අගවිනිසුරුගේ මාළු බෑම

July 31, 2005
Publication:
The latest fish on the Chief Justice's hook is the 'red fish', the JVP. The note describes how he baits each hook to the taste of the fish he means to catch, and suggests even the revolutionary Wimal Weerawansa could not resist the charms of the 'mermaid' on the mobile phone.

අගවිනිසුරුගේ දේශපාලන මායාව නමැති ඇමට අලුතෙන්ම හසුවී සිටින මාළුවා බවට පත්ව සිටින්නේ ජවිපෙ නමැති රතුපාට මාළුවාය.

දේශපාලන මාළු බෑමේහිලා අගවිනිසුරු දක්වා තිබෙන කුසලතාව කිසිවකුටත් සමකළ නොහැකි තරම්ය. අගවිනිසුරු ඇම සකස් කරන්නේ තමන් අල්ලන්න අපේක්ෂා කරන මාළුවාගේ රුචිකත්වයට ගැළපෙන ආකාරයටය. මස් කන්නට කැමති මාළුන්ට ඇමට අමුණන්නේ මාළුය. ආඳකු අල්ලා ගැනීමට අවශ්‍ය වූ විට ඇමට අමුණන්නේ කුකුල් බඩය. එක්සත් ජාතික පක්ෂය ඔහුගේ ඇම කෑවේය. මුස්ලිම් කොංග්‍රසය හා හෙළ උරුමය ද ඔහුගේ ඇම කෑවේය. ඒ සියලු දෙනා අතරින් හොඳම කෑම කෑවේ එස්.බී. ය. අවසානයේ පහසුවෙන් අසුකර ගන්නා බැරි බව පෙනෙන්නට සිටි ආඩම්බරකාර රතුපාට මාලුවා ද අගවිනිසුරුගේ ඇම කෑවේය.

අගවිනිසුරු අමුණන ඇම කන මාළුවන්ට සිදුවන්නේ ද කිතුල් ඇට කන උගුඩුවාට සිදුවන දේය. එනම් කෑ දේ දිරවා ගන්නට බැරිව වේදනාවෙන් තටමන්නට සිදුවීමය. අගවිනිසුරුගේ ඇම කා බොහෝ කලක් ගෙවී ඇතත්, තාමත් එජාපය සිටින්නේ තටමන තත්ත්වයකය. මුස්ලිම් කොංග්‍රසය හා හෙළ උරුමය සිටින්නේ ද තටමන තත්ත්වයකය. ජවිපෙට ද බොහෝ කලක් යන තෙක් තටමන්නට සිදුවනු ඇතැයි සිතිය හැකිය. අගවිනිසුරුගේ මාළු බෑමේ කලාව තුළ මාළුවා කන්නට කැමති රසවත් ඇමක් අමුණනවාට අතිරේකව මාළුවා ඇම කරා දක්කාගෙන ඒම පිණිස දියකිඳුරියන් ද යොදාගන්නා ක්‍රමයක් පවතී. ඇම ළගට මාළුවා දක්කාගෙන එන්නේ දියකිඳුරියයි. ජවිපෙ නමැති රතුපාට මාළුවා ඇම වෙත කැඳවාගෙන ආවේ ද එම දියකිඳුරියයි.

දියකිඳුරියගේ ලස්සන නොසලකා ක්‍රියාකිරීමේ හැකියාවක් විප්ලවකාරි විමල් වීරවංශට ද නොතිබුණා විය යුතුය. ඇය ජංගම දුරකතනයෙන් කියන කතාවලින් විමල් වීරවංශ ද වශී වන්නට ඇතැයි සිතිය හැකිය. “සන්ඩේ ලීඩර්” පුවත්පත වාර්තා කර තිබුණු ආකාරයට තීන්දුව ප්‍රකාශ කරන්නට පෙර ජවිපෙ වාසියට හේතුවන තීන්දුවක් ප්‍රකාශ කරන්නට නියමිත බව විමල් වීරවංශ දැනගෙන ඇත්තේ ද ඇයගෙනි. එහෙත් අගවිනිසුරුගෙන් තෑගි ලැබුණු අශ්වයාගේ කටේ දත් නැති බව ජවිපෙ දැනගන්නට ඇත්තේ ප්‍රමාදවීය. ජවිපෙ නමැති රතු මාළුවා අල්ලා ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් අගවිනිසුරුවරයා පසුගිය පෝයට ස්වාධීන රූපවාහිනී නාලිකාව ඔස්සේ විශේෂ වර්ගයේ බණක් ද රටට කීවේය. ’