ශ්රේෂ්ඨාධිකරණයේ විමර්ශනයට ලක්වෙමින් තිබුණු පෙත්සම් දෙකක චෝදනාලාභී පුද්ගලයකු ජනාධිපතිනිය විසින් අගවිනිසුරු ධුරයට පත් කරන ලද අවස්ථාවේදි එම පත්කිරීමේ ක්රියාවලිය පිටුපස ඇති දේශපාලන අරමුණු හඳුනා ගැනීමට සමාජය පමණක් නොව දේශපාලන පක්ෂ ද අසමත් විය. ශ්රේෂ්ඨාධිකරණයේ විමර්ශනයට ලක්වෙමින් තිබුණු පෙත්සම් දෙකක චෝදනාලාභී පුද්ගලයකු අගවිනිසුරු ධුරය වැනි ගරු කටයුතු තනතුරකට පත්කිරීම සුදුසු නොවේ යයි කල්පනා කළ පුද්ගලයින් පවා එම පුද්ගලයා එම තනතුරට පත්වීමෙන් පසු තනතුරේ ගෞරවය නොකෙලසෙන ලෙස ස්වාධීනව ක්රියාකරනු ඇතැයි විශ්වාස කරන බවක් ද පෙනෙන්නට තිබුණි.
එහෙත් මේ දක්වා කටයුතු සිදුකෙරෙමින් තිබෙන ආකාරය ඊට වෙනස්ය. සරත් සිල්වා මහතා එම තනතුරට පත්කිරීමෙන් ජනාධිපතිනිය අපේක්ෂා කළ දේශපාලන අරමුණක් වී නම්, කිසිදු පැකිළීමකින් තොරව ඒ අරමුණ සපුරාදිම වෙනුවෙන් සරත් සිල්වා මහතා ක්රියාකරමින් සිටින ආකාරයක් පැහැදිලිව දැකිය හැකිය. එම ක්රියාකලාපය ශ්රේෂ්ඨාධිකරණයේ ස්වාධීනතාව දුර්වල කිරීමට හේතුවී තිබෙනවා පමණක් නොව,ශ්රේෂ්ඨාධිකරණය වැනි ගරු කටයුතු ආයතනයක් කෙරෙහි මහජනයා තුළ තිබිය යුතු ගෞරවය හා විශ්වාසය ද හීන කිරීමට හේතුවී තිබේ. අගවිනිසුරු ධුරය දරන පුද්ගලයකුගේ ක්රියාකලාපයත්, සාමාන්යයෙන් මහජන වාද මණ්ඩපවල විවේචනයට ලක්වීමක් මීට පෙර සිදුවී නැත. එහෙත් අද එම මාතෘකාව සාකච්ඡාවට ලක් නොකෙරෙන සංවාද මණ්ඩපයක් ඇත්තේ ම නැති තරම්ය. රටේ අගවිනිසුරුවරයා ද දේශපාලන අර්ථයෙන් විවේචනයට ලක්වෙන ප්රමුඛ පුද්ගලයකු බවට පත්වී සිටින අතර, වාසුදේව නානායක්කාර මහතාගේ අගෝස්තු 8 වැනිදා පාර්ලිමේන්තු කතාව එහි උච්චතම අවස්ථාව ලෙස ද සැලකිය හැකිය. ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ ස්වාධීන අධිකරණයක පැවැත්ම ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම පිණිස අත්යවශ්ය කොන්දේසියකි. ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක පරමාධිපත්ය බලය ඇත්තේ මහජනයාටය. එම බලය හීන දින කිරීමට හේතුවන අණපනත් වලට ඉඩ නොහැරිම ශ්රේෂ්ඨාධිකරණය වෙත පැවරෙන වගකීමකි. එහෙත් එවැනි වගකීමක් ශ්රේෂ්ඨාධිකරණයට ඉටුකළ හැකිවනු ඇත්තේ එය විධායකයේ අතකොලුවක් නොවී ස්වාධීනව ක්රියාකළ හැකි තත්ත්වයක සිටී නම් පමණය. එහෙත් අගවිනිසුරු ධුරයට සරත් සිල්වා මහතා පත්වීමත් සමග ශ්රේෂ්ඨාධිකරණය විධායකයේ අතකොලුවක් ලෙස ක්රියාකරන තත්ත්වයට පත්කරමින් සිටින්නේය යන බලවත් මතයක් දේශපාලන පක්ෂවල පමණක් නොව, මහජනයා අතර ද ගොඩනැගෙමින් පවතී. එවැනි මතයක් ඇතිවීම කෙරෙහි ආණ්ඩුවට සම්බන්ධ නඩු සම්බන්ධයෙන් අග්රවිනිශ්චයකාරවරයා අනුගමනය කර ඇති පක්ෂවාදි පිළිවෙත බලපා ඇති අතර, 17 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අනුගමනය කර ඇති පිළිවෙත ඒ මතය තවදුරටත් තහවුරු කිරීමට හේතුවී තිබෙන බව ද පෙනේ.
රටට නව ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර තිබියදි ඒ සමග පැරණි ආණ්ඩුක්රම ව්යවස්ථාවට සංශෝධනයක් මගින් ඡන්ද ක්රමය වහා වෙනස් කිරීමට ආණ්ඩුවට අවශ්ය වූයේ රටේ පොදු යහපත සලකා නොව, තමන්ට ඉදිරි මැතිවරණය දිනාගන්නට ගැලපෙන ක්රමයක් අවශ්ය වූ නිසාය. එය දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කොට ඇති කරගත් එකගතාවක් අනුව කරන ලද්දක් නොව ආණ්ඩුවේ තනි වුවමනාව අනුව කරන ලද්දකි. එවැනි කූට අරමුණු ඇතිව කරන ව්යවස්ථා සංශෝධනයක් මහජනයා සතු පරමාධිපත්යය බලය දුර්වල කිරීමටත්, විකෘති කිරීමටත් හේතුවේ. එහෙත් ශ්රේෂ්ඨාධිකරණය එම සංශෝධනය සලකා බැලීමේදි පාලක පක්ෂයේ අතකොලුවක් ලෙස ක්රියාකර තිබෙනවා විනා ජනතාවගේ පරමාධිපත්යය බලය ආරක්ෂා කිරීම පිණිස ක්රියාකර නැත.
මෙම ව්යවස්ථා සංශෝධනය විමර්ශනය කිරීම පිණිස විනිශ්චය මණ්ඩලයක් තෝරාපත් කිරිමේ ක්රියාවලිය සිදුකරන ලද්දේ ද ඒ ගැන උනන්දුවක් දක්වන අය තුළ බලවත් සැකයක් උපදවන ආකාරයටය. මීට පෙර මහජන පරමාධිපත්යය බලය කෙරෙහි බලපෑමක් ඇති කිරීමට හේතුවන හැම ව්යවස්ථා සංශෝධනයක් ම සලකා බලා ඇත්තේ ජේයෂ්ඨ විනිසුරු මඬුල්ලක් ඉදිරියේය. නිදර්ශනයක් වශයෙන් 78 ව්යවස්ථාවට ඉදිරිපත් කරන ලද පළමු සංශෝධනය විමර්ශනයට ලක් කළ පස් පුද්ගල විනිශ්චය මණ්ඩලයට අගවිනිසුරු නෙවිල් සමරකෝන් ද, ජේයෂ්ඨ අනුපිළිවෙල අනුව දෙවැනි තැන සිටි ඩබ්ලිව්.ටී. සමරවික්රම, තුන්වැනි ස්ථානය හිමිකර ගෙන සිටි වී.ටී. තමෝදරම් හතරවැනි ස්ථානය හිමිකර ගෙන සිටි අයි.එම්.ඉස්මයිල් හා හත්වැනි ස්ථානය හිමිකරගත් ආර්.එස්. වනසුන්දර යන විනිසුරුවන් ඇතුළත් විය. තුන්වැනි සංශෝධනය සලකා බලන ලද්දේ ද අගවිනිසුරු ඇතුළු ඊළගට සිටින ජේයෂ්ඨ විනිසුරුවන් පස්දෙනකු ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් විසිනි. 4 වැනි සංශෝධනය සලකා බලන ලද්දේ ද, අගවිනිසුරු ඇතුළු ඊළගට සිටින ජේයෂ්ඨතම විනිසුරුවන් හත්දෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසිනි.
එහෙත් 17 වැනි සංශෝධනයේ දි විනිසුරු මඬුල්ල තෝරාපත් කරගැනීමේදි ජේයෂ්ඨතම විනිසුරුවරුන් සිව්දෙනා බැහැර කොට තබන ප්රතිපත්තියක් අනුගමනය කර ඇති බව පැහැදිලිව පෙනී යයි. ආණ්ඩුක්රම නීතිය පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණයේ දැනට සිටින විශාරදයන් තිදෙනා ලෙස සැලකෙනුයේ මාක් ප්රනාන්දු, ආචාර්ය ඒ.ආර්.බී. අමරසිංහ හා රංජිත් ධීරරත්න යන විනිසුරුවරුන්ය. 17 වැනි සංශෝධනය සලකා බලන විනිසුරු මඬුල්ලට ඒ කිසිවකුත් ඇතුළත් නොවීම ද ගැටලුසහගතය.
ඡන්ද ක්රමය හා ඡන්ද බලය පරමාධිපත්යයට ඇතුළත්ය. අනුපාතික ක්රමය ජනතාවගේ පරමාධිපත්යය බලය ක්රමවත් කොට උද්දිපනය කිරීමට හේතුවූ අතර, තවදුරටත් මහජනතාවගේ පරමාධිපත්යය බලය උද්දිපනය කිරීමට හේතුවන ආකාරයේ මැතිවරණ ක්රමයක් මිස එය විකෘති කිරීමට හේතුවන මැතිවරණ ක්රමයක් ව්යවස්ථාවක පිළිගත් මූලධර්මවලට පටහැනිය. අඩුම වශයෙන් එහිදී අලුත් ක්රමය ඇති කරන්නට නියමිත වෙනස්කම්වල ස්වභාවය සලකා බැලීමේ යුතුකමක් ශ්රේෂ්ඨාධිකරණයට තිබුණි.
ජනතා විමුක්ති පෙරමුණ 1999 ජනාධිපතිවරණයේදී ඡන්ද 344173ක් ලබාගත් අතර, අනුපාත ක්රමය යටතේ එය පාර්ලිමේන්තු මැතිවරණයක් වී නම්, එම පක්ෂයට ලැබෙන මන්ත්රී ආසන සංඛ්යාව 06කි. එහෙත් 17 වැනි ව්යවස්ථා සංශෝධනය යටතේ ඇති කරන්නට ගිය නව ක්රමය යටතේ එම පක්ෂයට හිමිවන ආසන සංඛ්යාව බිංදුව දක්වා පහත වැටෙන්නේය. පොදු පෙරමුණට සම්බන්ධ හා ඊට සහාය දැක්වූ සියලු පක්ෂ එම ජනාධිපතිවරණයේ දි ලබාගත් ඡන්ද සංඛ්යාව 4312557කි. එය පාර්ලිමේන්තු මැතිවරණයක් වී නම් ඒ සියලු පක්ෂවලට ලැබෙන ආසන සංඛ්යාව 115කි. ඇති කරන්නට යන නව ක්රමය යටතේ පොදු පෙරමුණට හා ඊට සම්බන්ධ පක්ෂවලට ආසන මට්ටමෙන් ආසන 130ක්ද, දිස්ත්රික් මට්ටමෙන් ආසන 54ක්ද. ජාතික ලැයිස්තුවෙන් ආසන 17ක්ද යනාදි වශයෙන් ආසන 298න් ආසන 201ක් ම හිමිකර ගැනීමට හැකිවන්නේය. ජනතාවගේ පරමාධිපත්යය බලයේ අතිවිශාල විකෘතියක් ඇති කිරීමට හේතුවන මෙවැනි ක්රමයක් සාධාරණ විය නොහැකිවා සේ ම නීතියට අනුකූල විය නොහැකිය. ජනමතවිචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියකින් පමණක් එවැනි ක්රමයක් ඇති කරගැනීමට ඉඩ හැරිම නීතියට අනුකූල විය නොහැකිවා සේ ම එය මෙතෙක් එම විෂය අරබයා ශ්රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කොට මූලධර්ම ඉක්මවා යාමක්ද වන්නේය.
සැලසුම් කොට තිබුණු ආකාරයට තුනෙන් දෙකේ බලයක් ස්ථාපිත කිරීමට නොහැකිවීම නිසා ආණ්ඩුව විසින් සැලසුම් කරන ලද කූට වැඩපිළිවෙළ අත්හැරිමට අවසානයේ ආණ්ඩුවට සිදුවුවත්, විධායකයේ පටු දේශපාලන අරමුණු මත සැලසුම් කරන ලද එවැනි වැඩපිළිවෙළකට අනුමැතිය ලබාදිම මගින් ශ්රේෂ්ඨාධිකරණය කොතරම් දුරට ස්වාධීන ද යන ප්රශ්නය බරපතල ලෙස මතුකර ඇත්තේය. ඊළගට මතුවන ප්රධානම ප්රශ්නය විධායකයේ අණසකට යටත් ශ්රේෂ්ඨාධිකරණය හැකි ඉක්මණින් ස්වාධීන කරන්නේ කෙසේද යන්නයි.