ජනාධිපතිවරණය ජනතාව භේද කරන තරගයක් නොවිය යුතුය

January 10, 2010
Publication:
Government figures have attacked the Tamil National Alliance's decision to back Sarath Fonseka, one claiming it could revive terrorism. The alliance did serve the LTTE's programme, but out of fear rather than conviction; with the LTTE defeated its representatives can act freely, and its local councillors have sung the national anthem. Backing one of the two main candidates is better than a boycott or a separate candidate. Fonseka, once a hardline Sinhala nationalist, has drawn wide minority support. The Vaddukoddai declaration ruined the Tamil people as much as the country, and the LTTE's defeat opens space for a united society of equal citizens. Both candidates have a duty to make this an election that moves the country forward rather than one that sows division.

දෙමළ සන්ධානය ජෙනරාල්ට සහයෝගය ලබාදීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ඇතැම් දේශපාලනඥයන්ගේ ද්වේශසහගත චෝදනාවන්ට හේතුවී තිබෙන බව පෙනේ. එක් ප්‍රකාශකයකු කියා ඇත්තේ මෙම එකතුව නිසා නැවත ත්‍රස්තවාදය හිස ඔසවන තත්ත්වයක් ඇතිවිය හැකි බවය. එල්ටීටීඊ ආධිපත්‍යය පැවති යුගයේ දෙමළ සන්ධානය එල්ටීටීඊ වැඩපිළිවෙල අනුමත කරන ඔවුන්ට සහාය දෙන ව්‍යාපාරයක් ලෙස පැවති බව සත්‍යයකි. එසේ කරන්නට ඔවුන්ට සිදුවී තිබුණේ එල්ටීටීඊය කෙරෙහි පැවති බිය නිසා මිස ඔවුන් එල්ටීටීඊයට අවංකවම කැමති වූ නිසා නොවේ. එල්ටීටීඊයේ පරාජයත් සමග දෙමළ සන්ධානයේ නියෝජිතයෝ නිදහසේ සිතා මතා ක්‍රියාකරන තත්ත්වයකට පත්වූ අතර දෙමළ සන්ධානයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දිවුරුම් දෙන උත්සවයකදී ජාතික ගීතය ගායනා කිරීම මගින් තමන් සිංහල වර්ගයා සමග එක්ව වැඩකිරීමට ඇති කැමැත්ත සංකේතාත්මක ආකාරයෙන් පෙන්නුම් කළේය.

ආරම්භයේ දෙමළ සන්ධාන නායකයන්ගේ වැඩි කැමැත්තක් තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මිස විපක්ෂයට නොවේ. එහෙත් මොන මොන හේතු නිසා හෝ මෙම ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ආධාර කරන ප්‍රතිපත්තියක් වෙනුවට ජෙනරාල් ෆොන්සේකාට ආධාර කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමට දෙමළ සන්ධානය තීරණය කර තිබේ. ඒ තීරණය කෙරෙහි බලපෑ හේතු විවිධ විය හැකිය. සමහරවිට ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරියේ යහපත් හෝ සුඛනම්‍ය ප්‍රවේශයක් අනුගමනය කිරීමට ජනාධිපතිවරයා අසමත් වූවා විය හැකිය. එසේ නැතහොත් ඔවුන් ඉල්ලා සිටින දේවලට එකඟවීම රටේ යහපතට හේතු නොවේයැ”යි විශ්වාස කිරීම නිසාද එසේ කළා විය හැකිය. ජනාධිපතිවරණයේදී ජෙනරාල් ෆොන්සේකාට ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ගනු ලැබූ තීන්දුව කෙරෙහි බලපෑ හේතු මොනවා වුවත් ඡන්ද වර්ජනය කරන ප්‍රවේශයකට හෝ තමන්ගේ නියෝජිතයකු තරග කිරීමට ඉදිරිපත් කරන ප්‍රවේශයකට වඩා ප්‍රධාන ධාරාවේ සිටින බලවේගයන් දෙකෙන් එකකට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කිරීම යහපත්ය.

අතීතයේදී ජෙනරාල් ෆොන්සේකාද මෙම විෂයේදී පෙනී සිටියේ දැඩි සිංහල මතධාරී පුද්ගලයකු ලෙසය. එහෙත් මේ වන විට ඔහු සුළු ජාතික දේශපාලන කණ්ඩායම් විශාල ප්‍රමාණයක සහාය දිනාගත් පුද්ගලයකු බවට පත්ව සිටින්නේය. එයද යහපත් ප්‍රවේශයක් ලෙස සැලකිය හැකිය. දෙමළ දේශපාලන පක්ෂය මෙම මොහොතේද ජනතාව අතර පවතින ජාතිවාදී හැඟීම් තුනී කිරීමට හේතුවන ප්‍රවේශයක පිහිටා ක්‍රියාකිරීමේ වැදගත්කම තේරුම් ගත යුතුය. වඩුක්කොඩෙයි ප්‍රකාශනය බෙදුම්වාදී ව්‍යාපාරයක් ඇති කිරීමට හේතුවී රට කෙරෙහි පමණක් නොව දෙමළ ජනතාව කෙරෙහිද අතිවිශාල විනාශයක් ඇති කළේය. එල්ටීටීඊයේ පරාජය බෙදුම්වාදී හැඟීම් දුරැලා සමාන අයිතිවාසිකම් ඇති වාර්ගිකයන්ගෙන් සමන්විත එක්සත් ශ්‍රී ලාංකික සමාජයක් ඇති කිරීමට හොඳ අවකාශයක් ලබාදී තිබෙන අතර එම අවසානය ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීම සිංහල නායකයන්ගේ සේ ම දෙමළ හා අනෙකුත් සුළු වර්ග නායකයන්ගේද යුතුකම හා වගකීම වන බව කිවයුතුය.

මෙම ජනාධිපතිවරණය භේද වපුරා රට ආපස්සට ගෙනයන ජනාධිපතිවරණයක් බවට පත් නොකොට ජනතාව සටන් කොට රට ඉදිරියට ගෙනයන ජනාධිපතිවරණයක් බවට පත්කිරීම ප්‍රධාන තරග කරුවන් දෙදෙනාගේ යුතුකම හා වගකීම වේ. වර්ග වශයෙන්, කුල වශයෙන්, ආගම් වශයෙන් හෝ පක්ෂ වශයෙන් භේදවී කුලල් කාගන්නා ජනතාවක් සහිත රටකට සාර්ථක ඉදිරි ගමනක් යා නොහැකිය. දෘෂ්ටිමය වශයෙන් වෙනස්කම් තිබියදීත් එක රටක ජීවත් වන සමගිසම්පන්න ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් ක්‍රියාකිරීමේ හැකියාව අපට තිබිය යුතුය. මෙම ජනාධිපතිවරණයේදී වඩාත්ම සාකච්ඡාවට ලක්විය යුතුව තිබෙන්නේ රටක් වශයෙන් අප මුහුණ දී තිබෙන ගැටලු ජයගනිමින් ලෝකයේ විශ්වාසයට, ගෞරවයට හා ආදරයට ලක්වන යහපත් හා දියුණු රටක් ඇති කරන්නේ කෙසේද යන ප්‍රශ්නයයි.