මහින්දට විය හැක්කේ කුමක් ද?

September 18, 2005
Publication:
Mahinda Rajapaksa is near the top, a remarkable feat in a party dominated by one family, and he got there not as a Bandaranaike retainer. Ivan weighs Chandrika Kumaratunga's decision not to fight him at the convention, and his bold readiness to meet Prabhakaran against his pact with the JVP and Hela Urumaya to keep the unitary state.

දැන් මහින්ද රාජපක්ෂ මහතා සිටින්නේ දේශපාලනයේ නිරත පුද්ගලයකුට යා හැකි උපරිමයට ආසන්න තත්ත්වයකය. ඔහු උපරිමයට ආසන්න තැනකට පැමිණ ඇතත්, උපරිමය දක්වා පැමිණ නැත.

ශ්‍රීලනිප වැනි එක් පවුලක දැඩි ආධිපත්‍යයකට නතුවී තිබෙන පක්ෂයක මෙවැනි දුරක් එන්නට හැකිවීම ද ආශ්චර්යයක් ලෙස සැලකිය හැකිය. ඔහු ඒ දුර පැමිණ ඇත්තේ බණ්ඩාරනායක පවුලේ අතවැසියකු ලෙස නොවේ. පක්ෂය තුළ පැවති එම පවුල් ආධිපත්‍යයට එරෙහිව පෙනී සිටින්නෙකු වශයෙනි.

ඔහු කලක් බණ්ඩාරනායක මැතිනිය හා ඇගේ පුත් අනුර බණ්ඩාරනායක මහතා අතර පැවති ආරාවුලේ දී මවගේ පිලට එරෙහිව පුතුගේ පිල වෙනුවෙන් පෙනී සිටියාය. බණ්ඩාරනායක මැතිනිය සිය වයස නොසලකා පක්ෂ නායකත්වයේ එල්ලී සිටීම ඔහු දැක්කේ ඇය පක්ෂයට කරන වරදක් ලෙසය. ඉන්පසු පක්ෂය අතහැර ගොස් සිටි චන්ද්‍රිකා නැවත පක්ෂයට පැමිණි අවස්ථාවේ දී ද ඔහු පෙනී සිටියේ චන්ද්‍රිකාවාදියෙකු ලෙස නොව, චන්ද්‍රිකා විරෝධියෙකු ලෙසය. පාද යාත්‍රාව වෙනුවෙන් මාතර පැවති රැස්වීමට සහභාගි වීමට පැමිණි සිටි චන්ද්‍රිකාට ඔහු ප්‍රසිද්ධියේ බැණ වැදුණේය. ඔහු එසේ බැණ වැදුණේ බණ්ඩාරනායක පවුලේ දරුවකුට පමණක් නොව, පක්ෂයේ ද, රටේ ද අනාගත නායිකාවටය.

ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් පසුව අනුර බණ්ඩාරනායක මහතා පක්ෂය අතහැර එක්සත් ජාතික පක්ෂයට එකතු වුවද මහින්ද ඔහු සමග පක්ෂය අතහැර ගියේ නැත. තමා චන්ද්‍රිකාගේ උදහසට හේතුවන බව දැන දැන ම ඔහු පක්ෂය තුළ රැඳී සිටියේය. ඉන්පසු චන්ද්‍රිකා පාලනය තුළ තමන්ට වඩා අඩු වැදගත් අයට වැදගත් තනතුරු ලැබී තමන්ට අවැදගත් තනතුරු ලැබෙන තත්ත්වයක් යටතේ පවා ඒ සියල්ල ඔහු ඉවසා දරාගෙන සිටියේය. චන්ද්‍රිකා පාලනයේ එක් යුගයක් තුළ සනත් ගුණතිලක අතිවිශාල බලවතකු වී සමහර මැති ඇමතිවරුන් ඔහු ඉදිරියේ දාස ප්‍රතිපත්තියක් අනුගමනය කරන විටත්, මහින්ද සනත් ගුණතිලකව තඹ සතයක් තරමටවත් මායිම් නොකළේය. එහෙත් අවසානයේදි තමන් පිළිබඳව ජනාධිපතිනියට තිබුණු අකමැත්ත නොසලකා සන්ධාන ආණ්ඩුවේ අගමැති බවට පත්වීමට මහින්ද සමත් විය.

අගමැතිකම ද ඔහුට කැමැත්තෙන් ලබාදෙන ලද දෙයක් නොවීය. මහින්දට අගමැතිකම දෙනවාට ජනාධිපතිනි චන්ද්‍රිකා පමණක් නොව, මංගල ද ජනතා විමුක්ති පෙරමුණ ද එක හෙළා විරුද්ධ විය. එහෙත් ඒ සියලු දෙනාගෙන් එල්ල වන විරුද්ධතා නොසලකා අගමැතිධුරය තමන් වෙත ලබාගනිමින් ශ්‍රීලනිපයේ ඊළග නායකයා තමන් බව සංකේතාත්මක ලෙස පෙන්නුම් කිරීමට මහින්ද සමත් විය. එම දුෂ්කර කඩුල්ල ජයගැනීමෙන් පසුව ජනාධිපති අපේක්ෂකත්වය හිමිකර ගත්තේ ද උත්සාහයෙනි. එය කැමැත්තෙන් ප්‍රදානය කරන ලද දෙයකට වඩා උත්සාහයෙන් දිනාගන්නා ලද දෙයක් ලෙස සැලකිය හැකිය.

එහෙත් මහින්ද ජනාධිපති අපේක්ෂකත්වය හිමිකර ගැනීම දක්වා පැවති දුෂ්කර ගමනේදි පෙන්නුම් කිරීමට සමත් වූ ශූරභාවය ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමෙන් පසු පෙන්නුම් කිරීමට සමත් නොවූ බව ද කිව යුතුය.

මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ප්‍රේමදාස මහතා අතර සමානකම් පවතී. එහෙත් ඒ දෙදෙනා අතර තිබෙන අසමානකම් සමානකම් වලට වඩා වැඩිය. ප්‍රේමදාස මහතා පතුලෙන්ම පැමිණි නායකයකු වුවත්, මහින්ද රාජපක්ෂ මහතා පතුලෙන්ම පැමිණි නායකයකු ලෙස සැලකිය නොහැකිය. මහින්ද රාජපක්ෂ මහතා දකුණේ ප්‍රභූ පවුලකින් පැවත එන්නෙකු වුව ද, ඔහුගේ පවුලේ ප්‍රභූත්වය හා බණ්ඩාරනායක පවුලේ ප්‍රභූත්වය අතර අතිවිශාල පරතරයක් තිබුණි. ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණු මොහොතේ සිට පක්ෂයේ සුක්කානම මුලිමනින්ම සියතට ගත්තේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයට එම සුක්කානමේ තවදුරටත් එල්ලී සිටින්නට ඉඩ නොදුන්නේය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වය තමන්ට ලැබීමෙන් පසු පක්ෂයේ සුක්කානම මුළුමනින් සියතට ගැනීමට අසමත් විය. ජනාධිපති අපේක්ෂකත්වය තමන්ට ලැබී තිබුණු තත්ත්වයක් යටතේ තමන් ජනාධිපති ධුරයට පත්වන තෙක් ජනාධිපති චන්ද්‍රිකාට එම සුක්කානම අල්ලා ගෙන සිටීමට ඉඩදිමෙන් තමන්ට වරදක් සිදු නොවනු ඇතැයි ඔහු වැරදි ලෙස තක්සේරු කළේය.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, පක්ෂ සම්මේලනයේදි මහින්ද රාජපක්ෂ මහතා සමග හැප්පෙන්න ගියේ නැත. එසේ කළේ නම්, පක්ෂ නායකත්වය මහින්ද රාජපක්ෂ අතට මාරුවන්නට තිබුණේ එදාය. ඇය එහිදි මහින්ද සමග හැප්පෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට තමන්ට දෙන්නට ගිය යාවජීව නායකත්වය එපා කියමින් තමන්ට තිබුණු පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගත්තාය.

ජනතා විමුක්ති පෙරමුණේ හා හෙළ උරුමයේ යල් පැනගිය කොන්දේස වලට අත්සන් තබන තැනකට යාමෙන් මහින්ද කරගත්තේ මෝඩකමකි. ජනාධිපති තරගයේ දී ජවිපෙ ඡන්ද වැදගත් බවට සැකයක් තිබිය නොහැකිය. එහෙත් එම ඡන්ද ලබාගැනීමට මහින්දට එවැනි ගිවිසුමකට අත්සන් තබන තැනකට යන්නට අවශ්‍ය වන්නේ නැත. මහින්දට හැමදාමත් සිංහල බෞද්ධ පෙනුමක් තිබුණේය. එය ජවිපෙන් හෝ හෙළ උරුමයෙන් බදු ගත යුතුව තිබුණු කඩතුරාවක් නොවීය. ජවිපෙ සිටි තැන අනුව ඔවුන්ට මහින්දගේ කරේ එල්ලෙනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් තිබුණේ නැත. එහෙත් එහිදි මහින්ද මංගලගේ ලණුව කෑවේය. ඒ මගින් ඔහු ජනාධිපතිනියට පෙරළා පහරදිමක් කිරීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් ලබා දුන්නේය.

ජනාධිපතිනිය මහින්දට එරෙහි වන්නේ ජවිපෙ සමග ඇති කරගත් ගිවිසුම නිසාම නොවේ. මහින්ද ජනාධිපති වුවහොත් සිය පවුලේ උරුමයක් ලෙස පවතින පක්ෂය කෙරෙහි තම පවුලට තිබෙන ආධිපත්‍යය අහිමි වන බව ඇය දන්නා නිසාය. එහෙත් එම කරුණ මත පමණක් මහින්දට එරෙහිව නැගී සිටීමේ හැකියාවක් ඇයට නොතිබුණි. මහින්ද ජවිපෙ සමග අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් සිදුවූයේ තමන්ට එරෙහිව නැගී සිටීමට ශක්තිමත් පදනමක් ඇයට ලබාදිමය. පිරිසිදු අර්ථයෙන් ගත් විට මහින්ද අත්සන් තබන ලද ගිවිසුම හා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපතිනියගේ ආශිර්වාදය ඇතිව ශ්‍රීලනිප ජවිපෙ සමග අත්සන් තබන ලද ගිවිසුම අතර බරපතළ වෙනසක් නොපවතී. එහි ඇති එකම වෙනස පැරණි කොන්දේසිවලට සුනාමි සහන මණ්ඩලය පිළිබඳව අලුත් කොන්දේසියක් එකතු වී තිබීම පමණය. ශ්‍රීලනිප ජනාධිපතිනියගේ ආශිර්වාදය මැද එදා අත්සන් තබන ලද ගිවිසුම ද ශ්‍රීලනිපයේ පිළිගත් කොන්දේසිවලට පටහැනි විය. එහෙත් වර්තමානයේ මහින්ද සේ ම එදා ජනාධිපතිනිය ද ජවිපෙ සමග ගිවිසුමක් ඇති කරගත්තේ ගිවිසුමේ එන කාරණා ශ්‍රීලනිපයේ පිළිගත් කොන්දේසිවලට පටහැනි වුවත්, මැතිවරණ ජයග්‍රහණය සඳහා එසේ කිරීම අවශ්‍ය වූ නිසාය.

මහින්ද ජවිපෙ සමග ගිවිසුමක් අත්සන් කරන්නට යන බව ජනාධිපතිනිය නොදැන සිටියා විය නොහැකිය. ඇය මහින්දට ලණුව කන්නට ඉඩ හැර බලා සිටියාය. ලණුව කෑ පසු මහින්දට පහරදිමට එය අවස්ථාවක් කරගත්තාය.

බලය ලබාගැනීම සඳහා වර්ගවාදි මාවත තෝරා ගත් එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණක් නොවේ. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි තෝරා ගත්තේ එම මාවතමය. ඒ මගින් නැවත පාර්ලිමේන්තු බලය තමන් වෙත හිමිකර ගැනීමට ඇය සමත් වුවත්, පාලනය පවත්වාගෙන යා නොහැකි අර්බුදයකට මුහුණ දිමට ඇයට සිදුවිය. මහින්ද රාජපක්ෂ මහතා ජවිපෙ සමග ගිවිසුමක් ඇති කර ගත්තේ එම ඛේදජනක අත්දැකීම් නොසලකාය.

මහින්ද රාජපක්ෂ මහතා තෝරාගත් මාවත නිවැරදි නැතත්, මහින්ද රාජපක්ෂ මහතා ජවිපෙ සමග ඇති කරගත් ගිවිසුම පදනම් කොටගෙන ජනාධිපතිනිය විසින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ආරම්භ කර ඇති යුද්ධයේ දී ජනාධිපතිනිය වර්ග භේදවාදයට එරෙහිව සටන් කරන සුරදූතිකාවක් ලෙස චිත්‍රවත් කිරීම යුක්තිසහගත වන්නේ නැත. ඇය ලස්සන සටන් පාඨවලට මුවාවී සටන් කරන්නේ පොදු යහපත පිණිස නොව පක්ෂය තිබෙන සිය පවුලේ ආධිපත්‍යය ආරක්ෂා කරගැනීම සඳහාය. ඒ අර්ථයෙන් ඇය දැන් රගපාමින් සිටින්නේ ද පක්ෂයේ අපේක්ෂකයා ලෙස කොබ්බෑකඩුව තරග කළ අවස්ථාවේදි ඇගේ මව රගපෑ භූමිකාවමය. මහින්ද ශ්‍රීලනිපයේ ආධිපත්‍යය තමන් අතට ගැනීමට තිබුණු අවස්ථාව අහිමි කරගත්තේය. පක්ෂ සම්මේලනයේදි ඔහු ඒ වෙනුවෙන් නැගී සිටියේ නම් ඊට එරෙහිව යාමේ හැකියාවක් ජනාධිපතිනියට නොතිබුණු අතර, එසේ වී නම් පක්ෂයේ මහින්දට එරෙහිව දැන් කරන කිසිවක් කිරීමේ හැකියාව ඇයට නොලැබෙන්නට ඉඩ තිබුණි. මින්පසු මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ නායකත්වය හිමි කරගත හැකිවනු ඇත්තේ ජනාධිපති තරගයෙන් ජයගත හැකිවේ නම් පමණය. එහෙත් දැන් පක්ෂ නායකත්වය ඇත්තේ ජනාධිපතිනියගේ අතේ නිසා මහින්ද රාජපක්ෂ මහතා රියදුරු අසුනේ වාඩිවී සිටියත්, සුක්කානම හැසිරවීමේ බලය ජනාධිපතිනිය තමන් අත තබාගෙන තිබෙන තත්ත්වයක් තුළ අවසාන විග්‍රහයේ දී රට කුමන දිසාවකට ගමන් කරනු ඇත්ද යන්න පැහැදිලි නැත.

තමා ප්‍රභාකරන් හමුවී සාකච්ඡා කරන්නට සූදානම් බව මහින්ද ප්‍රකාශ කර තිබුණි. එය නිර්භීත ප්‍රකාශයක් ලෙස සැලකිය හැකි වෙතත්, ඒ සමග ඒකීය රාජ්‍ය රාමුව වෙනස් නොකරන බවට ජවිපෙ හා හෙළ උරුමය සමග ඇති කරගත් ගිවිසුම විසින් ඒ කරන ලද ප්‍රකාශයට ලැබෙන වටිනාකම අහෝසි කළේය. මහින්ද ප්‍රභාකරන් හමුවන්නට යන්නේ ඔහු ඒකීය රාජ්‍ය රාමුවකට කැමති කරවා ගන්නටද? ප්‍රභාකරන් එවැනි වැඩපිළිවෙළකට කැමති කරවා ගැනීමට හැකිවනු ඇතැයි මහින්ද විශ්වාස කරන්නේද? එවැනි පටු මතවාදයක පිහිටා සිටින අයකුට තෝරා ගැනීමට ඉතිරි වනු ඇති එකම විකල්පය වනු ඇත්තේ යුද්ධයයි.