් බෝම්බ කුමන්ත්‍රණයට සම්බන්ධ කොට මා හා ලසන්ත අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ඇති බව කියා හිතුවක්කාරී නොවී වහාම රටින් පිටවී යන ලෙස ඉල්ලා සිටියේය. මට අසන්නට ලැබුණු මෙම කතාව මම දුරකතනයෙන් ලසන්තට ද දැනුම් දුන්නෙමි. පසුදින උදේ ආණ්ඩුවේ ගුවන් විදුලියෙන් විකාශනය වූ ප්‍රවෘත්තියකින් කියවුණේ ටවුන්හෝල් බෝම්බ කුමන්ත්‍රණයට සම්බන්ධ පුවත්පත් කතුවරුන් දෙදෙනෙකුගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිත බවය. ඇමතිවරයාට සමීප පුද්ගලයා කරන ලද දැනුම්දීම හරියටම හරි බව මට පෙනී ගියේය. මම වරුණ කරුණාතිලකට හා ලසන්ත වික්රමතුංගට කතා කොට මෙම තත්ත්වය දැනුම් දුන්නෙමි. ටික දිනකට හෝ රටින් පිටවී සිටීම සුදුසු බව මම ලසන්තට යෝජනා කළෙමි. ඔහු ද ඊට එකඟ විය.
වරුණ ද මගේ යෝජනාව අනුමත කළේය. එදිනම කොළඹදී හමුවීම තීරණය කර ගතිමු. මම ඇඳුම් බෑගය ද රැගෙන කොළඹ ආවෙමි. අපි කොළඹදී හමුවීමු. ලසන්ත පැමිණ තිබුණේ ද ඇඳුම් බෑගය රැගෙනය. වීසා අවශ්‍ය නොවන නිසා සිංගප්පූරුවට යෑම අපේ අභිලාසය විය. ගමන සැලසුම් කරමින් සිටියදී රනිල් වික්‍රමසිංහගෙන් ලැබුණු හදිසි දුරකතන පණිවුඩයක් නිසා ලසන්ත රනිල් බලන්නට ගියේය. ඔහු ආපසු ආවේ රටින් පිටවී යෑමේ අදහස අත්හැර ගෙනය. ලසන්තට අනුව ඒ මොහොතේ රනිල් සිටියේ ද වික්ෂිප්තභාවයට හා බියට පත් තත්ත්වයකය. අවශ්‍ය නම් මට යන්නට ඉඩදී තමන් සමග මෙහි සිටින ලෙස රනිල් ඔහුගෙන් ඉල්ලා තිබුණි. රනිල්ගේ එම ඉල්ලීම ඔහුට ප්‍රතික්ෂේප කළ නොහැකි බව ඔහු කියා සිටියේය. අවසානයේ මම ද සිංගප්පූරු යෑමේ අදහස අත්හැරියෙමි. ඒ වෙනුවට දේශීය හා විදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා බොරු කුමන්ත්‍රණයක් මවා පා අප අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ආණ්ඩුවට ඇති බව අපි කියා සිටියෙමු.
එළඹෙන ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්නට සූදානම් බව ද අපි කියා සිටියෙමු. විදේශීය හා දේශීය ජනමාධ්‍ය මගින් ඊට ලබාදෙන ලද විශාල ප්‍රසිද්ධිය නිසා ප්‍රශ්න කිරීම සඳහා අප දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ අදහස අත්හරින්නට ආණ්ඩුවට සිදුවිය.
සමීපකම ඇතිවූ හැටි
පසුකලකදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ප්රවෘත්ති සාකච්ඡාවකදී කීවේ ඒ මොහොතේදී දෙදෙනා ඝාතනය කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට තිබුණු බවත්, ලන්ඩන්වල ප්‍රතිකාර ගනිමින් සිටියදී එය දැනගන්නට ලැබී එම වැඩපිළිවෙල වළකාලීමට තමා ක්‍රියා කළ බවත්ය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ලසන්තගේ පුවත්පත් ආයතනයට සීල් තබන ලද අවස්ථාවේදී පත්තරය වෙනත් නමකින් මුද්‍රණය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා රාවය මුද්‍රණාලය පාවිච්චි කරන ලෙස මම ලසන්තගෙන් ඉල්ලා සිටියෙමි. වරක් ඔහු රනිල් වික්‍රමසිංහ සමග කරන ලද උණුසුම් කතාබහකදී තමා පක්ෂය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ක්‍රියා කර ඇතත්, තමා දුෂ්කර තත්ත්වයකට පත්වූ හැම අවස්ථාවකදීම පළමුවෙන්ම තමාගේ ආධාරයට ආවේ පක්ෂය නොව, මා හා වරුණ කරුණාතිලක බව ඔහු රනිල් වික්‍රමසිංහට කියා ඇති බව මට වරක් මලික් සමරවික්‍රමගෙන් අසන්නට ලැබුණි.
අප සමීප මිත්‍රයන් වුවත් දේශපාලන වශයෙන් අදහස් සමාන නොවීය. ඔහු එජාප ආණ්ඩුවක් ගැන සිහින මැව්වේය. එහෙත් මම චන්ද්‍රිකා පිළිබඳව ඇති කරගෙන තිබූ සිහිනය බොඳවීමෙන් පසු මේ රට මුහුණ දී තිබෙන ප්‍රශ්නවලට ආණ්ඩු පෙරළියක් පමණක් ප්‍රමාණවත් නොවන බව විශ්වාස කරන තැනකට ගමන් ගනිමින් සිටියෙමි. තිබෙන ප්‍රශ්නවලට රටේ තිබෙන දේශපාලන ක්‍රමය මූලික හේතුවක් බව තේරුම් ගනිමින් දේශපාලන ක්‍රමය හදාරන තැනකට මම තල්ලු වී සිටියෙමි. පාලක මාරුවක් වෙනුවට දේශපාලන ක්රමයේ වෙනසක් අත්‍යවශ්‍යවේයැ”යි සිතන තැනකට පැමිණ සිටිය ද ආරක්ෂාව සඳහා තවදුරටත් චන්ද්‍රිකාට පහර දෙන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑම නිසා මා තුළ ඇතිවෙමින් තිබෙන වෙනස්කම් පිටතට හොඳින් නොපෙනුණේයැ”යි සිතමි. ලසන්තට රනිල් වික්‍රමසිංහ සමග සේ ම, මහින්ද රාජපක්ෂ සමග ද සමීප සම්බන්ධයක් තිබුණි. මහින්ද අගමැති ධුරයේ සිටියදී කිසියම් බලවතකු ලසන්ත හිර කිරීම සඳහා අටවන ලද බිහිසුණු උගුලකින් ලසන්ත බේරාගත්තේ මහින්දය.
ජනාධිපතිවරණයේදී ලසන්ත රනිල් වික්‍රමසිංහට බලවත් ලෙස ආධාර කළේය. රනිල් වික්‍රමසිංහ එම තරගයෙන් ජයගත්තේ නම් ඔහු ගොඩනැගීමට සැලසුම් කර තිබුණු ඊළඟ ආණ්ඩුවේ ලසන්ත ද බලවත් ඇමතිවරයෙකු වීමට නියමිතව සිටියේය. ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු ලසන්තට ජනාධිපති මහින්ද රාජපක්ෂට එකතුවීමේ හැකියාවක් තිබුණ ද ඔහු එසේ නොකළේය. මෙම විසම දේශපාලන ක්‍රමය නිර්මාණය කර තිබෙන ආකාරය අනුව මැතිවරණයකින් පරාජය වන ප්‍රධාන දේශපාලන පක්ෂයකට වුවත්, ඊළඟ අවස්ථාව තමන්ට ලැබෙන තෙක් ඉවසීමෙන් බලා සිටීමේ හැකියාවක් නැත. ඒ වෙනුවට ප්‍රතිඵල නිකුත් වූ දිනේ සිටම හොඳින් හෝ නරකින් රාජ්‍ය බලය උදුරා ගැනීමට උත්සාහ කළ යුතුය. ලසන්තට ක්රියාකරන්නට සිදුවූයේ ද මෙම විසම දේශපාලන ක්රමයේ හිරකරුවකු ලෙසය. රාජ්‍ය බලය හැකි ඉක්මනින් සිය පක්ෂය අතට උදුරා ගැනීම ඔහුගේ ද සිහිනය විය. ඒ අරමුණින් අතීතය මුළුමනින් අමතක කොට ඔහු චන්ද්‍රිකා සමග ගනුදෙනු කරන තැනකට යෑම අපගේ විනෝදයට හේතුවී තිබුණි.
ඒ ගැන වරුණ ලසන්තට බැණ වැදුණේ “උඹ වගේ ලැජ්ජා නැති මිනිහෙක් මුළු ලෝකයේම නැහැ”යි” කියමිනි. මා ඔහුට විහිළු කළේ “කොහොමද ඔයාගේ අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ්?” කියමිනි.
දුරකතනයෙන් බැණ වැදීම
ජනාධිපති මහින්ද රාජපක්ෂ ලසන්තට දුරකතනයෙන් බැණ වැදුණේයැ”යි කියන සිද්ධියේදී වරුණත් මමත් ලසන්ත සමග ඒ ගැන කතා කළෙමි. මහජනයා විසින් අලුත් ආණ්ඩුවක් බලයට පත් කළ වහාම කෝපයෙන් ඊට පහර දෙන පිළිවෙතක් සාධාරණ නොවන බවට මම තර්ක කළෙමි. මෙම දේශපාලන ක්‍රමය තුළ පරාජිත පක්ෂයට වහාම නැවත බලය ලබාගැනීමේ ඉඩක් නැති බව තේරුම් නොගෙන ඉක්මන් බලය ලබාගැනීමක් ගැන සිහින මැවීම මෝඩකමක් බව ද කීවෙමි. මෙම විවේචනයේදී ඔහු වෙනදා මෙන් අප සමග වාද කරන තැනකට ආවේ නැත. ඒ වෙනුවට ඔහු සන්සුන් ලෙස අපට සවන් දුන්නේය. මතභේදයට හේතුවී තිබුණු ලිපියේ එක තැනක නොව තැන් කිහිපයකම සාමාන්‍යයෙන් වගකිවයුතු පත්තරකාරයෙකු නොකරන ලෙස එක්තරා නොහොබිනා සඳහනක් උලුප්පා දක්වා තිබුණු අතර, එවැනි සඳහන් කිරීම් පුවත්පත් කලාවේ සියලු ගුණධර්මවලට පටහැනි බව මා කියා සිටි විට ඔහු එය ද පිළිගත්තේය.
තේරුමක් නැති අරගලවලට පැටලුණු විට අවසානයේ අපට ද ඒවාට කරගසන්නට සිදුවන බවත්, අවුරුදු ගණනක් එක දිගට අරගල කර තිබෙන තත්ත්වයක් තුළ කිසියම් විරාමයක් අපට අවශ්‍ය වී තිබෙන බවත්, වෛරයෙන් අරගල කරන තැනකට නොගොස් වැරදි සිදුවන අවස්ථාවලදී සාධාරණ විවේචනයක යෙදෙන ලෙසත් ඉල්ලා සිටියෙමි. ජනාධිපති කැඳවන මාධ්‍ය සාකච්ඡාවට තමන් නොකැඳවීම ගැන ලසන්තට ප්‍රශ්නයක් තිබුණි. කැඳවීමක් ලැබෙන්නේ නම් ඔහු ඊට සහභාගිවන්නේදැ”යි මා ඇසූ විට කැඳවීමක් ලැබෙන්නේ නම්, එම සාකච්ඡාවට සහභාගි වන බව ඔහු කියා සිටියේය. එම ප්රශ්නය මා ජනාධිපති සමග කතා කරන්නදැ”යි ඇසූ විට ඔහු ඊට ද අනුමැතිය දුන්නේය. ඉන්පසු මම ඒ ගැන ජනාධිපතිට දුරකතනයෙන් කතා කළෙමි. ලසන්ත සමග කරන ලද දුරකතන කතාව ගැන ඇසූ විට තමන් බැණ වැදීමක් හෝ තර්ජනය කිරීමක් නොකළ බවත්, එය උස් ස්වරයකින් කරන දොස් පැවරීමක් පමණක් බවත්, යාලුවන් යාලුවන් අතර ඇතිවන හිත් අමනාපකම්වලදී එවැනි දේ සිදුවීම ස්වාභාවික බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සාකච්ඡාවට ලසන්ත කැඳවීමට ජනාධිපතිවරයා එකඟ විය. ඒ අනුව ඊළඟට පැවැත්වෙන මාධ්‍ය ප්‍රධානීන්ගේ සාකච්ඡාවට ලසන්තට ද ඇරයුම් කොට තිබුණි. මම එම සාකච්ඡාවට සහභාගි නොවීමි. ලසන්ත එම සාකච්ඡාවට සහභාගි නොවූ බවත්, තමන්ට පමණක් ආරාධනා කොට, සොනාලිට ආරාධනා නොකිරීම ඊට හේතුවී ඇති බවත් මට අසන්නට ලැබුණි. එහෙත් මා සමග කරන ලද සාකච්ඡාවේදී සොනාලිට ආරාධනා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවීය. අප දෙදෙනා අතර පැවති මිත්‍රත්වයේ ඉරි තැලීමක් ඇතිවීම කෙරෙහි ඔහුගේ පුවත්පතේ පළවූ චන්ද්‍රිකාගේ සම්මුඛ සාකච්ඡාව බලපෑවේය. එම සම්මුඛ සාකච්ඡාවට විශාල පූර්ව ප්‍රචාරයක් ලබාදෙන ලද අතර, ඒ වෙනුවෙන් පළ කරන ලද විශේෂ පෝස්ටරයක් ද කොළඹ නගරය පුරා අලවා තිබුණි. සම්මුඛ සාකච්ඡාව මගේ ද මහත් කුතුහලයට හේතුවී තිබුණු කරුණක් විය. සම්මුඛ සාකච්ඡාව කියවූ විට මට ඇතිවූයේ හිරිකිතයකි.
මම ඒ බව ලසන්තට නොවලහා ප්‍රකාශ කළෙමි. මා ඔහුට කතා කළේ දුරකතනයෙනි. මගේ ප්‍රශ්න කිරීම ඔහු තුළ නිහැඬියාවක් ඇති කරන ලද බව පෙනෙන්නට තිබුණි. ඔහු නිදහසට කීවේ පළවූයේ එක සම්මුඛ සාකච්ඡාවක් පමණක් බවත්, තවත් සම්මුඛ සාකච්ඡා ගණනාවක් පළවන්නට නියමිත බවත්ය. මම මගේ අදහස් ඇතුළත් විචාරයක් රාවයේ පළ කරන බව කියා සිටියෙමි. ලසන්ත චන්ද්‍රිකා සමග කරන ලද සම්මුඛ සාකච්ඡාව අළලා මා ලියන ලද ලිපිය ලසන්තගේ කෝපයට හේතුවන්නට ඇතැ”යි මම සිතමි. ලසන්තගේ පාඨකයන් ගණනාවක්ම ඒ ගැන අදහස් පළකොට මට ද ලියා එවා තිබුණි. එහෙත් ලසන්ත ඊට ප්‍රති පිළිතුරක් දුන්නේ නැත. ලසන්තගේ සාමාන්‍ය ක්‍රමය අනුව එවැනි ලිපියකට ඔහු නිහඬව සිටින්නේ ද නැත. එහෙත් එහිදී ඔහු නිශ්ශබ්දව සිටියේය.
චෞර රැජින
ටික කලක් යන්නට ඉඩ හැර සොනාලි ලවා මා ලියන ලද “චෞර රැජින” පොතේ උත්පත්ති කතාව ගැන අපූරු ලිපියක් ලියවා පළකර තිබුණේය. සොනාලි එම අපූරු ලිපිය ලියා තිබුණේ මා ලියන ලද පොතවත් නොකියවාය. පොත කියෙව්වේ නම් පොතට ඇතුළත් දේවලින් 90% ක් චන්ද්‍රිකා බලයේ සිටියදීම ලියා ප්‍රසිද්ධ කරන ලද ඒවා බව දැනගන්නට ඉඩ තිබුණි. විවාදයට හේතුවූ ටවුන්හෝල් බෝම්බ සිද්ධිය පිළිබඳ මගේ සොයා ගැනීම් හා අර්ථකථනය ලසන්ත දැන සිටියේය. ඒ ගැන මා ඔහු සමග සාකච්ඡා කර තිබුණේය. ධුර කාලය අවසානයේදී මම චන්ද්‍රිකාට එරෙහිව නඩු කිහිපයක් පවරන්නට සැලසුම් කරගෙන සිටි බව ද ඔහු දැන සිටියේය. බලය අයථා ලෙස පාවිච්චි කිරීමේ චෝදනා යටතේ පවරන්නට අදහස් කරගෙන සිටි නඩුවක කොටස්කාරයෙකු වීමට ඔහුද කැමැත්ත ප්‍රකාශ කර තිබුණි. මා සොනාලිගේ ලිපියේ එන ප්‍රධාන කරුණු දෙක බොරු කරමින් ලියන ලද කෙටි පිළිතුරු ලිපියක් එම පුවත්පතේ පළකරවා ගැනීම පිණිස ලසන්තට යැව්වෙමි.
එය පළකිරීමේ හැකියාවක් ඔහුට නැති බව මම දැන සිටියෙමි. මක්නිසාද යත් එය පළ කළේ නම් කිසිදු සත්‍ය පදනමකින් තොරව කතා හදන බවට ඔහුගේ පාඨකයන් අතරින් ඔහුට චෝදනා නැගෙන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණු නිසාය. නීතිමය හේතු මත එම ලිපිය පළ කළ නොහැකි බව හා එයින් සෑහීමට පත් නොවේ නම්, මට අධිකරණය ඉදිරියට යා හැකි බව ඔහු මට එවන ඊමේල් පණිවුඩයකින් කියා තිබුණි. එය කියවූ පසු මා තුළ ඇතිවූයේ කෝපයකට වඩා කණගාටුවකි.
ලසන්තගේ ශක්තිය
එහෙත් ලසන්ත මිය යන අවස්ථාව වන විට පරණ තරමින්ම නොවූවත් අප අතර සුහද බවක් ගොඩනැගී තිබුණි. ලසන්තට ආවේණික සීමාසහිතකම් තිබුණි. ඒ සීමාසහිතකම් ලසන්තගේ සීමිත දේශපාලන දැක්මේ ප්රතිඵලයෝය. විශිෂ්ට ගණයේ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු තුළ තිබිය යුතු ඉව, සැඟවුණු රහස් සොයා යෑමට තිබෙන උනන්දුව, සොයා ගන්නා තොරතුරු සියුම් ලෙස විමර්ශනයට ලක්කිරීමේ හැකියාව, එසේ සොයා ගත් කරුණු තර්කානුකූල ලෙස පෙළ ගස්වා ඉදිරිපත් කිරීමේ හැකියාව, ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු තුළ තිබිය යුතු නිර්භීතභාවය හා නොපසුබස්නා ධෛර්යය යන ගුණාංග මේ රටේ වෙනත් කිසිම ජනමාධ්‍යවේදියෙකු තුළ නැති තරමට ලසන්ත තුළ තිබුණේය. ලසන්තට ආවේණිකව තිබූ දේශපාලන දැක්මේ පටු බව නොවේ නම් ඔහු ලෝක මට්ටමෙන් පවා ඔහු පළමු ගණයේ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු ලෙස සැලකිය හැකිය. මට ලසන්ත වෙනුවෙන් මේ මොහොතේ කළ හැක්කේ සදාකාලික සුව නින්දක් ප්‍රාර්ථනා කිරීම පමණය.
දැන් අපට ලසන්තගේ ඝාතනය ගැන කෙටියෙන් වුවත් කරුණු සලකා බැලිය හැකිය.
Editor’s Note
Published on 18 January 2009, ten days after Lasantha Wickrematunge was shot in Attidiya. The title is printed without its final letter in the source and is given here in full. The closing line indicates the piece continues, and a further article on the killing appears to follow.
The interview referred to is Wickrematunge’s Sunday Leader interview with Chandrika Kumaratunga; “Chaura Rajina” (The Queen of Deceit) is Ivan’s own book on her presidency. Sonali Samarasinghe, the journalist named here, married Wickrematunge shortly before his death and later went into exile. The 1999 incident concerns the Town Hall bombing during that year’s presidential campaign.
Ivan’s account of private conversations — Kumaratunga’s statement that a senior minister had planned to have both men killed, President Rajapaksa’s explanation of his telephone call to Wickrematunge, and Malik Samarawickrama’s report of what Wickrematunge told Wickremesinghe — rests on his own recollection and is not otherwise sourced. His assessment of Wickrematunge’s journalism and politics is his own and was published while the killing was still unexplained. No one has been convicted of the murder.