එල්ටීටීඊ පරාජය හා දෙමළ ජනතාව යුද්ධයේ අවසානය හා රටේ අනාගතය

June 28, 2009
Publication:
Because the war ended with the whole LTTE leadership destroyed rather than with a remnant intact, Ivan argues, the movement lost both the capacity and the confidence to regroup — which is why Prabhakaran's death brought no violent reaction. He turns from there to what the peace should be used for: relaxing security, rebuilding villages, and setting the army to public works.

යුද්ධය අවසන් වූයේ ප්‍රභාකරන් ඇතුළු ඔවුන්ගේ කිසියම් නායක පිරිසක් ඉතිරි වන ආකාරයට හෝ ප්‍රභාකරන් නැතිව වුවත් ඒ තැන ගැනීමට සුදුසු වෙනත් නායකයන් පිරිසක් ඉතිරි වන ආකාරයට නම්, එය ශ්‍රී ලංකාවට ආත්ම විශ්වාසයකින් යුතුව ඉදිරියට යන්නට තිබෙන හැකියාව අඩාල කරන සාධකයක් ලෙස ක්‍රියාකරන්නට ඉඩ තිබුණි. එහෙත් යුද්ධය අවසන් වූයේ ප්‍රභාකරන් පමණක් නොව, එල්ටීටීඊයේ සියලු නායකයන් විනාශ වන ආකාරයටය. එල්ටීටීඊය පැත්තෙන් සිදුවී තිබෙන එම මහා ඇදවැටීම නැවත සංවිධානයවීමට ඇති හැකියාව හා ඒ සඳහා අවශ්‍ය ආත්ම විශ්වාසය නැති කිරීමට හේතුවී තිබේ. ප්‍රභාකරන්ගේ මරණයත් සමග කෝපය ප්‍රකාශ කරන සාහසික ප්‍රතික්‍රියා ඇති නොවූයේ ඒ නිසාය. සැඟවී සිටින අය භාරවන්නේ ද, භාරවූ අය හා අත්අඩංගුවේ සිටින අය තමන් දන්නා සියලු තොරතුරු හෙළිකරන්නේ ද ඒ නිසාය. සන්නද්ධ අරගලයකින් දිනාගන්නා ඊලාම් රාජ්‍යයක් පිළිබඳ ඔවුන් ඇති කරගෙන තිබූ සියලු බලාපොරොත්තු වාෂ්ප වී තිබේ.

මින්පසු ඔවුන් තමන් කළ සියලු දේ දකිනු ඇත්තේ අර්ථශූන්‍ය මෝඩ ක්‍රියා ලෙසය. මීට පෙර තමන්ගේ ගැලවුම්කාරයා ලෙස දුටු ප්‍රභාකරන් දකිනු ඇත්තේ සිය වර්ගයාට මහා විනාශයක් ඇති කළ ද්‍රෝහියකු ලෙසය. ඊලාම් රාජ්‍යයක් දිනාගැනීම සඳහා කෙරුණු සන්නද්ධ අරගලය පමණක් නොව, ඒ සඳහා වන දෘෂ්ටිය තිබෙන්නේ ද සුන්බුන් වූ තත්ත්වයකය. ඒ දෙකම බිඳ වැටී තිබෙන්නේ නැවත එකලස් කළ නොහැකි ආකාරයටය. දෙමළ ඩයස්පෝරාවේ ඉතා සුළු පිරිසක් තවදුරටත් දෙමළ ඊලමක් ගැන කථා කරනු ඇතත්, එම කථිකාව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ හෝ ඩයස්පෝරාවේ උනන්දුවට හේතු නොවනු ඇත. ඒ වෙනුවට ඔවුන් උනන්දුවෙන් කථා කරන මාතෘකාව බවට පත්වනු ඇත්තේ ප්‍රභාකරන්ට හා එල්ටීටීඊයට වැරදුණේ කොතැනද යන ප්‍රශ්නයයි. ප්‍රභාකරන් හා එල්ටීටීඊය දෙමළ ජනතාවට කරන ලද විනාශය ඔවුන්ගේ කථාබහට හේතුවන තවත් වැදගත් මාතෘකාවක් බවට පත්වනු නොවැළැක්විය හැකිය.

කොහොමටත් දෙමළ ඊළාම් රාජ්‍යයක් පිළිබඳ වැඩිම ඉල්ලුමක් තිබුණේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අතර නොව, දෙමළ ඩයස්පෝරාව අතරය. දෙමළ ඩයස්පෝරාවට ප්‍රභාකරන් පිළිබඳ පූර්ණ විශ්වාසයක් තිබුණද ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ප්‍රභාකරන් පිළිබඳ පූර්ණ විශ්වාසයක් නොතිබුණි. ඔහු පිළිබඳව ඔවුන්ට එක්තරා ප්‍රමාණයක ගෞරවයක් සේ ම තවත් ප්‍රමාණයක සැකයක් ද තිබුණි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගෙන් වැඩි කොටසක් දෙමළ ඊලාම් ව්‍යාපාරයේ ක්‍රියාකාරී පිරිසක් නොවී පැත්තකට වී බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ඔවුන් තුළ ප්‍රභාකරන් හා එල්ටීටීඊය පිළිබඳව සැඟවී තිබූ එම සැකය නිසාය. මේ නිසා දෙමළ ඩයස්පෝරාව ප්‍රකෘති තත්ත්වයකට එන්නට පෙර ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ප්‍රකෘති තත්ත්වයකට එමින් නැවත රටේ ජන ජීවිතයට එකතුවනු නොවැළැක්විය හැකිය. එල්ටීටීඊයේ පරාජයත් සමග ඊලාම් රාජ්‍යයන් පිළිබඳ දෙමළ ජනතාව අතර පැවති බලාපොරොත්තු හා විශ්වාසය දියවී යාම රටට ශක්තිමත් ඉදිරි ගමනක් සඳහා අවශ්‍ය වාසිදායක වටාපිටාවක් ලබාදීමට හේතුවී තිබේ.

එම වාසිදායක වටාපිටාව ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙතොත්, ඉතාමත් දීප්තිමත් අනාගතයකට හිමිකම් කීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත්තේය.

ආරක්ෂාව ලිහිල් කිරීම

එල්ටීටීඊ ත්‍රස්තවාදය අභියෝගයක්ව තිබූ අවස්ථාවේදී ජනතාවගේ හා දේපළවල ආරක්ෂාව සඳහා ආරක්ෂක විධිවිධාන තරකිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක්ව තිබුණි. එහෙත් ආරක්ෂක විධිවිධාන තර කරන තරමට ආර්ථික ක්‍රියාකාරීත්වය බෙලහීන කිරීමක් ද සිදුවිය. දැන් එල්ටීටීඊයේ පැවැත්ම මුළුමනින් විනාශ වී තිබෙන තත්ත්වයක් තුළ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය පණගැන්වීමට හේතුවන ලෙස ක්‍රමානුකූලව පනවා තිබෙන ආරක්ෂක විධිවිධාන ලිහිල් කළ හැකිය. ඒ මගින් ආරක්ෂක වියදම අඩු කරගත හැකිවා සේ ම රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ද වේගවත් කරගත හැකිය. එල්ටීටීඊයේ පැවැත්ම එල්ටීටීඊ විරෝධී දේශපාලන පක්ෂවලට ආයුධ අතඇතිව සිටිය යුතු තත්ත්වයක් නිර්මාණය කර තිබුණේය. ඒ නිසා දකුණේ දේශපාලනඥයන්ට ජීවත්වන්නට සිදුවී තිබුණේ ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙනය. ඒ නිසා මේ දෙපිරිසම තමන් වෙත කෘත්‍රිම බලයක් ආරෝපණය කරගෙන සිටි අතර, ඒ බලය ජනතාව පීඩාවට පත් කිරීම සඳහා යොදාගත් අවස්ථා ද තිබුණි.

ඒ තත්ත්වය වඩාත්ම නරක ලෙස බලපා තිබුණේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනතාව කෙරෙහිය. ඔවුන් තමන්ට තිබුණු ආයුධ බලය උපයෝගී කරගනිමින් ජනතාවගෙන් කප්පම් ලබාගත් අතර, තමන්ට අවනත නොවන්නන් හිංසාවට හා පීඩාවට පත්කිරීමට එම බලය ප්‍රයෝජනයට ගත්තේය. දැන් මේ දෙපිරිසම ක්‍රමානුකූලව නිරායුධ කළ හැකිය. ඒ මගින් ආරක්ෂක වියදම අඩු කරගත හැකිවා සේ ම දේශපාලනඥයන් ආයුධ අත ඇතිව සිටින තත්ත්වයක් තුළ දේශපාලනයේ ඇතිවී තිබූ විකෘතිය ද නැති කළ හැකිය. මුහුදු යන ධීවරයන් සඳහා පනවා තිබුණු සම්බාධක ඉවත් කිරීම ඉතා වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය. ඒ මගින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ධීවරයන් උපයන ආදායම්වල වර්ධනයක් ඇති කිරීමට හේතුවනු ඇතිවා සේ ම එය රටේ ධීවර නිපැයුමේ ද වර්ධනයක් ඇතිකිරීමට හේතුවනු ඇත්තේය. පසුගිය වසරේ රටේ ධීවර නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 2,300ක මට්ටමක පැවතුණි.

එහෙත් රටේ යුදමය තත්ත්වයක් නොතිබුණු 1983 වසරේ ජාතික ධීවර නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 48,000ක තත්ත්වයක තිබුණි. එයින් පෙනෙන්නේ යුද්ධය නිසා රටේ ධීවර නිෂ්පාදනය 95%කින් පමණ පහත වැටී තිබෙන බවය. එම තත්ත්වය නැවත යථා තත්ත්වයට ගතහැකි නම් එය රටේ ආර්ථික වර්ධනය වේගවත් කරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. ආරක්ෂක හේතු මත වැල්ලවත්තේ සිට උස්වැටකෙයියාව දක්වා වන මුහුදු තීරය සඳහා ද තහනම් පනවා තිබුණි. ඒ තහංචිය ද ඉවත් කළ යුතුය. එවිට ධීවර කර්මාන්තය වේගවත් ලෙස ප්‍රසාරණය වන අංශයක් බවට පත්වනු ඇත. කලක් ශ්‍රී ලංකාවේ මුදල් වෙළෙඳපොළේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කළ කොළඹ කොටුව ප්‍රදේශයේ යුද්ධය හා ඒ නිසා ඇති කර තිබුණ දැඩි ආරක්ෂක විධිවිධාන නිසා, එහි තිබූ ආර්ථික ක්‍රියාකාරීත්වය හැකිළී එම ප්‍රදේශය ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්ව තිබුණි.

හිල්ටන්, ඔබරෝයි, ග්‍රූන්ඩ් ඔරියන්ටල්, ඉන්ටර් කොන්ටිනන්ටල්, වැනි ප්‍රමුඛ සංචාරක හෝටල් පවත්වාගෙන යා නොහැකි දුෂ්කර තත්ත්වයකට පත්ව තිබුණි. මෙම කලාපය සඳහා යොදා තිබෙන දැඩි ආරක්ෂක විධිවිධාන ලිහිල් කිරීම මගින් මෙම කලාපය අත්පත් කරගෙන තිබූ පැරණි සමෘද්ධිය නැවත අත්පත් කරගන්නා තත්ත්වයක් ඇති කළ හැකිය. නැවත ගාලුමුවදොර පිටිය ජනතාව එකතුවන ජනප්‍රිය තිප්පොළක් බවට පත්කළ හැකිය. උතුරු නැගෙනහිර පළාත්වල පවත්වාගෙන යන අධිආරක්ෂිත කලාප ක්‍රමයද ලිහිල් කරන ප්‍රතිපත්තියක් මගින් අධිආරක්ෂිත කලාප ක්‍රමය නිසා ගම්බිම් අහිමිවූවන්ට නැවත ඒවාහි පදිංචියට යාහැකි තත්ත්වයක් ඇති කළ යුතුය. එවැනි ක්‍රියාමාර්ගයක් ඔවුන්ගේ විශ්වාසයට ද, ගෞරවයට ද හේතුවනු ඇත්තේය. යුද්ධයේ අවසානය වඩාත්ම හිතකර ලෙස බලපානු ඇත්තේ යාපනේ ජනතාව කෙරෙහිය. යාපනය අර්ධද්වීපය තිබුණේ එල්ටීටීඊ පාලනය යටතේ නොවූවද යාපනේ සිට කොළඹට ඒම හා කොළඹ සිට යාපනයට යෑම විදේශ රටකට යනවාට වඩා දුෂ්කර, කාලය යන, වියදම් අධික දෙයක් වී තිබුණි.

යාපනයේ ගොවීන්ට සිය නිපැයුම් කොළඹට එවීමට පහසු ක්‍රමයක් නොතිබීම නිසා එම නිෂ්පාදකයන්ට සාධාරණ මිලක් ලබාගැනීමේ හැකියාව අහිමි වී තිබූ අතර, යාපනේට කොළඹෙන් යවන භාණ්ඩවලට එකතු වූ අතිවිශාල ප්‍රවාහන වියදම සමග එල්ටීටීඊයට අතරමගදී ගෙවන විශාල කප්පම් ද නිසා පිටස්තරින් එන භාණ්ඩවලට අතිවිශාල මිලක් ගෙවන්නට යාපනේ ජනතාවට සිදුවී තිබුණේය. එහෙත් ඒ 9 මාර්ගය භාණ්ඩ ප්‍රවාහනය සඳහා විවෘත කිරීමත් සමග දැනටමත් යාපනයේ පාරිභෝගික භාණ්ඩ මිල ගණන්වල ශීඝ්‍ර පහත වැටීමක් සිදුවී තිබෙන අතර, යාපනයේ නිපදවන භාණ්ඩවලටද හොඳ මිලක් ලබාගැනීමේ හැකියාව ලැබී ඇත්තේය. ඒ 9 මාර්ගය මගී ප්‍රවාහනය සඳහා ද ඉක්මනින් විවෘත කරන තත්ත්වයක් ඇති කරගත හැකි නම් එය යාපනයේ ජන ජීවිතය ප්‍රබෝධමත් කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. එල්ටීටීඊයෙන් එල්ල වී තිබුණු අභියෝගය ඉදිරියේ ශ්‍රී ලංකාවට තමන්ගේ තරමට නොගැළපෙන අතිවිශාල ආරක්ෂක හමුදාවක් පවත්වාගෙනයෑමට සිදුවී තිබුණු අතර, දැන් එල්ටීටීඊය මුළුමනින් පරාජය කර තිබෙන තත්ත්වය ඉදිරියේ එවැනි විශාල ආරක්ෂක හමුදාවක් අවශ්‍ය නැති තත්ත්වයක් ඇතිවී තිබේ.

එහෙත් ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රමාණය වහාම කුඩා කළ නොහැකිය. එහෙත් අපට එම ආරක්ෂක හමුදා ආර්ථික වශයෙන් ඵලදායී ක්‍රියාවලියකට යොදාගැනීමට හැකිවේ නම්, නඩත්තු වියදමද ඒ මගින් අඩු කළ හැකිය. ගොඩනැගිලි ඉදිකිරීම් වැනි කටයුතු සඳහා ඔවුන් යොදාගත හැකිය. ඒ සමග හැම හමුදා කඳවුරකම විශාල සත්ව ගොවිපළවල්, ශාක ගොවිපොළවල් ආරම්භ කොට ඒවා පවත්වාගෙනයෑමේ වගකීම එම කඳවුරුවලට පවරාදිය හැකිය. විශේෂ නිපුණතාවක් ඇති අංශවලදී කාර්මික වැඩපළවල් පවත්වාගෙන යා හැකිය. ඒ මගින් ආරක්ෂක හමුදා ආර්ථික වශයෙන් ඵලදායී කාර්යභාරයක් ඉටු කරන හමුදාවක් බවට පත් කළ හැකිය. මීට අතිරේකව කොළඹ නගරයේ හා ඒ අවට නගරවල ජනයා මුහුණ දී තිබෙන දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන ඉවත දමන කුණු ප්‍රශ්නය විසඳීමේ වගකීම යුද හමුදාවට භාරදිය හැකිය. කොළඹ නගර සභාව සිය වියදමෙන් එකතු කරන කුණු ඉවත් කිරීම සඳහා පමණක් මසකට රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් වැය කෙරෙයි.

නගරයේ ජනයා මහත් පීඩාවට පත්කරන හා අගනගරයේ අලංකාරය විනාශ කරන කොළඹ කුණු ප්‍රශ්නය නගර සභාවේ සමහර නිලධාරීන්ට, සමහර නාගරික මන්ත්‍රීවරුන්ට හා ගණන්කාර පන්නයේ සමහර ව්‍යාපාරිකයන්ට හොඳ ආදායම් මාර්ගයක් වී තිබෙන අතර, මෙම සංකීර්ණ ප්‍රශ්නය ජයගැනීමට දරන හැම උත්සාහයක්ම පරාජය කිරීමට එම විශේෂ එකතුව සමත් වී තිබේ. මෙම සංකීර්ණ ප්‍රශ්නය කළමනාකරණය කිරීමේ වගකීම යුද හමුදාවට පවරා ඒ සඳහා දරන වියදම යුද හමුදාවට ගෙවන ක්‍රමයක් ඇති කළ හැකිය. එකතු කරන කුණු ඉවත් කිරීමෙන් පමණක් මෙම ප්‍රශ්නය අවසන්වන්නේ නැත. ජනතාව ද විධිමත් ආකාරයකට කුණු එකතු කොට භාරදෙන ක්‍රමයකට පුරුදු පුහුණු කළ යුතුය. විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන කුණු ප්‍රශ්නය රටට ආදායම් උපයන මාර්ගයක් බවට පත්කර ගත හැකිවනු ඇත්තේ එවිටය. එවැනි ක්‍රමයකට මහජනයා නැඹුරු කිරීමේ හැකියාවක් නගර සභාවලට නැති අතර, යුද හමුදාව ඒ ප්‍රශ්නයට අත ගසන්නේ නම්, නිවෙස්වල කුණු වර්ග කොට බාර දෙන ක්‍රමයක් ඇති කළ හැකිය.

එවැනි ක්‍රමයකට ජනතාව හුරුපුරදුවීමෙන් පසු බලකිරීමකින් තොරවම ඒ ක්‍රමය පවත්වාගෙන යාමේ හැකියාව ජනතාවට ලැබෙනු ඇත්තේය. මීට අතිරේකව කොළඹ නගරයේ ජලය බැසයෑම සඳහා තිබෙන අභ්‍යන්තර කාණු පද්ධතිය පිළිසකර කොට නවීන කිරීමේ වගකීමද යුද හමුදාවට භාරදිය හැකිය.

ගම් නගා සිටුවීම

රටේ දියුණුව රඳාපවතින්නේ ගමේ දියුණුව මතය. ගම රටේ තිබෙන පුංචිම පුංචි ඒකකය ලෙස සැලකිය හැකිය. ගමේ පාලනය ගමට ලබාදෙන ක්‍රමයක් ඇති කළ යුතුය. අපට නැවත පරණ ගම්සභා ක්‍රමයට යා හැකිය. ගම්සභිකයන් වැටුප් රහිතව ගරු සේවයක නිරත විය යුතුය. ඉන්දියාවේ පංචායත්වලට ලබාදී තිබෙන බලතල ගම්සභාවලට ලබාදිය හැකිය. පාසල් ක්‍රමයේ ඇති විසමතා ගමේ පරිහානිය කෙරෙහි වැදගත් සාධකයක් ලෙස බලපා තිබේ. හොඳ පාසලක් ලබාගැනීමේ තරගයේදී ගමේ දියුණුව කෙරෙහි බලපාන යමක්කමක් කිරීමේ හැකියාවක් ඇති අය ගමේ තිබෙන ඉඩකඩම් හා නිවාස විකුණා ගම් අතහැර නගරවලට සංක්‍රමණය වෙති. මෙවැනි පිරිස් ගම් අතහැර යෑම ගම්බද පරිහානිය කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකර තිබේ. හැම ගමකටම ප්‍රාථමික පාසලක් ලබාදෙමින් පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී හා එතැන් සිට ප්‍රාථමික අධ්‍යාපනය නිවසට කිට්ටුවෙන්ම ඇති පාසලෙන් ලබාගැනීම අනිවාර්ය කරන නීති ඇති කිරීමෙන් පාසල් ක්‍රමය විධිමත් කළහැකිවා සේ ම, උගත්කමක් හා යමක්කමක් ඇති මිනිසුන් ගම අතහැරයෑමේ ප්‍රවණතාව නැති කළ හැකිය.

ගමේ පාසල භේදයකින් තොරව ගමේ හැමදෙනාගේම පාසල වන විට එම පාසල හොඳින් පවත්වාගෙන යෑමේ වගකීම ගම්වැසියෝ සිය වගකීමක් බවට පත්කර ගනිති. ඒ මගින් මාර්ග තදබදය අඩු කළහැකි අතර, පුංචි ළමුන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ඩෙස් බංකු ඇති, වැසිකිළි පහසුකම් ඇති, පුස්තකාල ඇති, ක්‍රීඩා ඇති, ගුරුවරුන් ඇති කුඩා ළමුන්ගේ තෘප්තියට හේතුවන පාසල් ක්‍රමයක් ඇති කළ හැක්කේය. අවසානයේ ගම එකට එකතු කරන වැදගත් පොදු සාධකයක් ලෙස ක්‍රියාකරනු ඇත්තේ ද ගමේ ප්‍රාථමික පාසලය. එවැනි පාසල් ක්‍රමයක් සඳහා අලුතෙන් ගොඩනැගිලි ඉදි කළයුතු නැති අතර, හැම ගමකම දැන් තිබෙන පාසල් ගොඩනැගිලි ඒ සඳහා යොදාගත හැකිය. මෙවැනි පාසල් ක්‍රමයක් ඇති කිරීම මගින් 1 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේදී මුහුණ දෙන්නට සිදුවී තිබෙන තේරුමක් නැති ප්‍රශ්න ජයගත හැකි අතර, පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේදී ක්‍රියාත්මක වන අල්ලස් ලබාගැනීමේ ක්‍රමය ද ඒ මගින් මුලිනුපුටා දැමිය හැකිය.

හැම ගමකටම ග්‍රාම නිලධාරියෙක් ද, සමෘද්ධි නිලධාරියෙක්ද, වගා නිලධාරියෙක් ද සිටිති. මෙම නිලධාරීන් තිදෙනා යටතට වැටෙන විෂය පථය පුළුල් කොට ඔවුන්ගෙන් වඩා ඵලදායී සේවාවක් ලබාගැනීම මගින් ගම් නගා සිටුවිය හැකිය. ගමේ හදන බල්ලන් හා දඩාවතේ යන බල්ලන් ගැන දන්නේ ඔවුන්ය. ගමේ මදුරුවන් සිටින තැන් ගැන දන්නේ ද ඔවුන්ය. ගමේ හොර මත්පැන් පෙරන තැන් හා විකුණ තැන් දන්නේ ඔවුන්ය. ගමේ සිටින අපරාධකරුවන් ගැන දන්නේ ඔවුන්ය. ගමට තිබෙන පාරිසරික ප්‍රශ්න ගැන දන්නේ ඔවුන්ය. ඔවුන්ගේ ආධාරය ඇතිව පිස්සු බලු උවදුර නැත්තට නැති කළ හැකිය. මදුරු උවදුර සේ ම කසිප්පු උවදුර ද ජයගත හැකිය. ගම්වල තිබෙන පාරිසරික ප්‍රශ්න ජයගත හැකිය. මෙම නිලධාරීන් තිදෙනාට පොලී රහිතව ඔවුන්ගේ වැටුපෙන් කොටසක් කපා ගන්නා ක්‍රමයකට පරිගණක ලබාදිය හැකිය. ඔවුන්ට අවශ්‍ය මූලික පරිගණක පුහුණුවක් ලබාදීම මගින් ඔවුන් සිය ගම්වල තොරතුරු තාක්ෂණය පතුරුවන නියමුවන් බවට පත් කළ හැකිය.

ඔවුන්ට තමන්ගේ පරිගණක අතිරේක ආදායම් උපයන මාර්ගයක් බවට පත්කර ගත හැකිය. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කරන ජන සංගණනවලදී ගමේ ජන සංගණන වාර්තාව සකස් කිරීමේ වගකීම ඔවුන්ට පැවරිය හැකිය. මීට අතිරේකව ඔවුන් ප්‍රයෝජනයට ගනිමින් රටේ හැම පුරවැසියෙකුම පිළිබඳ හරි විස්තර ඇතුළත් ජාතික දත්ත ගබඩාවක් ඇති කළ හැකිය. ගමේ ආදායම් බදු ගෙවීමේ හැකියාව ඇති අය ඔවුන් මගින් හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ජාතික හැඳුනුම්පත් ක්‍රමය සාර්ථක ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. මගේ මිතුරකු කරන ලද අධ්‍යයනයකට අනුව ඇතැම් සංකේතාත්මක අංක මගින් දක්වා තිබෙන තොරතුරු නිවැරදි වුවත්, සමහර සංකේත අංක මගින් දක්වා ඇති තොරතුරු නිවැරදි නැත. හැම ගමකම සිටින මෙම නිලධාරීන් තිදෙනා ප්‍රයෝජනයට ගනිමින් විධිමත් ලෙස එකතු කෙරෙන තොරතුරු මත අලුතෙන් ජාතික හැඳුනුම්පතක් නිකුත් කෙරෙන ක්‍රමයක් ඇති කළ හැකිය.

ගම්වල ඉඩම් අයිතිය නිරවුල් කිරීමෙන් පමණක් ගම්වල ඇතිවන කලකෝලාහල හා ඉඩම් ආරාවුල් 70%කින් පමණ අඩු කළ හැකිය. සමථ මණ්ඩල ක්‍රමය පණගැන්විය යුතුය. උසාවිවලට යැවිය යුත්තේ ඉන් පිටස්තරව විසඳාගත නොහැකි ආරාවුල් පමණය. ගම්වල ක්‍රියාත්මක වන දිළිඳු සහනාධාර ක්‍රමය ගැනද නැවත සලකා බැලිය යුතුය. රජය දුප්පත්කමේ පතුලේ සිටින මිනිසුන්ට උදව් කළ යුත්තේ අලුත් ජීවන මාර්ග ඇතිකර ගැනීම සඳහා මිස, ඔවුන්ගේ පරිභෝජන වුවමනාවන් සඳහා නොවේ. දුප්පතුන්ට කන්නට මාළුවකු දෙනවාට වඩා මාළු අල්ලන්නට බිලීපිත්තක් දීම ඵලදායකය. සමෘද්ධි සහනාධාර සඳහා පමණක් වර්ෂයකට වැය කරන මුදල රුපියල් දශ ලක්ෂ 9600කි. ග්‍රාමීය ආර්ථික යටිතල පහසුකම් හා ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා වැය කරන්නේ ඊට වඩා අඩු මුදලකි. 2007 වසරේදී සමෘද්ධි සහනාධාරය සඳහා රුපියල් දශ ලක්ෂ 9600ක් වැය කරන විට ආර්ථික යටිතල පහසුකම් හා ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා වැය කර ඇත්තේ රුපියල් දශ ලක්ෂ 1127ක් පමණය.

පුදුමයකට මෙන් සමෘද්ධි සහානාධාරයට හිමිකම් කියන පිරිස රටේ ජනගහනයෙන් 36%ක් තරම් විශාලය. මෙම සහනාධාරය සඳහා වැය කරන වියදම ඵලදායක ජීවන මාර්ග ඇතිකරදීම සඳහා යොදාගැනීම මගින් වඩා සාර්ථක ලෙස දුප්පත්කම ජයගත හැකිය. දිළිඳු පවුලකට කන්න දෙන ක්‍රමයක් වෙනුවට රක්ෂණය කොට, එළහරකෙකු ද, එළහරකාට පැටියා ලැබෙන තෙක් ආණ්ඩුවේ වියදමෙන් කන්න දෙන ක්‍රමයක් වඩා ඵලදායකය. ධීවර ප්‍රදේශවල නම් ධීවර සමුපකාර සමිති ඇති කොට ධීවර කණ්ඩායමකට ලොකු බෝට්ටුවක් ලබාදෙන ක්‍රමයක් ඇති කළ හැකිය. එසේ බෝට්ටු ලබාගන්නා අයට උපයන ආදායමෙන් පංගුවක් ඉතිරි කිරීමට බල කෙරෙන ක්‍රමයක් ඇති කළ හැකිය. ලංකාවේ කුඹුරු ගණයට වැටෙන ඉඩම් අතර විවිධ හේතු නිසා වගා නොකරන කුඹුරු අක්කර ලක්ෂයකටත් වැඩි ගණනක් තිබෙන්නේය. මේවා අතර අක්කර පනහ සීය තරම් විශාල ඒකක ද දැකිය හැකිය. මෙවැනි විශාල ඒකක පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව සත්ව ගොවිපළවල් බවට පත්කළ හැකිය.

ඉඩමේ අයිතිකරුවන් හා ආයෝජකයා ඇතුළත් වන ලෙස එවැනි ගොවිපළවල් සඳහා සමාගම් ක්‍රමයක් ඇති කළ හැකිය. ඉඩම්වල අයිතිකරුවන්ට එම ඉඩම්වල වටිනාකම අනුව හා ආයෝජකයාට ආයෝජනයේ වටිනාකම අනුව කොටස් අයිතිය බෙදී යන ක්‍රමයක් ඇති කළ හැකිය. ගොවිපළ කළමනාකරණය කිරීමේ වගකීම ආයෝජකයාට ලබාදිය හැකි අතර, ගොවිපළට අවශ්‍ය ශ්‍රමිකයන් ලබාගැනීමේදී පළමුව ඉඩම් අයිතිකරුවන්ට ද, දෙවනුව ගමට ද බර තබා ක්‍රියා කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ හැකිය. මේ ආකාරයට වගා නොකරන කුඹුරු ඉඩම්වල පමණක් ලොකු සත්ව ගොවිපළවල් සිය ගණනක් ඇති කළ හැකිය. කිරිහරක් වගාවේදී උඩරට කඳුකරයේ කිරිහරක් ඇති කරනවාට වඩා අත්හරින ලද කුඹුරු ඉඩම්වල සත්ව ගොවිපළවල් ඇති කිරීම ආර්ථික වශයෙන් වඩා ලාභදායිද විය හැකිය. ඒ මගින් කිරිපිටි ආනයනය සඳහා කරන වියදම අඩු කරගත හැකි අතර, වඩා පෝෂ්‍යදායක දියර කිරි පරිහරණයට ජනතාව පුරුදු කළ හැකිය.

ආහාර නිෂ්පාදනයට ලැබී තිබෙන වැදගත්කම සැලකිල්ලට ගෙන රට පුරා තිබෙන ආණ්ඩුවේ ගොවිපළවල් නැවත ආර්ථික වශයෙන් ලාභදායී ආදර්ශ ගොවිපළවල් බවට පත්කළ හැකිය. අතීතයේදී හැම දිස්ත්‍රික්කයකම පාහේ රජයේ ආදර්ශ ගොවිපළක් තිබුණේය. 77න් පසු මෙම රජයේ ගොවිපළවල් විනාශ මුඛයට ගිය අතර, පොදුවේ ගත් කල එම අවාසනාවන්ත තත්ත්වයෙහි මූලික වෙනසක් වර්තමානයේ පවා ඇතිවී තිබෙන බවක් පෙනෙන්නට නැත. මම මීට වසරකට පමණ ඉහතදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති බටඅත ගොවිපළට ගියෙමි. අතීතයේදී එය සරුසාර බවින් ආඪ්‍ය හොඳ පැළ වර්ග නිපදවූ ආදර්ශ ගොවිපළක් විය. එහෙත් අද එය “නරක ආදර්ශ” ගොවිපළක් ලෙස ක්‍රියාත්මක වේ. අද එහි මිලදී ගන්නට හොඳ පැළ නැත. ඒ වෙනුවට ගොවිපළේ ප්‍රධානියා තමන්ගේ පෞද්ගලික පැළ තවානක් පවත්වාගෙන යයි. ගොවිපළට වෙන් කර තිබෙන භූමි ප්‍රමාණය අක්කර 500කටත් වැඩිය. එහෙත් ඒ ඉඩම් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

තවත් අවස්ථාවකදී පේරාදෙණියේ ඇති පැළ හා බීජ විකුණන අලෙවි මධ්‍යස්ථානය වෙත ගිය විට දකින්නට ලැබුණු තත්ත්වයද ශෝචනීය බව කිව යුතුය. පේරාදෙණිය රජයේ ගොවිපළේ තිබූ පැරණි ශ්‍රී විභූතිය මුළුමනින් විනාශ වී ඇති බව පෙනේ. එහෙත් තවමත් ලබුදූව ගොවිපළ ආදර්ශමත් තත්ත්වයක පවතී. එහි ඇති අලෙවි සැලේ දෛනික පිරිවැටුම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩිවිය හැකිය. එහි නැති දෙයක් නැත. හොඳ කේක් වර්ග, දොදොල්, මස්කට්, වටලප්පන් වැනි ආහාර වර්ග පවා මිලදී ගත හැකිය. සියලු වර්ගවල කිරි (එළ, මී හා එළු) ස්වරූප ගණනාවකින් මිලදී ගත හැකිය. එවැනි ආහාර වර්ගවලට එහි විශාල ඉල්ලුමක් තිබෙන අතර, ඒවාහි ගුණාත්මක අගය ද ඉහළ මට්ටමක පවතී. එහිදී අධිශීතකරණවල පරණ නොකළ අලුත් මස් වර්ග සේ ම, එළවළු වර්ග ද ද මිලදී ගත හැකිය. එහෙත් එම වෙළෙඳපොළට තිබෙන ඉල්ලුම විශාල නිසා භාණ්ඩ මිලදී ගැනීමේදී සමහරවිට විශාල කාලයක් පෝලිමේ ගතකිරීමට සිදුවේ.

රජයේ හැම ගොවිපොළක්ම ඒ හා සමාන හොඳ ආදායම් උපයන ආදර්ශ ගොවිපොළවල් බවට පත්කළ හැකිය.