යෝජිත ස්වාධීන කොමිෂන් සභා පහ ස්ථාපිත කිරීම ප්රජාතන්ත්රවාදය සඳහා ඉතා වැදගත් වුවත් ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රියාකාරිත්වය විකෘති කිරීමට හා බෙලහීන කිරීමට හේතුවී ඇති විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමක් හෝ බලවත් ලෙස ප්රතිසංස්කරණයට ලක්කිරිමෙන් තොරව ස්වාධීන කොමිෂන් සභා පහ ඇති කිරිමෙන් පමණක් බිඳ වැටී තිබෙන ප්රජාතන්ත්රවාදය යළි තහවුරු කළ නොහැකිය.
ආණ්ඩුක්රම විෂයයෙහි අප රට බිහි කළ විශ්වකර්මයා ලෙස සැලකිය හැකි ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා නිවැරදිව පෙන්වා දි ඇති ආකාරයට ආණ්ඩුක්රම ව්යවස්ථාවට අවශ්ය ජනතා ගෞරවය හා පිළිගැනීම ලැබෙන්නේ ඊට ඇතුළත් නීතිමය හරයට නොවේ නිසි රාජ්ය පාලන ක්රියාකාරිත්වයක් පණගැන්වීමට ඊට තිබෙන හැකියාව මතය. එහෙත් විධායක ජනාධිති ක්රමය නිසි පාලනයක් පණගන්වන ක්රමයක් වෙනුවට අස්ථිරභාවය, අනාරක්ෂිතභාවය හා ද්රෝහීභාවය ඇති කරන ක්රමයක් බව ප්රේමදාස යුගයේ ඇතිවූ සිදුවීම් විසින් පමණක් නොව, චන්ද්රිකා යුගයේ දැන් ඇතිවෙමින් තිබෙන සිදුවීම් විසින් ද මනා ලෙස සනාථ කරයි.
ජේ.ආර්. ජයවර්ධනට විධායක ජනාධිපති ක්රමයක් ඇති කරගැනීමට අවශ්ය වූයේ රාජ්ය පාලකයා ලෙස තමන් වෙත අතිවිශාල බලයක් ඒකරාශිකර ගැනීම පිණිසය. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මේ ක්රමය ප්රජාතන්ත්රවාදයේ ඇර්ම් ආයිත්තම් පැළඳ ගත් ව්යවස්ථානුකූල ජනාධිපති ඒකාධිපති ක්රමයක් ලෙස හැඳින්වූයේ ද ඒ නිසාය. එය ජේ.ආර්. ජයවර්ධන විසින් ලෝකයේ තිබෙන විවිධ විධායක ජනාධිපති ක්රමවලින් තමන් කැමති අංග එකතු කොට තනන ලද විශේෂ අච්චාරුවකට සමානය. මේ ක්රමය තුළ ද ඇමරිකන් ක්රමය තුළ දක්නට ලැබෙන බල විභේදනයක් දක්නට ඇතත්, විධායකය, ව්යවස්ථාදායකය හා අධිකරණය වශයෙන් බෙදා වෙන් කෙරෙන ප්රධාන අංශ තුන අතර ඇමරිකන් ක්රමයේ දක්නට ලැබෙන ගැලපීම නොපවතී. මේ අංශ තුන අතර එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් හා අවබෝධයෙන් ක්රියා කරන තත්ත්වයක් වෙනුවට ඇත්තේ විධායකයට අතිවිශාල බලයක් ලබාදෙන අතර, ව්යවස්ථාදායකය හා අධිකරණය ඊට යටහත් පහත් තත්ත්වයක තැබීමය.
විධායක ජනාධිපති ක්රමය ඇති කළ වහාම ආචාර්ය එන්.එම්. පෙරේරා ඒ ගැන විවරණයක යෙදෙමින් එක්සත් ජාතික පක්ෂයට ලැබී තිබෙන අධික වැඩි ඡන්ද බලය නිසා එක්තරා කාලයක් මේ ක්රමය පහසු අන්දමින් පවත්වාගෙන යාමට හැකිවනු ඇතත්, අනාගතයේ දි ජනාධිපතිගේ ප්රතිපත්ති ක්රියාත්මක කිරීමට එරෙහිව නැගී සිටින විරුද්ධවාදි පාර්ලිමේන්තුවක් ඇතිවූ දිනක ඇතිවන ප්රතිඵලය කුමක්දෑයි ඔහු ප්රශ්න කළේය. මුදල් නොලැබීම නිසා විධායකය අක්රීය විය හැකි බවත්, එහිදී ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් නොවුවහොත් සමස්ත රාජ්ය යන්ත්රයම ක්රියාවිරහිත තත්ත්වයකට ඇද වැටිය හැකි බවත් එයින් අනතුරට පත්වන්නේ ප්රජාතන්ත්රවාදය බවත් ඔහු ප්රකාශ කර සිටියේය.
එන්.එම්. ගේ එම අනාවැකිය ප්රථම වරට සනාථ වූයේ ප්රේමදාස යුගයේදිය. දැන් එය නැවත චන්ද්රිකා යුගයේදි ද, දෙවැනි වරටත් සනාථ වෙමින් පවතී.
ප්රථම අර්බුදයෙන් පසුව විධායක ජනාධිපති ක්රමය මුළුමණින් අහෝසි නොකරන්නේ නම් යටත් පිරිසෙයින් තවත් එවැනි අර්බුදයකට ඉඩ නොතබා එහි ඇති නොගැලපීම් ප්රතිසංස්කරණය කළ යුතුව තිබුණි. එහෙත් ඒ දේශපාලන වගකීම පැවරි තිබුණේ චන්ද්රිකාටය. ඇය බලයට ආවේ ද විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන බවට පුන පුනා පොරොන්දු වෙමිනි. එහෙත් බලයට පත්වීමෙන් පසුව එයට ආවේණික අසීමිත බලපරාක්රමයෙන් කුල්මත්වී එහි ඇති රසයට ලොල් කරමින් මහත් තෘෂ්ණාවෙන් යුතුව එය ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළාය. දැන් එහි අවසාන ප්රතිඵලය වනු ඇත්තේ ජනතාවගේ පිළිකුලට හා හාස්යයට ලක්වන තත්ත්වයකට පත්වීමය.
දැන් මතුවී තිබෙන අර්බුදය නිසාවත් මේ ක්රමය අහෝසි කිරීම හෝ එහි ඇති නොගැලපීම් ඉවත් නොකරයි නම්, මින්මතු ඇතිවන අර්බුදයන් වඩා විශාල විනාශයක් ඇති කිරීමට හේතුවිය හැකිය. වෙනසක් ඇති කරනවා නම්, කළයුත්තේ ද මේ මොහොතේදිය. මක්නිසාද යත්, මේ අසුනේ වාඩිගන්නා ඕනෑම පුද්ගලයෙකු තුළ එහි රසයට ඇතිවන නිසග ලොල් බව නිසා එහි අසුන් ගැනීමට පෙර මිස, එහි අසුන් ගැනීමෙන් පසු වෙනසක් ඇති කිරීමට ක්රියාකරනු ඇතැයි සිතිය නොහැකි නිසාය.
විධායක ජනාධිපති ක්රමය අහෝසි නොකරන්නේ නම්, ඒ ක්රමයේ අවශ්යයෙන්ම ඇති කළ යුතු ප්රතිසංස්කරණ හඳුනාගැනීම වැදගත්ය.
(1) රටේ සිටින ප්රධාන විධායකයා ලෙස ජනාධිපති පාර්ලිමේන්තුවට ද, අධිකරණයට ද වගකියන තත්ත්වයකට ගෙනා යුතුය.
(2) පාර්ලිමේන්තුවට එක් වසරක කාලයක් සම්පූර්ණ වීමෙන් පසුව සාධාරණ හේතු ඇතිව හෝ නැතිව තම අභිමතය පරිදි අවශ්ය නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිට ලැබී තිබෙන බලය අහෝසි කළ යුතුය. මෙය ඇමරිකන් ක්රමයේ හෝ ප්රංශ ක්රමයේ පවා දක්නට නොලැබෙන ප්රතිපාදනයකි. ඇමරිකන් ජනාධිපතිට ව්යවස්ථාදායකය විසුරුවා හැරිමක් කළ නොහැකිය. ප්රංශ ජනාධිපතිට ද එසේ කිරිමේ හැකියාව ඇත්තේ අගමැති හා මන්ත්රී මණ්ඩල සභාපතිවරුන්ගේ එකගත්වයක් ලැබෙන අවස්ථාවල පමණය. පාර්ලිමේන්තුවේ බලයේ සිටින ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ඉදිරියේ හා විපක්ෂයට ද ආණ්ඩුවක් පිහිටුවීමේ බලයක් නැති අවස්ථාවක විසුරුවා හැරිමක් සාධාරණ විය හැකි වුවත් එවැනි තත්ත්වයක් නොපවතින අවස්ථාවක හිතුවක්කාරි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිමක් කිරීමට ඉඩ නොතිබිය යුතුය.
(3) මාස දෙකක කාලයක් නොඉක්මවන ලෙස තමන් කැමති අවස්ථාවක පාර්ලිමේන්තුවේ වාරය අවසන් කිරීමට ජනාධිපතිට ලැබී තිබෙන බලය ද අහෝසි විය යුතුය. තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේදි ප්රේමදාස ජනාධිපතිවරයා මෙම ප්රතිපාදනය වැරදි ලෙස ප්රයෝජනයට ගත්තේය. පොදු පෙරමුණු ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී තිබෙන විශ්වාසභංගයේදි ජනාධිපතිනිය ද එම ප්රතිපාදනය ප්රයෝජනයට ගනු ඇතැයි සාධාරණ බියක් පවතී.
(4) ප්රතිපත්ති ප්රකාශනයක්, විසර්ජන කෙටුම්පතක් හෝ විශ්වාසභංගයක් පරාජය වූ අවස්ථාවකදි ජනාධිපතිවරයා ක්රියා කළ යුතු ආකාරය පිළිබඳව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ඇති අපහැදිලි විධි විධාන පැහැදිලි විධි විධාන බවට පත් කළ යුතුය. ප්රතිපත්ති ප්රකාශනයක්, විසර්ජන කෙටුම්පතක් පරාජයට පත්වූ අවස්ථාවක හා ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවකින් ආණ්ඩුව පරාජයට පත්වූ අවස්ථාවක, ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව විරුද්ධ පක්ෂයට ඇතොත්, ඒ අවස්ථාව විරුද්ධ පක්ෂයට ලබාදිය යුතුය. ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව විරුද්ධ පක්ෂයට ද නැතොත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය.
(5) අගමැති හා ඇමති මණ්ඩලය නම් කිරිමේදි ජනාධිපතිවරයාට හිතුවක්කාරි ලෙස ක්රියාකිරීමට තිබෙන බලය අහෝසි විය යුතුය. ජනාධිපති එක් පක්ෂයකිනුත්, පාර්ලිමේන්තු බලය තවත් පක්ෂයකටත් ලැබී තිබෙන අවස්ථාවක අගමැති හා ඇමති මණ්ඩලය නම් කිරිමේ අභිමත බලයක් ජනාධිපතිට තිබිය යුතු නැත. ඔහු අගමැති වශයෙන් නම් කළයුත්තේ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් සහිත පක්ෂයේ නායකයාය. ඇමති මණ්ඩලය ලෙස පත්කළ යුත්තේ ද අගමැති නිර්දේශ කරන පුද්ගල කණ්ඩායමකි. ජනාධිපති ධුරය හා පාර්ලිමේන්තු බලය එකම පක්ෂයකට ලැබී තිබෙන අවස්ථාවක පවා ඇමති මණ්ඩලය නම් කිරිමේ බලය අගමැතිට ලැබිය යුතුය. එසේම ජනාධිපති ධුරය හැරුණු විට කිසිම ඇමති ධුරයක් හෙබවීමේ බලය ජනාධිපතිට නොතිබිය යුතුය. රාජ්ය ප්රතිපත්තියක් ලෙස සැලකිය යුත්තේ ජනාධිපතිගේ ප්රතිපත්ති නොව, කැබිනට් මණ්ඩලයේ ප්රතිපත්තිය. ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප්රධානියා ලෙස ක්රියාකළ යුත්තේ නාමික වශයෙන් පමණය. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ප්රතිපත්ති ප්රකාශය ද ජනාධිපති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවත්, එම ප්රතිපත්ති ප්රකාශය කැබිනට් මණ්ඩලයේ ප්රතිපත්ති ප්රකාශනයක් විය යුතුය.
(6) ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් පිරවීම හා වැඩ බලන ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සඳහා ව්යවස්ථාවේ ඇති අවුල්සහගත ක්රමය ද නිරවුල් විය යුතුය. ජනාධිපතිවරයාට සිය ධුරයෙහි කාර්ය භාරය දැරිමට අපොහොසත් වන අවස්ථාවකදිත් ජනාධිපති ධුරයේ වැඩ බැලීමේ වගකීම අගමැතිවරයාට හිමිවිය යුතුය. මරණය නිසා හෝ කායික දුබලතාවක් නිසා හෝ ඇතිවන පුරප්පාඩුවකදි හා දෝෂාභියෝගයක් නිසා තනතුර අහිමි වී, ඇතිවන පුරප්පාඩුවකදි නව ජනාධිපතිවරයෙක් මැතිවරණයකින් තෝරාපත් කෙරෙන තෙක් අගමැතිවරයා එම ධුරයේ වැඩ බැලිය යුත්තේය.
(7) ජනාධිපතිවරයෙකු ඉවත් කිරීම සඳහා තිබෙන අවිධිමත් ප්රතිපාදනය ද විධිමත් කළ යුතුය. දැන් තිබෙන ක්රමය යටතේ ජනාධිපතිවරයෙකුට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් 2/3ක අත්සන් තිබිය යුතුය. එහෙත් පාර්ලිමේන්තුවේ බහුතරයේ අත්සන් තබා තිබෙන අවස්ථාවකදිත් කථානායකවරයාට අවශ්ය නම් පමණක් දෝෂාභියෝගයක් භාරගත හැකිය. ඉන්පසු යෝජනාව විවාදයට ගත යුතු අතර, එය තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත වුවහොත් පමණක් ඉදිරිපත් වී තිබෙන චෝදනා පිළිබඳ පරික්ෂණයක් පැවැත්වීමේ වගකීම ශ්රේෂ්ඨාධිකරණය වෙත පැවරිය යුතුය. ශ්රේෂ්ඨාධිකරණය එම විභාගය මාස දෙකකින් අවසන් කළ යුතු අතර, චෝදනා ඔප්පු වී නැති බව ශ්රේෂ්ඨාධිකරණයේ තීරණය වුවහොත් දෝෂාභියෝගය ද ඒ සමග බලරහිත වන්නේය. ශ්රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා චෝදනාවලට වරදකරු කළහොත් නැවත එම තීරණය විවාදයට ලක් කොට, තීන්දුව තුනෙන් දෙකක ඡන්දයෙන් අනුමත වුවහොත් පමණක් ඒ සමග ජනාධිපති ධුරය දරන පුද්ගලයාට එම ධුරය අහිමි වන්නේය. මෙය ඉතාමත් සටකපට හා වැල්වටාරම් ක්රමයක් බව පැහැදිලිය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තරම් ප්රමාණයක් ජනාධිපති කෙරෙහි විශ්වාසයක් නැති බව ප්රකාශ කෙරුණු අවස්ථාවකදි ශ්රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා චෝදනාවලින් නිදහස් කළත්, මේ ආයතන දෙක අතර සමාදානයෙන් ක්රියාකිරිමේ හැකියාවක් ද තිබිය නොහැකිය.
තිබෙන මෙම සටකපට වැල්වටාරම් ක්රමය මෙසේ වෙනස් කළ හැකිය.
(අ) ජනාධිපතිවරයෙකුට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් තුනෙන් දෙකක අත්සන් සහිතව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවකදි තවදුරටත් එම යෝජනාව තුනෙන් දෙකකින් සම්මත වන අවස්ථාවකදි ජනාධිපති සිය ධුරයෙන් ඉවත් විය යුතුය.
(ආ) ජනාධිපතිවරයෙකුට එරෙහිව විෂමාචාර චෝදනා ඇතුළත් දෝෂාභියෝග යෝජනාවකට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් බහුතරයක් අත්සන් තබා ඇති අවස්ථාවක එහි ඇතුළත් චෝදනා ශ්රේෂ්ඨාධිකරණය විසින් විභාග කළ යුතුය. ශ්රේෂ්ඨාධිකරණය එම චෝදනාවලට ජනාධිපති වරදකරු කරමින් ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කළ යුතු බවට නිර්දේශ කරන අවස්ථාවක ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් විය යුතුය.
(8) අගවිනිසුරු, අභියාචනාධිකරණයේ සභාපති, ශ්රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්, නීතිපති, විගණකාධිපති, පොලිස්පති, මහ බැංකුවේ අධිපති, ආයෝජන මණ්ඩලයේ සභාපති වැනි ප්රමුඛ තනතුරු සඳහා ජනාධිපතිට තමන් කැමති ඕනෑම පුද්ගලයෙකු පත් කිරීමට ලැබී තිබෙන බලය ද අහෝසි විය යුතුය. ඒ සියලු ප්රමුඛ නිලතලවලට සුදුසු පුද්ගලයන් නිර්දේශ කිරිමේ බලය යෝජිතව්යවස්ථා සභාව වෙත පැවරිය යුතුය.