සිය කැමැත්තෙන් විනාශයට යන රටක්

September 25, 2005
Publication:
Lacking the wisdom to untie simple knots, Sri Lanka has let them grow into tangles, and the people pay the price. The editorial notes that the investigation into Judge Ambepitiya's murder identified an underworld figure as the mastermind, and urges voters to make the candidates present, without lies, their vision for the country's problems.

ශ්‍රී ලංකාව අවුලෙන් අවුලට යන රටක් ලෙස සැලකිය හැකි ය. මුලදි ඇතිවූ සරල අවුල් ලිහා ගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාවන්ත බවක් රටට නො තිබීම නිසා තිබෙන අවුල් සංකීර්ණ වී එය අවුලෙන් අවුලට යන රටක් බවට පත්වී තිබේ.

රටේ තිබෙන අවුල් ලිහා ගැනීම සරල නැතත්, සංසුන්ව, තිබෙන අවුල් ලිහාගන්නා තත්ත්වයකට නොගොස්, තිබෙන සංකීර්ණ අවුල් තව තවත් පටලවා ගන්නා තත්ත්වයකට පත්වුවහොත් ඊට වන්දි ගෙවන්නට සිදුවනු ඇත්තේ ද රටේ ජනතාවට ය.

රටේ තිබෙන අවුල් සහගත ප්‍රශ්න අතර ජනවාර්ගික අර්බුදය ප්‍රධාන වුවත්, එය රටේ තිබෙන එක ම ප්‍රශ්නය බව හෝ ජනවාර්ගික අර්බුදය විසඳ ගත හොත් අපේ සියලු ප්‍රශ්න ඉබේ විසඳනු ඇතැයි කල්පනා කරන්නේ නම්, එය විකාරයකි. ජනවාර්ගික විෂයට අතිරේකව ඇති හැම ක්ෂේත්‍රයක් ම තිබෙන්නේ අවුලක ය. රටේ පාසල් ක්‍රමය ඇතුළුව අධ්‍යාපනය ද, මාර්ග ක්‍රමය ඇතුළු ව පොදු මගී සේවාවන් ද, සෞඛ්‍ය සේවය, කෘෂිකර්මය යනාදි අංශ සේ ම, ඒ සියලු දේම පාලනය කරන රටේ ආණ්ඩුකරණය තිබෙන්නේ ද අවුල් ජාලාවක ය. අල්ලසින් හා දූෂණයෙන් කුණු නොවූ තැනක් ඇත්තේ ම නැති තරම් ය. අපිරිසිදු බව තිබිය හැකි පහත් තැන් පමණක් නො ව ශුද්ධ වූ බව තිබිය යුතු උස් ම තැන් පවා දූෂණයෙන් ද අගතියෙන් ද කුණු වී තිබේ.

මහාධිකරණ විනිසුරු අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ දී එම ඝාතන කුමන්ත්‍රණය පිටුපස සිටි ප්‍රධාන ඔළුකාරයා ලෙස පරික්ෂණ වලින් හඳුනා ගත්තේ නවුෆිර් ය. හෙළිදරව් වී තිබෙන අන්දමට ඔහු රටේ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් සමීප ව ඇසුරු කළේ ය. ඔවුන් මගින් රටේ ජනාධිපතිනිය සමග ද සම්බන්ධකම් පැවැත්වී ය. බණ්ඩාරනායක අනුස්මරණ උත්සවවලට නවුෆිර් බුරියානි සැපයී ය. විනිසුරු වැඩමුළුවලට ආහාර සැපයූ ප්‍රධාන අනුග්‍රාහකයා වූයේ ද නවුෆිර් ය. නවුෆිර්ගේ අඬු හැම අතකට ම විහිදි තිබුණු බව ඉන් පෙනී යයි. ඔහු රටේ ජනාධිපති දැන සිටියේ ය. ජනාධිපතිගේ සොහොයුරු අනුර බණ්ඩාරනායක දැන සිටියේ ය. වෙනත් මැති ඇමතිවරුන් දැන සිටියේ ය. අගවිනිසුරු ඇතුළු අධිකරණ නිලධාරීන් ද ඔහු දැන සිටියේ ය. නවුෆිර්ගේ උදාහරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට ඇද වැටී තිබෙන පරිහානියේ ප්‍රමාණය යි.

රට ඇදි වැටී තිබෙන මෙම ඛේදජනක තත්ත්වයට දේශපාලකයින් අධිකරණ නිලධාරින්, රාජ්‍ය නිලධාරීන් පමණක් නො ව මුළු මහත් සමාජය ද වගකිව යුතු ය.

ඇද වැටී තිබෙන මෙම ඛේදජනක තත්ත්වයෙන් රට ගොඩගත හැකි ශක්තිමත් හා අර්ථවත් දර්ශනයක් සොයා ගැනීමට අප තවමත් සමත් ව නැත. වතුර උතුරන තෙක් හැළියේ නටන කකුළුවන් සේ අපි සියල්ලෝ රට ගැන අවබෝධයකින් තොර ව කා බී ජොලි කරමින් සිටිමු. විසඳ ගත යුතු ප්‍රශ්න තිබෙන බව පෙනෙතත් ඒවා විසඳ ගැනීමට අවශ්‍ය උනන්දුවක්, දැනුමක් හෝ සංයමයක් රටේ දේශපාලකයින්ටවත් ජනතාවට වත් නැත.

මේ ජනාධිපතිවරණයේදි වත් බොරු නො කොට මේ රටේ ගැටලු විසඳීමට තමන්ට තිබෙන දර්ශනය ඉදිරිපත් කරන ලෙස රටේ ජනතාව ජනාධිපති අපේක්ෂකයන්ට බල කරන තැනකට යා යුතු ය.