විසඳුමක් අවශ්‍ය වුවත් එය සමග සෙල්ලම් කරන්නට යාම භයානකය

August 13, 2000
Publication:
Ivan argues that peace in a long war fuelled by mutual hatred requires a serious, systematic effort, while politicians talk of peace mainly to please donors. Playing with the problem can make it worse, as the collapse of the Indo-Lanka Accord and the southern bloodshed showed. Before talks, the government must build a political climate through reforms that reduce hostility among parties and revive democracy.

සාමය රටේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික කොන්දේසියක් වන බවට සැකයක් තිබිය නොහැකි ය. එහෙත් එකිනෙකා කෙරෙහි ඇති කරගත් වෛරයකින් යුතුව කෙරෙන දිග්ගැස්සුණ යුද්ධයක් ඇති රටක සාමය ඉබේ පහළවන්නේ නැත. ඒ සඳහා යුද්ධයට මුල්වී තිබෙන ගැටලුවල බරපතලකමේ හා සංකීර්ණතාවයේ ප්‍රමාණයට ගැලපෙන ප්‍රබල හා දැවැන්ත උත්සහයක් ද තිබිය යුතු ය. ඒ සඳහා කෙරෙන උත්සාහයක් ද මනා අවබෝධයකින් යුතුව ක්‍රියාත්මක කෙරෙන විධිමත් හා ක්‍රමානුකූලව කෙරෙන උත්සාහයක් ද තිබිය යුතු ය.

එහෙත් අපේ රටේ දේශපාලකයන් හැමදාමත් සාමය ගැන කතා කරන්නේ කතාකරන්නන් වාලේය. නැත්නම් ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කොට ලැබෙන ණය හා ආධාර උපරිම කරගැනීමේ පටු අරමුණ ඇතිව ය.

දැන් කරන්නට යන සාමකතා තුළ ද ඊට වඩා ගැඹුරට ගිය අවංක ප්‍රවේශයක් ඇති බවක් පෙනෙන්නට නැත.

මේ සංකීර්ණ ප්‍රශ්නය විසඳගැනීම රටේ පැවැත්ම සඳහා ඉතා අවශ්‍ය වුවත්, ප්‍රශ්නය විසඳීමේ මුවාවෙන් ප්‍රශ්නය සමග සෙල්ලම් කරන්නට යාමෙන් ප්‍රශ්නය උග්‍ර කිරීමට හේතුවනවා පමණක් නොව, ඉතාමත් බිහිසුණු ප්‍රතිඵල ඇති කිරීමට ද හේතුවිය හැකිය. හරි දැක්මක් නැතිව නිසි වැඩපිළිවෙළක් නැතිව අංවක හැගීමක් නැතිව ප්‍රශ්නය අතගගා එය තවත් කුරුවල් කරන්නට යනවාට වඩා නිකම්ම සිටීම වඩා ඵලදායක ය.

මේ ප්‍රශ්නයට ආවේණික සංකීර්ණ ස්වභාවය හා ඊට ඇති සමාජ සංවේදිභාවයේ ස්වභාවය අනුව සාකච්ඡාවකට යන්නට පෙර, ඊට ගැලපෙන ලෙස සමාජ දේශපාලන පරිසරය සකස් කිරීමත් අත්‍යවශ්‍යය. එසේ නොවෙතොත් කරන්නට යන සාකච්ඡා සමහර සමාජ කණ්ඩායම්වල විරෝධයට හේතුවෙමින් නැවත ලේ වැගිරෙන පරිසරයක් ඇතිවිය හැකි ය. ඉන්දු-ලංකා ගිවිසුම ලබාදෙන ලද විසඳුම ව්‍යර්ථ කිරීම කෙරෙහි බලපෑවේ ද එම සාධකයයි. ඒ නිසා අවසානයේ සිදුවූයේ දකුණේ කෙළවරක් නැති තරමින් ලේ වැගිරෙන තත්ත්වයක් ඇතිවීම ය.

සුදුසු සමාජ දේශපාලන පරිසරයක් සකස් කිරීම යන්නෙන් පළමු කොට, දේශපාලන පක්ෂ අතර එකගතාවක් ඇති කිරීමත් එකග නොවන දේශපාලන පක්ෂ පවා විරුද්ධව නැගී නො සිටින තත්ත්වයකට ගෙන ඒමත් අදහස් කෙරේ. ඒ තත්ත්වය ඇති කළ හැකිවනු ඇත්තේ බල දේශපාලනය තුළ එකිනෙකා කෙරෙහි පවත්නා වෛරසහගත තත්ත්වය අහෝසි කිරීමට හේතුවන හා ප්‍රජාතන්ත්‍රවාදයේ පුනර්ජීවයක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඇතිකර ගැනීමෙනි. එහෙත් දැන් ආණ්ඩුව සාම සාකච්ඡාවලට යන්නට යන්නේ පළමු කොට එවැනි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීමේ අවශ්‍යතාව නොසලකාය. එහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ සාම සාකච්ඡා මගින් විසඳුමක් ඇතිකරනවා වෙනුවට නැවත ලේ වගුරුවන තත්ත්වයක් රටේ ඇති කිරීම ය. සාමය ගැන කතා කරන බලවේගයන් පවා සාම සාකච්ඡාවලට පෙර විසඳුමක් සඳහා අවශ්‍ය දේශපාලන පරිසරයක් ඇති කරගැනීමේ අවශ්‍යතාව නොසලකා හැර සිටින බවක් පෙනී යයි.