ලංකාවේ බන්ධනාගාර සඳහා ප්රතිසංවිධාන ක්රියා මාර්ගයක් වර්තමාන බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් ක්රියාවට නගා ඇති බවත් ගුවන් විදුලියෙන් හා පුවත්පත් වලින් නිතර නිතර කියැවේ. මෙම විස්තර වාර්තා අනුව නම් වර්තමාන බන්ධනාගාර කොමසාරිස්වරයා, ලංකාවේ ජනතාවගේ වර්තමාන සභ්යත්වයේ වර්ධන මට්ටමට ගැළපෙන ලෙස දැනටමත් දිවයිනේ බන්ධනාගාර ප්රතිසංවිධානය කර ඇත. මෙය සත්යයක්ද? ප්රතිසංවිධානයට අදාළව කෙරෙන සියලු ප්රචාර ලෝකයා රවටන පට්ටපල් බොරු බව දන්නේ බන්ධනාගාරවල සිටින හිරකරුවන් පමණි. බන්ධනාගාර ප්රතිසංවිධාන ක්රියා මාර්ගයක් පිළිබඳ කෙරෙන ප්රචාර කෙරෙහි සිරකරුවන්ද කලක් බලාපොරොත්තු ඇතිව සිටියහ. සියලුම ප්රතිසංවිධාන කටයුතු ගුවන් විදුලියට හා පුවත්පත් වලට පමණක් සීමාවූවක් බව ඔවුහු පසු කලකදී තේරුම් ගත්හ. මේ වන විට ඔවුන් තුළ ඒ කෙරෙහි ඇතිවූ බලාපොරොත්තු නැතිවී තිබෙනවා පමණක් නොව බන්ධනාගාරයට අදාළව "ප්රතිසංවිධානය" යන වචනය පාවිච්චි කෙරෙන අවස්ථාවලදී පවා ඔවුහු දැඩි ලෙස කෝපයට පත් වෙති. බන්ධනාගාරවලට අදාළව කිසියම් ඵලදායි ප්රතිසංවිධාන ක්රියාමාර්ගයක් තවමත් ක්රියාවට නැගී නොතිබෙනවා පමණක් නොව, දිවයිනේ බන්ධනාගාරවල දැනට පවත්නා තත්ත්වය දශක දෙක තුනකට කලින් පැවති තත්ත්වයටත් වඩා නරකවේ.
අධිකරණය මගින් සිර දඬුවම පමුණුවා සිර ගෙවලට එවන සියලුම සිරකරුවන්ට නියමිත පරිදි ආහාර, ඇඳුම් පැළඳුම් හා අනෙකුත් පහසුකම් සලසා දීමට නිසි බලධාරීහු බැඳී සිටිති. නමුත් ඒවා සිරකරුවන්ට නිසි ලෙස නොසපයයි නම් එය සිරකරුවන්ට කරන බලවත් අසාධාරණයක් වනවා පමණක් නොව එය ඔවුන් සඳහා අනිසි ලෙස ක්රියාවට නගන අතිරේක දඬුවමක්ද වේ. දිවයිනේ බන්ධනාගාරවල දැනට පවතින ඇත්ත තත්ත්වය කුමක්ද? සිරකරුවන්ට නියමිත ආහාර ප්රමාණයෙන් අඩක්වත් දැනට නොලැබේ. ඉතිරි අඩ බන්ධනාගාර නිලධාරීන් අතර බෙදී යයි. නියමිත ප්රමාණයට වඩා අඩකින් පමණ අඩුවෙන් ලැබෙන මේ ආහාර ප්රමාණයද ඔවුන්ට ලැබෙන්නේ ආහාරයට ගැනීමට තරම් සුදුසු තත්ත්වයකින් නොවේ.
එළවළු හා මස් මාළු වර්ගවලට මිරිස් හා තුනපහ වර්ග ඇත්තේම නැත. නරකම තත්ත්වයකින් ලැබෙන මේ සුළු ආහාර ප්රමාණය පවා සිරකරුවන් අතර විෂම ලෙස බෙදී යාම හේතුකොට ගෙන සිරකරුවන් විශාල පිරිසකට නිරාහාරව හෝ අර්ධ නිරාහාරව ඉඳීමට සිදුවී තිබේ. දුම්බීම පුරුද්දක් කරගෙන සිටින දුප්පත් සිරකරුවෝ තමන්ට අවශ්ය දුම්කොළ ලබා ගැනීමට වෙනත් මාර්ගයක් නැති බැවින් (සමහර සිරකරුවන්ට වේතනයක් ලැබෙතත් දින දෙක තුනකට අවශ්ය දුම්කොළ ලබා ගැනීමට වත් ඔවුන්ට ලැබෙන ඒ සුළු වේතනය ප්රමාණවත් නොවේ.) තමන්ට ලැබෙන ආහාරවලින් කොටසක් පොහොසත් සිරකරුවන්ට දී ඒ වෙනුවට ඔවුන්ගෙන් බීඩි හා සුරුට්ටු ලබා ගනිති. තමන්ට ලැබෙන ආහාර වේල් තුනෙන් එකක් හෝ දෙකක් සම්පූර්ණයෙන්ම විකුණා මස් හෝ මාළු හොදි සමග ඉවත දමන පොල්කුඩු කන සිරකරුවෝද බහුල වශයෙන් සිටිති. තැරැව්කාරයින් යොදා දුප්පත් සිරකරුවන්ගේ ආහාර මිලදී ගන්නා පොහොසත් සිරකරුවන් මිරිස් තුනපහ වැනි ද්රව්ය කුස්සියෙන් මිලදී ගෙන ඒවා යොදා රසවත් ආහාර වේලක් සකසා ගනිති.
ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් පවත්නා තත්ත්වයද මේ හා සමාන වේ. බන්ධනාගාරවල වන පොහොසත් නොවන ඕනෑම සිරකරුවකුට ලැබෙන්නේ කලින් නිදහස් වී ගිය සිරකරුවන් පරිහරණය කොට කිලිටිවූ වැරහැලි ඇඳුම් පැළඳුමය. මේවා අතර සමාජ රෝගීන් (සිරකරුවන් අතර සමාජ රෝගීන් බහුල වශයෙන් සිටිති.) පරිහරණය කරන ලද ඇඳුම් පැළඳුම්ද වේ. සමහරවිට සති කිහිපයක් යන තුරුම මේ ඇඳුම් පැළඳුම් සෝදා පිරිසිදු කර ගැනීමට සිරකරුවන්ට අවස්ථාවක් නොලැබේ. ජලය සමහර සිරගෙවල්වල පොහොසත් සිරකරුවන්ට පමණක් වෙන්වූ විශේෂ වරප්රසාදයකි. ජලය ඇතත් සිරකරුවනට ඇඳුම් පැළඳුම් සෝදා ගැනීම සඳහා ඉඩකඩ ලැබෙන්නේ රජයේ නිවාඩු දිනවල පමණි. මේ අවස්ථාව ලැබෙන තෙක් තමන්ට ලැබුණු කිලිටි වැරහැලි ඇඳුම් පැළඳුම් ඇඳගෙන සිටීමට මේ සිරකරුවන්ට සිදුවේ. සිරකරුවකු වෙනුවෙන් වර්ෂයක් සඳහා ජම්පර් ඇඳුම් කට්ටල තුනක්, තුවායක්, පොරෝනයන් දෙකක්, කොට්ටයක් හා රෙටවුවක් නිකුත් කිරීමට නීතියක් ඇති නමුත් කිසිම බන්ධනාගාරයක මේ නීතිය හරියාකාරව ක්රියාත්මක නොවේ. සල්ලිකාර සිරකරුවන්ට නම් උපරිමයටත් වැඩි ඇඳුම් පැළඳුම් පමණක් නොව, ජම්පර් රෙද්දෙන් මැසූ ඇඳුම් පැළඳුම් වෙනුවට පොප්ලින් රෙද්දෙන් මැසූ ඇඳුම් පැළඳුම්ද රෙටවුවක් වෙනුවට ඇඳක් සමග මෙට්ටයක්ද ලබා ගැනීමට පුළුවන් කම තිබේ. සිරකරුවන් සඳහා නිකුත් කරන බෙහෙත් ද්රව්යවලින් වැඩි කොටසක් නිලධාරීන්ගේ සාක්කුවලට යන අතර ඉතිරියෙන් තවත් වැඩි කොටසක් පොහොසත් සිරකරුවන්ගේ සාක්කුවලට යයි. සාමාන්ය සිරකරුවන්ට ලැබෙන හොඳ බෙහෙත් වර්ග පමණක් නොව බටර්, පිකුදු[?], කිරි, බිත්තර හා පළතුරු යනාදිය ඇතුළත් ආහාර වර්ගද වෛද්යවරයා තුළින් ලබා ගැනීමට පොහොසත් සිරකරුවන්ට පුළුවන්කම ලැබී තිබේ.
මේ සියලු අගතීන්ට අමතරව නිලධාරීන්ගේ දුෂ්ට තාඩන පීඩන වලටද මුහුණ දීමට මේ අසරණ සිරකරුවන්ට සිදුව තිබේ. දඬුවම් ලබා උසාවිවල සිට බන්ධනාගාරවලට ගෙන එන සිරකරුවන් බන්ධනාගාරයට ඇතුළු කර ගනු ලබන්නේ සිරිතක් වශයෙන් ගේට්ටුවේදී කරන පහරදීමකින් අනතුරුවයි. මේ පහරදීම ක්රියාත්මක නොවන්නේද පොහොසත් සිරකරුවන් සම්බන්ධයෙන් පමණි. චාරිත්රයක් වශයෙන් කරන මේ පහරදීම කරනු ලබන්නේ නිලධාරීන්ටද, සිරකරුවන් "හතේ" තබා ගැනීමට උවමනා නිසාය. (මේ චාරිත්රය අප්රේල් සිරකරුවන් සම්බන්ධයෙන් පමණක් දැන් ක්රියාත්මක නොකරයි. එවැනි පහරදීම් වලට එරෙහිව අවස්ථා කිහිපයකදී ඔවුන් ද පෙරලා නිලධාරීන්ට පහරදී ඇති බැවිනි.) එතැන් පටන් එනම් සිරගෙයි ගේට්ටුවෙන් ඇතුළුවීමේ සිට කවද හෝ ඉන් පිටවී යන තෙක් සිරකරුවන්ට කෙළවරක් නැතිව නිලධාරීන් වෙතින් එල්ල වන හිංසා හා තාඩන පීඩන වලට මුහුණ දීමට සිදුවේ.
සිරකරුවන්ට පහරදීම විනෝදාංශයක් කරගත් මෘග නිලධාරීන්ගේ ප්රමාණය අති විශාලය. ඔවුහු සිරකරුවන්ට පහරදීම සඳහා ලැබෙන හැම සුළු අවස්ථාවක්ම මනා ලෙස ප්රයෝජනයට ගනිති. මෙබඳු මෘග නිලධාරීන් සිරකරුවන්ගෙන් බැට කන අවස්ථාද නැත්තේ නොවේ. නමුත් එබඳු සිරකරුවන්ට තවත් "ආත්මයක්" නම් ඇත්තේ නැත. එබඳු සිරකරුවන් සිරිතක් වශයෙන් කන්තෝරුවට ගෙන ගොස් නිලධාරීන් තිහක් හතළිහක් පමණ එක්වී කෙළවරක් නැතිව අතින් පයින් පමණක් නොව බැටන් පොලුවලින්ද පහර දෙති. පහරදීම පළමුව අරඹන්නේ ප්රධාන ජේලර්වරයා වැනි උසස් නිලධාරියකු විසිනි. ඉන් පසු ඔහු එම පුද්ගලයා පහරදීම සඳහා අනෙක් නිලධාරීන්ට භාරදී එම ස්ථානයෙන් පිටවී යයි. ඉන් පසු අනෙක් නිලධාරීහු ඔහුව මැරෙන තෙක් නොවේ නම් මැරෙන්න ආසන්න වනතුරුම පහර දෙති. සාමාන්යයෙන් මේ ආකාරයේ පහරදීම සිරකරුවන් හඳුන්වන්නේ "පෝරියල්" යන නමිනි. නිලධාරීන්ට පහරදීම, බැණ වැදීම, නිලධාරීන්ට එරෙහිව පෙත්සම් ගැසීම, ආහාර වර්ජන සංවිධාන කිරීම වැනි "වැරදි" කරන්නවුන් සඳහා මේ දඬුවම ක්රියාත්මක කරයි. "පෝරියල්" පහරදීමකට ගොදුරුවන සිරකරුවා ඒ අවස්ථාවේ මිය නොගියේ නම් නිශ්චිත වශයෙන්ම ඔහු ඒ නිසා සදාකාලික රෝගියකු බවට පත්වේ. මිය යන අවස්ථාද ඇත. මෙබඳු පහරදීමකට ගොදුරුවන සිරකරුවකුගේ මරණය පිළිබඳ කරන ලද පරීක්ෂණයකදී තමා මෙතෙක් දුටු දරුණුම පහරදීම මෙය බව අධිකරණ වෛද්ය නිලධාරියා (චන්ද්රා අමරසේකර මහතා) සාක්කි දෙමින් කියා සිටියේය. මෙබඳු පහරදීම්වලට ගොදුරු වන සිරකරුවන් පිළිබඳව වෛද්ය රිපෝර්තු සකස් කිරීමේදී ඒවා බන්ධනාගාර නිලධාරීන්ට වාසි සහගත ලෙස සකස් කර දීම තුළින් සමහර බන්ධනාගාර වෛද්ය නිලධාරීහුද මේ තිරිසන් පහරදීම් වලට අනියම් ලෙස හවුල් වෙති.
දූෂණය බන්ධනාගාර නිලධාරීන්ට ආවේනික ප්රධාන ශරීරගත ලක්ෂණයක් බවට පත්ව තිබේ. සුළු නිලධාරීන් අතර පමණක් නොව උසස් නිලධාරීන් අතර පවා දූෂණය රජ කරයි. සිරකරුවන්ගේ ආහාර, ඇඳුම් පැළඳුම්, ආහාර පානාදිය සොරකම් කිරීමෙන් නොනැවතී සිරගෙවල් තුළ සූදු පළවල් හා හොර මත්පැන් හල් පවත්වාගෙන යාම තුළින්ද ඔවුහු සිරකරුවන් ගසා කති. සල්ලි ඇති අයට මේ අය ලවා කරවාගත නොහැකි වැඩක් නැති තරම්ය. ගංජා, අබිං, අරක්කු යනාදී ද්රව්ය වලින් ඕනෑම දෙයක් ඔවුන් ලවා සිරගෙවල් වලට ගෙන්වා ගැනීමට පුළුවන්කම තිබේ. ඔවුන්ගෙන් මුදල් සඳහා ලබාගත නොහැකි නම් නොහැක්කේ "ගැහැණියක" පමණි. ලොකේෂන්[?] අංශය භාර නිලධාරියාට සුළු පගාවක් දිය හැකි අයට ගැහැණියක වෙනුවට තරුණ සිරකරුවෙකු හෝ දෙදෙනකු තම සිර කුටියට ගෙන්වා ගැනීමට පුළුවන්කම තිබේ. ඊට අමතරව පගාවක් දිය හැකි අයට ඉඳහිට තම නිවසට ගොස් ඒම සඳහා ඔවුන් ලවා වැඩ පිළිවෙලක් පවා සකස් කරවා ගත හැක.
මෙසේ දිවයිනේ බන්ධනාගාර දූෂිත නිලධාරීන්ට රාජධානියක්ද, පොහොසත් සිරකරුවන් ස්වල්ප දෙනෙකුට ස්වර්ගයක් හා දුප්පත් සිරකරුවන් වැඩි දෙනෙකුට අපායක්ද වී තිබේ. ඒ තවමත් ලංකාවේ බන්ධනාගාර ඵලදායි ප්රතිසංවිධානයට හසුව නැත්තේය යන කාරණය දැඩි ලෙස සනාථ කරයි. ප්රතිසංවිධානය දැඩි අවශ්යතාවයක් ව පවතී. නමුත් තවමත් එවැන්නක් සිදුවී ඇත්තේවත් ඵලදායි ප්රතිසංවිධානයක් සඳහා වැඩ ක්රියා මාර්ගයක් සකස් කර ඇත්තේවත් නැත. බන්ධනාගාර සඳහා ක්රියාවට නගන ප්රතිසංවිධාන ක්රියා මාර්ගයක් අර්ථවත් වීමට නම් අඩු තරමින් පහත සඳහන් කාර්ය භාරයන් වත් ඊට ඇතුළත් විය යුතුය.
(අ) සෑම සිරකරුවකුටම වෛද්ය නිර්දේශයන්ට අනුකූලව පෝෂ්ය, ප්රණීත හා ප්රමාණවත් ආහාර ප්රමාණයක් ලබාදීම. (දැනට සිරකරුවන්ගේ ආහාර සඳහා දරන වියදමෙන් වුවත් ඒ ඉටු කිරීමට පුළුවන්කම තිබේ. මේ බව අප්රේල් කැරැල්ලේ ක්රියාවෙන්ම ඔප්පු කර පෙන්වාදී තිබේ. සමහර සිරගෙවල්වල කුස්සිවල පාලනය සියතට ගත් ඔවුන් ආහාර සඳහා දැනට නිකුත් කරන වියදමෙන් සිරකරුවන්ට ප්රණීත පෝෂ්යදායී හා ප්රමාණවත් ආහාර ප්රමාණයක් ලබා දුන්හ. එවැනි ආහාර ප්රමාණයක් ලබා දුන් පසු තවදුරටත් අතිරික්තයක් වූ හෙයින් එයින් සිරකරුවන් සඳහා සතියකට කිරි ප්රමාණයක්ද ලබා දීමට ඔවුහු සමත් වූහ.)
(ආ) එක් සිරකරුවකු සඳහා වර්ෂයකට ජම්පර් ඇඳුම් කට්ටල තුනක්, පොරෝනයන් දෙකක්, තුවායක්, කොට්ටයක් හා පැදුරක් හෝ රෙටවුවක් නිකුත් කිරීමේ නීතිය අකුරටම ක්රියාවට නැගීම හා අන් සිරකරුවකු පරිහරණය කරන ලද ඇඳුම් පැළඳුම් පිරිසිදු කිරීමෙන් තොරව කිසිම අවස්ථාවකදී කිසිම සිරකරුවකු සඳහා නිකුත් නොකිරීමට වගබලා ගන්නා ආකාරයට කටයුතු සංවිධානය කිරීම. (සෑම සිරගෙයකම ලොන්ඩරි පාටියක් තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ අංග සම්පූර්ණ රෙදි සෝදන නවීන යන්ත්රයක් ඇති අතර කොළඹ මහා රෝහලේ අපිරිසිදු ඇඳුම් පිරිසිදු කරන්නේද මේ යන්ත්රයෙනි. මේ නිසා සියලුම සිරකරුවන් සඳහා පිරිසිදු ඇඳුම් නිකුත් කිරීම අපහසු කාර්යයක් නොවේ.)
(ඇ) සිරකරුවන්ගේ වේතන වැඩි කිරීම හා වේතන නොලබන සිරකරුවන් සඳහා තමන්ට අවශ්ය සබන්, දත් බෙහෙත්, බීඩි, සුරුට්ටු යනාදිය ලබා ගැනීමට පුළුවන් වන වැඩ පිළිවෙලක් සකස් කර දීම. (ශ්රෙෂන්[?] වාර්තාවේ නිර්දේශයන්ට අනුව 1956 බණ්ඩාරනායක ආණ්ඩුව විසින් වේතන ක්රමයමයි අදත් මේ සිරකරුවන් සඳහා ක්රියාත්මක වන්නේ. මේ ක්රමය යටතේ දඬුවම් කාල සීමාව හය මසක් ඉක්මවූ සිරකරුවන් සඳහා දිනකට ශත 10 ක වැටුපක් ලැබේ. ශත පනහ උපරිමයට යටත්ව වූ දෛනික පඩිය වර්ෂයකට ශත දහය බැගින් වැඩිවේ. මෙයින් අඩක් තමන්ට අවශ්ය සබන්, දත් බෙහෙත්, බීඩි, සුරුට්ටු යනාදිය ගෙන්වා ගැනීමට වියදම් කළ හැකි වන අතර එකතු වන ඉතිරි අඩ ඔහුට ලැබෙන්නේ ඔහු නිදහස්වී යන විටයි. මේ පඩි ක්රමය ඇති කොට දැනට දහ හත් වර්ෂයක් පමණ ගෙවී ඇත. ඒ සමග සබන්, දත් බෙහෙත්, බීඩි, සුරුට්ටු වැනි ද්රව්යවල මිලද දෙතුන් ගුණයකින් ඉහළ නැග ඇත. එද ශත දහයේ දවස් පඩිකාරයෙකුට තම මාසික පඩියෙන් බීඩි මිටි පහක් මිලදී ගැනීමට හැකිවූ නමුත් අද එයින් ලබා ගත හැක්කේ බීඩි මිටි 1½ ක් පමණි. සබන් හා දත් බෙහෙත් වැනි ද්රව්යවල මිල තත්ත්වයද මීට සමාන වේ. මේ නිසා ඔවුන්ට දෙන මේ පඩිය රුපියල් එකයි ශත පනහ උපරිමයට යටත්ව පළමු පඩි වර්ෂයේ පඩිය ශත තිහ දක්වා වැඩි කළ යුතුය. සිරකරුවන්ගෙන් 50% ක් පමණ හය මසකට අඩු කාලසීමාවක් සඳහා දඬුවම් ලබා සිරගෙවලට එන්නන් බැවින් පඩි නොලැබෙන ඔවුන් සඳහාද තමන්ට අවශ්ය සබන්, දත් බෙහෙත්, බීඩි, සුරුට්ටු යනාදිය ලබා ගැනීමට පුළුවන්කම ලැබෙන අන්දමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. එසේ නොවේ නම් ඔවුන්ට මේ ද්රව්ය ලබා ගැනීම සඳහා සිය ආහාර පාන හා ඇඳුම් පැළඳුම් විකිණීමට හෝ ඒ සඳහා වෙනත් අනිසි මාර්ග යොදා ගැනීමට හෝ සිදුවේ. එක්කෝ කිසියම් සීමාවකට යටත්ව ඔවුන්ට මේ ද්රව්ය තැපැල් මගින් ගෙන්වා ගැනීමට ඉඩදිය යුතුය. එසේ නැත්නම් බන්ධනාගාර අධිකාරීවරයා නමට මුදල් ගෙන්වා ගත් පසු ඔවුන්ට ඒ මුදල්වලින් තමන්ට අවශ්ය ඉහත කී ද්රව්ය ලබා ගැනීමට ඉඩකඩ සලසා දිය යුතුය.)
(ඈ) බන්ධනාගාරවල ඉඩකඩ පුළුල් කොට වැසිකිළි හා ජල පහසුකම් වැඩිදියුණු කිරීම. (1962 සිට මේ දක්වා කාලය තුළ ලංකාවේ බන්ධනාගාරවල ජනගහනය 40% කින් වැඩි වී ඇතත්, බන්ධනාගාරවල ඉඩකඩ සුළු ප්රමාණයකින්වත් වැඩිකර නැත. සෑම බන්ධනාගාරයකම පාහේ දෙගුණයකින් හෝ ඊට කිට්ටු ප්රමාණයකින් වැඩි ජනගහණයක් ඇත. වැලිකඩ වැනි සමහර බන්ධනාගාරවල සිරකරුවන්ට වැසිකිළි වල පවා නිදා ගැනීමට සිදුවී තිබේ. වැසිකිළි පහසුකම් ඉතාමත් නරක තත්ත්වයක පවතී. බාල්දි වැසිකිළි ක්රමය මුළුමනින්ම ඉවත් කොට ඩ්රේනේජ් වැසිකිළි ක්රමයක් ඇති කළ යුතුය. සමහර බන්ධනාගාරවල උග්ර ජල හිඟයක් පවතී. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සමහර අවස්ථාවල සිරකරුවන්ට හා රිමාන්ඩ් සිරකරුවන්ට මුහුණ සෝදා ගැනීම, වැසිකිළි යාම, නෑම වැනි සියලු කටයුතු සඳහා ලැබෙන්නේ දිනකට එක් වතුර බාල්දියක් පමණි. මේ තත්ත්වය නැති කොට සිරගෙවලට අවශ්ය තරම් ජලය ලබා දීමට පහසුකම් සලසා දිය යුතුය.)
(ඉ) බන්ධනාගාර කටයුතු සොයා බැලීම සඳහා සිවිල් පුද්ගලයින්ගෙන් සැදුම් ලත් බන්ධනාගාර පරීක්ෂක කමිටුවක් පිහිටුවීම. (මේ පරීක්ෂක කමිටුවේ නියෝජිතයින් අඩු තරමින් මසකට වරක් වත් බන්ධනාගාරවලට ගොස් ඒවායේ තත්ත්වය සොයා බැලිය යුතුය. සිරකරුවන්ට තනිව කැමති පැමිණිල්ලක් ඔවුන් වෙත ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දිය යුතුය. මෙබඳු කමිටුවක් නිසා එක් අතකින් සිරකරුවන්ට විශාල ආරක්ෂාවක් ලැබෙන අතර මේ නිසා නිලධාරීන් අතර පවත්නා දූෂණ ක්රියාද බොහෝ දුරට අඩු වනු ඇත.)
ප්රතිසංවිධාන ක්රියා මාර්ගයන් ක්රියාවට නැගීමට පළමු බන්ධනාගාරවල පවත්නා ඇත්ත තත්ත්වය සොයා බැලීම අවශ්ය වේ. මේ සඳහා ස්වාධීන කොමිසමක් පත් කිරීම අවශ්ය වේ. එවිට සිරකරුවනට පමණක් නොව බන්ධනාගාර නිලධාරීන්ටද මේ කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කළ හැකි වනු ඇති අතර ඒ තුළින් බන්ධනාගාර සම්බන්ධයෙන් පවත්නා ඇත්ත යථාර්ථය දැන ගැනීමටත් මේ යථාර්ථයට ගැළපෙන ලෙස බන්ධනාගාර සඳහා ප්රතිසංවිධාන වැඩ ක්රියා මාර්ගයක් සකස් කර ගැනීමටත් හැකි වේ.
Editor’s Note : The sixth article in the Jayasena Akmeemana series. It returns to the subject of his July 1974 article “Will the Prison ‘Poriyal’ End?” but with much more detail and a concrete five-point reform programme. It refers in passing to the “April prisoners”, the 1971 insurgents, who fought back against gate beatings and at times ran prison kitchens well enough to add milk to the ration. That reads as first-hand knowledge. The article contains a reference to the sexual exploitation of young prisoners, which readers should be aware of. Two lines of the original are lost to a fold.