ජනාධිපති සටන අවසන් වීමට තව බොහෝ කල් නැත. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර කෙරෙන සටන තියුණුය. මේ තරගය අවසන්වන්නේ එක් අයකු ජයගනිමින් අනෙකා පරාජයවීමෙනි. සමහර කී‍්‍රඩාවල මෙන් අහම්බෙන් හෝ ජය පරාජයෙන් තොර තත්ත්වයක් ඇතිවන්නේ නැත. මෙම දේශපාලන ක්‍රමය සකස් වී තිබෙන්නේ රාජ්‍ය බලය සඳහා කෙරෙන තරගය ප්රතිපක්ෂ දෙක අතර වෛරයෙන් හා ක්‍රෝධයෙන් කෙරෙන වියරු අරගලයක ස්වරූපයකින් ගලායන ආකාරයටය. සිය පක්ෂ අපේක්ෂකයා විමුක්තිදායක වීරයකු ලෙසද, ප්රතිපක්ෂ අපේක්ෂකයා රටට වින කරන දේශද්‍රෝහියකු ලෙස ද අර්ථවත් කෙරෙන ආකාරයටය. මෙම ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම රට මුහුණදී තිබුණු ලොකුම අභියෝගයක් ලෙස සැලකිය හැකි ප්රභාකරන්ගේ බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද ව්‍යාපාරය පරාජය කිරීම සඳහා තමන් දරන ලද නිල බලයේ ප්‍රමාණයට දායක වූ, ඒ නිසා පොදුවේ මහජනයා ජාතික වීරයන් ලෙස සැලකූ පුද්ගලයන් දෙදෙනෙකි.
එක් අයෙක් සේනාධි නායකයා ද, අනෙකා සේනාපති ද වේ. ප්රභාකරන්ගේ අභියෝගය ඉදිරියේ දෙදෙනාම එක පෙරමුණක සමගියෙන් ක්‍රියා කළෝය. එකල දෙදෙනාම එකිනෙකා කෙරෙහි කතා කළේ මහත් ගෞරවයකිනි. සේනාධිනායක මහින්ද රාජපක්ෂ සිය සේනාපතියා අර්ථකථනය කළේ ලෝකයේ සිටින හොඳම සේනාධිපති වශයෙනි. අනෙක් අතට සේනාධිපති සිය සේනාධි නායකයා විග්රහ කළේ යුද්ධය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නායකත්වය දුන් සේනාධිනායකයා වශයෙනි. දැන් මේ දෙදෙනා එකිනෙකා දෙස බලන්නේ ෙවෛරයෙන් හා ක්‍රෝධයෙනි. දෙදෙනාටම එකිනෙකා පෙනෙන්නේ තක්කඩියකු හා ද්‍රෝහියකු ලෙසය. මීට ටික කලකට පෙර මේ දෙදෙනා ජාතියේ ලොකුම වීරයන් ලෙස සලකා ඔවුන්ට ඔල්වරසන් දුන් ඔවුන්ට බුහුමන් කළ ජනතාවද දෙකට බෙදී අතීතයේදී ප්රභාකරන් දෙස බැලූ තරම් කෝපයකින්, ෙවෙරයකින් හා පිළිකුලකින් යුතුව ප්රතිපක්ෂ නායකයන් දෙස බලන තත්ත්වයක් ගොඩනැගී තිබේ.
ප්රභාකරන් පරාජය කිරීම රටේ ජනතාව සමගි කිරීමට හේතුවී නැත. ඒ වෙනුවට සිදුවී ඇත්තේ රටේ අසමගිය වර්ධනයවීමය. තරග බිමේ සිටින මෙම කණ්ඩායම් දෙකින් එකක් තරගයෙන් පරාජය විය යුතුය. ජයග්‍රාහකයා හා පරාජිතයා අතර වන පරතරය ඉතා විශාල විය නොහැකිය. මෙම තරගය තුළ දැන් මුදාහැරෙමින් තිබෙන වෛරයේ ප්‍රමාණය අනුව පරාජිත කණ්ඩායම් නායකයා පමණක් නොව ඔහුගේ ප්‍රධාන පෙළේ අනුගාමිකයන් ද පළිගැනීමකට ලක්වීම නොවැළැක්විය හැකිය. එවැනි වටාපිටාවක් තුළ ජයග්‍රාහකයා කවුරුන් වුවත් රටේ ඉදිරි ගමන යහපත් විය හැක්කේ කෙසේද? ජනමාධ්‍යයද මේ තරගයේදී ප්රතිපක්ෂ දෙක අතර පවතිනවෛරයට ගිනි අවුළුවා ඒ මගින් සිය ආදායම් තරකර ගන්නා තත්ත්වයකට පත්ව තිබීම ඛේදජනකය. ජනමාධ්‍යයද රස කරකර ඉදිරියට ගන්නේ වෛරයෙන් හා කෝපයෙන් කෙරෙන කතාබහය. ෙවෙරය හා කෝපය මුල් කරගත් හරසුන් කතා වෙනුවට රටේ ඉදිරි ගමන පිළිබඳව මෙම දෙපක්ෂය දරන අදහස් ශාස්ත්‍රීය සංවාදයක් ලෙස ඉදිරියට ගන්නට ඔවුන් කොහෙත්ම කැමති බවක් පෙනෙන්නට නැත.
ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයක් තුළ බහුපක්ෂ ක්‍රමයක් තිබීම අවශ්‍ය වන්නා සේ ම ආණ්ඩු බලය සඳහා එම පක්ෂ අතර තරගයක් තිබීමද අත්‍යවශ්‍යය. එහෙත් අපේ රටේ පවතින දේශපාලන ක්‍රමය තුළ ඇත්තේ ඒකාධිපති පන්නයේ පක්ෂ ක්රමයකි. ආණ්ඩු බලය සඳහා පක්ෂ අතර තිබෙන තරගයද යහපාලනයක් සඳහා කෙරෙන තරගයකට වඩා රට පාලනය කරනවාට අතිරේකව වස්තුව හරිහම්බ කරගැනීමට කෙරෙන වියරු බලතරගයක් ලෙස හැඩගැසී තිබේ. මෙම දේශපාලන ක්‍රමය සකස් වී තිබෙන්නේද බලයට පත් පක්ෂයකට දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටිය හැකි ආකාරයටය. ආණ්ඩු මාරුවක් සඳහා සාමාන්‍යයෙන් අසාමාන්‍ය තරමේ දීර්ඝ කාලයක් ගතවේ. විරුද්ධ පක්ෂයට ආණ්ඩු පක්ෂයෙන් එල්ල වන කෙණහිලිකම් හා පීඩා කිරීම් මැද බලයට පත්වීම සඳහා දීර්ඝ කාලයක් බලා ඉන්නට විරුද්ධ පක්ෂයට සිදුවන්නේය. මෙම ක්‍රමය ඇති කිරීමෙන් පසු පළමු ආණ්ඩු මාරුව සඳහා අවුරුදු 17ක් ගතවිය.
පොදු පෙරමුණ බලයට පත්වීමෙන් පසු අද දක්වා එම කණ්ඩායම එක දිගට ආණ්ඩු බලයේ සිටි කාලය අවුරුදු 16කි. මෙම ජනාධිපතිවරණයේදී ආණ්ඩු මාරුවක් සිදුනොවේ නම් ඔවුන් එක දිගට බලයේ සිටින කාලය දශක දෙකකට වැඩිවිය හැකිය. එකම පක්ෂයක් දීර්ඝ කාලයක් බලයේ සිටින විට පාලක පක්ෂය සමග කල්ලි ගැසී ක්‍රියාකිරීමේ හැකියාව නිලධරතන්ත්‍රයට ලැබෙන්නේය. මැතිවරණවලදී පොලීසිය හා නිලධරතන්ත්‍රය අපක්ෂපාතව ක්‍රියා කරන තත්ත්වයක් ඇති නොවීම කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධකයක් වන්නේද එයයි. පෙර පැවති දේශපාලන ක්‍රමය තුළ හැම වසර 05කට වරක් සාමාන්‍යයෙන් ආණ්ඩු මාරුවක් සිදුවිය. පාලක පක්ෂයක පැවැත්ම දීර්ඝකාලීන නොවීම හේතු කොටගෙන නිලධරතන්ත්‍රය පාලක පක්ෂය සමග කල්ලි ගැසී ක්‍රියාකරන තැනකට යන්නට බියවිය. මෙම දේශපාලන ක්‍රමය සකස් කර තිබෙන්නේ බලයට පත්වන පාලක පක්ෂයට රට පාලනය කරනවාට අතිරේකව රාජ්‍ය ගනුදෙනුවලින් අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ අයිතියද ලැබෙන ආකාරයටය.
දේශපාලන බලය සඳහා කෙරෙන තරගය සිත්පිත් නැති අරගලයක් බවට පත්ව තිබෙන්නේ ඒ නිසාය. බලයේ සිටින පාලක පක්ෂය තමන්ට තිබෙන බලය අත්හරින්නට කැමති නැතිවා සේ ම දීර්ඝ කාලයක් පාලන බලයෙන් පිටස්තරව සිටින විපක්ෂය ද බලයට පත්වීමට ලැබෙන සුළු හෝ අවස්ථාවක් අත්හරින්නට සූදානම් නැත. ඒ තත්ත්වය බලය සඳහා කෙරෙන අරගලය වියරු අරගලයක් බවට පත්කිරීමට හේතුවී තිබේ. මෙම තත්ත්වය ශිෂ්ටසම්පන්න තත්ත්වයක් ලෙස සැලකිය නොහැකි අතර ශිෂ්ටසම්පන්න තත්ත්වයක් දිනාගැනීමට හැකිවනු ඇත්තේ ද යහපත් දේශපාලන ක්‍රමයක් ඇතිකර ගැනීම සඳහා මහජනයා උනන්දුවෙන් ක්‍රියාකරයි නම් පමණය.