සැසි වාරය කල් දෑමීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි

July 15, 2001
Publication:
The editorial condemns the prorogation of Parliament to evade a no-confidence motion when the opposition had become the majority, likening it to postponing an election in the face of certain defeat and calling it a grave political crime. It criticises the Prime Minister for repeatedly promising debate on 16 to 18 July and denying any plan to prorogue, and urges MPs to stand up for Parliament against the President's arbitrary act.

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය සුළුතරයක් බවට පත්වී විරුද්ධ පක්ෂය බහුතරයක් වී සිටි අවස්ථාවක විරුද්ධ පක්ෂය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව මගහැරිම පිණිස පාර්ලිමේන්තුවේ සැසි වාරය කල් දැමීම නිතියට පටහැනි වන්නා සේ ම ප්‍රජාතන්ත්‍රවාදයට ද පටහැනිය.

ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් බාර දි තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිම හෝ පාර්ලිමේන්තුවේ සැසි වාරය කල් දෑමීම නීති විරෝධී වේ නම්, ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තුවේ සැසි වාරය කල් දැමීම ද නීතියට පටහැනි විය යුතු ය. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු පිළිගත් මූලධර්මවලට පයින් ගැසීමකි.

පාර්ලිමේන්තු ආණ්ඩුවක් මැතිවරණයකදි පරාජය කළ හැකිවා සේ ම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවකින් ද එය පරාජය කළ හැකි ය. විශ්වාසභංග යෝජනාවකින් ලබන පරාජයක් වළකා ගැනීම සඳහා එය මගහැරිම පිණිස පාර්ලිමේන්තු සැසි වාරයක් කල් දැමීමට මැතිවරණයකින් ලබන නියත පරාජයක් දැක මැතිවරණයක් කල් දැමීමට සමාන ය. මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සැලකිය යුත්තේ බරපතල දේශපාලන අපරාධ වශයෙනි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස සැලකිය හැකි අගමැතිවරයාගේ ක්‍රියාකලාපය ද, ඔහු උසුලන තනතුරේ ගෞරවයට හේතු නොවන බව ද කිව යුතු ය. ඔහු පළමු අවස්ථාවේදි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම කල් නොදමන බව ප්‍රකාශ කරමින් ඒ සඳහා ජූලි 16, 17 සහ 18 යන දින ලබාදෙන බව ද පුන පුනා ප්‍රකාශ කළේ ය. ඉන්පසු නැවත නැවතත් කීවේ පාර්ලිමේන්තුවේ සැසි වාරය කල්දැමීමේ අභිප්‍රායක් ආණ්ඩුවට නැති බවත්, ආණ්ඩුව එවැනි ක්‍රියාවක නොයෙදෙන බවත් ය.

දැන් හැම දෙයක්මත් සිදුවී ඇත්තේ අගමැතිවරයා රටට පොරොන්දු වූ ලෙස නොව, ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ය. මහජනතාව මුලා කරන මෙවැනි වගකීමෙන් තොර ප්‍රකාශ අගමැතිවරයෙකු වැනි උසස් තනතුරක් උසුලන පුද්ගලයෙකුගේ ගෞරවයට හේතුවන්නේ නැත.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සමග සෙල්ලම් කරන්නට යාම භයානක ය. පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් නොසලකන ආණ්ඩුවක් ප්‍රජා පීඩක ආණ්ඩුවක් ලෙස මිස මහජන ආණ්ඩුවක් ලෙස සැලකිය නොහැකි ය.

ජනාධිපතිනියගේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිවත් පාර්ලිමේන්තුවේ ගෞරවය පිණිසත් නැගී සිටීම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වගකීමයි.