සාම කතා ඇරඹීම

April 8, 2001
Publication:
Peace talks with the LTTE are due in early May, driven by international pressure after foreign help stopped the Tigers taking Jaffna. Ivan argues that the LTTE now knows Eelam will not be accepted and has softened its claim to be the sole representative of Tamils, but doubts the government's maturity: it lacks an opposition consensus, a secure majority and internal unity. He urges state reform, accountability of the presidency and the independent commissions as the basis for consensus.

මැයි මුලදි ආණ්ඩුව කොටි සංවිධානය සමග සාම කතා ඇරඹීමට නියමිතය. එහෙත් සාම කතා දෙපක්ෂයේම අභ්‍යන්තරයෙන් ගලා ආ වුවමනාවෙන් ඇතිවූ තත්ත්වයක් නොව, බාහිර ජාත්‍යන්තර පීඩනය නිසා ඇතිවූ තත්ත්වයකි. කොටි සංවිධානය අලිමංකඩ අල්ලා ගැනීමෙන් පසු ඔවුන්ට යාපනය අල්ලා ගත නොහැකි තත්ත්වයක් ඇතිකරලීම සඳහා ජාත්‍යන්තර බලවේගයන් උපරිම මට්ටමකින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ කොටි සංවිධානය කෙරෙහි අතිවිශාල යුදමය පීඩනයක් එල්ලවීමය.

යාපනය අල්ලා ගැනීම වළකා ඉන්පසු තමන් යුදමය වශයෙන් පසුබසින තත්ත්වයක් කෙරෙහි බලපෑවේ ආණ්ඩුවේ යුද හමුදා ශක්තිය නොව, ජාත්‍යන්තර බලවේගයන්ගේ ශක්තිය බව කොටි සංවිධානය දන්නෙහිය. එම තත්ත්වය ඉදිරියේ යුද්ධයට බර තබන ප්‍රතිපත්තියකට නව ලෝක රටාව තුළ ඉඩක් නැති බව කොටි සංවිධානය අවබෝධ කරගන්නට ඇති බවට සැකයක් නැත. දෙමළ ජනතාවගේ සාධාරණ අභිලාෂයන් ඉටු කරන ලෙසට හා ඒ සඳහා දෙමළ කොටි සංවිධානය සමග සාකච්ඡා මගින් එකගත්වයක් ඇති කරගන්නා ලෙසට ජාත්‍යන්තර බලවේගයන් කෙරෙන් බලපෑම් එල්ලවෙමින් තිබුණත්, දෙමළ ඊළාමක් පිළිගැනීමට ජාත්‍යන්තර බලවේගයන් සූදානම් නැත.

දෙමළ ඊළමකට ඉඩක් නැති බව දැන් කොටි සංවිධානය ද දන්නේය. දෙමළ ඊළමකට මෙපිට උපරිම දෙයකින් තෘප්තිමත් වීමට දැන් කොටි සංවිධානයට සිදුවනු ඇත්තේය. ඒ සමග දෙමළ නිජබිම පිළිබඳ සංකල්පයට ලැබෙන වැදගත්කම ද විශාල ප්‍රමාණයකට අහෝසි වනු ඇත්තේය.

ඇතිවෙමින් තිබෙන තවත් වැදගත් වෙනස්කමක් වනුයේ තමන් දෙමළ ජනතාවගේ එකම නියෝජිතයන් වේය යන අදහස ද අත් හරින තත්ත්වයකට කොටි සංවිධානය තල්ලු වෙමින් සිටීමය. එය ද ජාත්‍යන්තර වශයෙන් එල්ලවෙමින් තිබෙන බල කිරීමකි. එම බලකිරීම නිසාම දැනටමත් තමන් දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා වේය යන යෙදුම අතහැර තමන් දෙමළ ජනතාවගේ නියම නියෝජිතයා ලෙස හඳුන්වා ගන්නා තත්ත්වයකට කොටි සංවිධානය තල්ලුවී සිටී.

සියලු දෙනාගේ ගෞරවයට හේතුවන එකගත්වයක් සඳහා යහපත් ජාත්‍යන්තර වාතාවරණයක් ඇතිවී ඇතත්, ගැටුමට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වයක් වශයෙන් ඒ සඳහා අවශ්‍ය මුහුකුරා ගිය බවක් ආණ්ඩුවට තිබේද යන ප්‍රශ්නයක් ද පවතී. ආණ්ඩුව අරබයා වන එවැනි බලවත් සැකයක් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ද පවතී. මහජනයාගේ ගෞරවයට හේතුවන විසඳුමක් සඳහා සියලු දේශපාලන පක්ෂ අතර නැතහොත් මහජනයා කෙරෙහි ඇත්ත බලපෑමක් කිරිමේ හැකියාව ඇති දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක් තිබීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වුවත්, ඒ කොන්දේසිය සම්පූර්ණ කරගැනීමට ආණ්ඩුව සමත් වී නැත. විරුද්ධ පක්ෂවලට ආණ්ඩුව කෙරෙහි දෑඩි විරෝධයක් සේ ම අවඥාවක් ද පවති. එම අවඥාව කෙරෙහි වඩාත්ම බලපා ඇත්තේ ආණ්ඩුව පසුගිය මැතිවරණවලින් ලැබූ ජයග්‍රහණය මහජන වරමින් ලැබූ ජයග්‍රහණයකට වඩා තක්කඩිකමින් ලැබූ ජයග්‍රහණයක් ලෙසට ඔවුන් අතර පවතින විශ්වාසයයි. මේ සැකය ජනතාව තුළ ද පවත්නා අතර, ආණ්ඩුවේ අය ගත් කළමනාකරණ ප්‍රතිපත්තිය කොයි මොහොතක හෝ පුපුරා ගිය හැකි සැගවුණ ජනතා විරෝධයක් ලෙස තැන්පත්වී ඇති බව ද දෑකිය හැකිය.

අනෙක් අතට ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් එල්ලවෙමින් තිබෙන බලපෑම නිසා සාම සාකච්ඡාවලට යනවා විනා සාකච්ඡාමය විසඳුමක් සඳහා ආණ්ඩුව තුළ බලවත් හැගීමක් ඇති බවක් ද පෙනෙන්නට නැත.

විරුද්ධ පක්ෂ අතර පොදු එකගතාවක් ඇති කරගන්නා වාතාවරණයක් ඇති කරගැනීමට නම් විරුද්ධ පක්ෂවල පමණක් නොව, මහජනයාගේ ද ගෞරවයට හේතුවන ලෙස රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරන තැනකට ආණ්ඩුව වහා ගමන් කළ යුතුය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම් යටත් පිරිසෙයින් විධායක ජනාධිපති පාර්ලිමේන්තුවටත්, අධිකරණයටත් වගකියන තැනකට ගැනීම අත්‍යවශ්‍යය. එජාප මැතිවරණ කටයුතු, අධිකරණ කටයුතු, රාජ්‍ය සේවය හා පොලිස් සේවය සඳහා ඉදිරිපත් කර ඇති ස්වාධීන කොමිෂන් සභා හතරත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ ජනමාධ්‍ය සඳහා යෝජනා කොට ඇති ස්වාධීන කොමිෂන් සභාවත් නීති ගත කළ යුතුය. ජනමාධ්‍ය නිදහස පුළුල් කෙරෙන ආකාරයට ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර කමිටුව විසින් ද කර්තෘ සංසදය විසින් ද යෝජනා කර ඇති නීති ප්‍රතිසංස්කරණ නීතිගත කළ යුතුය.

එවැනි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් දේශපාලන තරගය තුළ එකිනෙකා කෙරෙහි ඇති වෛරය හා සැකය තුරන් කොට තරග බිමේ සිටින දේශපාලන පක්ෂ අතර විශ්වාසයකින් යුතුව ක්‍රියාකළ හැකි තත්ත්වයක් ඇති කරයි. ඇති කරන එවැනි ප්‍රතිසංස්කරණයන් මහජනතාව තුළ ද දේශපාලන ප්‍රබෝධයක් ඇති කිරීමට හේතුවේ.

එහෙත් අයුතු ලෙස රාජ්‍ය බලය යොදාගැනීමට තිබෙන ඉඩ සීමා කරන කිසිම ප්‍රතිසංස්කරණයකට යාමට ආණ්ඩුව සූදානම් නැත. ආණ්ඩුව කල්පනා කරන්නේ විය යුතු හැම දෙයක්මත් සිදුවිය යුත්තේ කිසිම වෙනසකින් තොරව දැන් සිටින තත්ත්වයේම සිට බවය. ආණ්ඩුවට තිබෙන ලොකුම ප්‍රශ්නය ස්ථාවරභාවයක් සඳහා අවශ්‍ය තරම් වන බහුතර පාර්ලිමේන්තු බලයක් ආණ්ඩුවට නොතිබීමය. ආණ්ඩුවට ඇත්තේ වැඩි ඡන්ද හතකි. පොදු පෙරමුණ ශ්‍රීලනිප ප්‍රමුඛ පක්ෂ 6කින් සමන්විත වන අතර, මේ පක්ෂ අතර ශක්තිමත් එකගතාවක් නොපවතී. ශ්‍රීලනිප තුළ පවා කල්ලි කල්ලි අතර භේද පවතී. ජනාධිපතිනිය ජේ‍යෂ්ඨයන් නොසලකා එස්.බී, මංගල, පවිත්‍රා වැනි අයට බර තබන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ජේ‍යෂ්ඨයන්ගේ වැඩි පිරිසකගේ විරෝධයට හේතුවී තිබේ. මේ තත්ත්වය ඉදිරියේ ආණ්ඩුවේ බිඳ වැටීමක් සඳහා අවශ්‍ය වනු ඇත්තේ සුළු කම්පනයක් පමණය.

සාම කතා ආරම්භ කෙරුණ ද වහා විසඳුමක් ඇති කරගත හැකිවනු ඇතැයි සිතිය නොහැකිය. නෝර්වීජියානු තක්සේරුව අනුව සමහරවිට පූර්ණ එකගතාවක් සඳහා වසර දෙකක් තරම් කාලයක් ගත විය හැකිය.