7 වැනි සැකකරුගේ ප්‍රකාශය

The official record of Victor Ivan's statement, made from the dock as the 7th suspect in the main insurrection case before the Criminal Justice Commission, chaired by Chief Justice H.N.G. Fernando. Ivan, then 24, explains why he chose to make a statement rather than give sworn evidence, warning that politicians outside the court were trying to use the accused as puppets. He traces the JVP's growth from Wijeweera's breakaway group of 1965, through its camps and its "military government" thesis, to the arming of 1970–71. He argues that the Attygalle security reports were withheld and that a hidden reactionary force let the movement grow and then provoked the rising. He describes the police killings of young men he had worked with in Galle, and closes by naming those responsible for April 1971: the neo-colonial economic order, the parties that failed to change it, and the JVP leadership, "including me".
By · කර්තෘ / නිකුත් කළේCriminal Justice Commission (Insurgency), Sri Lanka
Date · දිනය05/09/1973
Source · මූලාශ්‍රයOfficial Sinhala record of the CJC sitting of 5 September 1973, 9.10–10.40 a.m., typed by the Commission's reporters (23 pages)
Pages · පිටු23
Language · භාෂාවSinhala

අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා රැස්වීමේ වාර්තාව.
1973.09.05 දින පෙ.‌ව.9.10ට පැවැත්වූ

සහභාගී වූ කොමසාරිස්වරු
ගරු එච්. එන්. ජී. ප්‍රනාන්දු අග්‍ර විනිශ්චයකාරතුමා (සභාපති)
ගරු ඒ. සී. ඒ. අලස් විනිශ්චයකාරතුමා
ගරු වී. ටී. තමෝදරම් විනිශ්චයකාරතුමා.
ගරු එච්. දෙහෙරගොඩ විනිශ්චයකාරතුමා.
ගරු ඩී. විමලරත්න විනිශ්චයකාරතුමා.

[5 වැනි සැකකරු සුනන්ද දේශප්‍රිය මහතාගේ ආරම්භක ප්‍රකාශය මෙහි ඇතුළත් කර නැත; එය මුල් පිටපතේ 1 වන පිටුවේ ඇත. / The opening remarks of the 5th suspect, Sunanda Deshapriya, are omitted here; they appear on page 1 of the scan.]

1973.09.05 · 9.10 – 9.20

7 වැනි සැකකරු වික්ටර් අයිවන් මහතා හෙවත් පොඩි අතුල තම ප්‍රකාශනය කියවීම ආරම්භ කළේය.

සභාපතිතුමා: තමුන්ටත් ඊයේ මතක් කර දුන්නා වගේ මෙතන ප්‍රකාශයක් කිරීමේ අරමුණ තමුන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමයි. මේ දේශපාලන කාරණයක් නිසා, දේශපාලනය ගැන කතා කරන්න සුළු සහනයක් දෙනවා.

7 වැනි සැකකරු

සභාපතිතුමනි, මම කෙළින්ම තමුන්නාන්සේලා ඉදිරිපත් කරපු මූලධර්ම මතයි මම මේ ප්‍රකාශය කරන්නේ. ඒ කියන්නේ කෙළින්ම මගේ නිර්දෝෂී භාවය පැහැදිලි කිරීම සදහායි. මම ප්‍රකාශය කිරීමට බලාපොරොත්තු වන්නේ.

ගරු සභාපතිතුමනි, ගරු කොමසාරිවරුනි, මගේ නිදහස වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට සාක්කි කූඩුවට නැගිය යුතුයි කියන අදහසක් මා තුළ තිබුනා. නමුත් මම මීට ටික කලකට පෙර තීරණය කළා සාක්කි කූඩුවට නොනැග ප්‍රකාශයක් කරනවාය කියා. මම ඉතාමත් සංකීර්ණ ප්‍රශ්න රාශියකට මැදි වී සිටින කෙනෙක්. මගේ නිදහස වෙනුවෙන් සමහර කරුණු පැහැදිලි කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් සාක්කි කූඩුවකට නැගලා දෙන සාක්කියකට වඩා මෙහි සිට කරන ප්‍රකාශයක් නීතිමය අගය බොහෝසෙයින් අඩුයි. ඒ නිසාම මා මේ කරන ප්‍රකාශයේ නීතිමය අගය වැඩි කර ගැනීම සදහා මා සාක්කි කූඩුවට නොනැගීමට ඉවහල් වූ කරුනු මොනවාද යන්න පැහැදිලි කිරීම අවශ්‍යයි. අනික් අතට එවැනි තීරණයක් ගැනීමට ඉවහල් වුනු හේතු හා මේ නඩු විභාගය වෙන් කළහැකි සම්බන්ධතාවයක් පවතිනවා. ඒ නිසාම මම සාක්කි කූඩුවට නගින්නේ නැතිව මෙවැනි ප්‍රකාශයක් කිරීමට මුල් වුන හේතු මොනවාද යන්න ප්‍රථමයෙන්ම මම විස්තර කරනවා.මේ රටේ තරුණ පරපුරෙන් කොටසක් ජ.වි.පෙ. තුළ සංවිධානය වෙලා එහි මෙහෙයවීම යටතේ 1971 අප්‍රේල්වලදී කැරැලි ගැසුවා. කැරැල්ලේ එක් අරමුණක් වූයේ බලය අල්ලා ගැනීමයි. කැරැල්ල අසාර්ථක උනා. මරණයට පත් නොවී, ඉතුරු වූ අය හිරගෙවල්වල කොටු උනා. ඒ චිත්‍රයේ කාටත් පෙනෙන පැත්ත. ඒ ඇරුණු කොට පාලනමය ආයතනයක් වූ පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනිමට අවශ්‍ය වී තිබෙන තවත් සමාජ කොටසක් මේ රටේ ඉන්නවා. කැරැල්ල ඔවුන්ට වාසියක් උනා. ඉන් ඇති වූ ආර්ථික පරිහානිය හා කැරැල්ල මැඩ පැවැත්වීමට යොදා ගනු ලැබූ සමහර ක්‍රම නිසා ජනතාව අතර ඇති වී තිබුනු කලකිරීම ඉතාමත් සූක්ෂම හා දක්ෂ අන්දමින් උපයෝගී කර ගනිමින්, ඒවා සභාගය බලයෙන් පහ කර ගැනීමට යොදා ගනිමින් තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා දේශපාලන හිරකරුවන් හා ඔවුන්ගේ හිත මිත්‍රාදීන් තමන්ගේ දේශපාලන අරමුනු ඉටු කර ගැනීමට අවශ්‍ය සමාජ බලවේගයක් බවට පත් කර ගැනීමට. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව ඔවුනගේ දේශපාලන වේදිකාවක් බවට පත් කර ගන්නට. මා ඉහත විස්තර කරන ලද සමාජ කොටස් තනි එක්සත් පෙරමුණක් උඩු සංවිධානය වී සිටිනවා. එම එක්සත් පෙරමුණට න්‍යෂ්ඨිය වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. තොන්ඩමන් මහතාගේ කම්කරු සංගමය රත්නායක මහතාගේ මහජන එක්සත් පෙරමුණ, බාලාතම්පෝ මහතාගේ සමසමාජ පක්ෂයේ විප්ලවවාදී යන පක්ෂය එම න්‍යෂ්ඨියේ උපාංගයන් බවට පත්වී තිබෙනවා. න්‍යායික බංකොලොත් භාවය නිසාත්, බලයට තිබෙන කෑදරකම නිසාත්, ඔවුන්ට හැකිවෙලා තියෙනවා විජේවීරත් මේ යන්ත්‍රයේ උපාංගයක් බවට පත් කර ගන්නට. මෙන්න මේ සමාජ කොටස් අ.යු.වි.කො. සභාව තමන්ගේ දේශපාලන වේදිකාවක් බවට පත් කර ගැනීමටත්, මේ විත්තිකරුවන් තමන්ට උවමනා අන්දමට නැටවිය හැකි රූකඩ බවට පත් කර ගැනීමටත්, යම්කිසි උත්සාහයක් කරල තියෙනවා. එය කිසියක් ප්‍රමාණයකින් සාර්ථක වෙලා තියෙනවා. අපට චෝදනා පත්‍ර බාර දුන්නට පස්සෙ, මේ එක්සත් පෙරමුණට අයත් සහ අයත් නැති විවිධාකාරයේ නීතීඥ මහතුන් අප හමුවීමට බන්ධනාගාරයට ආවා. ඔවුන් හමුවීමට මටත් අවස්ථා කීපයක්ම ලැබුනා. මේ නිසා මේ අය දුන් අරුම පුදුම උපදෙස්වලට සවන් දීමට මටත් අවස්ථාව ලැබුනා. ඒ කාලෙ මම තීරණය කර ගෙන හිටියා, ඔනෑම කෙනෙකු එනවා නම් හම්බු වෙන්න මම එයාව හම්බු වෙනවා. ඒ අය සමග මෙහි යථාර්ථය විස්තර කිරීමට උත්සාහ කරනවා. ඒ වගේම ඔවුන්ගේ යථාර්ථයක් තේරුම් ගැනීමට එය අවස්ථාව කර ගන්නවා කියලා. මම මීට ඉස්සෙල්ලා කීවා සමහරුන් දෙන ලද අරුම පුදුම උපදෙස්වලට ඇහුන්කන් දෙන්න මට අවස්ථාවක් ලැබුනාය කියලා. ඔවුන් අපට දෙන ලද සාමාන්‍ය නොවන ආකාරයේ උපදෙස් මොනවාද කියලා මේ කොමිෂන් සභාව දැන ගන්න ඔනෑ. මේ කොමිෂන් සභාවට එන්න ඉන්න විත්තිකරුවන් දැනගන්න ඔනෑ. ඔවුන්ගේ දෙමව්පියන් හා ජනතාව ඒවා දැනගන්න ඔනෑ. දක්ෂ නීතීඥයෙක් නොවුවත්, පෙරළිකාර දේශපාලනඥයෙක් වරක් අපට කීවා ලේන්සුවකින් කට බැදගෙන ගිහිල්ලා කොමිෂන් සභාවට පස්ස හරවලා වාඩිවෙලා ඉන්න කියලා. මම මේ යෝජනාව හැම පැත්තකටම හරවලා කල්පනා කරල බැලුවා. ඒ තුලින් මම තාවකාලික නිගමනයකට ආවා. මෙය අපේවත්, සෙසු සිරකරුවන්ගේවත් අභිවෘද්ධිය සදහා ඉදිරිපත් කරන ලද යෝජනාවක් නොවෙයි. නමුත් පටු දේශපාලන අභිමාර්ථයක් ඉටු කර ගැනීම සදහා අප රූකඩ බවට පත් කර ගැනීමට ඉදිරිපත් කරන ලද යෝජනාවක්ය කියලා. ඔවුන්ගේ අරමුණ තේරුම් ගැනීම සදහා මම තවත් උදාහරණ කීපයක් ඉදිරිපත් කරන්නම්. හබරාදූව මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත්, මානව හා ප්‍රජා අයිතිය සුරැකීමේ සංගමය, බාලා තම්පෝ මහතාගේ වෙළද සේවක සංගමය’ එච්.බී. රත්නායක මහතාගේ ලංකා වෘත්තීය සමිති මාධ්‍ය මණ්ඩලය, තොන්ඩමන් මහතාගේ ලංකා කම්කරු සංගමය හා ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ යන සංවිධාන 06ක් එකතුවෙන්

1970 ඔක්තෝම්බර් 18 වැනිදා ආහාර වර්ජන ව්‍යාපාරයක් දියත් කළා. මේ ආහාර වර්ජන ව්‍යාපාරය සම්බන්ධයෙන් අපි අනුගමනය කළ යුත්තේ කිනම් ප්‍රතිපත්තියක්ද යනු තීරණය කිරීම සදහා, එස්.ඩී.බන්ඩාරනායක මහතා හැරුණු විට අනිකුත් සියළුම සැකකරුවන් එකතු වෙලා සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් අපි කිප දෙනෙක් යම්කිසි මතයක හිටියා. පාර්ලිමේන්තුවේ බලයේ සිටින සමගි පෙරමුණ හා ජනතාවත් අතර ප්‍රතිවිරෝධතා තියෙනවා. ඒ වගේම අධිරාජ්‍යවාදීන් හා අයට උපයෝගී සේවාවන් කරන සමහර සමාජ කොටස් හා සමගි පෙරමුණ අතරත් ප්‍රතිවිරෝධතා විසදා ගත යුත්තේ, පසුගිය අය සමග එකතුවීමෙන් හෝ ඔවුනට උවමනා අන්දමට නොවෙයි. ආහාර වර්ජනය හොද අරමුණක් ඉදිරියට දාලා තමන්ගේ දේශපාලන අභිමාර්ථයන් ඉටු කර ගැනීම සදහා ප්‍රතිගාමීන් විසින් සංවිධානය කරන ලද්දක්ය කියලා. මේ මතය වාට්ටුවේ සිටින අනිකුත් අයට ඉදිරිපත් කළාට පස්සේ ඔවුන් එය පිළි නොගෙන බහුතරව ආහාර වර්ජනයට සහයෝගය දීමට තීරණය කළොත්, කට්ටිවාදී ක්‍රියාමාර්ගයක් නොගෙන ඔවුන් සමග නිරාහාරව සිටීමෙන් එම ක්‍රියා මාර්ගය විවේචනය කළ යුතුයි කියනා මතයක අපි සිටියා. මේ පිළිබද කරන ලද සාකච්ඡාවේදී ආහාර වර්ජනයට පක්ෂව වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුනා. ඒ අනුව අපි තිරණය කළා එයට සහභාගීවීමෙන් එය විවේචනය කිරීමට කොහොම නමුත් හබරාදූව මන්ත්‍රීවරයාට ආරංචි වෙලා තියෙනවා ආහාර වර්ජනයට එකග නැති පිරිසක් විත්තිකරුවන් අතර සිටිනවාය කියලා. ඔහු වැලිකඩට පැමිණ අපි දෙදෙනෙක් කැදවා සාකච්ඡා කළා. මම ඔහුට පැහැදිලි කළා සමගි පෙරමුණ පනවන ලද සමහර නීති රීතිවලට එරෙහිව මේ රටේ වාමාංශික වෘත්තීය සමිති ඔනෑ තරම් විරෝධය පළ කළා. නමුත් මේ එකක්වත් ආහාර වර්ජන ව්‍යාපාරයට සම්බන්ධ වෙලා නැහැ. එය සැකයට හේතුවක්. මේ ජනතාව මුලා කිරීම සදහා හොද අරමුණක් ඉදිරියට දාලා ප්‍රතිගාමීන් විසින් ගෙන යන යටිකූට්ටු ව්‍යාපාරයක් කියලා. ප්‍රින්ස් ගුණසේකර මහත්මයා ගත් කටටම කීවේ, ආණ්ඩුවට විරුද්ධව සිටින ඔනෑම බලවේගයක් සමග අපි මේ අවස්ථාවේදී එකතු විය යුතුයි කියලා. මම වැඩිදුරටත් ඔහුගෙන් ඇහුවා, සහෝදරයාගේ අරමුණ මොකක්ද කියලා, ඔහුගේ පිළිතුර වූයේ තිබිය හැකි එකම අරමුණ ආණ්ඩුව පෙරලා දැමීම පමණයි කියලා. ඔහු අවසාන වශයෙන් මට කිව්වා, ආහාර වර්ජනයට විරුද්ධ පිරිසක් මේ විත්තිකරුවන් අතර සිටිනවාය කියලා ආණ්ඩුවට ආරංචි උනොත්, පාර්ලිමේන්තුව පැත්තට ගිහිල්ලා ඉවරයි කියලා. මම මේ අනුව තේරුම් ගත්තා, හබරාදූව මන්ත්‍රී වරයාට අවශ්‍ය වෙලා තියෙනවාය කියලා, ජ.වි.පෙ. ශක්තිමත් ව්‍යාපාරයක් බව හා එය තමන් පිටිපස සිටින බව පෙන්වන්න. ඒ විතරක් නොවෙයි. මේ විපතට පත් අය වෙනුවෙන් සිටින එකම ආරක්ෂකයා තමන් බව ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ට පෙන්වලා, ඒ අයගේ සහයෝගය දිනා ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ එක්සත් පෙරමුණට අයත් උදවිය කදවුරුවල සිටින තරුණ තරුණියන් අතරත්, ඔවුන්ගේ දෙමව්පියන් අතරත්, විශාල ප්‍රචාරයක් ගෙන යනවා නඩු විභාගවලදී කිසිම දෙයක් පිළිගන්න එපාය කියලා. ඔහු මේ සදහා යොදා ගෙන තියෙනවා තර්ක කීපයක්. ඔවුන් කියනවා කොමිෂන් සභාව ඉදිරියේ මොන යම් හෝ වරදක් පිළි ගත්තොත්, ඒ පිළිගැනීම සිදුවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පස් දෙනෙක් ඉදිරියේ නිසා, ආණ්ඩුවට පුළුවන් ඔවුන් ඒ අය ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරලා ඔවුන්ට බරපතල දඩුවම් ලබා දෙන්න. ඒ නිසා කිසිම දෙයක් පිළි ගන්න එපාය කියලා. වැඩිම උනොත් හිරගෙදර ඉන්න වෙන්නේ අවුරුදු එක හමාරයි. ආණ්ඩුව ඉක්මනින් වැටෙනවා. එතකොට සියළු දෙනාම නිදහස් කරනවා කියලා. මේ උපදේශකයන්ට උවමනා වෙලා තියෙන්නේ, තරුණයින්ට යහපතක් කිරීම නම්, අපේ ගෞරවය ඒ අයට හිමි වෙනවා. නමුත් මේ උපදේශකයින්ට අවශ්‍ය වෙලා තියෙනවා, උසාවියේදී තරුණයින් දඩබ්බර ක්‍රියා මාර්ගයක් වෙත යොමු කිරීමට. එක අතකට මේ නිසා සමගි පෙරමුණ තමන්ට අවශ්‍ය විදියට උපහාසයට ලක් කරන්න පුළුවන්. අනෙක් අතට තරුණයින් හා සමගි පෙරමුණ අතර තිබෙන ප්‍රතිවිරෝධතා වර්ධනය කරන්න පුළුවන්. මේ හැම එකක්ම ඔවුන්ගේ දේශපාලන වාසියටත්, තරුණයන්ගේ අවාසියටත් හේතුවක් වෙනවා. එක පැත්තකින් මේ තරුණයින්ට දඩබ්බර වෙන්න කියලා උපදෙස් දෙන ගමන් අනික් පැත්තෙන් මේ අයම උද්ඝෝෂණය කරනවා තරුණයින්ව නිදහස් කරන්න කියලා. ඔවුන් කැමතියි. ඔවුන් උද්ඝෝෂණය කරද්දී, තරුණයින් නිදහස් නොකර ඉන්නවා නම්, මොකද ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට එය වාසි සහගත හේතුවක් වෙනවා. මට මතකයි මේ කොමසාරිස්වරුන් කීප අවස්ථාවකදීම ලයනල්ට සහ උයන්ගොඩටත් අවවාද කළා. නමුත් මගේ අදහස අනුව ඔවුන් අහිංසකයි. මොන යම් හේතුවක් නිසා හෝ ඔවුන් යම්කිසි දේශපාලන බලවේගයකට උවමනා අන්දමට නටන රූකඩ බවට පත් වී තිබෙනවා. තිරය පිටුපස සිටින දේශපාලනඥයින්ගේ අරමුණු හා ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීමට හැකිවනු පිණිස, මම උදාහරණ කීපයක් ගෙන හැර දැක්වූවේ වෙන දෙයක් නිසා නොවෙයි. ඔවුන්ගේ ක්‍රියකාරිත්වය මට මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීමට ඒ කියන්නේ සාක්කි කූඩුවට නොනැගි ප්‍රකාශයක් කිරීමට බල කර තිබෙන නිසා.

1973.09.05 · 9.20 – 9.30

සමහර අය ජනතා විමුක්ති පෙරමුණ තුළ ක්‍රියාකාරීවූ විශේෂ ස්වරූපය නිසාම ඔවුන් එම ස්වරූපය පදනම් කරගෙන තමන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කරනවා. නව පක්ෂය තුළ ක්‍රියාකාරීවූ විශේෂ ස්වරූපය පදනම් කරගෙන ඒ මත ඉදගෙනයි මගේ නිදහසට කරුනු ඉදිරිපත් කිරීමට සිදුවෙලා තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ පසුබිම ගැන නීතිපතිවරයා මේ කොමිෂන් සභාවට විස්තරයක් කළා. ලොකු අතුල විස්තරයක් කලා. ලයනල් බෝපගේ හා උයන්ගොඩ විස්තරයක් කළා. ඒ හැම කෙනෙක්ම ඒ ඒ විස්තරවලදි තමාට වාසි සහගත දෑ ඉස්මතුකර පෙන්වීමටත්, අවාසි සහගත දෑ යටපත් කිරිමටත් උත්සාහ කිරීම ස්වාභාවිකයි. සමහර අවස්ථා වලදී ඔවුන් විසින් යටපත් කරන ලද කරුණු මට වාසි සහගත වෙනවා. ඉස්මතු කරන ලද කරුණු අවාසි සහගත වෙනවා. එවැනි අවස්ථාවලදී අවාසි සහගත දේ යටපත් කිරීමටත්, වාසි සහගතදේ ඉස්මතු කිරීමටත් මට සිදුවෙනවා. එම ක්‍රියාමාර්ගයේ දී සමහර කරුනු විවේචනය කිරීමටත්, තවත් කරුණු ප්‍රශංසාවට ලක් කිරීමටත්, මට සිදුවෙනවා. එවැනි අවස්ථාවලදී මා එසේ ක්‍රියා කර ඇත්තේ අධිකරණ සීමාවන්ට යටත්ව හා නීතියට එකගවන ආකාරයටයි. ඒ නිසා සභාපතිතුමනි, මම පළමුවෙන් ජනතා විමුක්ති පෙරමුණ දළ පසුබිම විස්තර කරනවා.

ජ.වි. පෙරමුණේ ඉතිහාසය ප්‍රධාන වකවානු තුනකට බෙදා වෙන්කර දක්වන්න පුළුවන්. 1965 සිට ’68 මැද භාගය දක්වා, පළමු වකවානුව වශයෙනුත්, ’68 මැද භාගයේ සිට ’70 මැතිවරණය දක්වා දෙවන වකවානුව වශයෙනුත්, ’70 මැතිවරණයේ සිට ’71 අප්‍රේල් කැරැල්ල දක්වා තුන්වෙනි වකවානුව වශයෙනුත් බෙදා වෙන්කර විස්තර කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

පළමුවෙන්ම ජනතා විමුක්ති පෙරමුනේ ආරම්භය සිදුවුනේ කෙසේද යන්න විස්තර කිරීමට මා බලාපොරොත්තු වෙනවා.

1917 ඔක්තෝම්බර් විප්ලවයේ දේශපාලන බලපෑම් ධනේෂ්වර ලෝකයේ තරුණ පරපුර රැඩිකල්වාදී මගකට යොමුකළා. එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වශයෙන් පැවැති ලංකාවෙන් සමහර තරුණයන් උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම සදහා බටහිර රටවලට ගියා. බටහිර, ඒ වන විට ඔක්තෝම්බර් විප්ලවයේ ගිනිදැල්ලට අසුවී තිබුණා. අපේ ලාංකික තරුණයින්ටත් මේ විප්ලවීය රශ්මිය අසුනොවී බේරී සිටින්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඔවුන් නැවත ලංකාවට ආපසු, බටහිරින් ඉගෙනගත් සමාජවාදී අදහස්, ධනපති විරෝධී අදහස් මේ රටේ ජනතාව අතර ප්‍රචලිත කළා.

මේ තරුණයින් විසින් පිහිටවනු ලැබූ සමසමාජ පක්ෂයත්, පසුව ඇති කරන ලද කොමියුනිස්ට් පක්ෂයත්, මේ රටේ ජනතාව අතර ධනපති විරෝධී සමාජවාදී අදහස් ප්‍රචලිත කළා. ධනපති ක්‍රමයේ දුර්විපකයන් නිසා ඇරුනකොට මේ ප්‍රචාරයන් නිසාත්, ලංකාව කිට්ටුවෙන්ම තිබෙන රටක් වූ චීන විප්ලවයේ ජයග්‍රහණයක් මේ රටේ තරුණ පරපුර රැඩිකල් වාදී මගකට යොමු කළා. රැඩිකල්වාදී ක්‍රියා මාර්ගයන් ගනු ලැබු සමසමාජ පක්ෂයටත්, කොමියුනිස්ට් පක්ෂයටත් බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණටත් මේ තරුණයින් නන් අයුරින් ආධාර උපකාර කළා. ධනපති ක්‍රමය විසින් ඇති කරන ලද විනාශකාරී අර්බුදය විසදීමට මේ පක්ෂ අනුගමනය කරන ලද රැඩිකල්වාදී ක්‍රියාමාර්ගවලට පුළුවන් වුනේ නැහැ. මේ නිසා ක්‍රමානුකූලව රැඩිකල්වාදී තරුණයින් තුළ පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහි කලකිරීමක් ඇතිවී එය වර්ධනය වුනා. තමන් අනුගමනය කරන පක්ෂ වුවමනා තරම් විප්ලවවාදී නොවන්නේය යන හැගීමක් ඔවුන් තුළ ඇතිවුනා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පක්ෂ නායකත්වය හා ක්‍රියා මාර්ගයන් පිළි නොගන්නා කණ්ඩායම් වාමාංශික පක්ෂතුළ බිහිවුනා. චීන කොමියුනිස්ට් පක්ෂය තුළත් (කොමියුනිස්ට් යන්නට ඉදිරියෙන් ‘චීන’ යන නාම විශේෂණය මම යෙදුවේ ලංකාවේ ‘කොමියුනිස්ට්’ නම් පක්ෂ දෙකක් තිබෙන නිසා හා ඒවා වෙන් වෙන් වශයෙන් හදුනා ගැනීම උදෙසා සාමාන්‍ය ජනතාව ‘චීන රුසියන්’ යනුවෙන් ව්‍යවහාර කරන නිසයි) මා ඉහත සදහන් කළ ආකරයේ පිරිසක් බිහිවි සිටියා. ඔවුන්ගෙන් සමහරක් තනිතනිව පක්ෂයෙන් වෙන්ව ගියා. තවත් අය සමූහ වශයෙන් වෙන්වුනා. එසේ වෙන්ව යාමෙන් පසුත් එවැනි අදහස් දැරූ පිරිසක් පක්ෂය තුල ඉදිරිවී සිටියා. මා මේ කථා කරන්නේ 1965 හේ කාලය ගැන. ඒ අය අතර විජේවීර, සනත්, කරුණාරත්න, වැනි අය කැපී පෙනෙන තත්වයකයි සිටියේ. ඔවුන් පක්ෂ නායකත්වය හා ක්‍රියා මාර්ගය තුල තිබෙන වැරදි න්‍යායානුකූලව තේරුම් නොගෙන විවේචනය කළා. ප්‍රති විරෝධයන්ගේ අභ්‍යන්තරය හා එහි ඓතිහාසික සංවර්ධනය තේරුම් නොගෙන බාහිර ස්වරූපය පමණක් විවේචනය කිරීම මනෝරාජික සමාජවාදීන් තුල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක්. විදේශීය රටක අධ්‍යපනය ලැබූ ශිෂ්‍යයෙකු වීම නිසාත්, පලල් දේශපාලන දැනුමක් තිබුණ නිසාත් විජේවීරට මෙම කණ්ඩායමේ ප්‍රමුඛත්වය හිමි වුනා. මේ වන විට ඔහු වටා සිටි අය අඩු ඉංග්‍රීසි දැනුමක් ඇති අය වීමත්, ඒ වන විට මාක්ස්වාදී පොත්පත් අවශ්‍ය තරම් පරිවර්තනය වී නොතිබීම නිසාත්, ඔවුන්ගේ අඩු දැනුමෙන් අයුතු ප්‍රයෝජනය ගැනීමට විජේවීරට හැකි වී තිබෙනවා. මේ අය උපයෝගී කර ගනිමින් තමන්ගේ කණ්ඩායම තවදුරටත් පළල් කොට පක්ෂ නායකත්වය අල්ලා ගැනීමට විජේවීරට අවශ්‍යවී තිබෙනවා. පළමුවෙන් ම ඒ සදහා පවතින නායකත්වය නුසුදුසු බව පෙන්වීමට කරුණු ඉදිරිපත් කරන්න ඕන. ඔහු ඒ සදහා කියන්නේ ශන්මුගදාසන් පක්ෂ නායකත්වය ඉසිලීමට සුදුසු පුද්ගලයෙක් නොවන බව පෙන්වීමට කාරණා ගණනාවක්ම ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරිපත් කරන ලද කාරණා අතුරින් ප්‍රධාන කාරණය වී තිබෙන්නේ ශන්මුගදාසන් සුළු ජාතිකයෙකු වීම නිසා ජාතික නායකත්වයක් දීමට ඔහු නුසුදුසු බවයි. එක අතකට විජේවීර මේ තුලින් බලාපොරොත්තු වෙන්න ඇත්තේ පක්ෂය තුල සිටි සිංහල කොටස් තමන් වෙත නැඹුරු කර ගැනීමට විජේවීරට අවශ්‍ය වී තිබෙනවා. පක්ෂයේ බහුතරය සමන්විත වුනේ ද්‍රවිඩ අයගෙන්. මෙවැනි තත්වයක් තුල සිටි වැඩුනු මාක්ස්වාදීන් නොවන සිංහලයින් තුළ ජාතිවාදී හැගීම් තිබීම […] එය තමන්ගේ වාසියට හරවා ගැනීමට විජේවීර සමත් වෙලා තිබෙනවා.

මෙම පක්ෂයට අනුබද්ධ ලංකා කම්කරු සම්මේලනයේ පදනම වශයෙන් එදා තිබුණේ වතුකරයේ වෘත්තීය සමිතියි. ඒවායේ සාමාජිකයින්ගේ බහුතරය සමන්විත වුනේ ඉන්දියානු වතු කම්කරුවන්ගෙන්, හා ලාංකික ද්‍රවිඩ වතු කම්කරුවන්ගෙන්. මේ නිසා හෝ වෙනත් හේතූන් නිසා හෝ ‘ශන්’ මතයක් ඉදිරිපත් කරලා තියෙනවා ලාංකික විප්ලවයේ පෙරමුණු බල ඇනිය වතු කම්කරුවන්ය කියලා. විජේවීර එක පැත්තකින් ‘ශන්’ අවලංගු කිරීම සදහාත්, තමන්ට ඉදිරියට ටන්න පහසුවීම සදහාත් මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. වතුකම්කරුවන් ලාංකික විප්ලවයේ පෙරමුණු බල ඇණිය නොවෙනවා පමණක් නොව, ඔවුන් ලාංකික විප්ලවයේ සතුරු බලවේගයක්ය කියලා. ඔහු එය සනාථ කිරීම සදහා සමහර සිංහල ජාතිවාදී කොටස් ලියා තිබෙන පොත්පත් ප්‍රයෝජනයට ගෙන තිබෙනවා. විශේෂයෙන්ම ‘සිංහලේ අදිසි සතුරා’ කියන පොතෙන් මේ උපයෝගී කර තිබෙනවා. මේ කාලයේ ඉන්දු චීන ප්‍රශ්නය, දේශපාලන ක්ෂේත්‍රය තුල විශාල විවාදයකට ලක්වී තිබුණු ප්‍රශ්ණයක්. ඉන්දියානු ධනපති පන්තියට අලුත් වෙළද පොලවල් අවශ්‍යවී තිබෙන අන්දමත්, ඔවුන් ලබා ගැනීම සදහා අනුගමනය කරමින් සිටින ක්‍රම සමහරක් විස්තර කරමින් ‘රෙන්මින් රිබාවෝ’ පත්‍රයේ පලවූ ලිපියක් සිංහලට පරිවර්තනය කරලා ‘නේරුගේ දර්ශනය තවදුරටත්’ යන නමින් ලංකාවේ බෙදා හැර තිබුනා. විජේවීර තමන්ගේ ද්‍රවිඩ විරෝදී ජාතිවාදී සංකල්පවලට මාක්ස්වාදී ස්වරූපයන් ලබාදීම සදහා මේ ලිපියේ සමහර කරුනු වැරදි ලෙස උපයෝගී කරගෙන තිබෙනවා. ඉන්දියානු ව්‍යාප්තවාදය කියන පංතියේ මුල් බීජය සකස්වුනේ මෙන්න මේ ආකාරයෙන්. විජේවීර තුළ ද්‍රවිඩ විරෝධී ජාතිවාදී හැගීම් කොයි තරම් දුරට තිබිලා තිබුනද කියනවා නම්, තමන් ඒ වන විට හිටපු පක්ෂය, 1966 ජනවාරි 8 වැනිදා පවත්වන ලද දෙමල භාෂා විශේෂ විධිවිධාන පනතට එරෙහිව පවත්වන ලද පෙලපාලියට සහභාගි නොවිය යුතුයි කියලා තීරණය කර තිබෙද්දී විජේවීර, දෙල්ගොඩ රාජා සමග මෙම පෙලපාලියට සහභාගිවෙලා තියෙනවා.පෙලපාලියෙන් පස්සේ ඔහු සමහර අය සමග කියලා තියෙනවා දැනටමත් ලංකාවේ විප්ලවය කොළඹින් ආරම්භ වෙලා තියෙනවායි කියලා.

1973.09.05 · 9.30 – 9.40

7 වැනි සැකකරු තම ප්‍රකාශය තව දුරටත් කියවමින්,

7 වැනි සැකකරු

පෙලපාලියෙන් පස්සේ, ඔහු සමහර අය සමග කියලා තියෙනවා, දැනටමත් ලංකාවේ විප්ලවය කොළඹින් ආරම්භ වෙලා තියෙනවාය කියලා. මේ පුද්ගලයා විප්ලවයක් ලෙස එදා දැකලා තියෙන්නේ ද්‍රවිඩ විරෝධී කෝලාහලයක්. ද්‍රවිඩ විරෝධී ජාතිවාදී සංකල්ප පක්ෂය තුල සිටි හැම කෙනෙක් තුලම තිබුනා. ඒවා අතර වෙනස්කම් තිබුනා. නමුත් ඒවා හුදු ප්‍රමාණාත්මක වෙනස්කම් පමණයි. අප්‍රේල් කැරැල්ලට පෙර මා තුළත් ද්‍රවිඩ විරෝධී අදහස් තිබුනා. අප්‍රේල් කැරැල්ලේ අත්දැකීම් විසිනුයි, ඒවා මා තුළින් ඉවත් කලේ. අතීතයේදී ඉන්දියානු වතු කම්කරුවන් කෙරෙහි, ද්‍රවිඩ ජනතාව කෙරෙහි සතුරු ආකල්පයක්, ජාතිවාදී ආකල්පයක් දැරීම ගැන මේ රටේ ඉන්දියානු වතු කම්කරුවන් ගෙන් හා ද්‍රවිඩ ජනතාවගෙනුත් බැගෑපත් ලෙස සමාව අයැදීමට සිදුවී තිබෙනවා. විජේවීර 1965 දී කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සමිති අංශයේ සංවිධායකයෙකු වශයෙන් වැඩ කරලා තියෙනවා. ඒ තුළින් ඒවායේ සිටින සාමාජිකයින් හා නියෝජිතයින් තමන් වෙත නැඹුරු කර ගැනීමට උත්සාහ කරලා තියෙනවා. ටික කලකින් ඔහු තේරුම් අරගෙන තිබෙනවා පක්ෂය තුළ සිටින බහුතර කොටස තමන් වෙත නැඹුරු කර ගැනීමට අපහසු බව. ඒ නිසා ඔහු අළුත් ක්‍රියා මාර්ගයක් අරගෙන තියෙනවා. ඔහු විශේෂ උනන්දුවක් දක්වලා තිබෙනවා පක්ෂයට අළුතෙන් පුද්ගලයින් ඇතල් කරවීමට. ඔවුන්ගේ සහයෝගය ඇතිව පක්ෂ නායකත්වය අල්ලා ගැනිමට ඔහු බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ වන විට ඔහුට හිතවත් ඔහු අනුගමනය කරපු එම ක්‍රියා මාර්ගයට උදව් වෙලා තිබෙනවා. පියතිලක හරහා විජේවීරට ලොකු අතුල හදුනා ගැනීමට හැකිවෙලා තියෙන්නේ මෙන්න මේ අලුත් ක්‍රියා මාර්ගයේ ප්‍රතිඵලයක් වශයෙන්. මේ වෙනකොට ඒ කියන්නේ 1965 අග භාගය වන විට, විජේවීරට පක්ෂපාත කණ්ඩායම සමන්විත උනේ, සහන්, නිහාල් ඩයස්, කරුණාරත්න, පියතිලක, මිල්ටන් ලොකු අතුල, පී.ටී.ටී.බී.සී. , වෝල්ටර්, දැදිගම, විමලගුණ, දෙල්ගොඩ රාජා මුතුමාල, ධර්මසේන, මහින්ද පලිහවඩන වැනි අයගෙන්. අක්මීමන, ගාල්ල, රුවන්වැල්ල, තිඹිරිගස්යාය, වගේ ප්‍රදේශවලදී විජේවීර මේ අය සමග පක්ෂයේ බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. මෙය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි දෙයක්. පක්ෂ ව්‍යවස්ථාවට අවනත බවක් මතු පිටින් පෙන්වන ගමන්ම රහසිගතව ව්‍යවස්ථා විරෝධී ලෙස පක්ෂය තුළ ප්‍රති කණ්ඩායමක් ගොඩ නැගීමේ කටයුතු ඔහු කරගෙන ගොස් තිබෙනවා. මෙවැනි ප්‍රති කණ්ඩායම් ගොඩ නැගීම පක්ෂයේ මධ්‍යස්ථානගත වාදය විනාශ කිරීමක් වශයෙන් ලෙනින් හදුන්වන්නේ අභ්‍යන්තර අරගලයට පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉඩ ලැබෙන නමුත් ප්‍රති කණ්ඩායම් ගොඩ නැගීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක්. බෞද්ධයින් පංචානන්තර්ය කර්මය ඉතාමත් බරපතල පාපයක් ලෙස සලකනවා වගේ, පක්ෂය තුළ ප්‍රති කණ්ඩායම් ගොඩනැගීම ඊට වඩා බරපතල වරදක් වශයෙනුයි කොමියුනිස්වාදීන් සලකන්නේ. සනත් මේ කාලේ වැඩ කළේ කැලැත්තාව මහා විද්‍යාලයේ. ඔහු ඒ ප්‍රදේශයේ සමහර අය අතර, මේ මතය ප්‍රචාරය කරල තියෙනවා. නිහාල් ඩයස් තමන් සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළත්, තමන්ගේ ගම වූ පානදුරේත් සමහර අය මෙම කණ්ඩායමට නැඹුරු කර ගැනීම සදහා කටයුතු කරලා තියෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන් දෙදෙනෙකු වූ, ප්‍රේමසිරි සිරිවර්ධනත්, කිත්සිරිත්, […] සේපාල, අසෝක, බර්ටි, චිත්‍රලාල්, මහින්ද, පලිහවඩන වගේ අය […] හදුන්වාදී තිබෙන්නේ නිහාල් ඩයස්. පී.ටී. තුළින් ඉඩම් සංවර්ධන […] දහනායක, ද නොරිස්, ධනපාල සමරසේන වගේ අය සමග […] සම්බන්ධකම් ඇති කරගෙන තියෙනවා. අලුත්පටබැදි තුළින් නාවික හමුදාවේ සම්බන්ධකම් ඇතිකරගෙන තිබෙනවා. සිරිපාල තුලින් තිස්ස බෙනට් මුදලාලි සමග සම්බන්ධකම් ඇති කර ගෙන තිබෙනවා. 1965 දී මේ කණ්ඩායමේ ආධාර ඇතිව විජේවීර කිරින්දේ ගොවිපලක් ආරම්භ කරල තිබෙනවා. ගොවිපල ආරම්භ කිරීමට හේතුව වශයෙන් විජේවීර දන්වලා තියෙන්නේ ගරිල්ලා සටනක් කිරීමට අවශ්‍ය වුනොත් ඒ සදහා සූදානම්වීම. නමුත් ඇත්තවශයෙන්ම ඔහු බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඔවුන් තුළ ආස්වාදජනක හැගීම් වර්ධනය කරලා එතෙක් තමන් හා ඔවුන් අතර තිබුන ලිහිල් බැදීම් තද කර ගැනීමයි. 1965 දී කරුණාරත්නගේ නිවසේ දී පවත්වන ලද සාකච්ඡාවකදී විජේවීර ටී.බී.සී. අතර මත ගැටුමක් ඇති වෙලා එහි ප්‍රතිඵලයක් වශයෙන් විජේවීර ටී.බී.සී. කණ්ඩායමෙන් ඉවත් කරල තියෙනවා. මේ වන කොට නිහාල් ඩයස් හා විජේවීර අතරත් න්‍යායික ප්‍රශ්න සම්බන්ධයෙන් වන ගැටුම් ඇති වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් විජේවීර 1966 දී නිහාල් ඩයස්වත් ඔහු තුළින් විජේවීරට එක් වුනු කිත්සිරි, අශෝක, සේපාල, බර්ටි, චිත්‍රලාල්, මහින්ද පලිහවඩන හා ප්‍රේමසිරි සිරිවර්ධන වැනි අය තම කණ්ඩායමෙන් ඉවත් කරලා තියෙනවා. විජේවීර පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රති කණ්ඩායමක් ‌ගොඩ නගිමින් සිටින බව 1966 මුලදී පක්ෂයට එලිදරව් වෙලා තියෙනවා. පක්ෂය තුල ප්‍රති කණ්ඩායමක් ගොඩනගමින් සිටීම, පක්ෂයටහොරා නාවික හමුදාව තුල වැඩ කිරීම, පක්ෂයට හොරා කිරින්ද ගොවිපලක් ආරම්භ කිරීම, පක්ෂ තීරණයට පටහැනිව 1966 ජනවාරි 8 වැනිදා පෙලපාලියට සහභාගී වීම යන කාරණා යටතේ 1966 මුලදී විජේවීරව පක්ෂයෙන් නෙරපා හැරල තියෙනවා. ඔහු සමග සිටි අනෙක් පිරිසත් කණ්ඩායමක් වශයෙන් නොවෙයි තනි තනිව ක්‍රමානුකූලව පක්ෂයෙන් ඉවත් වී ගොස් තිබෙනවා. 1966 සිදු උනාය කියන හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විජේවීර සොයන්නට වී යැයි කියන හේතුවක් යටතේ විජේවීර සැගවී සිටීම සදහා කොළඹ අතහැර ගොස් තිබෙනවා. 1967 මැද භාගය පමණ වන තෙක් ඔහු සැගවිලා ඉදලා තියෙනවා. මේ කාලේ පියතිලක වගේ කීප දෙනෙක් පමණක් විජේවීර සමග සම්බන්ධකම් පවත්වලා තියෙනවා. මේ ඇරුණු කොට ඔහුගේ අනුගාමිකයින් කීප දෙනා වෙනත් වැඩ කිරීමක් කරලා නැහැ.මෙන්න මේ කාලය තුල විජේවීරට අවධානය යොමු කරන්න සිදුවෙලා තියෙනවා. වෙනත් දේශපාලන පක්ෂයකට සම්බන්ධවෙලා වැඩ කරනවද, දේශපාලන වශයෙන් වැඩ කිරීම සම්පූර්ණයෙන් නවත්වනවාද, එහෙම නැත්නම් තමන්ගේ අනුගාමිකයින් සමග ස්වාධීනව තවදුරටත් වැඩ කරගෙන යනවාද කියල. එසේ තමන්ගේ අනුගාමිකයින් සමග තවදුරටත් වැඩ කරගෙනා යනවාය කියන තීරණයට ඔහු එළබිලා තියෙනවා. එසේ කණ්ඩායමක් වශයෙන් අනෙකුත් පක්ෂවලින් ස්වාධීනව ඉදිරියට යාමට නම්, රටේ තියෙන අනිකුත් සියළුම දේශපාලන පක්ෂ නිවැරදි නොවන බව පෙන්විය හැකි දෘෂ්ටිමය ක්‍රියා මාර්ගයක් තිබිය යුතුයි. ඔහු විශාල උත්සාහයක් දරලා තිබෙනවා, මෙන්න මේ දෘෂ්ඨිමය ක්‍රියා මාර්ගය සකස් කිරීමට. නිර්ධන පංතියේ දේශපාලන දෘෂ්ටිය වූ මාක්ස් වාදයේ සමහර අංග හා ධනේෂ්වර ධර්මයන්ගේ සමහර අංග උපයෝගී කර ගනිමින් විජේවීර විසින් අපූරු දෘෂ්ඨිමය සංකලනයක අත්තිවාරම සකස් කරන ලද්දේ මෙන්න මේ කාලයේදී. එයයි, පසුකලෙකදී තවදුරටත් කරුණු එකතු වී පංති පහ හා කදවුරු පංති වශයෙන් සකස් වුනේ. ධනවාදය ඓතිහාසික සංවර්ධනයේ එක් අවධියක් වශයෙන් හා එය අඩංගු කර ගන්නා ප්‍රතිවිරෝධයක් හා ඒවා විසදන වායිතවික ක්‍රම මොනවාද යන්න විජේවීර තේරුම් ගෙන නැහැ. ධනවාදයේ මතුපිටින් පෙනෙන්නට තිබෙන විෂමතාවයන් පමණක් විග්‍රහ කිරීමට ඔහු උත්සාහ කළා. එම විග්‍රහ අලංකාර කිරීම පිණිස දොස්තර වික්‍රමසිංහ මහතාගේ ඉදිරිමග නැමති කෘතිය ප්‍රයෝජනයට ගෙන තිබෙනවා.

1973.09.05 · 9.40 – 9.50

වර්තමාන සමාජ ක්‍රමය තුල කළ කිරීම පෙන්වන හැම සිදුවීමක්ම ධනවාදයේ අවසානය ලෙස දැක්වීමට විජේවීර එම විග්‍රහයෙන් උත්සහ කර තිබෙනවා. අයවැය පරතරයේ වර්ධනය, වර්ධනය වන විදේශීය ණය, වර්ධනය වන ජනගහනය, ජාතික ආදායම පහත වැටීම, ජීවන අංකය ඉහළයාම, වර්ධනය වන රැකියා විරහිත ජනගහණය, ලංකාවෙන් පිටරට පටවන ද්‍රව්‍ය මිල ඉහළයාම වැනි ඒවායේ වාර්ෂික සංඛ්‍යාලේඛන උපයෝගී කර ගනිමින් ඔහු විග්‍රහයක් සකස් කලා. දිනෙන් දින වර්ධනය වන මෙම අර්බුදය 1970 වෙනකොට උච්චතම අවස්ථාව බවට පත්වෙනවා. ඒ තුළින් ලංකාවේ මුලුමහත් ධනේෂ්වර ක්‍රමයේම පදනම දෙදරුම් කනවා. ඒ නිසා ඉන්පසුව තවදුරටත් ධනේෂ්වර ක්‍රමය පවත්වාගෙන යාමට නම් මුලු මහත් නිර්ධන පංති ව්‍යාපාරයම සමූලඝාතනය කිරීමට ධනේෂ්වර පංතියට සිදුවෙනවා. ඒ සමූලඝාතනයට අසුනොවී, විනාශ නොවී බේරී සිටීමට නම් ජනතාව සංවිධානය කරලා ආයුධ සන්නද්ධ ප්‍රතිවිප්ලවයට එරෙහිව ආයුධ සන්නද්ධ ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ යුතුයි යනාදී වශයෙන් ඔහු කරුනු සකස් කරලා තියෙනවා. 1970 වනතුරු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ අත්තිවාරම වුනේ 1970 දී ඇතිවන යුද්ධ හමුදා ආණ්ඩුවක් පිළිබද, නැත්නම් 1970 දී ඇතිවන ධනේෂ්වර ප්‍රතිවිප්ලවයක් පිළිබද සංකල්පයයි.

මෙන්න මේ විනාශකාරී අර්බුදයෙන් ජනතාව ගැලවීමට රටේ තියෙන අනෙකුත් වාමාංශික දේශපාලන පක්ෂ නුසුදුසු හා සූදානම් නැත්තේ ඇයි ද යන්න විස්තර කිරීම සදහා විජේවීර වාමාංශික දේශපාලන නායකයින්ගේ පුද්ගලික වැරදි පිළිබද වට්ටෝරුවක් සකස් කළා. එම වට්ටෝරුවට අයත් වැරදීම් පසු කලෙකදී විජේවීර විසින්ම කළ විටයි ජ.වි.පෙ. තුල විජේවීර පිළිබද අර්බුදය පැන නැගුනේ. වාමාංශික දේශපාලන නායකයින්ගේ වැරදි පිළිබදව විජේවීර විසින් සත්‍ය හා අසත්‍ය කරුණු සංකලනය කොට සකස් කරන ලද මේ වට්ටෝරුවයි පසු කලකදී ‘වාමාංශික දේශපාලන ව්‍යාපාරය’ නැමැති පංතිය බවට පත්වුනේ. එය කිසිසේත් වාමාංශික දේශපාලන ව්‍යාපාරය පිළිබදව කරන ලද මාක්වාදී දේශපාලන විග්‍රහයක් නොවෙයි.

එතෙක් සැගවිලා හිටපු විජේවීර අනතුරක් පෙනෙන්නට නොතිබුණ නිසා, 1967 අග භාගයේ දී නැවත එලියට ඇවිල්ල විසිරි සිටි තම හිතවතුන් ඒකරාශී කිරීමට උත්සාහ කර තිබෙනවා. මුළදී ඔහු හා එකගත්වයක සිටි සමහර අය විවිධ හේතු නිසා ඒ වන විට ගිලිහි සිටියා. ඉතාමත් ඉතාමත් සුළු පිරිසක් නම් වශයෙන් කියනවා නම් සනත, දහනායක, කරුණාරත්න, ලොකු අතුල, පියතිලක, මිල්ටන්, වෝල්ටර්, ධනපාල, වැනි කොටස් නැවත කණ්ඩායමක් වශයෙන් ඒකරාශී කිරීමට ඔහුට හැකිවෙලා තිබෙනවා. සැගවී සිටි කාලය තුල සකස් කරන ලද දෘෂ්ඨිමය වැඩ පිළිවෙල මේ අය තවදුරටත් තමන් වෙත තබා ගැනීමට උපකාරි වෙන්න ඇති. මේ කණ්ඩායම විජේවීර අලුතින් ඉදිරිපත් කරන ලද දෘෂ්ඨිමය වැඩ පිළිවෙල උපයෝගී කර ගනිමින් තමන් වෙත අනුගාමිකයින් නැඹුරු කර ගැනීමට උත්සාහ කරලා තිබෙනවා හැරෙන්න මේ කාලය තුළ ඒ කියන්නේ 1967 අවසාන භාගයේ සිට 68 මැද භාගය දක්වා විශේෂ වැඩ කිරීමක් සිදුවී නැහැ.

මේ පළමු වකවානුව තුළ එනම් 1965 සිට 68 මැද භාගය දක්වා කාලය තුළ මෙම ව්‍යාපාරය නොදියුණු ඉතාමත් සුලු අනුගාමිකයින් පිරිසක් සිටි කණ්ඩායමක් වශයෙනුයි පැවතුනේ. කුඩා පරිමාණයෙන් සංවිධානය වී තිබුණ මේ ව්‍යාපාරය වඩාත් පැතිරුණු, දියාරු නමුත් සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට පත්වුනේ මෙන්න මේ දෙවැනි වකවානුව තුල. එනම් 1968 අගභාගයේ සිට 1970 මැතිවරණය දක්වා කාලය තුළ. මේ වනකොට සනත්, මෙම ව්‍යාපාරයට අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පදනමක් ගොඩ නගලා තිබුණා. ’68 ඔහු රත්ගම සිරිසුමන විද්‍යාලට මාරු උනාට පස්සේ ගාලු දිස්ත්‍රික්කය තුල වැඩ කිරීම ආරම්භ කළා. ’68 ජුනි වලදී සිට විජේවීර ඉඩම් සංවර්ධන දේපාර්තමේන්තුවේ කම්කරු සමිතිය උපයෝගී කර ගනිමින් මහියංගනය, හසලක, උඩවෙල, මාරක, […], මීගහකිවුල, රාජාංගනය, තඹුත්තේගම, අනුරාධපුරය වැනි ප්‍රදේශවල වැඩ කරලා […] ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කම්කරු සමිතිය –

1973.09.05 · 9.50 – 10.00

7වැනි සැකකරු මාජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල ඔහුගේ ප්‍රකාශණය ඉදිරිපත් කරමින්…………..

7 වැනි සැකකරු. – මේ ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් යොදා ගැනීමට පුළුවන්වීමට හේතුකීපයක් බලපෑවා. ඉඩම් සංවර්ධන දෙපාර්ථමේන්තුවේ කම්කරුවන්ගේ සේවයේ ස්වරූපය අනුව ඔවුන් කාර්මික කම්කරුවන්ගේ ගනයට නොවෙයි වැටෙන්නේ. කෘෂිකාර්මික කම්කරුවන්ගේ ගනයටයි ඔවුන් වැටෙන්නේ. මෙම කම්කරුවන් වැඩෙහි යොදවා තිබෙන්නේ විශාල ගොවිපදනමක් ඇති ප්‍රදේශවල හෝ ඝන කැලෑවල. මොවුන් යන්ත්‍රෝපකරණ පරිහරණය කරන්නේ කාර්මික කම්කරුවනට සාපේක්ෂව ඉතාමත් අඩුවෙන්. මෙන්න මේ නිසා මොවුන්ගේ දෘෂ්ටිය තැනින් තැන යන ගොවි කුලී කරුවන්ගේ දෘෂ්ඨියයි. මෙම දෘෂ්ඨිමය පදනම නිසා මොවුන් අතර පොදුවේ පළල ලෙස ජාතිවාදී අදහස් ඒ කියන්නේ ද්‍රවිඩ විරෝධී අදහස් පවතිනවා. කාර්මික කම්කරුවන්ගේ වෘත්තිය සමිතියක් සමග කිසිදාක එකගත්වයක් ඇතිකර ගැනීමට නොහැකිවුන ජනතා විමුක්ති පෙරමුණට, ඉඩම් සංවර්ධන දෙපාර්ථමේන්තුවේ කම්කරු සමිතිය සමග දෘෂ්ඨිමය එකගතාවයක් ඇතිකර ගැනීමට හැකිවුනේ මේ දෙකොටස අතර දෘෂ්ඨිමය වශයෙන් තිබූ සමානකම නිසයි.

මේ කාලේ පාර්ලිමේන්තු බලයේ සිටියේ එක්සත් ජාතික පක්ෂය. විජේවීරගේ නායකත්වයෙන් පවත්වාගෙන ආ මෙම අලුත් ව්‍යාපාරය තමන්ගේ වැඩ කටයුතු පළල් කරත්ම විශේෂ පරීක්ෂණ අංශය මෙම ව්‍යාපාරය ගැන කරන පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ආරක්ෂක උපදේශකයා වශයෙන් කටයුතු කළ ජෝන් ආටිගල මහතා, තමන්ට ලැබුනු තොරතුරු අනුව 1968 අප්‍රේල්වලදී ‘රතුමකරාගේ ග්‍රහණය’ යන මාතෘකාව යටතේ වාර්ථාවක් සකස් කරලා හිටපු ස්ථිර ලේකම් පී.වී.පී.සමරසිංහ මහතාට බාර දී තිබෙනවා. මේ වාර්තාවේ සදහන් වෙනවා විජේවීර ගැන. විජේවීර නැමති පුද්ගලයෙක් 1970වේදී භයානක ත්‍රස්තවාදී වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැගීම සදහා කටයුතු සූදානම් කරමින් සිටිනවාය කියලා. මේ කොටස මම උපුටා ගත්තේ 1971 සැප්තැම්බර් 9 වනදා හැන්සාඩ් වාර්තාවේ. පිටුව 731 සහ 733. මම එම හැන්සාඩ් වාර්තාව 7ඩී4 වශයෙන් ලකුණු කරනවා. ( ) 1967 ඔක්තෝම්බර් 8 වෙනිදා බොලිවියානු ආරක්ෂක හමුදාවන් විසින් චේ ගෙවාරා මරා දැමුවා. අතිශයින් සංවේග ජනක මේ ප්‍රවෘත්තිය සැලවීමත් සමග ලෝක ජනතාවගේ අවධානය ශ්‍රෙෂ්ඨ අධිරාජ්‍ය විරෝධී සටන් කාමියෙකු වූ චේ ගෙවාරා කෙරෙහිත්, කලක් ඔහුගේ සටන් බිම වශයෙන් පැවති කියුබාව කෙරෙහිත් යොමු වුණා. චේ ගෙවාරාගේ ලිපි ලේඛන හා කියුබානු විප්ලවයේ තොරතුරු අඩංගු ලිපි ලේඛන ලෝකය පුරාමහත් ප්‍රසිද්ධියට පත් වුනා. ලංකාවේ රැඩිකල්වාදී තරුණ තරුණියන්ට චේ ගෙවාරාගේ මලගම පිළිබද පුවත සමග කියුබාව අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් නිදහස්වීම පිළිබද අමරණීය කථාපුවත අසන්නට ලැබුනා. එය මේ තරුණ තරුණියන් තුල අධිරාජ්‍ය විරෝධී හැගීම් වර්ධනය වීමට මහත් රුකුලක් වුනා. ඒ ඇරුණුකොට මේ ලිපි ලේඛන නිසා මේ තරුණ තරුණියන්ට යම්කිසි දේශපාලනමය හාටියක්ද වුනා. පක්ෂයක මග පෙන්වීමකින් තොරව, බහු ජනතා ව‌ගේ ක්‍රියාකාරී ජනසහභාගීත්වයෙන් තොරව ආයුධ අතට ගත් කුඩා කණ්ඩායමකට ධනේෂ්වර ක්‍රමය බිද හෙලිය හැකියි යන හැගීමක් මේ නිසා මේ රැඩිකල්වාදී තරුණයින් තුල ඇතිවුනා. කියුබානු විප්ලවයේ ආරංචිය ලංකාවේ වාමාංශික තරුණයින් තුල ආශ්වාද ජනක හැගීම් වර්ධනය කලා.එම තත්වයන් පසුව ජනතා විමුක්ති පෙරමුණ නමින් හැදින්වූ මෙම ව්‍යාපාරයේ වර්ධනයට බෙහෙවින් බලපෑවා.

මේ වනවිට විජේවීර හා වෙනත් දේශපාලන කණ්ඩායමක් අතර වැනෙමින් සිටි සුසිල් වික්‍රම ප්‍රමුඛ කෝට්ටේ කණ්ඩායම විජේවීරට එක්වීම නිසා කෝට්ටේ ප්‍රදේශය තුල මේ ව්‍යාපාරයේ වර්ධනයක් ඇතිවුනා. නිහාල් ඩයස් සමග තම කණ්ඩායමෙන් ඉවත් කල ප්‍රේමසිරි සිරිවර්ධන නැවතත් තමන් වෙත නැඹුරු කර ගැනීමට හැකිවීම නිසා නැවත වරක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය විජේවීරගේ ව්‍යාපාරයේ වැඩ කටයුතු වෙනුවෙන් විවෘත වුනා. ප්‍රේමසිරි සිරිවර්ධන තුලින් සරත් විජේසිංහ, සමරතුංග වැනි කොටස් තමා වෙත නැඹුරු කර ගැනීමට විජේවීරට හැකි වුනා. කියුබානු විප්ලවයේ ආශ්වාද ජනක හැගීම් වලින් කුල්මත් වුන, රුසියන් කොමියුනිස්ට් පක්ෂය තුල සිටි කණ්ඩායමක් 1968 මුල් භාගයේ දි විජේවීරගේ ව්‍යාපාරයට එකතු වුනා. මෙම කණ්ඩායම ප්‍රධාන වශයෙන් සමන්විත වුනේ ධර්මසේකර ඇතුළු පිරිසකගෙන්.

එතෙක් තම ව්‍යාපාරය වෙත දිනාගත් කොටස් සම්බන්ධ කරමින් විජේවීර දේශපාලන කදවුරු පැවැත්වීම ආරම්භ කලේ 1969දී. මේ වෙනකොට විජේවීරගේ දේශපාලන විග්‍රහය පංති 5ක් බවට පත්වී තිබුනා. පළවෙනි කදවුර පැවැත්තුවේ අක්මීමන, ඩබ්ලිව්.ටී.කරුණාරත්නගේ නිවසේදී. 2වෙනි කදවුර පැවැත්තුවේත් ඒ නිවසේදීමයි. තුන්වෙනි කදවුර පැවැත්තුවේ තණමල්විල ගොවිපලේදී. එය සිදුවුනේ 1969 ජුනිවලදී. 4වන කදවුර ඇල්පිටියේ පැලවත්තේ දී පැවැත්තුවු.

මේ කදවුරු මිලිටරි පුහුණුවක් ලබාදීම සදහා උපයෝගී කරගෙන තිබෙන බව පොලිස් වාර්තාවල සදහන් වෙනවා. මෙය සම්පූර්ණ සත්‍යයක් නොවෙයි. නමුත් ඒ තුල අර්ධ සත්‍යයක් ගැබ්වෙලා තිබෙනවා. තරුණයින් තම ගම් රටවල්වලින් බොහෝ ඈත. සමහර විට හැතැප්ම 100ක්, 150ක් පමණ ඈත ප්‍රදේශවල ඇති කැලෑවලට ගෙන ගොස් කලේ කුමක්ද? ඔවුන්ට දේශපාලන පංති පැවැත්තුවා. දිනකට පැයක පමණ කාලයක කරාටේ පුහුණුවක් ලබා දුන්නා. රයිපල් වෙනුවට කැලෑපොලු අතට දී යුද්ධ සරඹ පුහුණු කළා. මේවාට සහභාගී වුන බොහොමයක් දෙනාත් ගෙවල් දොරවල් වලට හොරෙනුයි මේ කදවුරුවලට සහභාගී වුනේ. ඉන් බොහෝ දෙනෙක් ඊටත් පෙර වනාන්තරවලට ආධුනිකයෝ. දින 05ක් 06ක් ඔවුන් අඩහාමතේ තබා ගනිමින්, රයිපල් වෙනුවට කැලෑ පොලු ඔවුන් අතට දී දිනකට පැයක් හෝ දෙකක් ඔවුන් ලවා යුද්ධ හරඹ කරවීමෙන් ඔවුන්ට මිලිටරි පුහුණුවක් ලැබෙනවාද? මිලිටරි පුහුණුවක් කෙසේ වෙතත් ඔවුන්ගේ තරුණ සිත් තුල ආශ්වාද ජනක හැගීම් නම් වර්ධනය වෙනවා. නායකයින්ට අවශ්‍ය වුනෙත් එච්චරයි. එතකොට මෙන්න මේ තරුණයින් තමන් වෙත බැද තබා ගැනීමට මේ නායකයින්ට හැකි වෙනවා. සමහර විට මේ පුහුණුව ඔවුන්ට ලබා දෙන්නේ යුද්ධ හමුදාවෙන් ඉවත්ව ගිය සෙබලෙකු හෝ පාසැල් ශිෂ්‍ය භට පුහුණුවක් ලැබූ අයෙකු විසින්. කදවුර පවත්වන නායකයින් මේ පුහුණු කරවන්නා ඔවුන්ට හදුන්වා දෙන්නේ යුද්ධ හමුදාවේ සිටින මේජර් වරයෙකු ලෙස හෝ කැප්ටන් කෙනෙකු ලෙස. මෙවැනි වංචාකාරී හදුන්වාදීම් නිසා තරුණ සිත් කුල්මත් වෙනවා. සාමාන්‍යයෙන් ඔනෑම කෙනෙකුට හිතෙනවා යුද්ධ හමුදාව තුල අපට පක්ෂපාත ඉහල නිලධාරීන් විශාල පිරිසක් සිටිනවයි කියලා. දිනකට පැයක් බැගින් දින 6ක් තුල කරාටේ පුහුණුවක් ලබාදෙනවා. සාමාන්‍යයෙන් කදවුරට සහභාගීවෙන සියළු දෙනාටම මේ කරාටේ පුහුණුව දෙන්නේ එක් අයෙකු විසින්. කදවුරකට සාමාන්‍යයෙන් 75කට වැඩි පිරිසක් සහභාගී වෙනවා. එක් අයෙකුට, සාමාන්‍ය පුහුණුවක් වත් නොලැබූ තරුණයින් 75 දෙනෙකුට පැය 6කදී, කරාටේ පුහුණුවක් ලබා දෙන්න පුළුවන්ද? සම්පූර්ණ අවධානය යොමු කරන කෙනෙකුට පවා මාස 6කටවත් සාමාන්‍ය කරාටේ පුහුණුවක් ලබන්න බැහැ. කරාටේ ගැන කිසිත් නොදන්නා තරුණයින් තුල ආශ්වාද ජනක හැගීම් වර්ධනය කිරිම පමණයි මෙයින් සිදුවෙලා තිබෙන්නේ. ඔවුන් එදා නම් දැනගෙන හිටියේ නැහැ. නමුත් අද දන්නවා ඔවුන්ට එදා කරාටේ පුහුනු කල අය පවා කරාටේ කරුවන් නොවන බව.

මේ කදවුරු ගැන කෙටි විවරණයක් කරනවා නම්, මේ කදවුරු තරුණයින්ගේ හැගීම් කුල්මත් කරලා, ඔවුන් තුල ගුප්ත හැගීම් ඇති කරලා, ඔවුන් තමන් වෙත බැද තබා ගැනීම සදහා පාවිච්චි කර තිබෙන එක් උපක්‍රමයක් පමණයි.

1969 මුල් භාගය වෙන කොට හම්බන්තොට දිස්ත්‍රික්කය තිබුණේ සුසිල් වික්‍රම බාරේ. පේරාදෙනිය විශ්ව විද්‍යාලය තිබුනේ සරත් විජේසිංහ බාරේ. කුරුණෑගල ජයකොඩි බාරේ. කලුතර ධර්මසේකර බාරේ. රත්නපුරට ජයසේකර හා ලාල් බාරේ. වැල්ලවත්ත රුවන් බාරේ. ගාලු දිස්ත්‍රික්කය සනත් බාරේ. කොළඹ ප්‍රධාන වශයෙන් වැඩ කලේ ලොකු අතුල, පියතිලක, මිල්ටන් හා ධනපාල.

1969 මැද භාගයේ දී පොලොන්නරුව සුසිල්ටත්, අම්පාර නිශ්ශංකටත් බාර දුන්නා. පොලොන්නරුවෙ මුලින්ම වැඩ කලේ පියතිලක. විජේවීර ධර්මසේකර සමග මතභේද ඇති කර ගත්තට පස්සෙ, සුසිල් වික්‍රම ධර්මසේකර සමග කඩාගෙන යාවියි කියලා සැකකරලා ඔහු හම්බන්තොටින් ඉවත්කරලා, හම්බන්තොට ඔහුගේ සියලු සම්බන්ධකම් පැනටිස්ට පවරලා සුසිල් අලුතෙන් වැඩ කිරීමට, මාතර බාර දුන්නා. සුසිල් වගේම, සරත්වත් සැකකලා, ධර්මසේකර එක්ක කඩාගෙන යයි කියලා. ඔහුගේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඔක්කොම සම්බන්ධකම් කුමානායකට බාරදීලා සරත්ව කෑගල්ලට පමණක් සීමා කළා. 1970 මුලදී කලුතර නායනානන්දට බාර දුන්නා. බදුල්ල සුනන්දටත්, නුවර අනුරටත් බාර දුන්නා. වෘත්තීය සමිති අංශය මටත් ශිෂ්‍ය අංශය පියතිලකටත් බාර දුන්නා.

1969 මැද භාගයේ දී මඩම්පැලැල්ලේ නිවසකදීත්, 1969 මැද භාගයේ දී දෙවුන්දර නිවසකදීත් 1970 මුලදී, මැතිවරණයට පෙර ඌරුබොක්කේ පැන්ටිස් අයියාගේ නිවසේදීත් ප්‍රධාන සාකච්ඡා තුනක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡා තුන කැදවා තිබෙන්නේ විජේවීර විසින්. මේ හැම සාකච්ඡාවක්ම ඔහු හදුන්වා තිබෙන්නේ මධ්‍යම කාරක සභා රැස්වීම් වශයෙන්. ඔහු ඒ බව, ඒ හැම සාකච්ඡාවක් ආරම්භයේදීම කියා තිබෙනවා. මේ සාකච්ඡා තුනේම ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ 1970 වේ දී මිල්ටරි ආණ්ඩුවක් ඇතිවීම පිළිබද සංකල්පය ගැන. ඔහු පැහැදිලිව ඔවුන්ට කියා තිබෙනවා 1970 වේ මැතිවරණය පවත්වන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය මිල්ටරි ආණ්ඩුවක් ගොඩනගනවා.

1973.09.05 · 10.00 – 10.10

7 වෙනි සැකකාර වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුලගේ ප්‍රකාශය:

ඉන්පසු ඔවුන් මේ රටේ වාමාංශික ව්‍යාපාරය සමූලඝාතනය කරනවා. ඒ නිසා ඉක්මනින් පාක්ෂිකයින් සන්නද්ධ කළයුතුයි කියලා. සන්නද්ධ කිරීමේ ප්‍රශ්නය ඔහු දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ දෙවිනුවර සාකච්ඡාවේදී. ඔහු එහිදී සන්නද්ධ කිරීමේ වැඩ කටයුතු සදහා ලොකු අතුලගේ නායකත්වයෙන් කමිටුවක් ද ගොඩ නගා තිබෙනවා.

මේ කාලේදීත් මෙම ව්‍යාපාරයට දේශපාලන මණ්ඩලයක් තිබුනා. එය විජේවීර, සනත්, කරුණාරත්න, ලොකු අතුල හා දහනායක යන අයගෙන් සමන්විත වුනා. 1969 අවසාන භාගයේ දී දහනායක මෙම ව්‍යාපාරයෙන් ඉවත්වෙලා ගියා. ඊට පසු විජේවීර පලමුවරට අත් අඩංගුවට ගෙන නිදහස්වී එනතෙක් එම මණ්ඩලය සමන්විත වුනේ ඉතිරි හතර දෙනාගෙන්.

දෙවන වකවානුව අවසන් වනතෙක් ඒ කියන්නේ 1970 මැතිවරණය දක්වා මේ ව්‍යාපාරය පදනම් වුනේ වාමාංශික තරුණයන්ගෙන්. ඒ වන විට පාර්ලිමේන්තු බලයේ සිටියේ එක්සත් ජාතික පක්ෂය. ඒ කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වී තිබුණා. මැතිවරණයක් පැවැත්වුවහොත් ස්ථිර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය පරාජය වන බව මේ තරුණයින් දැන සිටියා. 1969 දී බෙන්තර ඇල්පිටිය, බලපිටිය හා දොඩන්ගස්ලන්ද ආසන වෙනුවෙන් තිබෙන පවත්වන ලද අතුරු මැතිවරණවලින් සමගි පෙරමුණේ අපේක්ෂකයින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ කාලේ පවත්වන ලද පලාත් පාලන අතුරු මැතිවරණවලින් වැඩි හරියක් ජයග්‍රහණය කලේත් එයමයි. මේවා මහ මැතිවරණයක් පැවැත්වුවහොත් සමගි පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බවට පෙරනිමිති බව වාමාංශික තරුණයින් හොදාකාරව දැන සිටියා. නමුත් 70 මැතිවරණයක් පවත්වනවාද? යන්න ගැන තර්කානුකුල සැකයක් විජේවීර විසින් මේ වාමාංශික තරුණයින් තුල ඇති කරලා තිබුණා. එක්සත් ජාතික පක්ෂය මිල්ටරි ආණ්ඩුවක් ගොඩ නැගුවොත් ඒ වෙනුවෙන් අනුගමනය කිරීමට කිසිදු ක්‍රියා මාර්ගයක් සමගි පෙරමුණ සතුව නැති බව විජේවීර තාර්කානුකූලව මේ තරුණයින්ට ඒත්තු ගැන්නුවා. මැතිවරණයට පෙර විශාල වශයෙන් වාමාංශික තරුණයෝ, මේ ව්‍යාපාරයට නැඹුරුවුනේ විජේවීර විසින් ඉදිරිපත් කරන ලද මිල්ටරි ආණ්ඩු සංකල්පය නිසයි.

විශේෂ පරීක්ෂණ අංශය සොයා ගන්නා ලද කරුනු පදනම් කර ගනිමින් ජෝන් ආටිගල මහතා “නව වාමාංශය” යන මාතෘකාව යටතේ සකස් කරන ලද වාර්ථාවක් 1969 සැප්තැම්බර්වලදී හිටපු ස්ථිර ලේකම්වරයාට භාරදී තිබෙනවා. ජෝන් ආටිගල මහතා විසින් “ලංකාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායම්වල විප්ලවය” යන මාතෘකාව යටතේ සකස් කරන ලද ඔහුගේ තුන්වන වාර්තාව ස්ථිර ලේකම් වරයාට භාරදී තිබෙන්නේ 1970 මාර්තුවලදී. ජෝන් ආටිගල මහතා විසින් තමන්ට භාර දෙන ලද වාර්තා තුන පදනම් කර ගෙන හිටපු ස්ථිර ලේකම් වරයා පිටු 60ක වාර්තාවක් සකස් කර තිබෙනවා. ඒ බව 1971 සැප්තැම්බර් 9 වැනිදා හැන්සාඩ් වාර්තාවේ සදහන් වෙනවා. පිටු අංක 742. තමන් වෙත භාරදුන් ආටිගල වාර්තා තුන පදනම් කරගෙන තමා විශේෂ වාර්ථාවක් සකස් කල බව ආරක්ෂක අමාත්‍යංහයේ හිටපු ස්ථිර ලේකම්වරයෙකු වූ සමරසිංහ මහතා 1971 සැප්තැම්බර්වලදී හා 1971 ඔක්තෝම්බර් වලදී නිකුත් කළ පුවත්පත් නිවේදන දෙකක සදහන් වෙනවා. එම ලිපි දෙක පලවූ 1971 සැප්තැම්බර් 25 වැනිදා ලංකාදීපය 7 ඩී 5 වශයෙනුත්, 5 බී වශයෙනුත්, 1971 ඔක්තෝම්බර් 2 වැනිදා ලංකාදීප පත්‍රය 7 ඩී 5 ඒ. වශයෙනුත් මම ලකුණු කරනවා.

ගරු ඒ. සී. ඒ. අලස් විනිශ්චයකාරතුමා

ආටිගල වාර්තාව ගැන කියවූවා ඇති. දැන් 1970 මහා මැතිවරණයට ආවනේ. දැන් එතන ඉදල කියවාගෙන යන්න. 1970 මැතිවරණයට පස්සේ වෙච්ච දේවල් කියන්න.

ප්‍රකාශය:

1970 මැතිවරණයට පෙර මෙම ව්‍යාපාරයට අයත් තරුණයින් තද මතයක සිටියා එක්සත් ජාතික පක්ෂය මැතිවරණයක් නොපවත්වා මිලිටරි ආණ්ඩුවක් ගොඩ නගනවා කියලා. නමුත් මෙම ව්‍යාපාරයවත් එහි සිටි තරුණයින්වත් බලාපොරොත්තු වුනේ නැහැ, මැතිවරණයට පෙර හෝ මැතිවරණය දිනදී හෝ පහරදීමක් කරන්න. එවැනි පහරදීමක් ඇති කිරීමට බලාපොරොත්තු නූනෙ සංවිධානය ප්‍රබල තත්වයක නොතිබුණ නිසා හා පහරදීමක් කිරීමට තරම් ආයුධ නොතිබුන නිසයි. 1970 මැතිවරණයට පෙර මෙම සංවිධානය සතුව තිබුණු මෙම සංවිධානය අවි ආයුධ සතුව නොතිබුන බව බාලා තම්පෝ මහතා කියනවා. නමුත් මම එය පිළිගන්නේ නැහැ. මම හොදින් දන්නවා අවි ආයුධ සුළු ප්‍රමාණයක් අප සතුව තිබුණා. අප යන්නෙන් මා අදහස් කරන්නේ මා සතුව තිබීම පමණක් නොවෙයි. මම අනුබද්ධව සිටි පසුව ජනතා විමුක්ති පෙරමුණ නමින් හැදින්වූ සංවිධානය සතුව තිබුණා. අප ළග සාදා නිමවන ලද පුපුරණ ද්‍රව්‍ය තිබුණේ නැති නමුත් පුපුරණ ද්‍රව්‍ය නිපදවීමට යොදා ගනු ලබන සමහර ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් අප සතුව නැත්නම් අප සංවිධානය සතුව තිබුණා. අපේ ව්‍යාපාරය ඒ කාලේ දැරුව මතයක්, එක්සත් ජාතික පක්ෂය මිලිටරි ආණ්ඩුවක් ඇති කලාම ජනතාව ඒ කෙරෙහි කලකිරීමට පත්වෙනවා. කෝපයට පත්වෙනවා. අපි කළයුත්තේ ඒ කලකිරීම උපයෝගී කර ගනිමින් ඔවුන් සංවිධානය කොට, ඔවුන් සන්නද්ධ කොට, මිලිටරි ආණ්ඩුවට එරෙහිව ආයුධ සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමයි. අපි එදා දැරූ මතය එයයි. නමුත් සභාපතිතුමනි, ඒ කියන්නේ 1970 අප්‍රේල් මැයි වලදී විශාල වශයෙන් පුවත්පත් වාර්තා පළවුනා 70 මැතිවරණය කඩාකප්පල් කිරීම අරමුණු කරගත් චේ ගුවේරා ව්‍යාපාරයක් රටතුල ක්‍රියාත්මක වෙමින් පවතිනවාය කියලා. පුවත්පත් වල පලවුන පොලිස් වාර්තා වල පවා සදහන් වුනේ මේ අදහසමයි. පුවත්පත් එදා චේගුවේරා ව්‍යාපාරය නමින් හැදින්වූයේ පසුව ජනතා විමුක්ති පෙරමුණ නමින් හැදින්වූ ව්‍යාපාරයමයි. විජේවීර මේ ගැන කියන්නේ ඔහු තුල එවැනි අදහසක් නොතිබුණ නමුත්, 1970 අප්‍රේල් වලදී කලුතර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානවලට පහරදී සිංහරාජ අඩවියට පලා යාමේ අදහසක් ධර්මසෙකර තුල තිබුණාය කියලා. නමුත් මෙය පලිගැනීම සදහා කියන බොරුවක් පමනයි. මට කරුණු සොයා ගන්නට පුලුවන් වුන අන්දමට ධර්මසේකර 1970 මාර්තු,අප්‍රේල් යන කාලවල “ඩබල් නිව්මෝනියා” හැදිලා රාගම රෝහලේ නේවාසිකයෙකු වශයෙන් ප්‍රතිකාර ලබලා තිබෙනවා. ඔහු ඉතා මත් අසාධ්‍ය තත්වයකයි ඉදලා තිබෙනනේ. ඔහු රෝහලේ සිට ගෙදර ගිය පසු ඩී.ඒ.ගුණසේකර සහ නිමල් මහරගේ ඔහු බැලීම සදහා කලුතර ඔහුගේ නිවසට ගිහින් තියෙනවා. ඔවුන් කියන අන්දමට ඒ වනවිටත් ඔහු අසාධ්‍යය තත්වයකයි ඉදලා තිබෙන්නේ. අනෙක් අතට ධර්මසේකර ඇතුළු පිරිසක් පසුව ජනතා විමුක්ති පෙරමුණ නමින් හැදින්වූ සංවිධානයෙන් වෙන්වුනේ එහෙමත් නැත්නම් වෙන් කලේ 19‍70 අප්‍රේල්වලදී. නමුත් මැතිවරණය කඩා කප්පල් කිරීමක් ගැන පුවත්පත්වල වාර්තා පලවුනේ එම වෙන්වීම සිදුවීමටත් පෙර සිට. අනෙක් අතට අපි හොදින් දැනගෙන සිටියා ධර්මසේකර කණ්ඩායමට අපේ සංවිධානයට තරම්වත් ආයුධ නොතිබුන බව. එමනිසා කලුතර දිස්ත්‍රික්කයට පමණක් සීමාවන ලෙස හෝ කරන පහරදීමක් ගැන හිතන්නවත් අමාරුයි.පැහැදිලි ලෙසටම විජේවීරගේ නායකත්වයෙන් පවත්වාගෙන ගිය ව්‍යාපාරයටවත්, ධර්මසේකර කණ්ඩායමටවත් අදහසක් තිබුණේ නැහැ මැතිවරණයට පෙර හෝ මැතිවරණය දිනදී පහරදීම් ඇති කරන්න. 1970 මැයි 13 වනදා ‘වීක් එන්ඩ්” පත්‍රයේ පලවුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ අංශය විසින් මේ ව්‍යාපාරය ගැන සොයාගෙන තිබෙන කරුණු ගැන දීර්ඝ විස්තරයක්. එම විස්තරයට අඩංගු වුනා මෙම ව්‍යාපාරයේ දේශපාලන දර්ශන ගැන, නැත්නම් පංති පහ ගැන. සංවිධාන ස්වරූපය ගැන. කදවුර ගැන හා එ[…] මේ ව්‍යාපාරය පැතිරී තිබෙන ප්‍රදේශ ගැන. මේ වාර්තාවේ පැහැදිලිව සදහන් වෙ[නවා] පොලිසියේ නිගමනය වී තිබෙන්නේ මෙම ව්‍යාපාරයේ අරමුණ ලග එන මැතිවරණය [කඩා]කප්පල් කිරීම බව.

“වීක් එන්ඩ්” පත්‍රයේ පලවූ එම සම්පූර්ණ වාර්තා 1971 සැප්තැම්බර් 8 වනදා හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කර තිබෙනවා. පිටුව 342 සිට 345 දක්වා. මම එම හැන්සාඩ් වාර්තාව 7 ඩී 6 වශයෙන් ලකුණු කරනවා.

ළග එන මැතිවරණය කඩාකප්පල් කිරීම සදහා චේගුවේරා ව්‍යාපාරය කටයුතු කරමින් සිටින බව දැක්වෙන අදහස් පුවත්පත් හා ගුවන්විදුලිය මගින් කොතරම් දුරට ප්‍රචාරය කර හැරියාද කිව්වොත්, එවකට විරුද්ධ පක්ෂයේ සිටි නියෝජිත පිරිසක් 1970 මැයි 9 වනදා අග්‍රාණ්ඩුකාරතුමා හමුවී බාර දෙන ලද සංදේශයටත් මෙන්න මේ අන්දමට “ මේ සම්බන්ධයෙන් දෛනික පුවත්පත් කණ්ඩායමක්, විශේෂයෙන්ම ලේක්හවුස් පත්‍ර හා ලංකා ගුවන්විදුලි සංස්ථාව ත්‍රාසයක් ඇතිකොට දාමරික හා ව්‍යාකූල තත්වයක් මෝරමින් තිබෙන බවට පින්තාරුවක් සායම් ගා පෙන්වීමට මොනතරම් ප්‍රයත්නයක් දරමින් සිටිනවාදැයි කෙනෙකුට සිත නොදී සිටිය නොහැක. ඊනියා අන්තවාදීන් මැතිවරණය පැවැත්වීම කඩාකප්පල් කිරීමට ක්‍රමානුකූල හා ව්‍යාප්ත උත්සාහයක් ගෙනයාමේ චෝදනාව පොලිස් ප්‍රකාශ අනුව මැතිවරණයට කිසිසේත් සම්බන්ධ නොවූ සිතා මතා උපදවාගත් හා වැඩිකර පෙන්වන අපරාධ ක්‍රියා පදනමින් මෙහි පින්තාරු සමන්විත බැවින්, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ආඥාදායක පියවරයන් අනුගමනය කිරීම සාධාරණයයි පෙන්වීමට ඒවා උපයෝගී කරගනු ඇතැයි අපට බියක් ඇත.” මෙම කොටස ඇතුලත් වන්නේ 1970 නොවැම්බර් 30 වනදා හැන්සාඩ් වාර්තාවේ 73 සහ 74 යන පිටු. මම මෙම හැන්සාඩ් වාර්තාව 7 ඩී 7 වශයෙන් ලකුණු කරනවා.

පසුකලෙක ජනතා විමුක්ති පෙරමුණ නමින් හැදින්වූ සංවිධානය තුල මැතිවරණය කඩාකප්පල් කිරීමේ අදහසක් තිබුනේ නැහැ. නමුත් පුවත්පත් එවැනි නොමග යවන සුළු අදහසක් ප්‍රචාරය කලේ ඇයිද යන්න සැකයට තුඩු දෙන ප්‍රශ්නයක්. ඒ කාලේ ලේක්හවුස් පත්‍ර ආයතනය මේ ර‌ටේ යම්කිසි දේශපාලන පක්ෂයක උවමනාවන් නියෝජනය කලා. මෙය වඩාත් සැකයට හේතුවන්නේ ඒ කාලේ “උදය” හා “සියරට” පත්‍ර පාර්ලිමේන්තු බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයට දැනමුතුකම් දුන්නා වගා ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සදහා මැතිවරණය කල් තබන්නයි කියලා. එක්සත් ජාතික පක්ෂයට හිතවත් ගම්සභා, සුලු නගර සභා, හා නගර සභා යෝජනා කරලා සම්මත කරලා හිටපු අගමැතිතුමාට දැන්නුවා සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා මැතිවරණය කල් තබන්නයි කියලා. මේවා තැනින් තැන සිදුවන අසම්බන්ධිත ක්‍රියා ලෙස හිතන්න අමාරුයි. චේ ගුවේරා ව්‍යාපාරය පිට තියලා එක්සත් ජාතික පක්ෂය මැතිවරණය කල් දැමීමේ වැඩ පිළිවෙලක් අනුගමනය කරන්නට යෑම පිළිබද සැකයක් එදා දේශපාලන ක්ෂේත්‍රය තුල තිබුණා. 1970 මැයි මාසයේ 9 වෙනිදා ගරු සිරිමාවෝ බණ්ඩාරාණායක මැතිනිය, ටී.බී.ඉලංගරත්න, පීටර් තේමන්, හා එන්.එම්.පෙරේරා යන මහතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් අග්‍රාණ්ඩුකාරතුමා වෙත බාරදෙන ලද සංදේශයෙහි ඒ ගැන සදහන් වෙන්නේ මෙන්න මේ අන්දමට.

“වත්මන් ආණ්ඩුව මැතිවරණයේ දී පරාජයක් ඇතිවෙන බවට පැහැදිලි ලකුණු වෙතොත් මැතිවරණය ඔන්න මෙන්න කියා තිබියදී හෝ නැත්නම් මැතිවරණයේදී ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව පරාජයට පත්වුවහොත් රටේ පාලන බලය සන්නද්ධ හමුදාව විසින් හෝ ඉන් කොටසක් විසින් පවරා ගැනීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මකව පවතින බවට ඇතැම් ආරංචි ලැබී ඇත.”

මම මේ කොටස උපුටා ගත්තේ 1970 සැප්තැම්බර් 30 වනදා හැන්සාඩ් වාර්ථාවෙන්. පිටුව 73. මේ හැන්සාඩ් වාර්ථාව මම දැනටමත් 7ඩී 7 වශයෙන් ලකුනු කර තිබෙනවා.

1973.09.05 · 10.10 – 10.20

7 වැනි සැකකරු මජුවාන කංකානම්ගේ වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල ඔහුගේ ප්‍රකාශණය ඉදිරිපත් කරමින් ………………

7 වැනි සැකකරු.- ‌විරුද්ධ පක්ෂයේ මෙම කණ්ඩායම රජගෙදරට ගියේ නිකම්ම නොවන බව හා ඒ පිළිබද වැදගත් ආරංචි ඔවුන්ට ලැබී තිබුණ බව ඊට බොහෝ කලකට පසුව එනම් 1971 සැප්තැම්බර් 9 වෙනිදා සභානායක මෛත්‍රීපාල සේනානායක මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා. එය සදහන් වෙන්නේ 1971 සැප්තැම්බර් 9 වෙනිදා හැන්සාඩ් වාර්තාවේ. පිටුව 744. එම හැන්සාඩ් වාර්තාවත් මා දැනටමත් 7ඩී4 වශයෙන් ලකුණු කර තිබෙනවා.

පුවත්පත් හා ගුවන් විදුලිය මේ වගේ නොමග යවන සුලු අදහසක් ප්‍රචාරය කරද්දී, එවකට බලයේ සිටි ආණ්ඩුව ඒ ගැන නිහඩව සිටියේ ඇයිද යන්න විශාල ප්‍රශ්නයක්. මොකද එවකට හිටපු අගමැතිතුමා හොදාකාරව දැන සිටියා මැතිවරණයට පෙර හෝ මැතිවරණය දිනදී පහරදීමක් අරමුණු කරගත් කිසිම වාමාංශික සංවිධානයක් මේ රටේ නොතිබු බව. මේ ගැන විශේෂයෙන් හිටපු අගමැතිතුමා දැනගෙන සිටියැයි කියන්නේ මෙන්න මේ හේතුව නිසා. 1970 මාර්තුවලදී ජෝන් ආටිගල මහතා විසින් බාරදෙන ලද “ලංකාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායම්වල විප්ලවය” යන වාර්තාවේ පැහැදිලිව සදහන් වෙනවා මැතිවරණ සමයේ දී හෝ මැතිවරණය දිනදී කිසිම කලබලයක් නොවන බව. මේ කොටස මම උපුටා ගත්තේ 1971 සැප්තැම්බර් 9 වෙනිදා හැන්සාඩ් වාර්තාවෙන්. පිටුව 733. මෙම හැන්සාඩ් වාර්තාව මම 7ඩී4 වශයෙන් ලකුනු කර තිබෙනවා.

චේ ගුවේරා ව්‍යාපාරය පිටින් තියලා 70 මැතිවරණය නොපවත්වා ඉදීමේ උවමනාවක් තිබුනාය කියන අදහස පිලිගන්න තරම් සාධක තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළත්, එය ආරක්ෂා කිරීම සදහා මොන ආකාරයේ දිවුරුම්දීම් කරනු ලැබූවත් එදා මේ රටේ බහුතර ජනතාවගේ කෝපයට, පිලිකුලට හා වෛරයට ලක්වුන 62කේ කුමන්ත්‍රණය පිටුපස එක්සත් ජාතික පක්ෂයේ සමහර වගකිවයුතු නායකයින් ඉදලා තිබෙනවා. වර්තමාන අධිකරණ ඇමති පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා 1971 මැයි 4 වනදා පාර්ලිමේන්තුවේදී කිව්වා, අග්‍රවිනිශ්චයකාර තුමා ඇතුලු ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් තුන් දෙනෙක් 62 කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පවත්වන ලද විභාගයේ දී එළිදරව් වුනාය කියලා. ඩඩ්ලි සේනානායක මහතා සහ සර් ජෝන් කොතලාවල මහතා නිර්නාමික නම් වලින් මේ කුමන්ත්‍රණය පිටුපස සිටි බව. එය සදහන් වෙනවා 1971 මැයි 4 වනදා හැන්සාඩ් වාර්තාවේ 545 වන පිටුව.මම ඒ හැන්සාඩ්වාර්තාව 7ඩී8 වශයෙන් ලකුණු කරනවා.

ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය 1970 වන විට එතෙක් තමන් මුහුණ දුන් පරීක්ෂණවල ප්‍රතිඵල වලින්ම දැනගෙන සිටියා. මැතිවරණයක් පැවැත්වුවහොත් තමන්ට අන්ත මැතිවරණ පරාජයක් හිමිවන බව. ඒ නිසා ඔවුන් බලාපොරොත්තු වෙන්න ඇති චේ ගුවේරා කාරයෝ කලබල කරන බවක් පෙන්වලා මැතිවරණය කල්දාන්න. එක්සත් ජාතික පක්ෂයේ මේ බලාපොරොත්තුව විවිධ දේශපාලන පක්ෂ හා සංවිධාන විසින් ජනතාව අතරට ගෙනගියා. විශේෂයෙන්ම සමගි පෙරමුණේ කථිකයෝ මැතිවරණ වේදිකාව තුලින් මේ ප්‍රශ්නය ජනතාවට ඉදිරිපත් කලා. මේ නිසා එක්සත් ජාතික පක්ෂය තේරුම් ගන්න ඇති ජනතාවට ඒ වන විටත් එළිදරව් වී තිබෙන කුමන්ත්‍රණයක් ක්‍රියාවට නැගීම වාසිසහගත නොවන බව. එම අදහස තාවකාලික ලෙස යටපත් කළ යුතු බව. මැතිවරණයෙන් තමන් පරාජයට පත්වුනත්, සමගි පෙරමුණ ජයග්‍රහණය කලත් නැවත තමන්ට ඉක්මනින් බලයට ඒමට හැකි තත්වයක් රටේ උද්ගත වෙන බව ඔවුන් තේරුම් ගන්න ඇති. මම එහෙම කිව්වේ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ අංශය නමින් හදුන්වන අංශය මේ ව්‍යාපාරය ගැන එහෙම නැත්නම් පසුව ජ.වි.පෙරමුණ නමින් හැදින්වූ ව්‍යාපාරය ගැන කරන ලද පරීක්ෂණ වලින් ඔවුන් තේරුම් ගන්න ඇති මෙම ව්‍යාපාරය දියාරු නිර්මාක්ස්වාදී සංවිධානයක් බව. වර්ධනය වෙමින් පැවැති මෙම ව්‍යාපාරය අනියම් ලෙස ප්‍රයෝජනයට ගැනීම මගින් එනම් පාර්ලිමේන්තු බලය අල්ලා ගන්නා සමගි පෙරමුණ පෙරලා දැමීමට මෙම අතිවාමාංශික සංවිධානය යොදා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙන්න ඇති. ජෝන් ආටිගල මහතාගේ “ලංකාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායම්වල විප්ලවය” යන වාර්තාවේ පැහැදිලිව සදහන්වෙනවා “සමගි පෙරමුණ මැතිවරණයේදී බලයට පත්වුනොත් ඒ අය ටික කලක් යන්නට ඉඩහැර පහරදීම් අරඹන බව” මා එය උපුටා ගත්තෙත් 1971 සැප්තැම්බර් 9 වනදා හැන්සාඩ් වාර්තාවෙන්. 733 වන පිටුව.

ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය තේරුම් අරගෙන ඉන්න ඇති සමගි පෙරමුණ බලයට පත්වුනාට පස්සේ මේ අය පහරදීම් කලොත්, එක්කෝ සමගි පෙරමුණ බලයෙන් පහවේවි. නැත්නම් හොදටම දුර්වල වේවි. සමගි පෙරමුණ බලයෙන් පහවුනත් ජ.වි.පෙ. බලයට එන්නේ නැහැ. එතකොට ඒ අඩුව පිරිමහන්න බලයට එන්න පුළුවන්. එක්කෝ සමගි පෙරමුණ පහරදීම් නිසා දුර්වල වුනාම තමන්ට ඉක්මනට බලයට එන්න ඉඩ ලැබෙනවා. මේ නිසා විය යුතුයි බලයේ සිටි අය බලයට පත්වුන සමගි පෙරමුණට ආටිගල වාර්තා ඉදිරිපත් නොකොට සගවා තබා ගත්තේ.

තුන්වෙනි වකවානුව ඇරඹුනේ සමගි පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු. ඉන්පසු මේ ව්‍යාපාරය එළිමහනේ කරන තම ප්‍රචාරක වැඩ කටයුතු කිරීම, වැඩ කිරීම ආරම්භ කළා. මෙන්න මේ කාලය තුල යම්කිසි අදෘශ්‍යමාන බලවේගයක් විසින් එක්තරා සීමාවක තුල ජ.වි. පෙරමුණේ වර්ධනයට අනුබල දුන්නා පමණක් නොවෙයි ඔවුන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින් ප්‍රකෝප කිරීම සදහා යම්කිසි ක්‍රියා මාර්ගයක් ගෙන තිබෙනවා. දැනටමත් මේ කොමිෂන් සභාව හමුවේ එළිදරව්වෙලා තියෙනවා හමුදාව හා පොලීසිය ඒකාබද්ධ වී 1971 මාර්තුවලදී විද්‍යෝදය මණ්ඩලය සෝදිසි කළ බව. ඒ සෝදිසි කිරීම නියමිත වූ දිනයට පෙර ජනතා විමුක්ති පෙරමුණට පණිවිඩයක් ලැබුනා, අහවල් දවසේ, අහවල් වෙලාවට විද්‍යෝදය මණ්ඩපය සෝදිසි කරනවා. ඊට පෙර එහි තිබෙන අවිආයුධ ඉවත්කර ගන්නයි කියලා. මේ පණිවිඩය නිසා ජ.වි. පෙරමුණට හැකිවුනා විද්‍යෝදය මණ්ඩපය තුල තිබූ සියලු අවිආයුධ නියමිත වේලාවට පෙර ඉවත්කර ගැනීමට. ඒ ඇරුන කොට අවස්ථා ගණනාවකදීම ජ.වි. පෙරමුණට යම් යම් පණිවිඩ ලැබුනා අහවල් දිනයේ, අහවල් වේලාවට, අහවල් ස්ථානය සෝදිසි කරනවාය ඊට පෙර එහි තිබෙන අවිආයුධ ඉවත්කර ගන්නයි කියලා. ඇත්ත වශයෙන්ම ඒ හැම අවස්ථාවකදීම ජ.වි. පෙරමුණ ක්‍රියාත්මක වුනා. ඒ ඒ ස්ථානවල තිබූ අවිආයුධ ඉවත් කර ගත්තා. ඉන්පසු ඒ ස්ථාන පොලීසිය හෝ යුද්ධ හමුදාව විසින් සෝදිසි කර තිබෙනවා. මේ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දුන් මහනුවර සහකාර පොලිස් අධිකාරී, දැන් පොලිස් අධිකාරීවරයෙක් වන, එම්. ෂන්මුගම් මහතා මේ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙන අවස්ථාවේදී කී මාර්තු 20 වෙනිදාට පෙර පේරාදෙණිය මණ්ඩපය තුල පුපුරන ද්‍රව්‍ය තිබූ බව, තමන්ට දැන ගන්න ලැබුනාය කියලා. තමන් එය පොලිස් මූලස්ථානයට දන්වා මණ්ඩපය පරීක්ෂා කිරීමට අවසර ඉල්ලුවාය, නමුත් පොලිස් මූලස්ථානයෙන් අවසර ලැබුනේ නැතිය කියලා. මේ කරුණු අනුව පෙනී යන්නේ යම්කිසි අදෘශ්‍යමාන බලවේගයක් විසින් එක්තරා සීමාවක් තුල ජනතා විමුක්ති පෙරමුණේ වර්ධනයට උදව්දී තිබෙන බවයි.

පුපුරන ද්‍රව්‍ය නිශ්පාදනය කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අපි මිලදී ගත්තේ පුද්ගලික සමාගම්වලින්. සමහර විට මේ වෙළද සමාගම් දැන ගෙන ඉන්න ඇති මේවා කොහාටද යන්නේ කියලා. නමුත් මුදල් ඇත්නම් අවශ්‍ය තරම් ඒවා ලබා දීමට ඔවුන් සූදානමින් සිටියා. මේ ද්‍රව්‍ය යන්නේ කොහාටද කියලා දැන දැනත් ඒවා ඔවුන් අපට විකුණන්න ඇත්තේ වෙළදුන් වශයෙන් ලාභ ලබන්න වෙන්න ඇති. ලතින් ඇමෙරිකානු රටවල විශාල ධනපති වෙළද සමාගම් විප්ලවවාදී ව්‍යාපාරවලට ආයුධ විකුණනවා. නමුත් ඔවුන් හොදටම දන්නවා මේ විප්ලවවාදීන් සටන් කරන්නේ ඔවුන්ටත් එරෙහිව බව.

1973.09.05 · 10.20 – 10.30

නමුත් ඔවුන් ඒ අයට ආයුධ විකුනනවා. ඒ තුලින් ඔවුන් විශාල ලාභ ලබනවා. ලාභයෙන් කොටසක් යොදවනවා. නැවත ඒ විප්ලවවාදී ව්‍යාපාරයන් මර්දනය කරන්න. ඒ ජාතියේ වෙළදුන් සහ වෙළද සමාගම් අපේ රටේත් තිබෙන්න ඇති. තවත් සමහරුන් අපට ඒවා විකුණන්නට ඇත්තේ අපේ ක්‍රියාවලිය තේරුම් ගැනීමෙන් වෙන්න පුළුවන්. සමහර විට ඔවුන් තේරුම් ගන්න ඇති අපි මේ කරන්න යන දෙයින් ඔවුන්ට වඩාත් හිතවත් කොටසකට බලයට ඒමට සුදුසු තත්වයක් උද්ගත වෙයි කියලා. අන්න එහෙම වෙළදුනුත් මේ රටේ ඉන්න ඇති. අන්න එහෙම අයත් අපට ආයුධ විකුණන්න ඇති. අපට උදව් කළ අදෘශ්‍යමාන බලවේගය 1971 ජනවාරි වන විට ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින් ප්‍රකෝප කිරීම සදහා සියුම් ක්‍රියා මාර්ගයක් ගෙන තිබෙනවා. මේ අදෘශ්‍යමාන බලවේගය මුලදී ජනතා විමුක්ති පෙරමුණට ඔත්තු සැපයීම, තුලින් ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාස දිනා ගත්තා. මොවුන් ඊළගට තරුණයින් භීතියට පත්වන ආකාරයේ, ප්‍රකෝපවන ආකාරයේ තොරතුරු ජනතා විමුක්ති පෙරමුණට එව්වා. ඔවුන් මුලදී සපයන ලද තොරතුරු සත්‍යවූ නිසාම ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ තොරතුරු කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබුවා. ළගදී පොලිසිය විසින් කරන්නට යන සමූලඝාතනයක් පිළිබදව තොරතුරු ඒවායේ අඩංගු වුනා. ජනතා විමුක්ති පෙරමුණේ තරුණයෝ කෝපයටත්, භීතියටත් පත්වුනා. “කෲර පොලිස් මර්ධනය ධනපති ක්‍රමයේ මර ලතෝනියයි” යන සටන් පාඨය අඩංගු ලොකු අකුරු පෝස්ටර් ලංකාව පුරා ඇලවුනා. මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින්ගේ මානසිකත්වය හැඩ ගැසී තිබුණ ආකාරය ඒ පෝස්ටර්වල අඩංගු සටන් පාඨයෙන් පැහැදිලි වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින් තමන්සිතා සිටි අයුරින් ලග එන මහා විනාශයෙන් අත් මිදීම සදහා සන්නද්ධවීමේ කටයුතු පළල් කළා. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබූ තුවක්කු හා පිස්තෝල ප්‍රමාණය බෙහෙවින් අඩුයි. වැඩියෙන්ම ඔවුන් සතුවෙලා තිබුණේ පුපුරණ ද්‍රව්‍ය නිපදවීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය.තරුණයින් මේවා උපයෝගී කරගනිමින් පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පටන් ගත්තා. භීතිය හා කෝපය විසින් ඔවුන් තුළ ඇති කර තිබූ ඉක්මන් කාරකම නිසාම මේවා නිපදවීමේදී ස්ථාන කිහිපයකම විශාල පිපිරීම් කිහිපයක් ඇතිවුනා. ප්‍රධාන වශයෙන්ම මාර්තු 10 වෙනිදා ඇසලමුල්ලේ දී සිදුවූ විශාල පිපිරීම් නිසා තරුණයින් කිහිප දෙනෙක්ම මරුමුවට පත්වුනා. ඊට දින කිහිපයකට පෙර එනම් මාර්තු 6 වෙනිදා තරුණ පිරිසක් විසින් ඇමරිකන් තානාපති කාර්යාලයට පහර දුන්නා. මාර්තු 8 වෙනිදා අම්පාර ගංගානිම්න සංවර්ධන මණ්ඩලයේ සේවකයින් 13,000ක් පමණ වැඩ වර්ජනයක් ආරම්භ [කළා.]

මාර්තු 12 වනදා යාල් දේවී සීග්‍රගාමී දුම්රියේ ඇතිවූ අභිරහස් ගින්නක් නිසා එහි එක් මැදිරියක් සහමුලින්ම අලුවී තිබෙන බව පුවත්පත්වල වාර්තාවී තිබුණා. එදින විජේවීර ඇතුළු 6 දෙනෙක් අම්පාරේදී අත් අඩංගුවට ගත්තා. සමාජසේවා ඇමති ටී.බී.තෙන්නකෝන් මහතා පැහැර ගෙන යාමට ජ.වි.පෙරමුණේ අය යොදා ගෙන තිබෙනවා යැයි කියන සැලැස්මක් රහස් පොලිසිය සොයාගෙන තිබෙන බව තවදුරටත් පුවත්පත්වල වාර්තා වුනා. මාර්තු 13 වෙනිදා යාපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, නගරාධිපති ටීකදුරෙයියප්පා මහතාගේ වාහනය තුල අභිරහස් ලෙස බෝම්බ පිපිරීමක් සිදුවී තිබෙන බව පුවත්පත්වල වාර්තා වුනා. මාර්තු 14 වනදා නන්නාදුනන පිරිසක් විසින් මාතලේ පොලිස් ජීප් රියකට වෙඩි තබා තිබෙන බව පුවත්පත්වල වාර්තා වුනා. ප්‍රදේශ ගණනාවකින්ම, විශේෂයෙන්ම ඇසලමුල්ල, වරකාපොල, පයාගල හා අනුරාධපුර වැනි ප්‍රදේශවලින් ජ.වි. පෙරමුණට අයත් තරුණයින් ගණනාවක්ම අත් අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන බව මාර්තු 15 වෙනිදා ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව මගින් නිකුත් කළ ප්‍රවෘත්ත නිවේදනයක සදහන් වෙනවා. මාර්තු 15 වෙනිදා විශේෂ ගැසට් නිවේදනයක් මගින් හදිසි තත්වයක ප්‍රකාශ කලා. එදින හල්ඔලුවේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් තරුණයෙක් මියගියා. බොම්බ හදමින් සිටියදී එම තරුණයා මියගිය ආකාරයටයි ප්‍රවෘත්ති පත්‍රවල එය සදහන් වුනේ.

හදිසි තත්වය ඇති කිරීමට හේතු විස්තර කරමින් මාර්තු 17 වනදා අගමැතිනිය ගුවන් විදුලිය මගින් ජාතිය ඇමතුවා. එදින ඇස්වත්තේ දී ලේක්හවුස් වෑන්රියක් ගිනි තැබීමේ සිද්ධියක් හා තරුණයින් පිරිසක් මොණරාගල කච්චේරිය ගිණි තැබීමට දරණ ලද උත්සාහයක් ගැන පුවත්පත්වල වාර්තා වුනා. මාර්තු 19 දා වනවිට හදිසි රෙගුලාසි යටතේ අත් අඩංගුවට ගෙන සිටින අයගේ සංඛ්‍යාව 100ක් පමණ වේ යැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල නිවේදනයක සදහන් වෙනවා. මාර්තු 20 වෙනිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාක්ස් ශාලාව තුල විශාල පිපිරීමක් සිදුවුවා. හෙට්ටිපොල, මාතලේ, මීගමුව, ගාල්ල, තිස්සමහාරාමය, හැටන්, කුලියාපිටිය, නෝටන්බ්‍රිජ්, තලවකැලේ, දඹුල්ල, ත්‍රීකුණාමලය, නුවරඑළිය සහ නිට්ටබුව යන ප්‍රදේශවලින් සියයට වැඩි පිරිසක් ද, අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය විශාල වශයෙන් අත් අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන බව එදින ප්‍රවෘත්ති දේපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුල තිබූ, විශාල අවි ආයුධ තොගයක් අත් අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන බව මාර්තු 22 වනදා පුවත්පත්වල සදහන් වුනා. විවිධ වැරදි රාශියකට මරණ දඩුවම බලපාන ආකාරයෙන් නීති රීති ක්‍රියාවට නගා තිබෙන බව පුවත්පත්වල ලොකු අකුරු වලින් පලවුනා. එදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී හදිසි තත්වය පැනවීමට හේතු දක්වන ලෙස ජේ.ආර්.ජයවර්ධන මහතා අගමැතිනියගෙන් ඉල්ලා සිටියා. ඊට පසුදින ඒ කියන්නේ මාර්තු 23 වනදා අගමැතිනිය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී හදිසි තත්වය පැනවීමට හේතු විස්තර කලා. මාර්තු 28 වෙනිදා එක්සත් ජාතික පක්ෂය විසින් නුවර, බෝගම්බර පිට්ටනියේ ප්‍රචාරක රැස්වීමක් පැවැත්තුවා. ඩඩ්ලි සේනානායක මහතා එහිදී කථා කරමින් කිව්වා, ‘ තැනින් තැන සිදුවූවාය කියන බෝම්බ පිපිරීම් කිහිපයක් අයුක්ති සහගත ලෙස හදිසි නීතිය පැනවීමට මැතිනිය යොදාගෙන තිබෙනවාය, කියලා. ඇතිවී තිබෙන තත්වය හාස්‍යයට ලක් කරමින් ඔහු එහිදී වැඩි දුරටත් කියා තිබෙනවා, ‘දැදිගම ප්‍රසිද්ධ බෝම්බවලට පමණක් නොවෙයි. පරාක්‍රමබාහු සිටියෙත් දැදිගමයි කියලා’ එදින ගාල්ලේ පවත්වන ලද පිංකම් උත්සවයකදී ජේ.ආර්.ජයවර්ධන මහතා යුක්ති සහගත නොවන ලෙස පනවා තිබෙන හදිසි නීතිය විවේචනයට ලක් කලා. ඇත්ත වශයෙන්ම මේ අය මේ වනවිට හොදාකාරවම දැනගෙන සිටියා මේ වනවිට රටේ තිබුණ සැබෑ තත්වය මොකක්ද කියලා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අවි ආයුධ විශාල ප්‍රමාණයක් හා සාදා නිම කරන ලද අත් බෝම්බ විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබුණා. ප්‍රදේශ කිහිපයකම බෝම්බ පිපිරීම් සිදුවී තිබුණා. රටේ තිබුණ සැබෑ තත්වය තේරුම් නොගැනීමට තරම් අපහසු තත්වයක් ඔවුන් සිටියාය කියා හිතන්න අමාරුයි.

ව්‍යාජ ලෙස කලබලකාරී තත්වයන් මවා පෑම තුලින් සමගි පෙරමුණ හදිසි තත්වයන් පනවාගෙන යන බව පෙන්වීමට ඔවුන් උත්සාහ කලේ ඇයිද යන්න විශාල ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම ඔවුන් ජ.වි.පෙරමුණටත්, එය විසින් ඇති කරන ලද කැරැල්ලටවත් බයවෙලා නැහැ. එක්තරා සීමාවන් තුල කැරැල්ලක් ඇතිවෙනවා දකින්න ඔවුන් කැමැත්තක් දක්වලා තියෙනවා. මෙය විශේෂයෙන්ම සැකයට හේතුවක් වෙලා තියෙනවා. ජෝන් ආටිගල මහතාගේ 1970 මාර්තු වාර්තාවේ ‘සමගි පෙරමුණ ජයග්‍රහණය කලොත් ටික කලක් යන්නට ඉඩ හැර පහරදීම් කරන බව’ සදහන් වෙන නිසයි. මා මෙය උපුටා ගත්තේ 1971 සැප්තැම්බර් 9 වනදා හැන්සාඩ් වාර්තාවෙන්. පිටුව 737.

එක්සත් ජාතික පක්ෂයේ වගකිව යුතු නායකයින් හොදාකාරවම දැනගෙන ඉන්න ඇති ජ.වි. ජ.වි.පෙරමුණට කැරැල්ලක ඇති කල හැකි නමුත් බලය අල්ලා ගත නොහැකි බව. එවැනි කැරැල්ලක් ඇති වුනොත් ඉන් උද්ගතවන තත්වයන් ප්‍රයෝජනයට ගනිමින් තමන්ට නැවතත් ඉක්මණින් බලයට ඒමට හැකි වේයැයි ඔවුන් සිතන්න ඇති. ඩඩ්ලි සේනානායක මහතා තමන්ගේ කැබිනට් මණ්ඩලයටත් මෙම ආටිගල වාර්තා පිළිබද කරුණු හෙලිදරව් කරලා නැහැ. ඩබ්ලිව්. දහනායක මහතා 1971 සැප්තැම්බර් 9 වෙනිදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී කිව්වා එම වාර්තා තමන් සිටි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළ බව.

සාමාන්‍යයෙන් ලංකාවේ ආරක්ෂාව පිළිබද ඉහලම මණ්ඩලය වශයෙන් කටයුතු කරන්නේ ආරක්ෂක මණ්ඩලය. එය අගමැති, ආරක්ෂක අමාත්‍යංශයේ ස්ථිර ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා යන අයගෙන් සමන්විත වෙනවා. මෙම ආටිගල වාර්තා 1970ට පෙර තිබුණ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කලේ නැති බව හිටපු ස්ථිර ලේකම් ජී.වී.පී. සමරසිංහ මහතා 1971 සැප්තැම්බර් 23 වනදා නිකුත් කළ පුවත්පත් ප්‍රකාශයක සදහන් වෙනවා. මම එම පුවත්පත් වාර්තාව දැනටමත් 7ඩී 5 ඒ වශයෙන් ලකුණු කර තිබෙනවා.

මෙම වාර්තා හිටපු පොලිස්පති ඇලරික් අබේගුණවර්ධන මහතාවත් දැකලා නැති බව ඇලරික් අබේගුණවර්ධන මහතා කී බව 1971 සැප්තැම්බර් 9 වනදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සභානායක මෛත්‍රීපාල සේනානායක මහතා කියා සිටියා.

හිටපු රහස් පොලිස් අධිකාරී ජී.ඒ.ඩී.ඊ.ඒ.සෙනෙවිරත්න මහතා පවා මේ වාර්තා ගැන කිසිවක් නොදන සිටි බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ස්ථිර ලේකම් ඒ.ආර්. රත්නවේල් මහතා 1971 සැප්තැම්බර් 27 වනදා නිකුත් කළ පුවත්පත් ප්‍රකාශයක සදහන් වෙනවා. එම පුවත්පත් වාර්තාව පලවුනේ 1971 සැප්තැම්බර් 27 වනදා ‘ලංකාදීප පුවත්පතේ. මම එය 7ඩී 9 වශයෙන් ලකුණු කරනවා.

1971 අප්‍රේල් 5 වනදා බදුල්ල, මහනුවර, මොනරාගල, අම්පාරේ සහ නුවරඑළිය ප්‍රදේශවලට පමණක් සීමාවන ලෙස ඇදිරි නීතිය පැනෙව්වා. රාත්‍රියේදී එය කොළඹටත් බලපෑවා. මුලදීම ඇදිරි නීතිය පැනවු දිස්ත්‍රික්ක වල කැරලි කාර ක්‍රියා සිදුවී තිබෙන්නේ ඉතාමත් අඩුවෙන්. පොලිස්පතිවරයා මේ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් කියා තිබෙනවා 1970 මැයි වලදී සිට මේ ව්‍යාපාරයට සාමාජිකයන් බදවා ගැනීම සැලැස්මකින් තොරව කරන ලද නිසා මේ සංවිධානය තුලට විශාල වශයෙන් පොලිස් ඔත්තු කරුවන් ඇතුල් කරලා මෙම සංවිධානයේ ස්වාභාවය ගැන බොහෝ කරුණු දැන ගැනීමට හැකිවුනාය කියලා.

1973.09.05 · 10.30 – 10.40

7 වැනි සැකකරු, වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල මහතාගේ ප්‍රකාශනය තව දුරටත් කරගෙන යයි.

ඇත්ත වශයෙන්ම, පොලිසියට ජනතා විමුක්ති පෙරමුණ තුලට ඔත්තුකරුවන් ඇතුලත් කිරීමට හැකි වුනානම්, ඒ අයට දැනගන්නට ලැබෙන්න ඇති ජනතා විමුක්ති පෙරමුණේ පහරදීමේ සැලැස්ම මොකක්ද කියලා. පුවත්පත්වල පල වූ සමහර පොලිස් වාර්තාවල සදහන් වුනා, “ලාංකීය විප්ලවය ගතයුතු මග” නමැති පන්තිය ගැන. එහි පැහැදිලි ලෙස සදහන් වෙනවා රටපුරා එකවිට පහරදීම් කළ යුතු බව, අරගලය කෙටි කාලින විය යුතුයි කියලා. පොලිසිය මේ පහරදීමේ සැලැස්ම ගැන හොදාකාරව දැනගෙන ඉන්න ඇති. 1971 මාර්තු 5 වැනි සිකුරාදා ලංකාවේ තිබෙන සියලුම පොලිස් ස්ථාන පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයක් යටතේ විනාඩි 35ක කාලයක් තුළ විශේෂ පරීක්ෂණයකට ලක්කළා. මෙම පරීක්ෂණය හැදින්වූයේ “ටේක්පෝස්ට්ස්” යන නමින්. මේ අනුව පැහැදිලි වෙනවා පොලිසිය බලාපොරොත්තු වෙලා තියෙනවා රටපුරා එකම අවස්ථාවකදී එල්ලවන ප්‍රහාරයක්. අනෙක් අතට ඔවුන්ගේ පොලිස් වාර්තාවල සදහන් වෙනවා ජනතා විමුක්ති පෙරමුණ වඩාත් බලවත් ලෙස පැතිරී තිබුණේ කොයි කොයි පළාත්වලද කියලා. ජෝන් ආටිගල මහතාගේ මාර්තු වාර්තාවේ සදහන් වෙන අන්දමට කරන්දෙණිය,ඇල්පිටිය, දෙනියාය, පදවිය, දැදැගම යන පලාත්වල වඩාත් ප්‍රබල ලෙස ජනතා විමුක්ති පෙරමුණ පැතිරී තිබෙන බව එහි සදහන් වෙනවා.

1971 අප්‍රේල් 4 වනදා කඩවත එඩ්සන් ඩයස් පොලිසියට හොද ඔත්තුවක් දී තිබියදීත් අප්‍රේල් 5 වනදා බදුල්ල, මහනුවර, මොනරාගල, අම්පාරේ, නුවරඑලිය සහ කොළඹ යන ප්‍රදේශවලට පමණක් සීමා වන ලෙස ඇදිරි නීතිය පනවා, ජනතා විමුක්ති පෙරමුණේ වඩාත් බලවත්ව තිබූ ඇල්පිටිය, දෙනියාය, පදවිය, කෑගල්ල, පොළොන්නරුව වැනි ප්‍රදේශ ඇදිරි නීතියෙන් නිදහස් කර තැබුවේ ඇයිද යන්න ප්‍රශ්නයක්. කොහොම නමුත් ජනතා විමුක්ති පෙරමුණ වඩාත් බලවත් ලෙස පැතිරී තිබුණ ප්‍රදේශවලට ඇදිරි නීතිය පනවලා නැහැ. එවැනි ප්‍රදේශවලටත් බලපාන ලෙස මුලින්ම ඇදිරි නීතිය පැනෙව්වා නම් නැති වූ මිනිස් ජීවිත ගණන හා ආර්ථික අලාභය මීට වඩා බොහෝ සෙයින් අඩුවෙන්න තිබුණා.

මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීම තුලින් මම නිගමන කිහිපයකට එළඹිලා තිබෙනවා. ඒවා මේ කොමිෂන් සභාවේ ප්‍රයෝජනය සදහා ඉදිරිපත් කරනවා.

01. මේ රටේ ප්‍රතිගාමිත්වය ලිහිල්, දියාරු නිර්මාක්ස්වාදී වාමාංශික සංවිධානයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය තමන්ගේ වාසියට යොද ගැනීම සදහා කටයුතු කර තිබෙන බව:

02. ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ වර්ධනයට, වඩාත් නිවැරදිව කියනවා නම්, යම්කිසි සීමාවක් තුල වන වර්ධනයට අනියම් ලෙස උදව් දී තිබෙන බව:

03. ඔවුන්ට අවශ්‍ය වූ සීමාව දක්වා ජනතා විමුක්ති පෙරමුණ වර්ධනය වූ පසු එම සංවිධානයේ තරුණයින් ප්‍රකෝප කොට ඔවුන්ට සුදුසු අවස්ථාවේදී ඔවුන් ලවා කැරලි ඇති කර වූ බව; මා එයින් අදහස් කරන්නේ කැරලි ඇති කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තුල අදහසක් නොතිබුණ බව නොවෙයි. ඔවුන් තුල එවැනි අදහසක් තිබුණා. ඔවුන් ඒ සදහා සූදානම් වුනා. ඒ සදහා අවි ආයුධ එක්රැස් කළා. නමුත්, කැරලි ඉක්මන් කරවීමට සුදුසු මානසික පසුබිමක් ඔවුන් තුළ ඇති කළේ මෙන්න මේ අදෘශ්‍යමාන ප්‍රතිගාමී බලවේගය විසින්.

04. කැරලිකාර ක්‍රියා නිසා ඇතිවන තත්වයන් උපයෝගී කර ගනිමින් සමගි පෙරමුණ බලයෙන් පහකොට පාර්ලිමේන්තු බලය අල්ලා ගැනීමට මේ රටේ යම්කිසි සමාජ කොටසකට අවශ්‍ය වී තිබුණ බව.

කැරැල්ලක් ඇති වූ විට අනිවාර්යයෙන්ම රටේ ආර්ථික උද්දමනය වර්ධනය වෙනවා. මිනිස් ජීවිත විශාල ගණනක් විනාශ වෙනවා. මෙවැනි අවස්ථාවලදී පොලීසිය හා සන්නද්ධ සේවාවන් සීමාව ඉක්මවා ක්‍රියා කරනවා. ඒ තුළින් මහජන අප්‍රසාදයක් ගොඩ නැගෙනවා. 1915 සිංහල මුස්ලිම් කෝලාහලයත්, 1958 සිංහල දෙමළ කෝලාහලයත් අප්‍රේල් කැරැල්ල හැරුණුවිට ලංකාවෙන් දැක්විය හැකි මෑත කාලීන උදාහරණ දෙකක්. 1958 සිංහල දෙමළ කෝලාහලයේ දී පොලිසිය හා සන්නද්ධ සේවාවන් සීමාව ඉක්මවා කරන ලද ක්‍රියා නිසා ඇතිවු මහජන අප්‍රසාදය ක්‍රමානුකූලව බණ්ඩාරනායක මහතාගේ පාලනයට ‌එ‌රෙහිව යොමු කිරීමට ‌මේ රටේ ප්‍රතිගාමිත්වය උත්සාහ කළා. අප්‍රේල් කැරලි පැවති සමය තුල ඇති වුනු එවනි ක්‍රියා නිසා ඇති වී තිබෙන මහජන අප්‍රසාදය ක්‍රමානුකූලව සභාගයට එරෙහිව යොමු කිරීමට මේ රටේ ප්‍රතිගාමිත්වය උත්සාහ දරමින් ඉන්නවා.

කැරලිකාර ක්‍රියා පැවති සමය තුළ ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින් සීමාව ඉක්මවා කරන ලද ක්‍රියා කිහිපයක් ගැන වාර්තා වෙනවා. නමුත් මේ ක්‍රියාවලට වග කිව යුත්තේ ඔවුන් නොවෙයි. ඔවුන්ට නායකත්වය දුන් අප විසින්. මේ අයගෙන් සමහරෙක් විවිධ චෝදනාවන් යටතේ සාමාන්‍ය උසාවියට ඉදිරිපත් කර තිබෙනවා. සමහරුන්ට මිනීමැරුම් චෝදනා පවා ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් සමහරක් සමහරවිට එල්ලුම්ගස් යෑමට පවා ඉඩ තියෙනවා. ඔවුන් මෙහෙයවන ලද පැරණි නායකත්වය ඔවුන් කෙරෙහි කිසිදු අවධාරණයක් නොකොට තමන්ගේ පුද්ගලික නිදහස වෙනුවෙන් සම්පූර්ණ අවධානය යොමු කර තිබෙනවා. දේශපාලන වශයෙන් නොමග යෑම නිසා මෙවැනි වැරදි කළ අයගේ වැරදිවලට හිලව්වක් වශයෙන් ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ලබා නොගන්නා ලෙස මම මේ ගරු කොමිෂන් සභාව හරහා මේ රටේ වග කිවයුතු දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටිනවා.

අප පුදුම විය යුත්තේ, කැරලිකාර ක්‍රියා පැවති සමය තුළ ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින් සීමාව ඉක්මවා කටයුතු කිරීම ගැන නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ වැනි දියාරු ලිහිල් සංවිධානයක් විසින් ඇති කරන ලද කැරැල්ලකදී, එහි අනුගාමිකයින් සීමාව ඉක්මවා කරන ලද ක්‍රියා මෙතරම් අඩුවෙන් වාර්තා වී තිබීම ගැනයි. ඔවුන් විසින් කර තිබෙන ක්‍රියාවලට සමානුපාතව ඊට වඩා දහස් ගුණයක් වැඩියෙන් සීමාව ඉක්මවා කටයුතු කර තිබෙනවා පොලිසිය හා සන්නද්ධ හමුදා විසින්. සටන් බිමේදී මියගිය තරුණ තරුණියන්ගේ සංඛ්‍යාවට වඩා විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් පොලිස් අත් අඩංගුවට ගත් පසු මරා දමා තිබෙනවා. සමහරුන්ව මරා දමා ඇත්තේ වෙඩි තියලා. තවත් සමහරුන් පණ පිටින් පුළුස්සා මරා දමා තිබෙනවා. මා දන්නවා ගාල්ලේදී අප සමග වැඩ කළ දොඩංගොඩ කමලබන්දු නැමති තරුණයාව බද්දේගම පොලිසිය විසින් කෑලිවලට කපා ගිංගගේ පාකර යවා තිබෙනවා. ඔහුගේ සොහොයුරෙක් ගගේ පාවී යන තම ආදරණීය මලනුවන්ගේ ඔලුව ගොඩට ගෙන, ඒක කිහිපවරක් සිප නැවත ගගට දමා තියෙනවා. මම ගාල්ලේ ඉන්දෙද්දී මේ ව්‍යාපාරයට සම්බන්ධ කර ගත්තා කටුගොඩ කන්නාඩි වැඩපලේ ජොනී නැමති තරුණයෙක්. හබරාදූව පොලිසිය විසින් ඔහු හා තවත් තරුණයෙක් ටයර් දමා පණ පිටින් පුළුස්සා මරා දමා තිබෙනවා. මෙවැනි ක්‍රියා මේ කාලය තුළදී ලංකාවේ පළාත් ගණනාවක් තුළම සිදුවුනා. පොලිස් පහරදීම් ගැන කථා කරන කොට ඒවා අතිශයෝක්තියට නගා කථා කිරීම වැරදියි. බොහොමයක් දෙනා අමතක කරනවා සාමාන්‍ය පොලිස් නිලධාරීනුත් අප මෙන්ම පීඩනයට හා වේදනාවට පත්ව සිටින කොටසක් බව. ඔවුන් යෙදී සිටින රැකියාවේ ස්වරූපය අනුව ඔවුන් හා ජනතාව අතර පරතරයක් ඇති කරලා තිබෙනවා. නමුත් මොවුන් වෘත්තීය අයිතිවාසිකම් හා වැටුප් සදහා කේවල් කිරීමට තිබෙන අයිතිය පවා අහිමි කරනු ලැබූ කොටසක්. මේ අය පසුගිය කාලය තුළ විශාල වශයෙන් සීමාව ඉක්මවා ක්‍රියා කිරීමට හේතුත් තුනක් බල පෑ බව මගේ අදහස වෙලා තිබෙනවා.

1. තරුණයින්ගේ ආයුධ සන්නද්ධ ප්‍රහාරය පොලිසිවලට එල්ලවීම නිසා ඔවුන් තරුණයින් කෙරෙහි මානසික වෛරයකින් පසුවීම;

2. සීමාව ඉක්මවා ක්‍රියා කිරීම පොලිසියේ ශරීරගත අංගයක්වීම. පසුගිය කැරලි ක්‍රියා පැවති සමය තුළ ඔවුන්ට විශේෂ බලතල පැවරුවා. තමන්ගේ ශරීරගත අංගයක් වූ සීමාව ඉක්මවා ක්‍රියා කිරීම ප්‍රමාණයෙන් වැඩිව හා නිදැල්ලේ කරගෙන යාමට මෙම බලතල උපයෝගී කර ගැනීමට හැකි වුනා.

පොලිසියේ ශරීරගත අංගයක්වෙලා තියෙන සීමාව ඉක්මවා ක්‍රියා කිරීම නමැති රෝගය සුව කරන්න පුලුවන් වෙන්නේ එවැනි ක්‍රියාවල යෙදෙන අය හිරගෙවල්වලට එවීමෙන් නොවෙයි. යටත් විජිත හා නව යටත් විජිත අවශ්‍යතාවන් වෙනුවෙන් ගොඩනගන ලද රාජ්‍යයන්ත්‍රය ගුණාත්මක වෙනසකට ලක් කිරීමට සමානුපාතිකව මේ ප්‍රශ්නය විසදෙනවා.

මම බලාපොරොත්තු වෙනවා මේ ක්‍රියාවලියට. ඇත්ත වශයෙන්ම අප්‍රේල් සිද්ධීන්වලට වගකිව යුත්තේ කව්ද?

1. පලමුවෙන්ම මේ තරුණ තරුණියන් කැරලිකාරයින් බවට පත් කළ රදල ශේෂයන් අඩංගු කරගත් නව විජිත අර්ථ ක්‍රමය.

2. විටින්විට පාර්ලිමේන්තු බලය අල්ලාගත් නමුත් රදල ශේෂ අඩංගුකරගත් නව විජිත රාමුව බිද දැමීමට ක්‍රමවත් ක්‍රියා මාර්ගයක් අනුගමනය නොකල සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන.

3. තරුණයින් අතිවාමාංශික ක්‍රියා මාර්ගයක් වෙත නැඹුරු කල ජනතා විමුක්ති පෙරමුණ හා මා ඇතුලු එහි පක්ෂ නායකයින්.

සභාපතිතුමා – (ඉංග්‍රීසියෙන්)

6 වැනි [sic: 7 වැනි] සැකකරු පොඩි අතුල – ගරු සභාපතිතුමනි, ඊයේ ඇති වූ සිද්ධීන් කීපයක් නිසා මා බලාපොරොත්තු වූ ආකාරයෙන් ප්‍රකාශයක් කෙළින්ම කිරීමට මට ඉඩ ලැබුණේ නැහැ. මම ඊයේ රාත්‍රියි සූදානම් වුනේ. මේ ජනතා විමුක්ති පෙරමුණ තුළ ආයුධ එකතු කරලා තිබෙනවා. තරුණයින් සන්නද්ධ කරලා තිබෙනවා. ඒවා මොන ආකාරයෙන් කළාද, ඇයි එහෙම කළේ, ඒවා කිරීම මොන ආකාරයෙන් යුක්ති සහගතද කියන එක මම පැහැදිලි කරලා ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරලා, ඒ ලිඛිත ප්‍රකාශය තුළ මේ කාරණ සියල්ලම අඩංගු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එපමණයි සභාපතිතුමනි.

ගරු සභාපතිතුමනි, තවත් එකක් මට අමතක වුනා. ඒ ලිඛිත ප්‍රකාශය තුළම මම බලාපොරොත්තු වෙනවා මා කළේ මොනවාද, අනික් පැත්තෙන් මා දරණ ආකල්පය මොකක්ද කියන එක පැහැදිලි කරන්නට.

(6 වැනි [sic] සැකකරු, පොඩි අතුල මහතා ප්‍රකාශය ඉන් අවසන් කළේය)