ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණය ටෝනිට එක් අවුරුදු සිරදඬුවමක් පැමිණවීමේ සිද්ධිය පිළිබඳව ජිනීවාහි මානව හිමිකම් කමිටුව ශ්රී ලංකා ආණ්ඩුවට එරෙහිව දී තිබෙන තීන්දුවෙන් පෙන්නුම් කෙරෙන්නේ මානව හිමිකම් ආරාවුල් වලදි මානව හිමිකම් ආරක්ෂාව සඳහා ශ්රී ලංකාවට සිටින රැකවල් දූතයා මානව හිමිකම් හපාකන තත්ත්වයකට පත්ව තිබෙන බවය. එම නඩු තීන්දුව ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණයේ ප්රධානියාට එරෙහිව දෙන ලද නඩු තීන්දුවක් ලෙස ද සැලකිය හැකිය.
ටෝනි පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණය අනුගමනය කළ දඩබ්බර ප්රතිපත්තිය නීතියට හා ස්වාභාවික යුක්තියට පටහැනි බව තේරුම් ගැනීමට නීතිය පිළිබඳ විශාරද දැනුමක් අවශ්යවන්නේ නැත. එය රටේ අගවිනිසුරුවරයා තමන්ට තිබෙන අධිකරණ බලය සාහසික හා සපාරාධී ලෙස පාවිච්චි කළ අවස්ථාවක් විය.
ඩාටෝ පරම් කුමාරස්වාමි මහතා මැලේසියානු ජාතිකයෙකි. ඔහු ඒ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාර ප්රධාන නිලධාරියා විය. ඔහු රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ටෝනි බලන්නට ශ්රී ලංකාවට පැමිණියේය. ඉන්පසු ප්රසිද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් ප්රකාශ කළේ ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණය ටෝනි සම්බන්ධයෙන් බලවත් අයුක්තියක් කර ඇති බවය. ටෝනිගේ නිදහස වෙනුවෙන් නැගී සිටින ලෙස ඔහු නීතිඥ සංගමයෙන් ප්රසිද්ධියේ ඉල්ලා සිටියත් නීතිඥ සංගමය ටෝනි ගැන එක වචනයක්වත් කතා කළේ නැත. පාර්ලිමේන්තුවට ද එය සාකච්ඡා කිරීමට තරම්වත් වැදගත් කාරණයක් නොවීය. ඒ වන විට පාර්ලිමේන්තු බලය තිබුණේ සන්ධානයට නොව එක්සත් ජාතික පක්ෂයටය. ඉන් තවත් කලකට පසුව පරම් කුමාරස්වාමි මහතා ශ්රී ලංකාවේ අධිකරණයේ කටයුතු සිදුවන ආකාරය සොයා බැලීම සඳහා දූත මණ්ඩලයක් එවීමට ආණ්ඩුවේ අනුමැතිය ඉල්ලා සිටියත්, ආණ්ඩුව ඊට ද යහපත් ප්රතිචාරයක් දැක්වූයේ නැත.
දැන් ජිනීවාහි මානව හිමිකම් කමිටුව ශ්රී ලංකා ආණ්ඩුව ටෝනිගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව තීරණය කොට ඔහුට වන්දි ගෙවන ලෙස ආණ්ඩුවට නියම කර තිබේ.
මානව හිමිකම් කමිටුවේ තීරණය වී ඇත්තේ අර්ථකථනයක් නැති හා නඩු ඇසීමට අවශ්ය කාර්ය පටිපාටියක් නැති නීතියකින් දඬුවම් කිරීම ලංකාව අත්සන් තබා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතියේ 9 වැනි වගන්තියේ පළමුවැනි ඡේදයට පටහැනි බවය. ටෝනි සිරගත කිරීම අත්තනෝමතික බවත්, ගිවිසුමට පටහැනි බවත් කමිටුවේ නිගමනය වී තිබේ. මතු එවැනි උල්ලංඝනයන්ට ඉඩ නොතබන ලෙස ශ්රී ලංකා ආණ්ඩුවට දැනුම් දෙමින් උසාවි අපහාස නීතිය ප්රතිසංස්කරණය කොට ඒ බව කමිටුවට වාර්තා කරන ලෙස ද ආණ්ඩුවට දැනුම් දී තිබේ. ඒ සමග ටෝනිට වන්දි ගෙවන ලෙස ද ආණ්ඩුවට නියම කර තිබේ.
ටෝනිගේ නඩු තීන්දුව ටෝනි කෙරෙහි පමණක් නොව එම නීතිය යටතේම දඬුවම් ලබා සිටින එස්.බී. දිසානායක කෙරෙහි සේ ම, එම නීතිය යටතේම ඇසෙමින් තිබෙන “සන්ඩේ ලීඩර්” හා “ලංකාදිප” නඩු කෙරෙහි ද බලපායි.
අගවිනිසුරුට ටෝනිට දඬුවම් කිරීමට අවශ්ය වූයේ තමා වගඋත්තරකරුවෙකු කරමින් තමාගේම අධිකරණයේ නඩු පවරන අයට කෙරෙන අනතුරු ඇගවීමක් වශයෙනි. අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් පවරන ලද පළමු නඩුව රාවයේ නඩුව වන අතර, ඉන්පසු දිසා විනිසුරුවරුන් දෙදෙනෙක් ද අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් නඩු පැවරූහ. එම විනිසුරුවරුන් දෙදෙනාගේ නඩුව විභාගයට ගැනුණු දෙවැනි දින එම විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණ භූමියේ (ඉහළ ගොඩනැගිලිවල පවා) පෝස්ටර් අලවා තිබුණු අතර, විනිසුරුවරුන් දෙදෙනාට මරණ තර්ජන ද එල්ල විය. අගවිනිසුරුට ටෝනිට දඬුවම් කිරීමට අවශ්ය වූයේ ටෝනි සමග ඇති කරගෙන තිබූ බලවත් තරහක් නිසා නොව, තමා වගඋත්තරකරුවකු කරමින් තමාගේ උසාවියේම තමාට එරෙහිව නඩු පැවරිම සඳහා පැවති නැඹුරුව වළකාලීමට අවශ්ය වූ නිසාය. අගවිනිසුරු අතින් මානව හිමිකම් අහිමිවූ අයට සහන ලබාගැනීමට තිබුණු එකම ක්රමය වූයේ ද අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් ඔහුගේ අධිකරණය ඉදිරියේම ඔහුට එරෙහිව නඩු පැවරිම පමණය. ටෝනිට එක් අවුරුදු සිරදඬුවමක් පැමිණ වීමෙන් නොනැවතී බන්ධනාගාරයට ගියපසු ඔහු සාහසික පහරදිමකට ලක්කරන්නට සැලස්වීම මගින් අගවිනිසුරු දෙන ලද සංඥාව වූයේ තමා සමග සෙල්ලම් කරන්නට එන අයට ලැබෙන ප්රතිඵල බිහිසුණු වියහැකි බවයි.
අගවිනිසුරු ලජ්ජා බය ඇති පුද්ගලයෙකු නම් මේ තීන්දුවෙන් පසුව ඔහු තනතුරෙන් ඉල්ලා අස්විය යුතුය. එහෙත් රටට සිටින්නේ ලජ්ජා බය ඇති අගවිනිසුරුවරයෙකු නොව ලජ්ජා බය නැති අගවිනිසුරුවරයෙකි. සමාජය ඔහු කනෙන් අල්ලා දොට්ට දමන තෙක් ඔහු තනතුර අත්හරින්නේ නැත.
ටෝනිගේ නඩුව ජිනීවාහි මානව හිමිකම් කමිටුව ඉදිරියේ තිබුණු එකම නඩුව නොවේ. එහි අගවිනිසුරුට එරෙහිව තිබෙන නඩු පෝලිමෙන් එකක් පමණය. ඔහුට එරෙහිව හිටපු විනිසුරුවරුන් දෙදෙනෙකු පවරන ලද නඩු දෙකක් ද එහි ඇසෙමින් තිබෙන අතර, ඔහුගේ පත්වීමට එරෙහිව මා විසින් පවරන ලද නඩුවක් ද එහි ඇසෙමින් පවතී. ඊට අතිරේකව බැංකු සේවකයකු විසින් පවරන ලද නඩුවක් ද එස්.බී. දිසානායක විසින් පවරන ලද නඩුවක් ද එහි ඇසෙමින් පවතී. ඊට අතිරේක තවත් නඩු ගණනාවක් පැවරිමට ද නියමිතය. මීට පෙර අගවිනිසුරුවරයෙකුට එරෙහිව මානව හිමිකම් කොමිසමට කිසිදු පැමිණිල්ලක් ලැබී නැත. අද ජිනීවාහි මානව හිමිකම් කමිටුව ඉදිරියේ වැඩිම නඩු ගණනක් ඇසෙන රට බවට පත්ව තිබෙන්නේ ශ්රී ලංකාවය. ඒ සියලු නඩු පැවරි ඇත්තේ ද රටේ අගවිනිසුරුට එරෙහිවය. එය රටේ හෝ පාර්ලිමේන්තුවේ ලජ්ජාවට හේතුවී තිබෙන කරුණක් වී ද නැත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි මානව හිමිකම් කමිටුව ශ්රී ලංකාව සම්බන්ධයෙන් මෙතෙක් දී තිබෙන තීරණ සම්බන්ධයෙන් තමන් කුමක් කරන්නේ ද යන්න ශ්රී ලංකා ආණ්ඩුව මෙතෙක් පැහැදිලි කිරීමක් කර නැත. ටෝනිගේ තීන්දුවත් සමග මෙතෙක් ශ්රී ලංකා ආණ්ඩුවට එරෙහිව දී තිබෙන තීන්දු ගණන හතරක් බවට පත්වී තිබේ.
ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතියටත්, ඉන්පසු ඒ යටතේ ඇති විකල්ප පොට්රොකෝලයටත් අත්සන් තබන ලද්දේ කාගෙන් හෝ එල්ල වූ බලකිරීමක් නිසා නොව, ස්වේච්ඡාවෙනි. මානව අයිතිවාසිකම් රකින රටක් ලෙස පෙනී සිටීමට අවශ්ය වූ නිසාය. එම ජාත්යන්තර සම්මුතියේ විකල්ප පොට්රොකෝලයට අත්සන් තැබීම නිසා ශ්රී ලංකාවට ජාත්යන්තර ප්රජාව අතර වඩා හොඳ පිළිගැනීමක් ලැබුණු අතර, ලැබෙන ජාත්යන්තර ආධාර ඉහළ යෑමට ද එය බලපෑවේය. ජිනීවාහි මානව හිමිකම් කමිටුව පිහිටුවා ඇත්තේ පොට්රොකෝලයට අත්සන් තබා ඇති රාජ්යයන්, රාජ්යයන් අතර ඇතිවන ආරාවුල් නිරාකරණය කිරීම සඳහා හා ඒ රටවල පුරවැසියන් තම රටවල පාලකයන්ට එරෙහිව ඉදිරිපත් කරන පැමිණිලි විභාග කිරීම සඳහාය. පොට්රොකෝලයට අත්සන් තබා ඇති රටවල් පැමිණිලි විභාග කිරීමට කමිටුවට ඇති බලය පිළිගන්නවා පමණක් නොව, කමිටුව දෙන තීරණ පිළිපැදිමට බැඳී සිටී.
කමිටුව දෙනු ලබන තීරණ ගිවිසුමට අත්සන් තබා ඇති රාජ්යයන් ක්රියාත්මක කරන්නේ ද යන්න සොයා බලන ක්රමයක් ද කමිටුව සතුය. රටකට අදාළව දෙන තීන්දුවකදි ඒ රට එම තීන්දුව ක්රියාත්මක කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා කමිටුව විශේෂ වාර්තාකරුවකු නම් කරයි. රටකට කමිටුව දෙන තීන්දුවක් පිළිපැදිමෙන් වැළකී සිටිය හැකි වුවත්, ගිවිසුමට අත්සන් තබා ගිවිසුම උල්ලංඝනය කරන රාජ්යයන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඍජු ලෙස හෝ අනියම් ලෙස දඬුවම් පමුණුවන ක්රමයක් ද ක්රියාත්මක වේ. ලිබියාවේ ගඩාෆි තමන් ළග සිටි අපරාධකරුවන් දෙදෙනෙකු බාර නොදිම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලිබියාවට එරෙහිව සම්බාධක පනවන තත්ත්වයකට ගියේය. අවුරුදු 15ක් දරාගෙන සිටීමේ හැකියාව ලිබියාවට තිබුණ ද අවසානයේ පීඩනය ඉවසිය නොහැකිව තමන්ගේ රැකවරණය යටතේ සිටි අපරාධකරුවන් දෙදෙනා බාරදි තමන් කළ ඒ වරදට සමාව ලබාගැනීමට ලිබියාවට සිදුවූයේය. කමිටුව කැනඩාවට හා ඕස්ට්රේලියාවට එරෙහිව දෙන ලද තීන්දු දෙකකදි එම රටවල් දෙක අදාළ පුද්ගලයින්ට වන්දි ගෙවා කමිටුව ඉල්ලා තිබූ නීති ප්රතිසංස්කරණය කොට කමිටුව වෙත වාර්තා කළේය.
යුරෝපා සංගමයට අපනයනය කරන භාණ්ඩ සඳහා නිදහස් වෙළෙඳ තත්ත්වයක් හිමිකර ගැනීමට ශ්රී ලංකාව යුරෝපා සංගමය සමග අත්සන් කරන්නට බලාපොරොත්තු වන ගිවිසුම (GSP+) වෙනුවෙන් ශ්රී ලංකාව ජාත්යන්තර ගිවිසුම් 27ක් පිළිපැදිමට එකග වේ. ඊට ඇතුළත් ප්රථම ගිවිසුම වී ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියයි. එම ප්රඥප්තිය එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියක් පමණක් නොව, ලෝකයේ විශේෂ පිළිගැනීමකට හේතුවී තිබෙන ප්රඥප්තියක් බව ද ඉන් පෙනී යයි. යුරෝපා සංගමය 2005 අප්රේල් 1 වැනිදා සිට බලපාන ආකාරයට ශ්රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා නිදහස් වෙළෙඳ තත්ත්වයක් ලබාදිමට සැලසුම් කර තිබුණත්, පසුව ඒ අදහස වෙනස් කොට ඒ ගැන තීරණයක් ගැනීම ජූලි මස දක්වා කල්තබන ලදි. එම තත්ත්වයට බලපෑ එක් හේතුවක් වී තිබුණේ ද ජිනීවාහි මානව හිමිකම් කමිටුව විසින් දෙන ලද තීරණ ශ්රී ලංකාව නොපිළිපැදිමය. යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන ශ්රී ලංකා භාණ්ඩ සඳහා නිදහස් වෙළෙඳ තත්ත්වයක් දිනාගැනීමට ශ්රී ලංකාවට අවශ්ය නම්, මානව හිමිකම් කමිටුව විසින් දෙනු ලබන තීරණ ක්රියාවට නැංවීමට ශ්රී ලංකාවට සිදුවනු ඇත්තේය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියට ඇතුළත්ව ඇත්තේ අධිරාජ්යවාදින්ගේ හෝ මහා බලවතුන්ගේ අයිතිවාසිකම් නොව, ශිෂ්ටසම්පන්න රටක් ආරක්ෂා කළයුතු සිය පුරවැසි අයිතිවාසිකම්ය. රාජ්යයක් ඒ පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කරන විට ඒ රටේ ඉහළම අධිකරණයට පැමිණිලි කොට සාධාරණය ඉටු නොවන අවස්ථාවකදි එම දුක්ගැනවිල්ල ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කිරීමේ අයිතිය එම අන්තර්ජාතික ගිවිසුම නිසා ශ්රී ලංකාවේ පුරවැසියන්ට ද හිමිවී තිබෙන්නේය. එවැනි ගිවිසුම් වලින් පුරවැසියන්ට හෝ රටට හානියක් වන්නේ නැත.
ටෝනිගේ නඩුව විභාග කළ විනිශ්චය මණ්ඩලයට ඇතුළත් සාමාජික සංඛ්යාව 14කි. ඉන්දියාවේ කීර්තිමත් අගවිනිසුරුවරයෙකු වූ පී.එන්. බගවතී මහතා ද එම විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු විය. එය ඒකපාක්ෂික නඩු විභාගයක් නොවීය. ශ්රී ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් ද එහිදි නිදහසට කරුණු ඉදිරිපත් විය. තීන්දුව දී ඇත්තේ දෙපාර්ශ්වයේම කරුණු හොඳින් සලකා බැලීමෙන් පසුවය.