එල්ටීටීඊයට එරෙහිව කෙරෙන යුද්ධය එහි අවසානය කරා ළඟාවෙමින් පවතී. බලහත්කාරයෙන් සිය ග්‍රහණයේ තබාගෙන සිටින සිවිල් වැසියන් අතහැර එල්ටීටීඊ හමුදාවන්ට වනාන්තරයට පලායෑමට සිදුවනු ඇත්තේය. ඒ දිනය ඉදිරි දින කිහිපයේදී සිදුවිය හැකි අතර, ඒ සමග ඉතිරි වී සිටින එල්ටීටීඊ නායකයන් හා භටයන් සොයාගෙන ආරක්ෂක හමුදා කැලෑ පීරනු ඇත. ප්‍රභාකරන් තවදුරටත් රටේ සිටිනවාද, නැතිනම් මෙලහකටත් රටින් පිටවී සිටිනවාද යන්න අපි නොදනිමු. ඔහු මෙරට සිටියත්, නැතත් යටත් වෙනවා හෝ සටන් කොට විනාශ වෙනවා හැරෙන්නට එල්ටීටීඊයට වෙනත් විකල්පයක් ඉතිරි වී නැත. හිමිවී තිබෙන අන්ත පරාජය ඉදිරියේ එල්ටීටීඊය තුළ අභ්‍යන්තර භේද ඇතිවිය හැකි අතර, ඔවුන්ගේ නායකයන්ගෙන් කිසියම් පිරිසක් රජයට භාර වෙන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. බෙදුම්වාදයක් වෙනුවෙන් පෙනී සිටි ලෝකයේ ශක්තිමත්ම හා බිහිසුණුම ත්‍රස්තවාදී ව්‍යාපාරය ලෙස සැලකිය හැකි එල්ටීටීඊය, යුදමය වශයෙන් පරාජය කිරීම ගැන දේශීය ජනතාවගේ පමණක් නොව, ලෝක ජනතාවගේ ද ගෞරවය හා ප්‍රසාදය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ට හිමිවිය යුතුය.
ආරක්ෂක හමුදාවන්ගේ චිත්ත ධෛර්යය මුළුමනින් බිඳ වැටී තිබුණු අවස්ථාවක ඔවුන්ට අවශ්‍ය ධෛර්යය හා අභිමානය ලබාදෙමින් ජයග්‍රාහී යුද්ධයක් සඳහා ඔවුන් මෙහෙයවීමේ ගෞරවය විශේෂයෙන් යුද හමුදාපති සරත් ෆොන්සේකාටත්, නාවික හමුදාපතිවරයාට හා ගුවන් හමුදාපතිවරයාටත්, එම ජයග්‍රාහී ගමන සම්බන්ධීකරණය කළ ආරක්ෂක ලේකම්වරයාටත්, සමස්ත යුද්ධ ව්‍යාපාරයට නායකත්වය දුන් ජනාධිපතිවරයාටත්, භේදයකින් තොරව රටේ ජනතාවගේ ගෞරවය හිමිවිය යුතුය. මෙය එල්ටීටීඊයට එරෙහිව කරන ලද අනුකම්පා විරහිත යුද්ධයක් ලෙස සැලකිය හැකි වුවත්, දෙමළ විරෝධී යුද්ධයක් නොවීය. එහෙත් යුද්ධය දෙමළ ජනතාවට තාවකාලික පීඩනයක් ඇති කළේය. දකුණේ ජේවීපීයට එරෙහිව කරන ලද අරගලයේදී ද දකුණේ සිංහල ජනතාව කෙරෙහි ද තාවකාලික පීඩනයක් ඇතිවිය. දකුණේ ජේවීපීයට එරෙහිව කරන ලද අරගලයේදී සේ ම එල්ටීටීඊයට එරෙහිව කෙරෙන මේ යුද්ධයේදී සීමාන්තික ක්‍රියා ද සිදුවිය.
එය ඕනෑම යුද්ධයක් තුළ දැකිය හැකි නොවැළැක්විය හැකි තත්ත්වයකි. මානව හිමිකම් මුළුමනින් ආරක්ෂා වන ආකාරයට කළ හැකි යුද්ධයක් තිබිය නොහැකිය. ශ්‍රී ලංකාව එකම දෙයක්වත් හරියට කරන්නට නොදන්නා රටක තත්ත්වයක සිටියේය. දැන් අඩුම වශයෙන් එක ලොකු දෙයක් හෝ හරියට කරන්නට හැකිවීම ගැන පොදුවේ සතුටු විය හැකිය. ඉතිරි වී තිබෙන ඊළඟ ලොකු දේවල් ද හොඳින් සැලසුම් කොට කැපවීමකින් සම්පූර්ණ කිරීම ගැන සිහින මැවිය යුතුය. මේ තීරණාත්මක මොහොතේ භේදයකින් තොරව ආණ්ඩුවේ සියලු දේශපාලන පක්ෂවල හා ජනතාවගේ ආදරයේ හා කරුණාව දෙමළ ජනතාව වෙත යොමුවිය යුතුය. දෙමළ ජනතාවට සිටි සියලු නායකයන් එල්ටීටීඊය විසින් ඝාතනය කළේය. දැන් ඔවුන්ට සිටි මෝඩ හා චණ්ඩ එකම නායකයා ද අහිමි වී තිබෙන තත්ත්වයක් තුළ එම ජනතාව තමන්ට තමන්ගේම නායකයෙක් නැති අසරණ ජනතාවක් බවට පත්ව ඇති සේය. ඔවුන්ගේම නායකයන් පිරිසක් ඔවුන් ගොඩනගා ගන්නා තෙක් ඔවුන් ගෞරවයෙන් හා ආදරයෙන් රැක බලා ගත යුතුය.
එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ඔවුන්ට වඩා හොඳ ලෝකයක් ලැබෙනවා මිස වඩා නරක ලෝකයක් නොලබන බව සනාථ කළ යුතුය. මේ යුද්ධයේ අවසානයත් සමග ලොකු දේවල්වලට යන්නට ප්‍රථම වර්ගභේද, ආගම් භේද හා කුලභේද ඇවිස්සීම, ඒ හේතු මත වෙනස්ව සැලකිලි දැක්වීම නීති විරෝධී කළ යුතුය. ඒ සමග රජය දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් ගනුදෙනු කළහැකි තත්ත්වයක් ඇති කළ යුතුය. ඒ සඳහා දෙමළ භාෂාවෙන් වැඩ කළ හැකි ප්‍රමාණවත් තරම් පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගත යුතුය. එම කාරණා දෙක හැකි ඉක්මනින් ඉටුකළ හැකි නම් එය ජාතිය නැවත ගොඩනගන ව්‍යාපාරයකට දෙන ශක්තිමත් ආරම්භයකි.
Editor’s Note
Published on 18 January 2009, four months before the war ended in May. Ivan writes that excesses occurred in the campaign and that no war can be fought with human rights wholly protected, while holding that this was not a war against Tamils. He names the Defence Secretary, Gotabaya Rajapaksa, only by office. These are his views as expressed in January 2009, before the final months of the war and before the allegations concerning civilian deaths in the closing phase became the subject of international inquiry.