මැතිවරණයකදී මහජනයා ලබාදෙන ඇත්ත තීන්දුවක් විකෘති කොට ප්‍රකාශ කිරීම බලවත් වරදක් වනවා සේ ම මහජනයා ලබාදෙන ලද තීන්දුවක් සාධාරණ හේතු ඉදිරිපත් කිරීමකින් තොරව ව්‍යාජ ප්‍රතිඵලයක් ලෙස පෙන්නුම් කිරීම ද බලවත් වරදකි. ප්‍රකාශ කර තිබෙන නිල ප්‍රතිඵල අනුව ජෙනරාල් සරත් ෆොන්සේකා ඡන්ද හතළිස් එක් ලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය අසූපහක් ලබාගන්නා විට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඡන්ද හැටලක්ෂ පහළොස් දහස් නවසිය තිස් හතරක් ලබාගනිමින් ඡන්ද දහඅට ලක්ෂයකටත් තරමක් වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපතිවරණය ජයගෙන තිබේ. මෙම නිල ප්‍රතිඵලය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් ප්‍රකාශ වූ ප්රතිඵලවල මුළු එකතුව නොව මැතිවරණ ලේකම් කාර්යාලයේ පරිගණක අංශයේ නිර්මාණය වූ ව්‍යාජ ප්‍රතිඵලයක් බව පරාජයට පත්වූ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා සේ ම ජනතා විමුක්ති පෙරමුණද ප්‍රකාශ කරයි.
එජාප සමහර ප්‍රකාශකයන්ද එවැනිම මතයක් දරයි. එහෙත් ඒ කිසිවෙක් තවමත් ඒ බව මහජනයාට ඔප්පු කොට නැත. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් ලබාදෙන ලේඛනවලට ඇතුළත් ප්‍රතිඵලයක් හා අවසාන වශයෙන් මූලස්ථානය ප්‍රකාශ කර තිබෙන ප්‍රතිඵල අතර වෙනස්කම් පවතී නම් එය ඔප්පු කිරීම අමාරු දෙයක් වන්නේ නැත. ඡන්ද ගණන් ගැනීමේ මධ්‍යස්ථානවල ගණන් කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු ප්‍රතිඵල ලේඛනයත් ගණන් ගැනීමේ ක්‍රියාවලියට නිරීක්ෂකයන් ලෙස සම්බන්ධ වූ තරග කළ අපේක්ෂකයන්ගේ නියෝජිතයන්ටද ලබාදේ. එය ඡන්ද ගණන් ගැනීමේ මධ්‍යස්ථානයේ සිටින ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියාද, එම මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ සහකාර තේරීම් භාර නිලධාරියාද, අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්ද ගණන් ගැනීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය සහභාගි වූ නියෝජිතයන්ද අත්සන් තැබූ ලේඛනයකි. එම ලේඛන තිබෙන්නේ පක්ෂවල ආසන සංවිධායකයන් ළඟය.
මෙම ලේඛනවල වන දත්ත හා ප්‍රකාශිත අවසාන ප්‍රතිඵලයේ දත්ත අතර වෙනස්කම් ඇත් නම් ඡන්ද ගණන් ගැනීමේ මධ්‍යස්ථානවලින් නිකුත් කළ ප්‍රතිඵල ලේඛන ආශ්රයෙන් එය ඔප්පු කළ හැකිය. එය සංකීර්ණ ක්‍රියාවලියක් නොවන අතර එවැනි නියැදි අධ්‍යයනයක් සඳහා ගතවනු ඇත්තේ පැය තුන හතරක් තරම් කාලයක් පමණය. බරපතළ වරදක් සිදුවී ඇත්නම් එය සනාථ කිරීම එතරම්ම සරල කරුණක් වී තිබියදීත් ප්‍රතිඵලයට අභියෝග කරන කිසිවෙක් එසේ නොකිරීමෙන් සනාථ වන්නේ ඔවුන් කියන දේ ඇත්තක් නොවන බවය. ඡන්ද ගණන් ගැනීමේ මධ්‍යස්ථානවලින් ප්රතිපක්ෂ දේශපාලන නියෝජිතයන් පහරදී එළවා ගත් අවස්ථා ගැනද අසන්නට ලැබේ. එයද විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන චෝදනාවකි. එවැනි අශෝභන සිද්ධීන් වාර්තා වන්නේද ඡන්ද ගණන් ගැනීමේ මධ්‍යස්ථාන කිහිපයක පමණය. ඒ මුළු ගණන 10කටත් අඩුය. එවැනි ක්‍රියා මධ්‍යස්ථානයේ ඡන්ද ප්‍රතිඵලය වෙනස් කරගැනීමේ අරමුණින්ම කරන ලද ඒවා බව ද පෙනෙන්නට නැත.
සමහර සිදුවීම් පැවති උද්වේගකර දේශපාලන වාතාවරණය තුළ ඇතිවූ ගැටුම් ලෙස සැලකිය හැකිය. ඡන්ද ගණන් ගැනීම් මධ්‍යස්ථානයකට දේශපාලන පක්ෂවල නියමිත හා අවසර ලත් නියෝජිතයන්ට හැර කිසිවකුට ඇතුළුවිය නොහැකිය. ප්රතිපක්ෂවලට අයත් නියෝජිතයන් අතර මධ්‍යස්ථානයක් තුළ ගැටුමක් ඇතිවි එක පිරිසක් පිටවී ගියද මධ්‍යස්ථානයේ ඉතිරි වී සිටින නියෝජිත පිරිසට තමන් කැමති ප්‍රතිඵලයක් ලබාගැනීමේ හැකියාවක් ද නොපවතී. එක මධ්‍යස්ථානයක නිලධාරීන් 80ක් පමණ සිටිති. මගඩියක් සඳහා ඔවුන් සියලුදෙනා එකඟ කරවා ගැනීම සරල හෝ පහසු විය නොහැකිය. ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පුද්ගල ශරීර ආරක්ෂක භටයන් හෝ ගිනි අවි ගෙනා නොහැකිය. නිරායුධ කිහිප දෙනකුට විශාල නිලධාරි පිරිසක් යටත් කරගැනීම පහසු නැත. අනෙක් අතට එසේ යටත් කරගත්තද එහි තිබෙන්නේ පාවිච්චි කළ ඡන්ද පත්‍රිකා නිසා ඒවා වෙනස් කිරීම ඊට වඩා දුෂ්කරය.
අනෙක් අතට වරදක් සිදුවී නම් සාහසිකකම් කළ නියෝජිත පිරිස මධ්‍යස්ථානයෙන් පිටවී ගිය පසු ඒ බව තේරීම් භාර නිලධාරියාට දැනුම් දී වරද නිවැරදි කිරීමේ හැකියාවද එම නිලධාරීන් සතුව පවතී. සිදුවීම් සිදුවී ඇති ඡන්ද මධ්‍යස්ථාන කිහිපයෙහි විකෘතියක් ඇතිවි ඇතැ”යි උපකල්පනය කළද මුළු ප්‍රතිඵලය වෙනස් කිරීමට තරම් එය විශාල වන්නේද නැත. වරදක් සිදුවී ඇත්නම් එය කරුණු සහිතව සනාථ කළ යුතුය. සත්‍ය පදනමක් නැතිව ව්‍යාකූලතාවක් ඇති කිරීමෙන් අයහපතක් වන්නේ ආණ්ඩුවට පමණක් නොව මුළු රටටමය. මෙම ප්රශ්නයේදී මැතිවරණ කොමසාරිස්වරයා අතින්ද වරදක් සිදුවී ඇති බව කිව යුතුය. එල්ල වී තිබෙන චෝදනා ඉදිරියේ ඡන්ද ගණන් ගැනීමේ ක්‍රියාවලිය සිදුවූ ආකාරයද, අවසාන ප්‍රතිඵල ගණනය කරන ලද ආකාරයද, ඡන්ද ගණන් ගැනීමේ මධ්‍යස්ථානයක් ඇතුළත් සිදුවීම් සිදුවී නම් ඒ කෙසේද, මොනවාද, ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්ති මොනවාද යන්න රටට පැහැදිලි කළ යුතුය.
Editor’s Note
Companion piece to the signed column published in the same issue, which reports Ivan’s own checks with party organisers in six districts. This editorial gives the official vote figures and states the case in summary form.