හැන්ද අත ඇති අය තමන්ට බෙදාගැනීම

October 29, 2026
Publication:
From January 2009 the judges get their rise, and ministers and members of parliament get theirs in proportion. Ivan sets out the chief justice's new package item by item — salary, allowances, housing — to a monthly total of 133,000 rupees, and asks how fair it is to hear your own pay case in your own court while the rest of the public service waits.

2009 ජනවාරිවල සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළු සියලු අධිකරණ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමට නියමිතය. ඒ සමග ඊට සමානුපාතිකව මැති ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද වැටුප් වැඩිවීමට නියමිතය.

අගවිනිසුරුගේ නව වැටුප රුපියල් 70,000 කි. පෞද්ගලික දීමනා වැටුපෙන් 25% කි. විශේෂ දීමනා මසකට රුපියල් 15,000 කි. සංග්‍රහ දීමනා රුපියල් 3500 කි. ගෙවල් කුලී දීමනා රුපියල් 27,000 කි. වැටුප් හා සියලු දීමනා එකට එකතු කළ විට අගවිනිසුරුගේ මාසික වැටුප් ආදායම රුපියල් 133,000 කි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ 125,000 කි. අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ රු. 118,000 කි.

අධිකරණ නිලධාරීන්ට ලැබී තිබෙන වර්ධනයන්ට සමානුපාතිකව ජනාධිපතිගේ සිට මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් දක්වා වැටුප් වැඩිවීමට නියමිතය.

අධිකරණ නිලධාරීන් සිය වැටුප් වැඩිකර ගැනීම වෙනුවෙන් ආණ්ඩුවට බලකිරීම සඳහා පාවිච්චි කරන ලද්දේ ද, මූලික අයිතිවාසිකම් නඩුවකි. තමන්ගේම වැටුප් නඩුවක් තමන්ම අසන තැනකට යෑම කොතරම් සාධාරණද?

විනිසුරුවරුන් සඳහා අයවැයේදී වැටුප් වැඩි කිරීම කරන බවට ආණ්ඩුවට පොරොන්දුවන්නට සිදුවූයේ මෙම නඩුවේදීය. විනිසුරුවරුන්ට වැටුප් වැඩි කරන්න දේශපාලකයන් කැමතිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමන්ගේ ද වැටුප් වැඩි වන බව ඔවුහු දන්නෝය.

රජයේ උසස් නිලධාරීන්ට ඔවුන්ගේ ආත්ම ගෞරවයට හේතුවන වැටුපක් තිබිය යුතු බවට වාදයක් නැත. එහෙත් රාජ්‍ය සේවයේ අන් සියලු දෙනාගේ වැටුප් ප්‍රශ්නය දිගින් දිගට කුණුවෙන්නට ඉඩදී විනිසුරුවරුන් හා දේශපාලකයන් පමණක් අන්‍යොන්‍ය සහයෝගයෙන් තමන්ගේ පමණක් වැටුප් වැඩිකර ගන්නා ප්‍රතිපත්තියක් සාධාරණ විය හැක්කේ කෙසේද?

දිගින් දිගට පිළිගත් ප්‍රතිපත්තියකින් තොරව තෝරාගත් විශේෂ පිරිසක් පමණක් ගෙන සිදු කරන මෙවැනි වැටුප් වැඩිකිරීම් මගින් අවුල් ජාලාවක් බවට පත්ව තිබෙන රජයේ සේවක වැටුප් ප්‍රශ්නය නැතිනම් රජයේ සේවක වැටුප් තුළ පවත්නා විසමතා පිළිබඳ ප්‍රශ්නය තව තව අවුල් නොකරන්නේද?

විනිසුරුවරු හා දේශපාලකයෝ ද රජයේ සේවකයෝය. රාජ්‍ය සේවයේ විවිධ සේවා සඳහා රටට පිළිගත් වැටුප් ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එය විද්‍යාත්මක හා තර්කානුකූල පදනමක් මත ඇති කළ ජාතික ප්‍රතිපත්තියක් විය යුතුය. එහිදී හැම වැඩි කිරීමක්ම දේශපාලකයන් කෙරෙහි පමණක් නොව, සමස්ත රජයේ සේවකයන් කෙරෙහි ද බලපෑ යුතුය.

ගුරුවරුන් අතර තිබෙන්නේ විශාල අසහනයකි. ඒ තත්ත්වය ප්‍රසිද්ධ විභාග කෙරෙහි විනාශකාරී ලෙස බලපාන ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. මෙවැනි ගැටලු රජයේ සේවයේ වෙනත් අංශවල ද තිබෙනවා විය හැකිය. ඒ සියලුදෙනාගේ ප්‍රශ්න මුළුමනින් නොසලකා හැන්ද අත තිබෙන අය (බලය තිබෙන අය) තමන් වෙත පමණක් බෙදාගැනීමේ ප්‍රතිපත්තියක් සාධාරණ විය හැක්කේ කෙසේද?

රටේ ව්‍යවස්ථාදායකය ලෙස ක්‍රියා කරන පාර්ලිමේන්තුවට ද හෘදය සාක්ෂියක් තිබිය යුතුය. රටේ නීති සම්පාදන බලය තමන්ට තිබුණු පමණෙකින් තමන් පමණක් විශේෂ පිරිසක් ලෙස සලකා වාසි ලබාගැනීමේ ප්‍රතිපත්තියක් ව්‍යවස්ථාදායකයේ ගෞරවයට හේතුවන්නේ කෙසේද? මෙම අසාධාරණයට එරෙහිව පොදු යහපත වෙනුවෙන් පෙනී සිටින එක මහජන නියෝජිතයකු හෝ පාර්ලිමේන්තුවේ නැද්ද?