අත්අඩංගුවට ගැනීමක් කිරීමට තරම් සාධාරණ හේතු තිබියදීත් වුවත් ජනාධිපතිවරණයට තරග කොට පරාජය වූ ප්‍රතිපක්ෂ අපේක්ෂකයා (ජෙනරාල්) අත්අඩංගුවට නොගෙන ඔහු හා ඔහුගේ ප්‍රතිපක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණය බාධාවකින් තොරව තරග කිරීමට අවස්ථාවක් ලබා දුන්නේ නම් එය ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වඩා දීප්තිමත් කරවන හේතුවක් ලෙස ක්‍රියා කරන්නට ඉඩ තිබුණි. ජෙනරාල්වරයා අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රබල හා සාධාරණ හේතු තිබෙන බව හොඳින් සනාථ කිරීමට ආණ්ඩුව අසමත් වෙතොත් එය ජනාධිපතිවරයා ලද ජයග්‍රහණය කිසියම් ප්‍රමාණයකට හෝ පළුදු කරන සාධකයක් ලෙස ක්‍රියා කරනු නොවැළැක්විය හැකිය. ජෙනරාල්වරයා අත්අඩංගුවට ගැනීමේ සංසිද්ධිය විරුද්ධ පක්ෂ බලවේග අතර අලුත් උද්යෝගයක් ඇති කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු ඇතිවා සේ ම එය පරාජිතයාගෙන් පළිගැනීමේ අරමුණින් කරන ලද නොමනා ක්‍රියාවක් ලෙස සාධාරණව කල්පනා කරන මහජනතාව පවා සිතිය හැකිය.
ඡන්ද ප්‍රතිඵලය ව්‍යාජ එකක් බවට විරුද්ධ පක්ෂය තර්ක කරමින් තිබුණු පරිසරයක් ඉදිරියේ ජෙනරාල් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඡන්ද පෙත්සමක් ඉදිරිපත්වීම වැළකීම සඳහා ආණ්ඩුව කරන ලද දෙයක් ලෙස ද අර්ථගැන්විය හැකිය.
විරුද්ධ පක්ෂය
ජෙනරාල්වරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ජනාධිපතිවරණයෙන් පරාජය වූ විරුද්ධ පක්ෂ බලවේග සිටියේ පැරණි දේශපාලන සන්ධානය ඉදිරියට ගෙනයා නොහැකි අර්බුදකාරී තත්ත්වයකය. ජනාධිපතිවරණය සඳහා ගොඩනගා ගෙන තිබුණු විරුද්ධ පක්ෂ සන්ධානය ඉදිරියට ගෙනයමින් හංසයා ලකුණින් තරග කළයුතු බව ජෙනරාල්ගේ මතය වී තිබූ අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ දරන ලද දැඩි මතය වී තිබුණේ එජාප සමග සන්ධානගතවී සිටින පක්ෂ එජා පෙරමුණ වශයෙන් අලියා ලකුණෙන් පාර්ලිමේන්තු මැතිවරණය තරග කළයුතු බවය. ජනතා විමුක්ති පෙරමුණේ මතය වී තිබුණේද ජනාධිපතිවරණය සඳහා සන්ධානගතවී සිටින පක්ෂ හංසයා ලකුණින් තරග කළයුතු බවය. අලියා ලකුණෙන් තරග කිරීම ජෙනරාල් තුළ තිබූ අකමැත්ත කෙරෙහි නායකත්වය පිළිබඳ ප්‍රශ්න බලපා තිබුණි. අලියා ලකුණෙන් තරග කරන්නේ නම් එම සන්ධානයේ නායකත්වය යන්නේ රනිල්ටය.
එහෙත් ජනාධිපති තරගයේදී තමන්ට ලැබී තිබුණු ප්‍රමුඛතාව ආරක්ෂා කරගැනීමට ජෙනරාල්ට අවශ්‍ය වී තිබුණු අතර ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය හංසයා ලකුණෙන්ම තරග කළ යුතුයි කියන තැනක ජෙනරාල් සිටියේය. ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළද ජනාධිපතිවරණයෙන් ජෙනරාල් ලද පරාජය රනිල් වික්‍රමසිංහගේද සතුටට හේතුවී තිබුණි. විරුද්ධ පක්ෂ සන්ධානයට ඇතුළත් ලොකුම පක්ෂයේ නායකයා වශයෙන් රනිල්ට ලැබිය යුතු පිළිගැනීම හා ගෞරවය රනිල්ට ජෙනරාල්ගෙන් නොලැබුණි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් ගොඩනගන භාරකාර ආණ්ඩුවේ අගමැති රනිල් බව ප්‍රකාශ කිරීමට පවා ජෙනරාල් කැමති නොවීය. ජනාධිපතිවරණයෙන් ජෙනරාල් ජයගතහොත් රනිල් නොසලකා ඉදිරියට යාමේ වැඩපිළිවෙළක් ජෙනරාල්ට හා ටිරාන් අලස් වැනි අයට තිබුණේය කියන හැඟීමක් රනිල් තුළ සේ ම රනිල්ගේ සමීප අනුගාමිකයන් තුළ ගොඩනැගී තිබුණි. ඔවුන් අවසාන මොහොත දක්වා ජෙනරාල්ට ආධාර කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකළා වුවත් ජෙනරාල් කෙරෙහි සැකයක් මිස විශ්වාසයක් නොතිබුණි.
රනිල්ගේ භූමිකාව
ජවිපෙ සමග සන්ධාන ගතවී පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන තැනකට ගියහොත් එජා පාක්ෂිකයන්ගේ ඡන්දවලින් ජවිපෙ නියෝජිතයන් කිසියම් විශාල පිරිසක් තේරී පත්වන තත්ත්වයක් ඉදිරියේ එජාප වශයෙන් තමන්ට ලැබෙන මන්ත්‍රී සංඛ්‍යාවේ අඩුවක් වනු ඇතැ”යි රනිල් වික්‍රමසිංහ සේ ම ඔහුගේ සමීප අනුගාමිකයන්ගේද මතය වී තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2004දී කළ මෝඩකම තමන් නොකළ යුතු බව ඔවුන්ගේද මතය විය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමේ හැකියාවක් නැති නිසා එජාපයේ පහනෙන් අනුන්ට එළිය බලන්නට ඉඩ නොදී එජාපයට ලබාගත හැකි උපරිම ආසන සංඛ්‍යාව එජාප ලබාගත යුතු බව ඔවුන්ගේ මතය වී තිබුණි. අලියා ලකුණින් මිස හංසයා ලකුණින් තරග කිරීමට තම පක්ෂය සූදානම් නැති බව හා අලියා ලකුණින් තරග කිරීමට සූදානම් නම් ඒ සඳහා ජෙනරාල්ට නාමයෝජනා ලබාදීමට සූදානම් බව හා අවශ්‍ය නම් පක්ෂයේ කිසියම් නිල තත්ත්වයක් ද ලබාදීමටද හැකි බව ජෙනරාල්ට දැනුම් දෙන ලෙස ජෙනරාල් අත්අඩංගුවට ගන්නා ලද දිනයේදී රනිල් මංගලට දැනුම් දී තිබුණු අතර මංගල ජෙනරාල් හමුවී ඒ පණිවුඩය ජෙනරාල්ට දැනුම් දී තිබුණි.
මංගල ගන්නට යන තීරණය කුමක්දැ”යි එහිදී ජෙනරාල් මංගලගෙන් ප්‍රශ්න කර තිබුණි. තමාට තෝරා ගැනීමට ඇත්තේ විකල්ප දෙකක් පමණක් බවත් එක්කෝ තමන් දේශපාලනයෙන් ඉවත් වියයුතු බවත් නැතහොත් එජා පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තරග කළයුතු බවත් ඉන් තමන් දෙවැනි විකල්පය තෝරා ගැනීමට තීරණය කර ඇති බවත් මංගල ජෙනරාල්ට කියා තිබේ. ඒ ගැන වැඩිදුරටත් රනිල් සමග සාකච්ඡා කිරීමට ජෙනරාල් එකඟ වී ඇතත්, තමන්ගේ තීරණය කුමක්දැයි ජෙනරාල් සඳහන් කොට නැත. විරුද්ධ පක්ෂ නායකත්වය රනිල්ට නොව තමන්ට ලැබිය යුතුයැ”යි ජෙනරාල් විශ්වාස කළේය. (පළාත් සභා ඡන්දයේදී) ලක්ෂ විසි ගණනක තිබූ එජාප ඡන්ද පදනම ලක්ෂ 41 දක්වා ඉහළ දමන ලද්දේ තමන් විසිනැයි ජෙනරාල් විශ්වාස කළා පමණක් නොව, ඒ බව එජාප අනුගාමිකයන්ටද කීවේය. ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්ෂය නියෝජනය කළ ප්‍රමුඛයා වූයේ ජෙනරාල්ය. ඒ නිසා විරුද්ධ පක්ෂ ව්‍යාපාරයේ නායකත්වය තමන්ට ලැබිය යුතුයැ”යි ජෙනරාල් විශ්වාස කළේය.
ජෙනරාල් පරාජය වූයේ ළඟ ළඟ තරගයකින් නම් ජෙනරාල් එජා පාක්ෂිකයන්ගේ පවා විශ්වාසයට හේතුවී නායකත්වය පිළිබඳ අර්බුදය මීට වඩා දුරදිග යන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි. එහෙත් රනිල්ගේ වාසනාවට ජෙනරාල් පරාජය වූවා පමණක් නොව පරාජය වුණේ ළඟ ළඟ තරගයකින් නොව දුර තරගයකිනි. ජනාධිපතිවරණය නමැති ක්‍රීඩාවේදී රනිල් ක්‍රීඩා කළේද සියල්ල පරදුවට තබා සූදු කෙළින සූදු අන්තුවකු ලෙසය. මෙම ජනාධිපතිවරණයට තරග නොකොට මගහැරීමට ඔහුට අවශ්‍ය වී තිබුණි. ජනාධිපතිවරණයට තරග කොට විශාල පරාජයකට මුහුණ දෙන්නට සිදුවී නම් තවදුරටත් තමන්ට පක්ෂ නායකත්වයේ රැඳී සිටිය නොහැකි තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබෙන බව ඔහු දැන සිටියේය. ““රනිල්ට බෑ. ඒ නිසා පුළුවන් කෙනෙකුට ඉඩ දෙන්නැ”යි කියා ඔබ කීවා නේද? මා ඔබේ හඬට ඉඩදී පිටස්තරින් ගෙනා ලොකුම වීරයකුට තරග කරන්නට ඉඩ දුන්නා. එහෙත් ඔහුටවත් ජයග්‍රාහීවීමට බැරිවුණා නේදැ””යි දැන් ඔහුට ප්‍රශ්න කළ හැකිය.
අවසානයේ ඔහු ජෙනරාල් බිලිදී සිය පැවැත්ම රැකගත්තේය. දැන් ඔහුගේ පක්ෂ නායකත්වයට තවත් කලක් යනතෙක් කිසිවකුට අභියෝග කළ නොහැකිය. රනිල්ට බැහැයි කියන සටන් පාඨයද දැන් වලංගු නැත. මෙම පරාජය ඉදිරියේ පහසුවෙන් ගොඩ ආ නොහැකි ලොකුම අර්බුදයකට පත්ව සිටින්නේ ජවි පෙරමුණය.
ජනතා විමුක්ති පෙරමුණ
ජවිපෙට ඔවුන් ඉදිරියේ තෝරාගත් මෙම විකල්පය හැර තෝරා ගැනීමට වෙනත් ප්‍රශස්ත විකල්පයක් නොතිබුණි. ඔවුන් සිටියේ සිය දේශපාලන පරිහානියේ අන්තිම සීමාවේය. 2005 ජනාධිපතිවරණයට සේ ම මෙම ජනාධිපතිවරණයට ද තමන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔවුන්ට තිබුණි. 2005 ජනාධිපතිවරණයේදී ඔවුන් මහින්දගේ කරේ එල්ලී සිය දේශපාලන අවසානය කල්මරා ගැනීමට සමත් විය. එහෙත් මෙම ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය කිරීම සඳහා ඍජු ලෙස රනිල්ගේ කරේ එල්ලීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණි. ඒ නිසා තමන්ට පමණක් නොව, අන් සියලුදෙනාටද එකඟවිය හැකි බලවත් නිර්පාක්ෂික අපේක්ෂකයකු කරළියට ගැනීමට ඔවුන්ට අවශ්‍ය වී තිබුණි. ඒ සඳහා ඔවුන්ගේ පළමු තේරීම වී තිබුණේ සරත් නන්ද සිල්වාය. වඩා බලවත් අපේක්ෂකයකු ලෙස පෙනුණු ජෙනරාල් සරත් ෆොන්සේකා තරග බිමට ඒමට එකඟවීමත් සමග සරත් නන්ද සිල්වා අතහැර ඔවුන් සරත් ෆොන්සේකා තෝරා ගත්තේය.
2005 ජනාධිපතිවරණයෙන් මහින්දගේ කරේ එල්ලී රනිල් පරාජය කළා සේ මෙම ජනාධිපතිවරණයේදී ජෙනරාල්ගේ කරේ එල්ලී මහින්ද පරාජය කිරීමට හැකිවනු ඇතැ”යි ඔවුන් අපේක්ෂා කළද ඔවුන් දකින ලද සිහිනය සැබෑවූයේ නැත. ඔවුන්ගේ සිහිනය සැබෑවී නම් ඔවුන් ජෙනරාල් සරත් ෆොන්සේකා සමග දුර ගමනක් යන්නට ඉඩ තිබුණේය. එහෙත් තමන් දකින ලද සිහිනය සැබෑ නොවීම තුළ සිය දේශපාලන ගමනේ අවසානය වෙත ළඟාවීමට ඔවුන්ට සිදුවී තිබේ. දැන් ඔවුන්ට රටේ තිබෙන පිළිගැනීමේ තරම අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් එකුදු අසුනක්වත් ජයගත හැකිවනු ඇත්ද යන්න සැකසහිතය. 1977 මැතිවරණයේදී සාම්ප්‍රදායික වමේ පක්ෂ දෙකට හිමිවූ අවාසනාවන්ත ඉරණම ඔවුන්ට ද හිමිවිය හැකිය. එහෙත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ කිසිම නියෝජනයක් නොලැබෙන තත්ත්වයක් යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. වර්තමානයේ ඔවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රමාණය තුළ කෘත්‍රිම බවක් ඇතත් ඔවුන්ගේ හඬ මුළුමනින් නොඇසෙන තත්ත්වයක් ඇතිවීමද යහපත් නැත.
ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේ රටේ තිබෙන දේශපාලන ව්‍යාපාර අතර තිබෙන අපූරුතම සමාජ දේශපාලන ව්‍යාපාරය වීයැ”යි කිව හැකිය. ඔවුන් ආයුධ සන්නද්ධ බලහත්කාරී අරගලයක් මගින් යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සිහින දැක්කේය. ඒ අරමුණ වෙනුවෙන් දෙවරක්ම ආයුධ සන්නද්ධව නැගී සිටියේය. ඔවුන්ගේ කැරලි දෙකම මර්දනය කළමුත් ඔවුන්ගේ දේශපාලන පැවැත්ම අහෝසි කළ නොහැකි විය. පළමු කැරැල්ලට වඩා සාහසික ආකාරයකින් ක්‍රියාත්මක වූ දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් වසර 05කට පසුව ඔවුන් නැවත පාර්ලිමේන්තු දේශපාලනයට මාරුවිය. ක්‍රමයෙන් පාර්ලිමේන්තු නියෝජනයේ ප්‍රමාණය වැඩිකර ගනිමින් බලවත් තුන්වැනි දේශපාලන බලවේගයක් බවට පත්විය. ආයුධ සන්නද්ධ අරගල මාවත අතහැර පාර්ලිමේන්තු මාවත තෝරා ගත්තද තමන්ගේ පැරණි දේශපාලන දෘෂ්ටිය නූතන ලෝකයේ ඇතිවී තිබෙන වෙනස්කම්වලට ගැළපෙන ලෙස නිර්මාණාත්මක ලෙස වෙනස් කරගැනීමට අසමත් විය.
ජවිපෙ දේශපාලන ගමන කෙටි කිරීම කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකය වන්නේද එයයි. ඔවුන්ට ධෛර්යවන්තභාවයේ හා ඇප කැපවී ක්‍රියාකිරීමේ ගුණය තිබුණි. එහෙත් එම වැදගත් සාධක දෙක ජයග්‍රාහී ඉදිරි ගමනක් සඳහා යොදා ගැනීමට අවශ්‍ය පුළුල් දෘෂ්ටියත් ඔවුන්ට නොතිබුණේය.
දෙමළ – මුස්ලිම් ජනතාව
දෙමළ සන්ධානය පාර්ලිමේන්තු ආසන 22ක් නියෝජනය කරන තත්ත්වයක සිටියද ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ගේ නියෝජනයේ ප්‍රමාණය අඩකින් පමණ අඩුවිය හැකිය. එල්ටීටීඊය දේශපාලන චිත්‍රයෙන් ඉවත් කිරීමෙන් පසු ඒ සමග ඇතිවී තිබෙන දේශපාලන හිඩස නිර්මාණාත්මක ආකාරයකින් පිරවීමට දෙමළ සන්ධානය හෝ වෙනත් දෙමළ එකුදු දේශපාලන පක්ෂයක්වත් සමත් වී නැත. එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු දෙමළ ජනතාව තවමත් ඉන්නේ කෝපයෙන් හා භ්‍රාන්ත වූ තත්ත්වයකය. ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව හා ජෙනරාල් ෆොන්සේකාට පක්ෂපාතව ඡන්දය දීම තේරුම් ගැනීම අමාරු නැත. එල්ටීටීඊය පරාජය කළේ ජෙනරාල් ෆොන්සේකා විසින් නොව මහින්ද රාජපක්ෂ විසින් බව ඔවුහු දැන සිටියෝය. තමන්ගේ විරෝධය පළකිරීම සඳහා මහින්දට එරෙහිව ජෙනරාල්ට පක්ෂව ඡන්දය දුන්නේ ඒ නිසාය. එහෙත් සිංහල දෙමළ කෝන්තරය මේ ආකාරයෙන් පැසව පැසවා තිබෙන්නට ඉඩ හැරීම සිංහල ජනතාවගේ සේ ම දෙමළ ජනතාවගේ යහපතටද හේතුවන්නේ නැත.
තමන්ගේ දෙමළ දරුවන්ගේ කැරැල්ලක් පමණක් නොව දකුණේ සිංහල තරුණ කැරැල්ලක්ද මීට පෙර අනුකම්පා විරහිතව මර්දනය කර ඇති බව දෙමළ ජනතාව තේරුම් ගත යුතුය. සාධාරණ දුක්ගැනවිලි තිබියදී වුවත් මොනම පිරිසකට වුවත් නිදහසේ මනුෂ්‍යයන් ඝාතනය කරන්නට දේපොළ විනාශ කරන්නට ඉඩදීමේ හැකියාවක් මොනව රටකටවත් නැති බව ඔවුහු තේරුම් ගත යුතුය. වෙනම රාජ්‍යයක් ඉලක්ක කොටගෙන ක්‍රියාත්මක වූ දෙමළ තරුණයන්ගේ ආයුධ සන්නද්ධ අරගලය උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ජීවිත කාලකණ්ණි කිරීමට හේතුවූ බව ඔවුන් තේරුම් ගත යුතුය. වඩුක්කොඩෙයි ප්‍රකාශනයේ එන මූලධර්ම හෝ තිම්පු මූලධර්ම මත පිහිටා ක්‍රියාකිරීම දෙමළ ප්‍රශ්නයට විසඳුමක් නොවන බව හා විශේෂයෙන්ම එම මූලධර්ම අදට නොගැළපෙන බවද ඔවුන් තේරුම් ගත යුතුය. නොබෙදුණු ඒකීය රාජ්‍යයක් තුළ සිංහල ජනයාගේද විශ්වාසයට හා ගෞරවයට හේතුවන විසඳුමක් දිනාගන්නා තැනකට ඔවුන් යායුතුය.
බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම තුළ මතුවී තිබෙන තම දේශපාලන හිඩස නිර්මාණාත්මක ලෙස පුරවන්නේ කෙසේද යන ප්‍රශ්නයට ඔවුන් සාධාරණ පිළිතුරක් සොයාගත යුතුය. මුස්ලිම් ජනයාද මෙම ජනාධිපතිවරණයේදී එක පොදියට ජෙනරාල් ෆොන්සේකාට පක්ෂපාතව ඡන්දය දී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දෙමළ ජනතාව මෙන් නොව මුස්ලිම් ජනයා සිංහල හා දෙමළ ජනතාව අතර විසිරී ජීවත් වන ජන කණ්ඩායමකි. ඔවුන් බහුතර සිංහල ජනතාවගෙන් ඈත්වන ප්‍රතිපත්තියක් සිංහල ජනයාගේ සේ ම මුස්ලිම් ජනයාගේද යහපතට හේතුවන්නේ නැත. මෙම තත්ත්වය සිංහල නායකයන් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුවා සේ ම, මුස්ලිම් නායකයන් ද බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුය.
වතුකරයේ දෙමළ ජනතාව
තොණ්ඩමන්ගේ වතු කම්කරු කොංග්‍රසය ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දෙන තැනක සිටියද වතුකරයේ උඩරට දෙමළ ජනතාවද ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව ජෙනරාල් ෆොන්සේකාට සහාය දෙන පිළිවෙතක පිහිටා ක්‍රියාකර තිබෙන බව මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලිව දැකිය හැකිය. කොළඹ හා උතුරු නැගෙනහිර දෙමළ ජනයා හා මුස්ලිම් ජනයා ජෙනරාල්ට සහාය දෙන තත්ත්වයක සිටි බව කල්තියා පෙනෙන්නට තිබුණද උඩරට දෙමළ ජනතාවගේ මෙම හැසිරීම කල්තියා පෙනෙන තැනක තිබුණේ නැත. එහෙත් උඩරට වතුකරයේ දෙමළ ජනතාව අතර දක්නට ලැබෙන මෙම ලක්ෂණය තුළ තොණ්ඩමන් වැනි තමන්ගේ සාම්ප්‍රදායික නායකයන් ප්‍රතික්ෂේප කරන තැනකට උඩරට වතුකරයේ දෙමළ ජනතාව යොමුවී තිබෙන බව පෙනේ. එම හිඩස ඊළඟට පුරවන්න යන්නේ කවුද යන්න පැහැදිලි නැත. බලය සඳහා කෙරෙන තරගයේදී ලබන හැම ජයග්‍රහණයක්ම ජයග්‍රාහකයාට අහංකාරවීමට හා උඩඟුවීමට බල කරයි.
එහෙත් අහංකාරය හා උඩඟුකම ජයග්‍රහණයක වටිනාකම බොඳ කරන අතර නිහතමානය ජයග්‍රහණයේ වටිනාකම ඔපවත් කරයි. ජෙනරාල් ජනාධිපති තරගයට තරග කළේ යුද්ධයේ වීරයකු ලෙසය. එහෙත් සිංහල ගැමි ජනයා තමන් කැමැති යුද්ධයේ පළමු වීරයා ආරක්ෂා කරගැනීම සඳහා ජෙනරාල් පරාජය කළේය. ජෙනරාල් ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කළ තර්ක විතර්ක හා චෝදනා ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. එල්ල කළහැකි මොනතරම් චෝදනා තිබුණද තරගයක් අවසන් වූ වහාම පරාජිතයා පීඩාවට පත් කරන පිළිවෙතක් මහජනතාව අනුමත නොකරති.
Editor’s Note
Published six days after Fonseka’s arrest on 8 February 2010. Ivan attributes the account of Wickremesinghe’s message to Fonseka, carried by Mangala Samaraweera on the day of the arrest, to unnamed sources; it is reported rather than sourced in the original. The Ceylon Workers’ Congress leader referred to as Thondaman is Arumugan Thondaman.