වෙරළ තීරයේ ඉඩම් කොල්ලකෑමට ඉඩ දෙමු ද?

May 29, 2005
Publication:
Businessmen close to the government have begun using the tsunami to seize thousands of acres of valuable coastal land, confirming suspicions raised when the buffer zone was declared without reason. The editorial is not against foreign investment, but calls on informed citizens to force the government to abandon the scheme.

සුනාමි විපත අවස්ථාවක් කරගනිමින් ආණ්ඩුවට සමීප ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් වෙරළ තීරයේ වටිනා ඉඩම් අක්කර දහස් ගණනක් කොල්ලකෑමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

සුනාමි විපත ඇතිවූ වහාම තර්කානුකූල පදනමකින් තොරව මිටර් 100/200 ආරක්ෂක කලාපයක් ප්‍රකාශ කළ අවස්ථාවේදිත් ඒ වැඩපිළිවෙළ තුළ වෙරළ තීරයේ ඇති වටිනා ඉඩම් කොල්ලකෑමේ අදහසක් ඇද්ද යන සැකය මතුවී තිබුණි. දැන් පෙනෙන්නේ එම සැකය බොරුවක් නො වන බව ය.

සංචාරක කර්මාන්තය සඳහා තිබෙන ප්‍රදේශ අතර වඩාත් ම සිත් ගත් ප්‍රදේශය ලෙස සැලකිය හැකි අරුගම්බේ ප්‍රදේශයේ වෙරළ තීරයෙන් කිලෝමීටර් 17ක තීරයක් අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළක් සංචාරක මණ්ඩලය විසින් දැනටමත් ආරම්භ කර තිබේ. කල්පිටිය හා මිරිස්ස යන ප්‍රදේශවලින් හා තවත් ප්‍රදේශ 11කින් ද මේ ආකාරයට ඉඩම් අත්පත් කරගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බව ද දැනගන්නට තිබේ. මෙම ප්‍රදේශ 14න් අත්පත් කරගැනීමට අපේක්ෂා කරන ඉඩම් ප්‍රමාණය අක්කර 40,000කි.

සංචාරක ව්‍යාපෘතියක් සඳහා ස්ථාන 14 කින් අක්කර 40,000ක් පවරා දෙන්නට යන විදේශ සමාගම කුමක් ද යන්න තවමත් රටේ මහජනයාට අභිරහසකි.

අප විදේශ ආයෝජකයන්ට හා ආයෝජනයට විරුද්ධ නැතත්, මහජන අයිතිවාසිකම් නො සලකා ආණ්ඩුවට සමීප කිහිප දෙනෙකුගේ මඩි තර කර ගැනීමේ අරමුණින් කෙරෙන මෙවැනි මංකොල්ලයන්ට පක්ෂවීමේ හැකියාවක් අපට නැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ විපතට පත්වූවන්ගේ ඉඩම් අයිතිය හා දේපළ හිමිකම් පිළිබඳව ප්‍රකාශ කර තිබෙන අවසන් වාර්තාවකට අනුව ශ්‍රී ලංකා ආණ්ඩුව ඇති කර තිබෙන මීටර් 100/200 ආරක්ෂක කලාප ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සේ ම ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ හා ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් දෙකට ද පටහැනි ය.

ආණ්ඩුව මෙම සීමා නීති පනවා ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව සඳහා නො ව, වෙරළ තීරයේ තිබෙන ඔවුන්ගේ වටිනා ඉඩම් කොල්ලකෑමේ කූට අරමුණින් බව දැන් කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය අනුව හොඳින් ඔප්පු වේ.

ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් මහජන අයිතිවාසිකම් නො සලකා ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් පවරා ගන්නා ප්‍රතිපත්තියක් සාධාරණ නො වන්නා සේ ම, නීතියට ද පටහැනි ය. ආණ්ඩුව මහජනයාගේ මූලික අයිතිවාසිකම් වලට සේ ම දේපළ අයිතියට ද ගරු කළ යුතු ය. සුනාමිය නිසා අවතැන්වී සිටින ජනයා අවතැන්වූ තත්ත්වයක තබාගනිමින් ඔවුන්ගේ ඉඩම්වල සංචාරක හෝටල් ඉදිකරන වැඩපිළිවෙළක් සාධාරණ නො වනවා සේ ම, එවැනි ව්‍යාපාර සාර්ථක වීමේ හැකියාවක් ද තිබිය නො හැකි ය.

මෙම කොල්ලකාරි වැඩපිළිවෙළ හකුලා ගන්නා ලෙස රජයට බලකිරීම දැනුවත් පුරවැසියන්ගේ සමාජ වගකීමකි.