ඔබාමාගේ ජයග්‍රහණය මානව වර්ගයාගේ අපේක්ෂාව

October 29, 2026
Publication:
A black candidate made this American election the whole world's election, and his victory the political event of our time. Ivan traces the distance from slavery through Lincoln and Martin Luther King, and sets out what the world now wants from the most powerful state on earth — a development policy that narrows the gap between rich and poor countries, and equal standing for nations large and small.

කළු ජාතිකයෙකු ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීම නිසා මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය භේදයකින් තොරව සමස්ත මානව වර්ගයාගේම අවධානය දිනාගත් ජනාධිපතිවරණයක් බවට පත්විය. අවසානයේ ඔබාමා ලැබූ ජයග්‍රහණය සමස්ත මානව වර්ගයා මහත් උද්දාමයට පත්කිරීමට හේතුවූ දේශපාලන සංසිද්ධියක් බවට පත්විය. නිසැක වශයෙන්ම එය අපේ කාලයේ ලෝකයේ සිදුවූ දැවැන්ත විප්ලවය ලෙස සැලකිය හැකිය.

ලෝකයේ තිබෙන ධනවත්ම හා බලවත්ම රට ලෙස සැලකිය හැකි ඇමරිකා එක්සත් ජනපදය ගොඩනැගුණේ කළු වහලුන්ගේ ශ්‍රමයෙනි. ඒබ්‍රහම් ලින්කන් වහල්භාවය තහනම් කිරීමෙන් පසුත්, කළු හා සුදු මිනිසුන් අතර අතිවිශාල පරතරයක් තිබුණි. ගාන්ධිගේ ඇමරිකානු අවතාරය ලෙස සැලකිය හැකි මාටින් ලුතර් කිං සම අයිතිවාසිකම් වෙනුවෙන් අවිහිංසාවාදී පදනමක පිහිටා ඉතා බලවත් දේශපාලන අරගළයක යෙදී අවසානයේ ඒ අරමුණ වෙනුවෙන් සිය ජීවිතය ද පූජා කළේය. ඔහුගේ ඝාතනය ඇමරිකානු අධ්‍යාත්මය බලවත් ලෙස සසල කිරීමට හේතුවූ අතර, සම අයිතිවාසිකම් පනත නීතිගත කෙරුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. සම අයිතිවාසිකම් පනත සම්මත කරගැනීමෙන්, දශක හතරක් තරම් කාලයක් තුළ ඊට දශක කිහිපයකට පෙර වහල් තත්ත්වය හිමි කරගෙන සිටි කළු ජාතිකයෙකුට ඇමරිකාවේ ජනාධිපතිවීමට හැකිවීම ආශ්චර්යජනක සිද්ධියක් ලෙස සැලකිය හැකිය.

ඇමරිකාව කොතරම් බලවත් රටක් වුවත්, ඊට තිබුණේ අවලස්සන මුහුණකි. රට ප්‍රජාතන්ත්‍රවාදී වුවත්, ලෝක බලවතා ලෙස සෙසු ලෝකය සමග ගනුදෙනු කරන ආකාරය තුළ උද්ධච්ඡ භාවයක් සේ ම අධිකාරිවාදී භාවයක් ද පැහැදිලිව පෙනෙන්නට තිබුණි. සැප්තැම්බර් 11 වැනිදා සිද්ධියෙන් පසුව ප්‍රතිචාර දක්වන ලද ගොරෝසු ස්වරූපය ලෝකයේ පැවති ආගමික හා වාර්ගික බෙදීම් උග්‍ර කළේය. ඔබාමා ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්වන්නේ ඓතිහාසික අර්ථයෙන් මුහුණුවරේ සේ ම ප්‍රතිපත්තිවල ද ඇති කරන ගැඹුරු වෙනසකින් තොරව ඉදිරියට යා නොහැකි තැනකට ඇමරිකා එක්සත් ජනපදය ඇද වැටී තිබූ අවස්ථාවකය.

ඇමරිකානු ජනාධිපති වශයෙන් ඔබාමාගෙන් ලෝක ජනතාව අපේක්ෂා කරන්නේ මහා බලවතාගේ ආකල්ප හා ප්‍රතිපත්තිවල ගැඹුරු වෙනසක් ඇති කිරීම මගින් ලෝක රටාවේ යහපත් වෙනසක් ඇති කිරීමය. රටවල් අතර පවතින දුප්පත් පොහොසත් භේදය තුනී කරන සංවර්ධන ප්‍රතිපත්තියක්, රටවල්වල ලොකුකම් පොඩිකම් හා පොහොසත් දුප්පත්කම් නොසලකා සියලු රටවලට සමාන අයිතිවාසිකම් ලබාදෙන ලෝක පද්ධතියක් ද, පරිසරය කෙරෙහි විනාශකාරී ලෙස බලපා තිබෙන මනුෂ්‍ය වර්ගයාගේ නිෂ්පාදන හා පරිභෝජන රටාවේ වෙනසක් ඇති කිරීම මගින් ස්වභාවධර්මය මුහුණ දී තිබෙන අවුල්සහගත තත්ත්වය සමනය කරන නව ලෝකයක් සඳහා බර තබා ක්‍රියා කරන ප්‍රතිපත්තියකි.

ඔහුගේ ජයග්‍රහණය ලෝක කළු ජාතිකයන් හා ඇමරිකාව කෙරෙහි කෝපයෙන් පසුවූ ලෝක මුස්ලිම් ජනතාව කෙරෙහි පමණක් නොව, සමස්ත ලෝකවාසී ජනතාව කෙරෙහි නව බලාපොරොත්තු ඇති කිරීමට හේතුවී තිබේ.

අශෝක රජු ධාර්මික වූ විට එය අශෝක අධිරාජ්‍යය කෙරෙහි පමණක් නොව, අවට රටවල් කෙරෙහි ද යහපත් ලෙස බලපෑවේය. ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ තිබෙන බලවත්ම රාජ්‍යයයි. දැන් එම රාජ්‍යයේ පාලකයා බවට පත්ව සිටිනුයේ ඊට දශක 25 කට පෙර වහල් තත්ත්වයක සිටි ජනතාවක් නියෝජනය කරන කළු ජාතිකයෙකි. ඔහු මෙතෙක් බලයට පැමිණි සියලු ඇමරිකානු ජනාධිපතිවරුන්ට වඩා උගත් හා බුද්ධිමත්ය. ඒ හැකියාවන්ගෙන් තමන් පාලනය කරන රාජ්‍ය පමණක් නොව, ලෝක බලවතා වශයෙන් ලෝක රටාව ද යහපත් තතත්වයකට පත්කිරීමේ ශක්තිය ඔහුට ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.