මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන විරුද්ධ පක්ෂ සන්ධානයේ සමහර නායකයන් ඍජු ලෙස හා අනියම් ලෙස කියන්නේ ප්‍රකාශිත අවසන් ප්‍රතිඵලය ඇත්ත ප්‍රතිඵලයක් නොව, පරිගණක නිර්මාණයක් වන බවය. කොටින්ම ඔවුන් කියන්නේ අවසාන ප්‍රතිඵලය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් ලබා ගත් ප්‍රතිඵලවල එකතුව නොව, මැතිවරණ ලේකම් කාර්යාලයේ පරිගණක අංශය විසින් නිර්මාණය කොට ප්‍රකාශ කළ ප්‍රතිඵලයක් වන බවය. ප්‍රතිඵලය ගැන සැකයක් ඇති කිරීමට හේතුවන විවිධ කටකතාද පැතිර ගොස් තිබුණි. එක් කට කතාවකට අනුව මැතිවරණ දිනයේදී මැතිවරණ කොමසාරිස්වරයා සිටියේ නිවාස අඩස්සියේය. තවත් කටකතාවකට අනුව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කෙරෙන අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ සිටියේ මැතිවරණ ලේකම් කාර්යාලයේ පරිගණක මෙහෙයුම් අංශයේය.
ප්‍රතිඵලය ව්‍යාජද?
මැතිවරණ කොමසාරිස්වරයා අවසාන ප්‍රතිඵලය නිවේදනය කිරීමේදී ඔහු කෙරෙන් ප්‍රකාශ වූ පීඩාකාරී ස්වරය සේ ම ජනාධිපතිවරයා ලබා තිබෙන ජයග්‍රහණයේ විශාලත්වයද ප්‍රතිඵලය ගැන පවතින සැකසංකා වර්ධනය කිරීමට හේතුවී තිබේ. මහින්ද විරෝධී බලවේගයන්ගේ පිළිගත් ජනප්‍රිය විශ්වාසය වී තිබුණේ කරට කරට තරගයකින් අවසානයේ ජෙනරාල් ෆොන්සේකා ජයග්‍රහණය කරනු ඇති බවය. එහෙත් ලැබී තිබෙන පරාජයේ තරම ඔවුන්ට ඇදහිය නොහැකි තරම්ය. මෙය මහජන පරමාධිපත්‍ය බලයට අදාළ මූලික ගැටලුවක් ලෙස සැලකිය යුතුය. මහජනයා සිය පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන්නේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීම මගිනි. මහජනයා සිය ඡන්ද බලයෙන් ලබාදෙන ප්‍රතිඵලයක් වෙනුවට නිර්මාණය කළ කෘත්‍රිම ප්‍රතිඵලයක් ප්‍රකාශ කරයි නම් එය මහජනයාගේ පරමාධිපත්‍ය බලය කොල්ලකෑමක් ලෙස සැලකිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් එය තරම් සාහසික අපරාධයක් තවත් තිබිය නොහැකිය.
අනෙක් අතට ප්‍රකාශ වී තිබෙන මෙම ප්‍රතිඵලය මහජනයා දෙන ලද අවංක තීන්දුව වී ප්‍රතිපක්ෂය එය භාරගැනීම හිතුවක්කාරී ලෙස ප්‍රතික්ෂේප කරන්නේ නම් එයද මහජනයාගේ පරමාධිපත්‍ය බලයට පයින් ගැසීමක් ලෙස සැලකිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් එයද සාහසික ක්‍රියාවකි. ප්‍රකාශ වී තිබෙන අවසාන ප්‍රතිඵලය ඡන්ද ගණන් ගන්නා මධ්‍යස්ථානවලින් ලබාගන්නා ලද ප්‍රතිඵලවල අව්‍යාජ එකතුව වෙනුවට එය මැතිවරණ ලේකම් කාර්යාලයේ පරිගණක අංශය විසින් ව්‍යාජ ලෙස තනන ලද ප්‍රතිඵලයක් වේ නම් විරුද්ධ පක්ෂය එය ඔප්පු කළ යුතුය. ඡන්ද ගණන් ගැනීමේ මධ්‍යස්ථානවල ඡන්ද ගණන් ගැනීමේ සිට මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රතිඵල ප්‍රකාශ කිරීම දක්වා වන කාර්ය සංවිධානය සකසා ඇත්තේ ඒ අතරතුර කාලයේදී සිදුවන ඕනෑම අක්‍රමිකතාවක් වේ නම් එය ඔප්පු කළ හැකි ආකාරයටය.
ඡන්ද ගණන් ගැනීම
ඡන්ද ගණන් ගැනීමේ මධ්‍යස්ථාන තිබෙන්නේ කොළඹ නොව ඡන්දය පැවති ප්‍රදේශවලය. දිස්ත්‍රික්කයක් ඡන්ද කොට්ඨාසයක් ලෙස සැලකෙන අතර ඡන්ද ගණන් ගැනීම සිදුවන්නේ ආසන මට්ටමෙනි. දිස්ත්‍රික්කයට ඇතුළත් ඡන්දදායකයන්ගේ විශාලත්වය අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සංඛ්‍යාවද වෙනස් විය හැකිය. එක් ආසනයක් සඳහා වන ඡන්ද මධ්‍යස්ථාන දෙකක් හෝ ඊට වැඩි ගණනක් තිබිය හැකිය. තැපැල් ඡන්ද ගණන් කිරීම සඳහා ද වෙනම මධ්‍යස්ථානයක් තිබිය යුතුය. ඡන්ද කොට්ඨාසයක (දිස්ත්‍රික්කයක) ප්‍රධාන නිලධාරියා තේරීම් භාර නිලධාරියා හෙවත් දිසාපතිය. දිස්ත්‍රික්ක 22 සඳහා තේරීම්භාර නිලධාරීන් 22ක් සිටින අතර සහකාර තේරීම් භාර නිලධාරීහු ද 300කට වැඩි ගණනක් සිටින්නෝය. සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයකටම ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියකු සිටින්නා සේ ම සහකාර තේරීම් භාර නිලධාරියෙක් සිටින්නේය.
එක ගණන් ගැනීමේ මධ්‍යස්ථානයක රාජකාරී කටයුතුවල නිරත වන නිලධාරීන් සංඛ්‍යාව 80ක් පමණක් විය හැකිය. තැපැල් ඡන්ද සහිත ඡන්ද පෙට්ටි තිබෙන්නේ තේරීම් භාර නිලධාරියා භාරයේය. තැපැල් ඡන්ද ගණන් කිරීම සාමාන්‍යයෙන් ප.ව. 5.00ට පමණ ආරම්භ කෙරෙන අතර අනෙක් මධ්‍යස්ථානවල ඡන්ද ගණන් ගැනීම එම මධ්‍යස්ථානයට නියමිත අවසාන ඡන්ද පෙට්ටිය ලැබීමෙන් පසු ආරම්භ වේ. ඡන්ද ගණන් ගැනීමේ මධ්‍යස්ථානයට ඇතුළුවීමේ අවසරය ඇත්තේ ගණන් කිරීමේ නිලධාරීන්ට හා විධිමත් ලෙස පත් කරන ලද දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට පමණය. ඒ සියලුදෙනා සඳහා ප්‍රවේශ පත්‍ර වර්ග දෙකක් භාවිත කෙරේ. ඒ සියලුදෙනා මධ්‍යස්ථානයට ඇතුළුවීමේදී අවසර පත්‍ර හා හැඳුනුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු අතර පැමිණීමේ ලේඛනයට අත්සන් තබා රහස්‍යභාවය සඳහා දිවුරුම්දීමක් කළ යුතුය. ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පාර්සල් හෝ බෑග් මළු රැගෙන ඒම තහනම්ය.
ගණන් කිරීම ආරම්භ කිරීමෙන් පසු ප්‍රමාද වී පැමිණෙන නියෝජිතයන්ට හැර අන් අයට මධ්‍යස්ථානයට ඇතුළුවීම හා පිටවීම තහනම්ය. ඔවුන්ට ඡන්ද ගණන් ගැනීම අවසන් වන තෙක් මධ්‍යස්ථානයෙන් පිටත සිටින පුද්ගලයන් සමග සන්නිවේදනයද තහනම්ය.
ගණන් ගැනීමේ කාර්ය සංවිධානය
ගණන් කිරීම සිදුවන්නේ අදියර තුනක් යටතේය. පළමු අදියර සැලකෙන්නේ සංඛ්‍යාත්මක ගණනය ලෙසය. මෙම අදියරේ ගණන් කිරීමේ මේසය එකවිට කණ්ඩායම් පහකට වැඩ කළ හැකි ලෙස සකස් කෙරේ. එහිදී කාර්ය භාරව සිටින නිලධාරියකු ඡන්ද පෙට්ටියේ අංකය ශබ්ද නගා කියවා මුද්‍රා පරීක්ෂා කිරීමට නියෝජිතයන්ට අවස්ථාවක් ලබාදී එකවර එක කණ්ඩායමකට එක් ඡන්ද පෙට්ටියක් ගණන් කිරීමට හැකිවන ලෙස ඡන්ද පෙට්ටිවල ඇති ඡන්ද පත්‍රිකා හිස් කරනු ලැබේ. ඡන්ද පෙට්ටියක ඇති මුළු ඡන්ද සංඛ්‍යාව වාර්තා කර ඇති සංඛ්‍යාව සමග සැසඳෙන තෙක් එක් වරක් හෝ කිහිප වරක් ගණන් කළ යුතුය. සියලු ඡන්ද පත්‍රිකා ගණන් කිරීමෙන් පසු ඡන්ද පත්‍රිකා එක පොදු බඳුනකට ගොනු කරන අතර එම පොදු බඳුනේ ආරක්ෂාව භාරව ක්‍රියා කරන්නේ තේරීම්භාර නිලධාරියාය. ගණන් කිරීමේ පළමු අදියර ඉන් අවසන් වේ. 2 වැනි අදියරේදී කෙරෙන්නේ ඡන්ද පත්‍රිකා තේරීම හා ගණන් කිරීමය.
මේ අදියරයේදීද මේසය කණ්ඩායම් 5කට බෙදා වෙන් කෙරේ. එක් එක් ඡන්ද අපේක්ෂකයාගේ ලකුණ අලවා ඇති බන්දේසියක් හෝ පෙට්ටියක් ඡන්ද පත්‍රිකා තේරීම් භාරව සිටින නිලධාරීන්ට ලබාදෙනු ලැබේ. සහකාර තේරීම් භාර නිලධාරියකු ඡන්ද පත්‍රිකා බන්දේසියෙන් එකතු කොට මේසය මැදට බහාලනු ලැබේ. එක් එක් ඡන්ද පත්‍රිකා ප්‍රකාශ කොට ඇති ඡන්ද අපේක්ෂකයාගේ ලකුණ හඳුනාගෙන ඡන්ද පත්‍රිකා නිවැරදි බන්දේසියේ හෝ පෙට්ටියේ දැමීම තෝරන නිලධාරීන්ගෙන් අපේක්ෂිත කාර්යය වේ. බන්දේසිවල හෝ පෙට්ටිවල එකතු වන තෝරන ලද ඡන්ද පත්‍රිකා ඒවා තෝරන නිලධාරීන් අසුන් ගෙන සිටින මේසයේ ඊළඟ අදියරය වෙත යවනු ලැබේ. එහි සිටින්නෝ ගණන් ගන්නා නිලධාරීහුය. ඔවුහු එක් එක් ඡන්ද අපේක්ෂකයාගේ ඡන්ද පත්‍රිකා වෙන් වෙන් වශයෙන් ගෙන 50 මිටිවලට බඳිති. පනහේ මිටි ගණන් කොට මිටි බැඳෙන විට එම මිටි හරි වැරදි බලන නිලධාරීන් අසුන් ගෙන සිටි මේසයට යවනු ලැබේ.
රබර් පටි ඉවත් කොට ඒ මිටිවලට තිබෙන පත්‍රිකා එක ලකුණකට පමණක් දෙන ලද ඡන්දද යන්න පරීක්ෂා කොට නැවත ඒවා 50 මිටිවලට ඔවුන් බැඳිය යුතුය. ඔවුන් එක මිටියක් රබර් පටි දෙකකින් බැඳිය යුතුය. ඉන්පසු ඒවා ඊළඟ අදියරේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරී කණ්ඩායම වෙත යැවිය යුතුය. ලකුණු කර ඇති ඡන්දවල මෙන්ම බැඳ තිබෙන ඡන්ද මිටියේ ඇති සංඛ්‍යාවේ නිරවද්‍යතාව පරීක්ෂා කර බැලීමෙන් පසු ඔවුන් තුන්වැනි රබර් පටියකින් එම මිටි බැඳිය යුතුය. ඉන්පසු ඒ මිටි සහකාර තේරීම් භාර නිලධාරියාගේ මේසය මත තිබෙන බන්දේසිවලට හා පෙට්ටිවලට බහාලිය යුතුය. මහ බඳුනේ තිබෙන සියලු ඡන්ද පත්‍රිකා මේ ආකාරයට නිලධාරි කණ්ඩායම් පහ අතරින් ගොස් ගණන් කිරීමේ නිලධාරියාගේ මේසය වෙත එන තෙක් මේ ක්‍රියාදාමය දිගින් දිගටම සිදුවන්නේය. ශාලාවේ ගණන් කරන ලද සියලු ඡන්ද පත්‍රිකා ගණන් කිරීමේ නිලධාරියාගේ මේසය මත තැබීමෙන් පසු එක් එක් අපේක්ෂකයා ලබාගත් ඡන්ද පිළිබඳ වාර්තාවක් ඔහු සකස් කළ යුතුය.
පිටපත් 06කින් යුතු මෙම වාර්තාවට දේශපාලන පක්ෂ නියෝජිතයන් අත්සන් තැබිය යුතු අතර ගණන් කිරීමේ නිලධාරියාද අත්සන් තැබීමෙන් පසු ශාලාව භාර සහකාර තේරීම් භාර නිලධාරියා ද ඊට සිය අත්සන තැබිය යුතුය. ගණන් කිරීමේ තුන්වැනි අදියර සමන්විත වන්නේ එකම අපේක්ෂකයකුවත් 50%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් නොලබා වැඩිපුර ඡන්ද ලබාගත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පමණක් ඉතිරි කොට අනෙක් අපේක්ෂකයන් ඉවත් කොට ඔවුන්ගේ දෙවැනි මනාපය ගණන් කිරීමක් අවශ්‍ය වන අවස්ථාවලදී පමණය. ඒ නිසා ගණන් කිරීමේ ක්‍රියාවලියට අදාළ තුන්වැනි අදියරය මෙම ජනාධිපතිවරණයට අදාළ වූයේ නැත.
මූලස්ථානයේ කාර්ය සංවිධානය
ගණන් කිරීමේ නිලධාරියා සිය වාර්තාව සකස් කර අවසන් කොට එයට අත්සන් තැබිය යුතු අයගෙන් අත්සන් ලබා ගැනීමෙන් පසු වාර්තාවේ කාබන් පිටපත් ගණන් කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණයට සම්බන්ධ වූ අපේක්ෂකයන්ගේ නියෝජිතයන් වෙතද භාරදෙනු ලැබේ. එහි එක් පිටපතක් ශාලාවේ දැන්වීම් ලෑල්ලක ද ඇලවිය යුතුය. වාර්තාවේ තවත් පිටපතක් තේරීම් භාර නිලධාරියා වෙත භාරදිය යුතුය. ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම පිළිබඳ පනතේ 64 වැනි වගන්තිය අනුව මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යා යුතුය. ඊට ඇතුළුවීමේ අයිතිය ඇත්තේ කාර්ය මණ්ඩල නිලධාරීන්ට, ඡන්ද අපේක්ෂකයන්ට හා ඔවුන්ගේ නියෝජිතයන්ට පමණය. මෙම මධ්‍යස්ථානයේ දුරකථන අංක එකක් හෝ දෙකක් සමග එක් එක් දිස්ත්‍රික්කයෙන් ප්‍රතිඵල ලබාගැනීමේ වගකීම පැවරූ නිලධාරීන්ගේ නම්ද සියලුම තේරීම් භාර නිලධාරීන් වෙත මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දී තිබිය යුතුය.
දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල මූලස්ථානයට දැනුම් දිය යුත්තේද තේරීම් භාර නිලධාරියා හෝ ඔහු විසින් කල්තියා නම් කොට දැනුම් දෙන ලද නිලධාරියකු විසින් ඒ වෙනුවෙන් මූලස්ථානය නම්කර ඇති නිලධාරියා වෙත පමණය. (1) තේරීම් භාර නිලධාරියා විසින්ම හෝ ඔහු නම් කළ නිලධාරියා ප්‍රතිඵලය දුරකථනයෙන් මූලස්ථානයේ නියමිත නිලධාරියාට දැනුම් දිය යුතුය. (2) මූලස්ථානයේ සිටින කොමසාරිස්වරයා විසින් හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් පෞද්ගලිකව තේරීම් භාර නිලධාරියාට කතා කොට ලබාදෙන ලද ප්‍රතිඵලය යළි තහවුරු කරගත යුතුය. (3) දුරකථනයයෙන් වාචිකව දැනුම් දෙනවාට අතිරේකව තේරීම් භාර නිලධාරියාගේ ලිඛිත වාර්තාවේ පිටපතක් ද පොලිස් මූලස්ථානයට සම්ප්‍රේෂණය කිරීම මගින් හෝ ෆැක්ස් මගින් තේරීම් භාර නිලධාරියා මූලස්ථානයට එවිය යුතුය. ක්‍රම ගණනාවකින් සංඛ්‍යා ලබාගැනීමේ අරමුණ වරදක් සිදුවීම වැළකීමය.
මූලස්ථානයේ ප්‍රතිඵල ලබාගැනීම සඳහා යොදා තිබෙන නිලධාරීන් ඔවුන් ලබාගන්නා ප්‍රතිඵල පිළිබඳ විස්තර ඔවුන්ට ලබාදී තිබෙන මුද්‍රිත ආකෘති පත්‍රයේ පිරවිය යුතුය. එය මුල් පිටපත සහිත කාබන් පිටපත් දෙකකින් යුතුය. මෙම පිටපත් තුනෙන් මුල් පිටපත ප්‍රධාන ගණන් පත්‍රිකාව පවත්වාගෙන යන නිලධාරියාට භාරදිය යුතුය. අනෙක් පිටපත් දෙකෙන් එකක් වචනයෙන් සහ ඉලක්කමෙන් දත්ත සැකසූ ලේඛන භාර නිලධාරියාටද, ඉතිරි පිටපත පරිගණක ඒකකයටද ලබාදිය යුතුය. තම දිස්ත්‍රික්කයේ අන්තිම ගණන් කිරීමේ ප්‍රකාශය ලැබුණු වහාම තේරීම් භාර නිලධාරියා විසින් මුළු මැතිවරණ කොට්ඨාසයේම (දිස්ත්‍රික්කයේ) අවසන් සංඛ්‍යාව ඇතුළත් වාර්තාව සකස් කළ යුතුය. එම ප්‍රකාශයේ ඇතුළත් විස්තරද මූලස්ථානය වෙත දුරකථනයෙන් දැනුම් දෙනවාට අතිරේකව එම වාර්තාවේ පිටපතද මූලස්ථානය වෙත යැවිය යුතුය.
පාරදෘශ්‍යභාවය
මූලස්ථානයේ තිබෙන පරිගණක අංශය නිලධාරීන් 20 දෙනකුගෙන් පමණ සමන්විත වන අතර එම ඒකකය වෙත භාරවී තිබෙන ප්‍රධාන කාර්ය වන්නේ ආසන මට්ටමෙන්ද, නැවත දිස්ත්‍රික් මට්ටමෙන්ද ලැබෙන තොරතුරු පරිගණක ගත කොට මුළු රට සඳහා සමුච්ච ප්‍රතිඵලය සකස් කිරීමය. ගණන් කිරීමේ ක්‍රියාවලියේදී ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල සිට මූලස්ථානය දක්වා වන හැම තැනකම සිදුවන කටයුතු අපේක්ෂකයන්ගේ නියෝජිතයන් ඉදිරියේ සිදුවන ක්‍රියාවලියක් බව ඉන් පෙනීයයි. මෙම ක්‍රියාවලියේදී කොතැන හෝ වරදක් සිදුවී ඇත්නම් එය හඳුනා ගැනීම තරග කරන අපේක්ෂකයන්ට හා ඔවුන්ගේ නියෝජිතයන්ට අපහසු නැත. අවසාන ප්‍රතිඵලය නිල වශයෙන් ප්‍රකාශ කරන්නට පෙර එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිටින අපේක්ෂකයන්ගේ නියෝජිතයන්ට දැනගන්නට ලැබෙන්නේය. ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ ඔවුන් ඉදිරිපිටය. ගණන් කිරීම අවසන්වීමෙන් පසු තේරීම් භාර නිලධාරියා වෙත යවන වාර්තාවෙන් පිටපතක් ඔවුන්ටද ලැබෙන්නේය.
සාමාන්‍යයෙන් ඔවුන් විසින් ඒ තොරතුරු ප්‍රාදේශීය මට්ටමේ නායකයන් වෙතත් දැනුම් දෙනු ලැබේ. ඒ අනුව නිල වශයෙන් ප්‍රතිඵල ප්‍රකාශ කරන්නට පෙර ඒ ඒ ආසනවල මැතිවරණ ප්‍රතිඵලත් අවසානයේදී දිස්ත්‍රික්ක ප්‍රතිඵලත් ඔවුන්ට දැනගන්නට ලැබෙන්නේය. ආසන මට්ටමෙන් පළ කෙරෙන නිල ප්‍රතිඵලයේ වරදක් ඇතොත් ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ කෙරෙන ගණන් කිරීමේ ක්‍රියාවලියට සහභාගි වූ අපේක්ෂකයන්ගේ නියෝජිතයන්ට ඒ වරද වහාම දැකගත හැකිය. ගණන් ගැනීමේ මධ්‍යස්ථානවලින් ලැබුණු ප්‍රතිඵලය හා මූලස්ථානයෙන් ප්‍රකාශ කෙරෙන ප්‍රතිඵලය අතර දෝෂයක් ඇතොත් ජනාධිපතිවරණයට සහභාගි වූ දේශපාලන පක්ෂයකට එම වරද ඔප්පු කිරීමට පැය ගණනක් මිස, මාස ගණනක් අවශ්‍ය වන්නේ නැත. ඡන්ද මධ්‍යස්ථානවලින් ලැබී තිබෙන ලේඛනවල එම තොරතුරු හා නිල ප්‍රතිඵලය අතර ඇති වෙනස්කම් වහාම ජනතාවට ද මැතිවරණ කොමසාරිස්වරයාටද පෙන්වා දිය හැකිය.
එහෙත් මැතිවරණ ප්‍රතිඵලය පරිගණක නිර්මාණයක් බව කියන දේශපාලන නායකයන් මෙතෙක් අනම් මනම් කතා කරමින් සිටිනවා විනා බරපතළ දෝෂයක් තිබුණේ නම් ගණන් ගැනීමේ මධ්‍යස්ථානවලින් ලැබෙන වාර්තා පදනම් කොටගෙන අවසාන ප්‍රතිඵලයේ දෝෂ ඇති බව ඔප්පු කර නැත. බොරුවක් සිදුවී ඇත්නම් දේශපාලකයන්ට පමණක් නොව, ජනමාධ්‍යවේදීන්ටද එය පහසුවෙන් ඔප්පු කළ හැකිය. අවශ්‍ය වන්නේ සුදුසු නියැදියක් සඳහා ඡන්ද ගණන් ගැනීමේ මධ්‍යස්ථානවලින් ආසන මට්ටමෙන් නිකුත් කළ ප්‍රතිඵල ලේඛන කිසියම් ප්‍රමාණයක් සොයාගෙන එහි එන සංඛ්‍යා හා ප්‍රකාශ කර තිබෙන අතර සංඛ්‍යා අතර වෙනසක් ඇතිද යන්න සොයා බැලීම පමණය.
පෙනෙන ඇත්ත
මම මේ ගැන පසුගිය සිකුරාදා රාවය කර්තෘ මණ්ඩලයේ වැඩ බලන ප්‍රධානියා ලෙස ක්‍රියා කරන ජනරංජන සමග කතා කළෙමි. ඔහු ඒ ගැන දැනටමත් කරුණු සොයා බලමින් සිටින බව කීවේය. කැස්බෑව ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක නිරෝෂන් පාදුක්ක ගණන් ගැනීමේ මධ්‍යස්ථානය නිකුත් කරන ලද ප්‍රතිඵල ලේඛනයේ ප්‍රතිඵලය, ප්‍රකාශ කර තිබෙන නිල ප්‍රතිඵලයට සමාන බව ප්‍රකාශ කර ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවද ඔහු කීවේය. මොරටුව තත්ත්වය ගැන එම ආසනයේ එජාප සංවිධායක ශ්‍රීනාත් පෙරේරා ගණන් ගැනීමේ මධ්‍යස්ථානවලින් ලැබී තිබෙන වාර්තාවලට ඇතුළත් ප්‍රතිඵලය හා නිල වශයෙන් ප්‍රකාශ කර ඇති ප්‍රතිඵලය සමාන බව ඔහු ප්‍රකාශ කර ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවද කීවේය. එහෙත් බණ්ඩාරගම ආසනයේ ප්‍රශ්නයක් තිබෙන බවත්, ඒ ගැන සොයා බලන බවත් කීවේය. අනුරාධපුරයේ දේශපාලකයෙක් ඡන්ද ගණන් ගැනීමේ මධ්‍යස්ථානයකට රාත්‍රී කාලයේ කඩා වැදී පිස්සුවක් නටා ඇති බව මැතිවරණ දිනයට පසුදින අලුයම් කාලයේදී මට අනුරාධපුරයේ සිටින මිත්‍රයකුගෙන් අසන්නට ලැබුණි.
ඇත්තටම එහි කුමක්වීද යන්න ඔහුද නොදැන සිටියේය. වෙනත් ඡන්ද මධ්‍යස්ථාන හතර පහකද පහරදීම් සිදුවී ඇති බව කියනු ලැබේ. ප්‍රතිපක්ෂ අපේක්ෂකයාගේ ගොඩ ලොකු බව පෙනෙන විට ඒ නිසා ඇතිවන කලකිරීම නිසා ගණන් කිරීමේ මධ්‍යස්ථානය අතහැර යන පක්ෂ නියෝජිතයෝ ද සිටිති. එහෙත් ගණන් ගැනීමේ මධ්‍යස්ථානයකදී ප්‍රතිපක්ෂ නියෝජිතයන්ට පහර එලවා ගන්නා අවස්ථාවකදී පවා එහි සිටින ඉතිරි වී සිටින නියෝජිතයන්ට වාසිදායක ප්‍රතිඵලයක් ලබාගැනීම සරල හෝ පහසු නැත. ගණන් ගැනීමේ මධ්‍යස්ථානයක රාජ්‍ය නිලධාරීහු 80ක් පමණ සිටිති. දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිපදෙනකුට ප්‍රතිඵලය වෙනස් කරවා ගැනීමට ඒ නිලධාරීන් සියලුදෙනා කැමති කරවා ගැනීමට පුළුවන්කමක් ඇතැ”යි සිතිය නොහැකිය. අනෙක් අතට එවැනි සිදුවීමක් ඇතිවූ විට හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමේ බලයක් එම නිලධාරීන්ට නැත. ඔවුන් තේරීම් භාර නිලධාරියාගෙන්ද, තේරීම් භාර නිලධාරියා අවශ්‍ය අවස්ථාවලදී මැතිවරණ කොමසාරිස්වරයාගෙන්ද අවශ්‍ය උපදෙස් ලබාගත යුතුය.
ගණන් ගැනීමේ මධ්‍යස්ථානයේ තිබෙන ඡන්ද පත්‍රිකා සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා නිසා ඒවා වෙනස් කළ නොහැකිය. සිදුවී තිබෙන සමහර ගැටුම් ගණන් ගැනීමේ මධ්‍යස්ථානයට එන දේශපාලකයන් අතර පවත්නා කෝන්තර නිසා ඇතිවන ඒවා බවද පෙනෙන්නට තිබේ. එජාපයේ කුලියාපිටිය ආසනයේ සංවිධායක අකිල විරාජ්ට ජොන්ස්ටන් ප්‍රනාන්දු හෝ ඔහුගේ ආධාරකරුවන් පහර දෙන ලද බව කියනු ලැබේ. ඒ නිසා ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියේ මූලික වෙනසක් ඇතිවූ බවක් පෙනෙන්නට නැත. මොන මොන මට්ටමෙන් හෝ එවැනි සිදුවීම් සිදුවූ ඡන්ද ගණන් ගැනීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 10ක් ලෙස සලකා ඒ මගින් විරුද්ධ පක්ෂයට අවාසියක් සිදුවී ඇතැ”යි සැලකුවද අවසාන ප්‍රතිඵලය වෙනස් කිරීමට තරම් එය ප්‍රබල නොවන බවද කිව යුතුය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය විශ්වාස කළ නොහැකි බව මගේ හිතවතෙක් මට කීවේය. මා සජිත් ප්‍රේමදාස මහතාට කතා කොට හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත ප්‍රතිඵලය ගැන ඔහු දරන මතය කුමක්දැයි විමසුවෙමි.
මැතිවරණයට පෙර දින දක්වා නොකඩවා පීඩාකාරී සිදුවීම් සිදුවුවද මැතිවරණ දිනයේ කිසිවක් සිදු නොවූ බවද, මහා පරිමාණයේ හොර ඡන්ද දැමීමක් සිදුවූයේයැ”යි කිව නොහැකි බවද, ඡන්ද ගණන් ගැනීමේ මධ්‍යස්ථානවලින් පළවී තිබෙන ප්‍රතිඵල හා නිකුත් කර තිබෙන ප්‍රතිඵල අතර වෙනසක් නැති බවද, මොන මොන හේතු නිසා හෝ දිස්ත්‍රික්කයේ මහජනයා ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂව ඡන්දය දී තිබෙන බවද ඔහු කීවේය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ මිත්‍රයකු මට කීවේ ඡන්ද පෙට්ටි මාරු කිරීමක් සිදුවන්නේදැ”යි දැනගැනීම සඳහා කබීර් හෂීම් මහතා මාවනැල්ල ආසනයේ හැම ඡන්ද පෙට්ටියකටම රුපියල් 10 නෝට්ටුවක් ඇතුළත් කිරීම සඳහා ක්‍රියාකර තිබෙන බවත් ඡන්ද ගණන් ගැනීම සඳහා පෙට්ටි විවෘත කළ අවස්ථාවේදී ඒ හැම පෙට්ටියකින්ම එම නෝට්ටු හමුවී ඇති බවත්ය. ඔහු කීවේ කබීර් හෂීම් මහතාගේ මතය අනුව මාවනැල්ල ආසනයේ ප්‍රතිඵල පමණක් නොව, කෑගල්ල දිස්ත්‍රික්කයේ අනෙක් ප්‍රතිඵලයද ඡන්ද ගණන් ගැනීමේ මධ්‍යස්ථාන මගින් පළ කර තිබෙන ප්‍රතිඵලවලට සමාන බවය.
මාතර දිස්ත්‍රික්කයේ එජාප සංවිධායක වන බුද්ධික පතිරණගේ මාමා හා කරන ලද දුරකථන කතාවකදී ඔහු කීවේද දිස්ත්‍රික්කයේ ගණන් ගැනීමේ මධ්‍යස්ථානවලින් ලැබුණු වාර්තාවල ප්‍රතිඵල හා ප්‍රකාශිත ප්‍රතිඵල සමාන වන බවය. මහනුවර දිස්ත්‍රික්කයේ තත්ත්වය දැනගැනීම සඳහා මම එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ලේකම්ට කතා කළෙමි. මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ආසනවලට අදාළ ලේඛන තමා ළඟ නැති බවත්, එහෙත් යටිනුවර ආසනයට අදාළව ගණන් ගැනීමේ මධ්‍යස්ථානය නිකුත් කළ ලේඛන තමා ළඟ තිබෙන බවත් ප්‍රකාශිත ප්‍රතිඵලය හා එම ලේඛනවල එන තොරතුරු අතර වෙනසක් නැති බවත් ඔහු කීවේය.
ඇත්ත සහ බොරුව
මෙම ජනාධිපතිවරණයේ හැම දෙයක්ම සීයට සීයක්ම නිවැරදි ලෙස සිදුනූනා විය හැකිය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හා ඔහුගේ පාලනයට එරෙහිව කෙරෙන ඉතා බලවත් හා රුදුරු විවේචනයන් තිබියදී සිංහල ජනතාව අතර ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂව මහා පරිමාණයේ නැඹුරුවක් තිබූ බව ප්‍රතිඵලවලින් පැහැදිලිය. සමහරවිට ජනතාව අතර තමන්ට පක්ෂපාතව එතරම් විශාල නැඹුරුවක් තිබුණු බව ජනාධිපතිවරයා පවා නොදැන සිටියාද විය හැකිය. විරුද්ධ පක්ෂයද ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂපාතව ජනතාව අතර එවැනි මහා නැඹුරුවක් තිබෙන බව දැන නොසිටියේය. විරුද්ධ පක්ෂය ඥානාන්විත ව්‍යාපාරයක් නම් කළයුතුව තිබෙන්නේ ජනතාවගේ අව්‍යාජ කැමැත්ත බොරු කරන්නට කාලය ගත කරනවා වෙනුවට තමන් ඉදිරිපත් කළ සියලු විවේචන තිබියදීත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතව මෙවැනි විශාල ජන නැඹුරුවක් ඇතිවූයේ ඇයිද යන ප්‍රශ්නයට හරි පිළිතුරක් සොයා ගැනීමය.
ඇතිවී තිබෙන සෝදාපාළුව වළකා ගැනීමට අවශ්‍ය ශක්තිමත් ඉදිරි දැක්මක් සොයාගත හැකිවනු ඇත්තේ එවිටය. ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීමේ කාර්ය සංවිධානයට ආවේණික දුර්වලතා තිබිය හැකි වුවත් අපට ආඩම්බර විය හැකි තරමේ කාර්ය සංවිධානයක් එය සතුව තිබෙන බවද කිව යුතුය. විශේෂයෙන්ම ඡන්ද ගණන් කිරීමේ හා ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය හා ඒ සඳහා යොදා තිබෙන කාර්ය සංවිධානය පිළිගත හැකි ප්‍රශස්ත මට්ටමක පවතී. ඒ ගැන දැන් සිටින මැතිවරණ කොමසාරිස්වරයාටද, හිටපු මැතිවරණ කොමසාරිස්වරුන්ටද රටේ ප්‍රණාමය හිමිවිය යුතුය. ඡන්දය පාවිච්චි කරන්නන් සඳහා හැඳුනුම්පත අනිවාර්ය කිරීමෙන් හා විදේශ රටවල රැකියා කරන ඡන්දදායකයන් සඳහා ගමන් බලපත්‍රය අනිවාර්ය කිරීමෙන් හොර ඡන්ද දැමීමට තිබෙන ඉඩ විශාල ප්‍රමාණයකට අවම කර තිබෙන බවද පෙනේ.
Editor’s Note
Ivan names the acting head of Ravaya’s editorial board as Janaranjana. The UNP organisers cited are Niroshan Padukka (Kesbewa) and Srinath Perera (Moratuwa). The article reports an unresolved query over Bandaragama, a night-time disturbance at an Anuradhapura counting centre, and assaults at four or five other centres, which Ivan judges insufficient to alter the outcome.