උතුරේ පීඩිත ද්‍රවිඩ ජනතාව නීත්‍යානුකූල එහෙත් කටුක අරගලයක වර්තමානයේ නිරතවී සිටිති. මේ රට දේශසීමාවෙන් එපිට පීඩිත ජාතීන්ගේ අරගලයක් වෙනුවෙන් කෑගැසීමේ පුරුද්දක් ඇති කරගෙන සිටින ලාංකික මාක්ස්වාදීන් සිය දොරකඩ දියත් කර තිබෙන මෙම සුවිශේෂ ජාතික අරගලය සම්බන්ධයෙන් සිතාමතාම නිශ්ශබ්දතාවයක් රකිති. අනෙකුත් රටවල පීඩිත ජාතීන්ගේ විමුක්ති අරගලවලට සහයෝගය දැක්වීම සඳහා දැවැන්ත පෝස්ටර් ව්‍යාපාර, සහයෝගතා පෙළපාලි රැලී, පැවැත්වීමේ යෙදන මේ මාක්ස්වාදීහු ද්‍රවිඩ ජනයා විසින් දියත් කර ඇති සටන්කාමී අරගල ඉදිරියේ ගොළු වී සිටිති. ඇයි මේ කන් බිහිරි කරන නිශ්ශබ්දතාවය? මාක්ස්වාදය සමඟ ඔවුන්ගේ සිංහලවාදය රැක ගැනීමට තිබෙන නිසාද? එසේ නැත්නම්, වරින් වර බලයට ආ ධනේශ්වර ආණ්ඩු මෙන්ම සිංහල ජනතාව අතර පවතින ජාතිවාදී අගතීන්ට අභියෝග කිරීමට ඔවුන්ට ධෛර්යය නැති නිසාද?
පීඩිත ද්‍රවිඩ ජනතාවගේ සාධාරණ අරගලයෙන් පැත්තකට වී සිටීමේ ඔවුන්ගේ ස්ථාවරය සාධාරණය කිරීමට “මාක්ස්වාදීන්” විසින් යොදා ගන්නා සැබෑ තර්ක රොත්තක්ම තිබේ. සිංහල ජාතිවාදයට හා ද්‍රවිඩ ජාතිවාදයට තමන් එකසේ විරුද්ධ බව ඔවුහු කියති. ද්‍ර. එ. වි. පෙරමුණ ධනේශ්වර සංවිධානයක් බවද, රට බෙදීමට දරන ඕනෑම වෑයමක් ප්‍රතිගාමී එකක් බවද කියති. එබැවින් වෙනම රාජ්‍යයක් සඳහා වන ඉල්ලීමට ඔවුහු තරයේ විරුද්ධ වෙති.
මාක්ස්වාදය ජාතිවාදයට විරුද්ධය යන සරල නියමය උපයෝගී කර ගනිමින් ජාතිවාදයේ එකිනෙක හා සෑම ලක්ෂණයක්ම සමාන කිරීම, සැබවින්ම මාක්ස්වාදයට සමච්චල් කිරීමකි. උදාහරණයක් ලෙස කියතොත් ඇමරිකා එක්සත් ජනපදයේ “කළු ජාතික විඥානය” සමඟ සුදු ජාතිවාදය සමාන කළ හැකිද? කෙලින්ම කියතොත්, බ්ලැක් පැන්තර් ව්‍යාපාරය සමඟ කුක්ලක්ස් සංවිධානය සමාන කළ හැක්කේ කෙසේද? ප්‍රතිගාමී ස්වරූපයක් තිබෙන පීඩිත ජාතියේ ජාතික වාදයට ප්‍රතිවිරුද්ධ ලෙස පීඩිත ජාතියේ ජාතිකවාදයේ තිබෙන්නේ ප්‍රගතිශීලී හරයකි. සිංහල ජනතාවගේ ද්‍රවිඩ විරෝධී හැඟීම සමඟ කොතරම් ගැටුණද පීඩිත ද්‍රවිඩ ජනතාවගේ සිංහල විරෝධී හැඟීම සමඟ ඒවා සමාන කිරීමට නුපුළුවන.
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ධනේශ්වර දේශපාලන පක්ෂයක් නොවේ යැයි මෙහිදී මම අදහස් නොකරමි. ද්‍ර.එ.වි. පෙරමුණ පමණක් නොව ඕනෑම ජාතික ව්‍යාපාරයක සාමාන්‍ය ධනපති ප්‍රජාතන්ත්‍රවාදී හැඩයක් තිබේ. ජාතික ව්‍යාපාරවල මෙම නෛසර්ගික ලක්ෂණය පීඩිත ජාතීන්ගේ ස්වාධීනතාවය සඳහා වන අරගලයට අප සහයෝගය දීමට බාධාවක් නොවේ. මෙම අරගලයක් ලංකා වෙරළට ඔබ්බෙන් පවතින තාක්කල් එවැනි ජාතිවාදී ව්‍යාපාරවලට හා අරගලයන්ට සහයෝගය දීමට අපේ මාක්ස්වාදීන් මැලි වූයේ නැත. කුමන පැත්තකින් කල්පනා කර බැලුවද බංගලා දේශයේ ස්වාධීනතාවය සඳහා වූ අරගලය මෙහෙයවූ අවාමි සංගමය මාක්ස්වාදී ව්‍යාපාරයක් නොවීය. කෙසේ වෙතත් ඒ ගැන නොසලකා අපේ මාක්ස්වාදීහු නිවැරදි ලෙසම බංගලා දේශ අරගලයට සහයෝගය දුන්හ. මෙම අවස්ථාවේදී ඔවුන් පාවිච්චි කළ මිනුම් දණ්ඩ වූයේ බංගලා දේශ ජනතාව පීඩිත ජාතියක් වූයේද නැද්ද යන්නයි. එසේනම් උතුරේ ද්‍රවිඩ ජනතාව සම්බන්ධයෙන් එම මිනුම් දණ්ඩම පාවිච්චි කිරීමට දක්වන මෙම මැලිිකමේ තේරුම කුමක්ද? මේ සම්බන්ධයෙන් පමණක් ජාතිකවාදී ව්‍යාපාරයේ පෙරමුණේ සිටින වඩාත් කැපී පෙනෙන දේශපාලන සංවිධානයේ සමාජ ස්වරූපය එතරම් අතිවැදගත් ප්‍රශ්නයක් වී ඇත්තේ මන්ද? අරගලයේ ස්වභාවය හා ක්‍රියා මාර්ගය මත ජාතික ව්‍යාපාරයේ පෙරමුණේ සිටින දේශපාලන සංවිධානයේ පන්ති ස්වභාවය අරගලයට බාධා පමුණුවනු ඇතැයි කීම නිවැරදිය. කෙසේ වෙතත් පීඩිත ජනතාව සිය ධනේශ්වර නායකත්වය වෙත දැක්වූ මුළාවෙන් වියෝවී මාක්ස්වාදීන්ට උත්සවකාරයෙන් ආරාධනයක් කරන තුරු මාක්ස්වාදීන් ගෞරවාන්විතව පැත්තකට වී නොසිටිය යුතුය. ඒ වෙනුවට මාක්ස්වාදීන් කළ යුතුව ඇත්තේ පීඩිත ජනතාවගේ අරගලයට ක්‍රියාකාරී ලෙස බද්ධ වී ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් තුළ ස්වාධීනතා අරගලය කොටු කිරීමට තැත් කරන ධනේශ්වර නායකත්වය ක්‍රමානුකූල ලෙස ඉවත් කිරීමයි.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන පරිද්දෙන් සමාජවාදී විප්ලවයේ වුවමනාකම පිළිබඳ පදනමේ සිට මෙම ප්‍රශ්නය තක්සේරු කිරීමෙන් පසු වෙනම රාජ්‍යයක් සඳහා වන ඉල්ලීමට ලාංකීය මාක්ස්වාදීන් විරුද්ධ වෙනවාද? එසේත් නැත්නම්, සිංහල බෞද්ධ ජාතිවාදය සමඟ දැනට ඇති නින්දිත හා අශික්ෂිත සංධානය, මෙම සාධාරණ ඉල්ලීමට විරෝධය ප්‍රකාශ නොකොට දිගටම පවත්වා ගෙන යා නොහැකි නිසාද? ඒකීය රාජ්‍යයක රාමුවක් තුළ සිය ගැටළු වලට සාධාරණ විසඳුමක් අත්කර ගැනීමට පීඩිත ද්‍රවිඩ ජාතිය කලින් දිගින් දිගටම උත්සාහයක් දැරූ බව අප අමතක නොකළ යුතුය. මෙවැනි උත්සාහයක් මුලින් මතු වූ අවස්ථාවලදී ඒවාට පිටුපස හැරවූ මාක්ස්වාදීහුම, අද ද්‍රවිඩ ජනතාව වෙන් වීම සඳහා කරන ඉල්ලීමට එරෙහිව කෑමොර ගසති. මෙය පහත්ම වර්ගයේ වංචාවක් නොවේද? අරගලයේ යෙදී සිටින පීඩිත ද්‍රවිඩ ජාතියට උපදෙස් දීමට මාක්ස්වාදීන්ට අයිතියක් මෙන්ම, යුතුකමක්ද ඇත. නමුත් ඔවුන්ගේ උපදෙස් අනුගමනය කිරීම කෙසේ වෙතත්, අඩු තරමින් ඒවාට කන්දීමටවත් ද්‍රවිඩ ජනතාව සූදානම් වනු ඇත්තේ එම උපදෙස් දෙන්නන්, පවත්නා අරගලය සමඟ බද්ධ වුවහොත් පමණි.
සිය ජාතිවාදී අතීතය පිළිබඳව ලාංකීය මාක්ස්වාදීන්ට (ප්‍රතිසංස්කරණවාදී හා රැඩිකල් යන දෙකොටසෙහිම මාක්ස්වාදීන්ට) අවංක හා ස්වයං-විවේචනාත්මක තක්සේරුවක් කළ හැකිද? සිංහල බෞද්ධ ජාතිවාදය සමඟ ඇතිකරගෙන තිබෙන සිය අවස්ථාවාදී සංධානය සිඳ දමා පීඩිත ද්‍රවිඩ ජාතියට එරෙහිව යොමු කොට ඇති මෙම ප්‍රවණතාවයට එරෙහිව අරගලයක යෙදීම මේ රටේ මාක්ස්වාදී ව්‍යාපාරයට හැකියාව තිබේද? අපේ මාක්ස්වාදීන් මෙම කටයුත්ත සාර්ථක ලෙස කරන්නේ නම් පමණක්, ද්‍රවිඩ ජනතාවගේ ජාතික ස්වයං-තීරණය සඳහා වන විමුක්ති අරගලය හා සැබෑ ලෙසම බද්ධ වන්නේ නම් පමණක්, මෙම ස්වාධීනතා අරගලය ලාංකීය සමාජවාදී විප්ලවයෙන් වෙන් කළ නොහැකි අංගයක් බවට පත් කරමින් බිඳී ගිය සිංහල-ද්‍රවිඩ එකමුතුව, නැවත ගොඩනැඟීමට හැකි වනවා ඇත.