සක්විති රැඟුම්

October 29, 2026
Publication:
Sakvithi Ranasinghe deceived the whole country, and titled laymen and monks helped him do it. Ivan's charge falls on the press: papers took his advertising revenue while he was defrauding their own readers, and the honorifics he bought — Deshamanya, Deshabandu, Chakravarti — are sold by an organised trade. First the media helped fool their readers, then they set about restoring their judgement.

සක්විති රණසිංහ දක්ෂ ලෙස මුළු රටම ඇන්දුවේය. නාමධාරි ගිහි පැවිදි ප්‍රභූ පිරිසක් ද දැන හෝ නොදැන ඔහු ගෙනගිය කූට වැඩපිළිවෙළට ආධාර කළේය. ඔහු කූට ලෙස උපයමින් සිටි ධනයෙන් වෙළෙඳ දැන්වීම් මිල වශයෙන් කිසියම් කොටසක් ලබාගනිමින් ජනමාධ්‍ය ද රටේ ජනතාව ගොනාට අන්දවන සක්විති වැඩපිළිවෙලට ක්‍රියාකාරී ලෙස දායක විය.

ඔහු මේ සමස්ත වැඩපිළිවෙලේදී පෙනී සිටියේ සිය නමින් නොව ව්‍යාජ නමකිනි. මුදලට ලබාගත් නම්බු නාමයක් ද ඔහු සිය ව්‍යාජ නම ඉදිරියට එකතු කරගෙන සිටියේය. දේශමාන්‍ය, දේශබන්දු, චක්‍රවර්තී යන නම්බුනාම මුදලට විකුණන සංවිධානාත්මක වැඩපිළිවෙලක් රට පුරා ක්‍රියාත්මක වේ. සක්විති රණසිංහ වටා නාමධාරි පුද්ගලයන් කිහිපදෙනෙකු ගොනුවී සිටියා සේම නම්බුනාම විකුණන ජාවාරම් කරුවන් වටා ද එවැනිම නාමධාරීන් පිරිසක් ගොනුවී සිටිති. ස්ථිර තැන්පතු සඳහා ඇදහිය නොහැකි තරම් ඉහළ පොලියක් තමන් ගෙවන බව සක්විති රණසිංහ මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික ජනමාධ්‍යවලින් පළකෙරෙන දැන්වීම් මගින් රටට කීවේය. ඔහු වටා කල්ලි ගැසී සිටි නාමධාරීන් ඔහුගේ විශ්වසනීයභාවය පිළිබඳ සහතික රටට දුන්නේය. මහජනයා ද කිසිම විචාරයකින් තොරව තමන් ළඟ තිබෙන ධනය ඔහු වෙත ගෙනගොස් ඉහළම පොලියක් ලබාගැනීමේ අරමුණින් ඔහුට දුන්නේය. සක්විති, රජකු ලෙස පෙනී සිටි මේ මිනිසා තමන් රවටා ඇති බව මහජනතාව දැනගන්නා අවස්ථාව වන විට විය යුතු සියල්ල වී හමාරය. සක්විතිගේ රැවටිල්ලට හසුවූ දහස් ගණනකගේ ජීවිත කාලකණ්ණි වී හමාරය. ඒ නිසා තම තැන්පත් ධනය අහිමි කරගත් ජනයාට ආපසු කිසිවක් ලබාගත හැකිවනු ඇතැ”යි සිතිය නොහැකිය.

ඉතාමත් වැදගත් දේ කිසිම බාධාවකින් තොරව මේ කූට වැඩපිළිවෙල ප්‍රසිද්ධියේම ඉදිරියට ගෙනයෑමට ඔහු සමත්වීම ය. මෙය සක්විතිට පමණක් සීමාවූ දෙයක් ලෙස ද නොසැලකිය යුතුය. සක්විතිට සමාන වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනගිය, පොලී අනුපාතිකය සඳහා සක්විති සමග තරග කළ තවත් ප්‍රධාන කිහිපදෙනෙකු ද රටේ සිටියේය.

ජනමාධ්‍යවලින් ලැබුණු අනුග්‍රහය නිසා නොවේ නම්, මෙබඳු කූට පුද්ගලයන්ට මේතරම් ප්‍රමාණයකින් රටේ ජනයා ගොනාට අන්දන්නට ඉඩ ලැබෙන්නේ නැත. සක්විති හා ඒ හා සමාන බොරුකාරයන් කූට ලෙස උපයන ආදායමෙන් සැලකිය යුතු පංගුවක් වෙළෙඳ දැන්වීම් සඳහා කෙරෙන ගෙවීම් වශයෙන් ජනමාධ්‍ය ආයතනවලට ද ලැබුණේය. සක්විතිලා කරන්නේ මහජනතාව ගොනාට අන්දවා ඔවුන්ගේ වස්තුව කොල්ලකන්නන් බව ඔවුන්ගේ දැන්වීම් පළකළ ජනමාධ්‍ය ආයතන නොදැන සිටියේද? ඒ මගින් උපයන දැන්වීම් ආදායම් තුළ තිබෙන්නේ මහජනයාගේ ලේ සහ කඳුළු බව ඔවුන් නොදැන සිටියේද?

පිරමීඩ ජාවාරමේදී ද පිරමීඩ සමාගම වෙළෙඳ දැන්වීම් සඳහා මිලියන දහස් ගණනක් වැය කළේය. මහ බැංකුවේ අනතුරු ඇඟවීම්වලින් පසුත් ජනමාධ්‍ය ආයතන එම ජාවාරම්කරුවන්ගේ වෙළෙඳ දැන්වීම් පළකිරීම අත්හැරියේ නැත. උපරිම ලෙස වෙළෙඳ දැන්වීම් ලබාගන්නා අතර, ජාවාරම නීති විරෝධී කිරීමෙන් පසු එම ජනමාධ්‍ය ආයතනම එම ජාවාරමේ තිබූ කූට ස්වරූපය විග්‍රහ කරන හරබර විග්‍රහ පළ කළේය. පළමු වටයේදී ජනමාධ්‍ය ආයතන සිය පාඨකයන් හා ග්‍රාහකයන් ගොනාට ඇන්දවීම මගින් උපරිම වශයෙන් ධනය උපයා ගත්තේය. ඊළඟ වටයේදී තමන් විසින්ම රවටන ලද මිනිස්සුන්ට විචාර බුද්ධිය ලබාදීමට උත්සාහ කළේය.