ආර්ථිකය, සාමය හා දේශපාලනය

September 21, 2003
Publication:
The piece notes a buoyant economy under the ceasefire, with the share index above its 1994 peak, rising investment, exports and tourism, and a peace process continuing without major bloodshed. Politics, however, is stagnant: the independent commissions are collapsing and the committee on the judiciary has not met. It warns that Ranil Wickremesinghe is following his uncle J.R. Jayewardene's path and Chandrika Kumaratunga her mother's, risking a fractured SLFP, authoritarian rule and gains for the JVP. A final section discusses the health workers' strike.

ආර්ථිකය

ආර්ථික වර්ධනය තාමත් සාමාන්‍ය මිනිසාගේ ඇගට දැනෙන තත්ත්වයකට පැමිණ නැතත්, රටේ පවත්නා සාමකාමී පරිසරය තුළ රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ශක්තිමත් හා වේගවත් වෙමින් පවතී. කොටස් වෙළෙඳ පොළේ ක්‍රියාකාරිත්වයද වෙන කවරදාවත් නොතිබුණු තරම් ස්ථාවර තත්ත්වයක් හිමිකරගෙන තිබේ.

කොටස් වෙළෙඳ පොළේ දර්ශකය 1994දි පැවති ඉහළම මට්ටම ද ඉක්මවූ තැනකට පැමිණ තිබේ. දේශීය විදේශීය ආයෝජන පිරිවැටුම ද වාර්තාගත මට්ටමකින් ඉහළයමින් පවතී. දෛනික ගනුදෙනුවල වටිනාකම රුපියල් මිලියන 500 ඉක්මවූ තත්ත්වයකට පැමිණ ඇති අතර, සමස්ත ආයෝජනයන්ගේ විදේශීය පංගුව 50%ක මට්ටමක් හිමිකරගෙන තිබේ.

විදේශ ආයෝජනයන් ගලා ඒමේ ද වර්ධනයක් පවතී. වසරේ පළමු හය මාසය තුළ සිදුවී තිබෙන ආයෝජනයන්ගේ වටිනාකම රුපියල් බිලියන 170කි. වසර අවසන් වනවිට එය රුපියල් බිලියන 300ක මට්ටමකට පැමිණෙනු ඇති බව ආයෝජන මණ්ඩලයේ අපේක්ෂාව වී තිබේ.

අපනයන ආදායම් ද ඉහළයමින් පවතී. කාර්මික අපනයනයන් 23%ක් ඉහළ නැග තිබෙන අතර, වසරේ පළමු මාස හය තුළ පමණක් ඇමරිකන් ඩොලර් මිලියන 380ක් ඉපයීම නිසා රටේ විදේශ විනිමය ආදායම් තත්ත්වය ද යහපත් අතට හැරෙමින් ගෙවුම් ශේෂ පරතරය ද තුනීවෙමින් පවතී.

සංචාරක කර්මාන්තයේ ද වර්ධනයක් පවතී. පළමු හය මාසය තුළ පමණක් සංචාරකයන් 2,16,000ක් පැමිණ තිබෙන අතර, ඒ මගින් උපයා තිබෙන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 140කි. වසර අවසන් වනවිට වසරේ සංචාරකයන්ගේ පැමිණීම 4,50,000 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වසර ආරම්භයේදි තේ නිෂ්පාදනයේ පහත වැටීමක් පෙනෙන්නට තිබුණත්, නැවත තත්ත්වය යහපත් අතට හැරි තිබෙන අතර, මේ වසරේදි ද වාර්තාගත තේ අස්වැන්නක් ලබාගත හැකිවනු ඇති බවට අපේක්ෂා කරයි. රබර් නිෂ්පාදනයේ ද කෘෂිකාර්මික නිෂ්පාදනවලද යහපත් වර්ධනයක් පවතී.

රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයේ පවත්නා මෙම යහපත් තත්ත්වය අපේක්ෂිත 5.5% ආර්ථික වර්ධන ඉලක්කය අපහසුවකින් තොරව සපුරාගත හැකිවනු ඇති බව ද පෙනෙන්නට තිබේ.

ජනවාර්ගික සාමය

සාම වැඩපිළිවෙළ මතභේදවලින් ද, විරුද්ධකම්පෑම්වලින් ද පිරි ඇතත්, තාමත් එය දරුණු ලේ වැගිරිම්වලින් තොරව ඉදිරියට ගලා යන තත්ත්වයක් පවතී.

එල්ටීටීඊය ඔත්තුකරුවන් මරා දැමීමේ වැඩපිළිවෙළ අත්හැර නැතත්, වෙනදා සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තොග ගණනින් මිනිසුන් මැරෙන තත්ත්වයක් රටේ නොපවතී.

කොටි සංවිධානයේ අන්තර්පාලන යෝජනාවල ස්වභාවය කුමක්ද යන්න තාමත් පැහැදිලි නැතත්, මතභේද තිබියදිත් සාම සාකච්ඡා නොකඩවා ඉදිරියට ගෙනයා හැකිවනු ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය වී තිබේ.

සාම සාකච්ඡා බිඳ වැටී යුද්ධ කරන තත්ත්වයක් ඇතිවුවහොත් ආර්ථිකයේ දැනට පෙනෙන යහපත් චිත්‍රය උඩුයටිකුරු වන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. එහෙත් කොටි සංවිධානයට පවා නැවත යුද්ධ කරන තැනකට මාරුවීම ද පහසු නැත. ලේ වැගිරිම්වලින් තොර සාමකාමී තත්ත්වයක් සහතික කිරීමට හේතුවන සියලු දෙනාගේ ගෞරවයට හේතුවන විසඳුමක් ඉක්මනින් ඇතිකර ගැනීමට හැකිවනු ඇතැයි ද සිතිය නොහැකිය. සම්පූර්ණ විසඳුමක් ඇතිකර ගැනීම සඳහා ගතවන කාලය දිර්ඝ විය හැකි වුවත්, ලේ වැගිරිම් ඇතිවන තත්ත්වයකින් තොරව මේ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙනයාමට සමත් වෙතොත්, රටේ ආර්ථිකයේ ඇතිවී තිබෙන යහපත් නැඹුරුව වේගවත් වී රටට යහපත් ආර්ථික තත්ත්වයක් දිනාගැනීමට හැකිවනු ඇති අතර, එම තත්ත්වය ජනවාර්ගික අර්බුදයේ පීඩාවන් කිසියම් දුරකට ලිහිල් කිරීමට හේතුවනු ද නොවැළැක්විය හැකිය.

දේශපාලනය

රටේ ආර්ථිකයේ ගමන් මග හා සාම ගමන් මගේ යහපත් බවක් පෙනෙන්නට ඇතත්, රටේ දේශපාලන තලය ප්‍රතිසංස්කරණවලින් තොරව එකතැන පල්වෙන තැනකට ඇද වැටී තිබෙන බව දැකිය හැකිය.

සමස්ත දේශපාලන ආයතන ක්‍රමයම ගරා වැටෙන තත්ත්වයකට ඇද වැටී ඇතත්, දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන අධ්‍යන්‍යාංාශයක ලකුණවත් පෙනෙන තෙක් මානයක නැත.

17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති කරන ලද ස්වාධීන කොමිසන් සභා ක්‍රමය මුළුමනින් බිඳ වැටෙන තත්ත්වයකට ඇද වැටී තිබේ.

ජනාධිපතිනියගෙන් එල්ල වී තිබෙන විරුද්ධකම් නිසා සමහර කොමිසන් සභා ඇති කිරීමට නොහැකි වී තිබෙන අතර, ඇති කරන ලද කොමිසන් සභා ද විවිධ හේතු නිසා ක්‍රියාවිරහිත තත්ත්වයකට ඇද වැටෙමින් පවතී. ක්‍රියාවිරහිත තත්ත්වයකට ඇද වැටීමේ ක්‍රියාවලියට අලුතෙන්ම එකතුවී තිබෙන කොමිසම වී ඇත්තේ පොලිස් කොමිසමය.

අධිකරණයේ පවත්නා කුණුවීමේ ක්‍රියාවලිය ද විසඳුමකින් තොරව තව තවත් කුණුවෙන්නට ඉඩ හරින තත්ත්වයකට ඉඩ හැර තිබේ. අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය පළුදුවීමට බලපා තිබෙන හේතු සොයා බලා ඇති කළයුතු වෙනස්කම් නිර්දේශ කිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු කාරක සභාව ද තවමත් එකම දිනයක්වත් ඒ සඳහා රැස්වී නැත.

ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රීලනිප අතර ගොඩනැගෙමින් තිබුණු දේශපාලන සන්ධානය බිඳ වැටී ඇතත්, එජා පෙරමුණ හා ශ්‍රීලනිප අතර අන්‍යොන්‍ය අවබෝධයකින් ක්‍රියාකරන තත්ත්වයක් ද ගොඩනැගී නැත.

ජනාධිපතිනිය හා අගමැති අතර පවත්නා බල පොරය මේ දෙපක්ෂය අතර පොදු එකගතාවක් ඇතිකර ගැනීමට තිබෙන ඉඩකඩ අහුරන ප්‍රධාන බාධකයක් ලෙස ක්‍රියාකරමින් පවතී.

ජනාධිපතිනිය සමග එකගත්වයක් ඇති කරගැනීමෙන් තොරව ඉදිරියට යා හැකියයි අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන අභිලාෂය වී තිබෙන බව පෙනෙන අතර, උපරිම ශක්තිය යොදා හොඳ නරක නොසලකා අගමැතිගේ හැම ක්‍රියාවකටම බාධා කිරීම ජනාධිපතිනියගේ ද අභිලාෂය වී තිබෙන බව පෙනේ. ආණ්ඩු පක්ෂයෙන් පිරිසක් තමන් වෙත දිනාගනිමින් ආණ්ඩුව බලරහිත කිරීම ජනාධිපතිනියගේ අපේක්ෂාව වී තිබෙන අතර, පොදු පෙරමුණෙන් පිරිසක් තමන් වෙත දිනාගනිමින් ජනාධිපතිනිය බලරහිත කොට ශ්‍රීලනිප නැවත 1981 පැවති තත්ත්වයට ඇද දැමීම අගමැතිගේ අභිලාෂය වී තිබෙන බව ද පෙනේ.

මේ දෙදෙනා අතර ඇති පොරයෙන් දැනට වැඩි වාසි ඇති බව පෙනෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහට වුවත්, විරුද්ධ පක්ෂය කැබලි කෙරෙන ප්‍රතිපත්තියක් දරදඬු පාලනයක් ඇති කිරීමට හේතුවන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකි අතර, එවැනි තත්ත්වයක් රටේ පොදු යහපතට හේතුවන්නේ නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් කරමින් තිබෙන්නේ ද ජේ.ආර්. මාමා ගමන් කළ ගමන් මගේමය. යහපත් ආර්ථික වර්ධනයක් සඳහා එක්තරා ප්‍රමාණයකට දරදඬු හා ස්ථාවර පාලන ක්‍රමයක් තිබිය යුතු බව ජේ.ආර්. ජයවර්ධනගේ විශ්වාසය වූ අතර, ඒ තත්ත්වය දිනාගැනීම සඳහා ඔහු පැවති ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය විකෘති කළේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කොතරම් දැවැන්ත පාලකයෙකු වුවත්, අනවශ්‍ය තරමට විරුද්ධ පක්ෂ නායිකාව ගැන බියක් ඇති කරගත්තේය. සිරිමා බණ්ඩාරනායක මැතිනිය තරග කළත්, 1982 ජනාධිපතිවරණයෙන් පහසුවෙන් ජය ලැබීමේ හැකියාවක් තිබියදිත් බණ්ඩාරනායක මැතිනිය පිළිබඳ ඇති කරගත් හීනමානයකින් යුතුව ඇගේ ප්‍රජා අයිතිය අහෝසි කළේය. විවිධ කුමන්ත්‍රණ මගින් විරුද්ධ පක්ෂය කැබලි කළේය. ඒ සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය වූයේ යහපත් ආර්ථික වර්ධනයකට අතිරේකව කෙළවරක් නැති තරමින් රට ලේ වැගිරෙන තත්ත්වයකට රට ඇද වැටීමය.

බණ්ඩාරනායක මැතිනිය තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමෙන් පසුව පක්ෂය තුළ වෙනත් කිසිම පුද්ගලයෙකුට නායකයකු ලෙස මතුවීමට ඉඩ නුදුන්නාය. 82 ජනාධිපතිවරණයට කල් තියා පුද්ගලයෙකු නම් කිරිමෙන් වැළකී අවසාන මොහොතේ අපේක්ෂකත්වයට හෙක්ටර් කොබ්බෑකඩුව නම් කළ ද, ඔහුට උපරීම ලෙස ආධාර කරන ප්‍රතිපත්තියකින් වැළකී සිටියාය. ඒ ක්‍රියාවලිය තුළ ශ්‍රීලනිප කැබලි වී බෙලහීන තත්ත්වයකට පත්වූ අතර, ඒ තුළ පාලක පක්ෂය සිය බලය තහවුරු කරගත්ත ද අන්තවාදි බලවේගයක් ශක්තිමත් කරන පරිසරයක් රටේ ඇති කළේය.

දැන් නැවත සිදුවන්නට යන බව පෙනෙන්නේ ද ඒ දේ ය. තමන්ගේ පැවැත්ම රැකගැනීමට හේතුවන ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජනාධිපතිනියගේ අභිලාෂය වුවත්, ඇයට ඒ අරමුණ ජයගැනීමට නොහැකි වෙතොත්, 2005 මැතිවරණය සඳහා ඇය ශක්තිමත් අපේක්ෂකයකු ඉදිරිපත් කරගන්ට සූදානම් බවක් පෙනෙන්නට නැත. එවැනි සූදානමක් ඇත්නම් ඇය දැන් සිටම ඊළග අපේක්ෂකයා නම් කළ යුතුය. එහෙත් ජනාධිපති අපේක්ෂකයාට පක්ෂ නායකත්වය ලබාදිමට ඇය කැමති වනු ඇතැයි සිතිය නොහැකිය. එවැනි තත්ත්වයක් තුළ පක්ෂය තමන් අත තබාගන්නට වෑයම් කරන තත්ත්වයක් තුළ 2005 ජනාධිපතිවරණය ද 1982 වැනි ජනාධිපතිවරණයක් බවට පත්වීමේ හැකියාවක් පවතී. එවැනි තත්ත්වයක් ඉදිරියේ ශ්‍රීලනිප නැවත කැබලි වන තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් ඇති අතර, ඒ අවකාශය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් කොට අවශ්‍ය වුවහොත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පවත්වාගෙ ගිය ආකාරයේ දරදඬු පාලනයක් ඇතිවීමේ අනතුරක් ද පවතී. 1983 ජූලි සිද්ධීන්වලින් පසුව ජනතා විමුක්ති පෙරමුණ කැළෑ වදින තත්ත්වයක් තුළ ශ්‍රීලනිප බෙලහීනවීමේ වාසිය සෘජු ලෙස තමන්ට ලබාගැනීමට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නොතිබුණත්, මෙවර එම ක්‍රියාවලිය සිදුවන්නට යන්නේ ජනතා විමුක්ති පෙරමුණක් තිබියදි වන නිසා ශ්‍රීලනිපය බෙලහීන තත්ත්වයකට ඇද වැටීමේ වාසිය හිමිකර ගැනීමේ හැකියාව ජවි පෙරමුණ හිමි කරගනු ඇතැයි සිතිය හැකිය.

අවසාන විග්‍රහයේදි අගමැති රනිල් වික්‍රමසිංහ සිය මාමා වන ජේ.ආර්. ජයවර්ධනගේ භූමිකාව ද, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය මව වන සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ භූමිකාව ද රගපාන තැනකට යොමුවෙමින් සිටින බව පෙනේ.

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය හා රෝගීන්ගේ අයිතිය

සෞඛ්‍ය සේවයේ මතු වී තිබෙන වැඩ වර්ජනය රෝහල් සේවය අවුල් ජාලාවක් බවට පත් කිරීමට හේතු වී තිබෙන අතර ඒ අවුලේ සියලු පීඩනය පැටවී ඇත්තේ අසරණ රෝගීන් මත ය.

රෝගීන්ගේ බෙල්ල හිරකොට අයිතිවාසිකම් ඉල්ලන ක්‍රමයක් සාධාරණය නොවනවා සේ ම සෞඛ්‍ය සේවකයින්ට වැඩ වර්ජනයකට යාමෙන් තොරව සාධාරණ අයිතිවාසිකම් දිනාගන්නා විකල්ප ක්‍රමයක් ස්ථාපිත කිරිමෙන් තොරව රෝගීන්ට සිදුවන පීඩාව සලකා සෞඛ්‍ය සේවකයන්ගේ සාධාරණ අයිතිවාසිකම් නොසලකා ඔවුන් මර්දනය කෙරෙන පිළිවෙතක් ද සාධාරණ වන්නේ නැත.

අන් හැම ක්ෂෙෂ්ත්‍රයකම සේ ම සෞඛ්‍ය සේවක ප්‍රශ්නවලදි ද ක්‍රියාත්මක වන්නේ බලවතාට ඉක්මනින් ඇහුම්කන් දෙන හා දුර්වලයාට කෙහෙත්ම ඇහුම්කන් නොදෙන දරදඬු පිළිවෙතකි. සෞඛ්‍ය ක්ෂෙෂ්ත්‍රය තුළ වෛද්‍යවරුන්ට ලැබී තිබෙන බලවත්කම නිසා ම ඔවුන්ට ප්‍රශ්නයක් ඇතිවිට වහා විසඳුම් ලබා දෙන තත්ත්වයක් ඇතත් සෞඛ්‍ය සේවයේ එතරම් බලවත් නොවන අංශ සඳහා ක්‍රියාත්මක වන්නේ කොතරම් ගැටලු තිබුණත් ඔවුන් නොසලකා ක්‍රියා කරන දැඩි පිළිවෙතකි.

කුමන හේතුවක් නිසා හෝ සෞඛ්‍ය ක්ෂෙෂ්ත්‍රය තුළ නිතර නිතර වැඩ වර්ජන මතුවන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ නොදිය යුතුය. වැඩ වර්ජන ආයුධය ඕනෑම අවස්ථාවක දි පාවිච්චිකළ නොහැකි එහෙත් ගනුදෙනු බේරාගැනීමට ඉඩක් ඇත්තේ ම නැති අවස්ථාවක දි පමණක් පාවිච්චි කිරීමට ඉඩ ලැබෙන ක්‍රමයක් ඇතිකළ යුතු ය. එවැනි ක්‍රමයකට යා හැකිවනු ඇත්තේ ගැටලු ඇති අවස්ථාවල දි ඒ ගැටලු විසඳ ගත හැකි හැම පාර්ශ්වයකම විශ්වාසය හා ගෞරවයට හේතුවන විකල්ප ආයතන ක්‍රමයක් ඇතිකර ගැනීමෙනි. එවැනි ක්‍රමයක් කෙරෙහි ආණ්ඩුවේ ද, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිතිවල ද, දේශපාලන පක්ෂෂ හා සිවිල් සංවිධානවල ද, අවධානය යොමුවිය යුතු ය.

වැටුප් විෂමතා ගැටලුව සෞඛ්‍ය සේවය තුළ පමණක් නොව රාජ්‍ය සේවයේ සමස්ත වැටුප් ව්‍යුහය තුළම පවත්නා විෂමතාවකි. බලවත් නමක් ඇති අංශවල හා බලවත් දේශපාලකයින්ගේ අනුග්‍රහ ලබාගැනීමට සමත් අංශවල වැටුප් මට්ටම් ඉහළ මට්ටමක පවත්නා අතර සමාජ බලයක් පෙන්නුම් කළ නොහැකි අංශවල වැටුප් පහළ මට්ටමක පවතී. මේ තත්ත්වය නැවත මුලුමහත් වශයෙන් පුළුල්ව සලකා බලන තැනකට රට යොමුවිය යුතු ය.

අනෙක් අතට සේවක වැටුප් විෂමතා දුරු කිරිමේ වැඩ පිළිවෙළක් අවශ්‍ය සේ ම සේවක වගකීම් අලුතෙන් නිර්වචනය කිරීමක් ද අවශ්‍ය වී තිබේ. රෝහල්වලට එන රෝගීන්ට ප්‍රතිකාර කරනවාට අමතරව ඔවුන්ට දයාවෙන් සලකන ක්‍රමයක් ද තිබිය යුතු ය.

දැන් මතු වී තිබෙන අවුලේ දි දෙපාර්ශ්වයටම ආණ්ඩුව හා වෘත්තීය සමිති මේ අවුල ගෞරවයෙන් බේරාගත හැකි අතර වහා විසඳුමකට එමින් සෞඛ්‍ය සේවකයන්ගේ පමණක් නොව සියලු සේවකයන්ගේ වැටුප් ප්‍රශ්න හා ඔවුන්ගේ වගකීම් පිළිබඳව ප්‍රශ්නය ද නැවත සලකා බලන තැනකට රට යා යුතු ය.