සාමය සඳහා දරන උත්සාහයට බාධා නොකළ යුතු ය.

January 13, 2002
Publication:
The editorial says Sri Lanka can recover only by ending the war, and urges all parties not to obstruct the new government's peace effort. It criticises the JVP, itself once outside the democratic mainstream, for opposing the process from the start, arguing that if Sinhala youth could leave armed struggle for democracy, Tamil youth deserve the same chance.

රටක් වශයෙන් ශ්‍රී ලංකාව දිර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යමින් තිබෙන යුද්ධය වෙනුවෙන් මෙතෙක් ගෙවන ලද හා ගෙවමින් තිබෙන වන්දිය ඉතා විශාලය. අපට රටක් වශයෙන් අප ඇද වැටී සිටින පඑිහානියෙන් ගොඩ ඒමට හැකි වනු ඇත්තේ යුද්ධයට ආයුබෝවන් කියා ස්ථිරසාර සාමයක් ඇතිකර ගැනීමට අපට හැකි වේ නම් පමණ ය.

දෙපාර්ශවයම අතර එකිනෙකා කෙරෙහි පවත්නා අවිශ්වාසයන්ගේ තරම දෙස බලන විට ස්ථිරසාර සාමයක් ඇතිකර ගැනීමේ අරමුණ වෙත ළගාවීම ඉතා දුෂ්කර හා සංකීර්ණ දෙයක් වනු ඇති බවට ද සැකයක් නැත. එහෙත් රටට අනාගතයක් අවශ්‍ය නම් ඒ දුෂ්කර හා සංකීර්ණ අරමුණ අප රටක් වශයෙන් ජයගත යුතු ය.

ස්ථිරසාර සාමයක් ඇතිකර ගැනීම සඳහා නව ආණ්ඩුව දරන ප්‍රයත්නය කෙසේ අවසන් වේද යන්න දැන්ම කිව නොහැකි වුවත් ඒ සඳහා දරන උත්සාහයට බාධා නොකිරීම සියලුම දේශපාලන පක්ෂෂවලත් සිවිල් සංවිධාන හා පුරවැසියන්ගේත් වගකීමයි. එහෙත් කලක් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයෙන් පිටස්තරව සිට පසුව ප්‍රජතන්ත්‍රවාදි ප්‍රවාහයට එක් වී සිටින ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂෂයක් ආරම්භක අවස්ථාවේ සිට ම සාමය සඳහා ආණ්ඩුව දරන උත්සාහයන්ට බාධා කරන තත්ත්වයකින් ක්‍රියාකරන තත්වයකට යොමුවීම ඉතාමත් කණගාටුදායක ය. සිංහල ඔවුන්ට දේශපාලන වශයෙන් ප්‍රචණ්ඩ මාවතකට යොමුවීමට සමාජ ආර්ථික හේතු තිබුණේ නම් දෙමළ තරුණයන් ද එවැනි මගකට යොමුවීම කෙරෙහි සමාජ ආර්ථික හේතු බලනොපෑමට හේතුවක් තිබිය නොහැකි ය. ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින්ට ත්‍රස්තවාදි මග අතහැර ප්‍රජාතන්ත්‍රවාදි මගට මාරුවීමේ අයිතියක් තිබුණේ නම් ඒ අයිතිය ත්‍රස්තවාදි මාවතකට යොමු වී සිටින දෙමළ තරුණයන්ට ද ලැබිය යුතු ය.

දෙමළ කොටි සංවිධානය අවශ්‍යයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදි මාවතකට යොමුවනු ඇතැයි අපිට ස්ථිර වශයෙන්ම කිව නොහැකි ය. එහෙත් ඔවුන් එම මාවතට ගැනීමට බලවත් උත්සාහයක් තිබිය යුතු අතර දේශපාලන පක්ෂෂ ඊට බාධා කිරිමෙන් වැළකිය යුතු ය. රටට යහපත් අනාගතයකට දොරටු විවෘත වනු ඇත්තේ ඉතාමත් දුෂ්කර හා සංකීර්ණ වුවත් ජනවාර්ගික අර්බුදයට විසඳුමක් සොයා ගනිමින් ස්ථිරසාර සාමයක් දිනාගැනීමට සමත් වේ නම් පමණ ය.