ස්වාධීන කොමිසන් ක්‍රමය ගැන නැවත සලකා බැලිය යුතු ය

September 21, 2003
Publication:
With the Police Commission collapsing after a member resigned in protest at another's conduct, the editorial argues that independent commissions succeed only if their members have the courage to resist political pressure, a quality the Constitutional Council ignored in favour of education and experience. It notes that the Elections Commission remains unappointed because of the President's objection to one nominee, that the Bribery and Judicial Service Commissions have not been reconstituted, and that the UNP has forgotten its promise to fix the 17th Amendment.

ස්වාධීන පොලිස් කොමිසම ද මිය යන තැනකට ඇද වැටී තිබේ. කොමිසමේ සාමාජිකාවකගේ ප්‍රතිපත්ති විරහිත ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් එක් සාමාජිකයකු කොමිසමෙන් ඉවත්වීම ඊට හේතුවී තිබේ.

ස්වාධීන කොමිසන් සභා රටට අවශ්‍ය වූයේ, ප්‍රමුඛ වැදගත්කමක් ඇති ආයතන දේශපාලන ඇගිලි ගැසීමෙන් තොරව ස්වාධීනව ක්‍රියා කරන තත්ත්වයකට ගැනීම අවශ්‍ය වූ නිසා ය. ස්වාධීන කොමිසන් සභා ක්‍රමයක පැවැත්ම දේශපාලනඥයන්ගේ බල පරිමාව සීමා කරන නිසා එවැනි ක්‍රමයක් දේශපාලනඥයන්ගේ සතුටට හේතුවන්නේ නැත. ඒ නිසා ම දේශපාලනඥයන් කෙරෙන් එවැනි ආයතන කෙරෙහි පීඩනයක් එල්ලවීම ද නො වැළැක්විය හැකි ය. ඒ නිසා ස්වාධීන කොමිසන් සභාවල පැවැත්ම උරගා බැලෙන අවසාන සාධකය වනු ඇත්තේ එල්ල වන දේශපාලන පීඩනයන් නොසලකා ක්‍රියාකිරිමේ ධෛර්යයක් එම කොමිසන් සභාවලට තිබේද යන්නය. ඒ ධෛර්යය තීරණය කෙරෙන්නේ කොමිසන් සභාවලට පත්වන සාමාජිකයන්ගේ ස්වභාවය අනුව ය. කොතරම් සුදුසුකම් තිබුණ ද දේශපාලනඥයන් ඉදිරියේ බයාදු ලෙස ක්‍රියාකරන්නට සූදානම් අය මේ කොමිසන් සභාවලට පත්කර ඇත්නම් කොමිසන් සභා ඇති කිරිමේ අපේක්ෂිත අරමුණු මුදුන් පත්වන්නේ නැත.

එහෙත් අවාසනාවකට ව්‍යවස්ථා සභාවට සේ ම කොමිසන් සභාවලට පුද්ගලයන් තෝරාපත් කිරිමේ ක්‍රියාවලියේදි අධ්‍යාපනය, පළපුරුද්ද වැනි වෙනත් සුදුසුකම් සැලකිල්ලට ගෙන තිබෙනවා විනා, ඒ අයට ස්වාධීනව ක්‍රියාකිරීමට තිබෙන හැකියාව සැලකිල්ලට ගෙන නැත. ඒ දුර්වලතාව ව්‍යවස්ථා සභාව කෙරෙහි සේ ම ව්‍යවස්ථා සභාව විසින් කොමිසන් සභාවලට තෝරාපත් කළ පුද්ගලයන් කෙරෙහි ද බලපා තිබේ.

මැතිවරණ කොමිසම සඳහා නිර්දේශ කළ එක් පුද්ගලයෙකු කෙරෙහි ජනාධිපතිනිය තුළ ඇති අකමැත්ත නිසා අද දක්වා මැතිවරණ කොමිසම පත් කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ. එහෙත් අවුල ඉදිරියේ ව්‍යවස්ථා සභාව ඉන්නේ, අපට කළහැකි දෙයක් නැතැයි කියන සෙයියාවෙනි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අලුතෙන් සාමාජිකයන් පත් කළ යුතුව තිබුණත්, ව්‍යවස්ථා සභාව ඒ ප්‍රශ්නය ඉදිරියේ සිටින්නේ ද ඔවුන්ට කලින් දෙන ලද කාලසීමාව අවසන් වන තෙක් ඒ කටයුතු කරගෙන යාමට ඉඩ දිය යුතුය කියන ප්‍රතිපත්තියක ය. ව්‍යවස්ථාව සභාව තවමත් අධිකරණ සේවා කොමිසන් සභාව සඳහා ද අලුතෙන් සාමාජිකයන් පත් කර නැත.

සමස්ත ස්වාධීන කොමිසන් සභා ක්‍රමය ගැන නැවත සලකා බැලීමක් කළ යුතු තැනකට රට පැමිණ තිබේ. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුව එදා විපක්ෂයේ සිටි එජාපය රටට කීවේ තමන් බලයට පැමිණි පසු මේ නීතියේ තිබෙන අඩුපාඩුකම් සම්පූර්ණ කරන බවය. දැන් බලයේ සිටින්නේ එසේ කී එජාපය වුවත්, ස්වාධීන කොමිසන් සභා ක්‍රමයේ ඇති විකෘතීන් හා අඩුපාඩු නිවැරදි කිරිමේ අවශ්‍යතාව ගැන අද එම පක්ෂය ද නිහඬ ය.