උණුසුම් වාද විවාද මැද අධ්‍යාපනයේ හැඩතලද වෙනස් වෙමින් හා වෙනස් කැරෙමින් පවතී.
තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි උසස් අධ්‍යාපනයේ පිළිගත් අනිවාර්ය අංගයක් බවට පත්වෙමින් පවතී. උපාධි අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා තෝරාගත හැකි විකල්ප මාර්ගද පුළුල් වෙමින් පවතී. අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මක අගය ගැන වන සැලකිල්ලද වර්ධනය වෙමින් පවතී.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පවත්වාගෙන ගිය දිස්ත්‍රික්ක පංගු ක්‍රමය අහෝසි කිරීමට තීරණය කිරීම ඉතා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය. සා. පෙළ අසමත්වන්නන්ට කාර්මික හා තාක්ෂණ අධ්‍යාපනයක් ලබාගැනීම අනිවාර්ය කිරීමද ඉතාමත් විප්ලවකාරී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවන වැදගත් තීරණයක් ලෙස සැලකිය හැකිය. තෝරාගත් විශ්වවිද්‍යාල හයක තත්ත්වය ජාත්‍යන්තර ප්‍රමිති තත්ත්වයකට ගෙනඒම පිණිස මුදල් වෙන්කිරීමද, විශ්වවිද්‍යාලවල පර්යේෂණ කටයුතු දියුණු කිරීම සඳහා මුදල් වෙන්කිරීමද, විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ වැටුප් 25%කින් වැඩි කිරීමට ගෙන තිබෙන තීරණයන්ද ඉදිරිගාමී හා යහපත් තීරණයන් ලෙස සැලකිය හැකිය. විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ හා ශිෂ්‍යයන්ගේ කාර්ය සාධනය හා ප්‍රමිතිය උසස් කිරීම කෙරෙහි ද ප්‍රමාණවත් තරම් අවධානයක් යොමුවී තිබෙන අතර, සියලු විශ්වවිද්‍යාල එක කාලසටහනකට වැඩ කරන තැනකට ගැනීමට තීරණය කිරීමද වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.
බාහිර වශයෙන් කෙරෙන වාද විවාද මැද උසස් අධ්‍යාපන විෂයෙහි හා වෘත්තීය අධ්‍යාපන විෂයෙහි බරපතළ වෙනස්කම් ඇතිවෙමින් තිබෙන බව පෙනෙන්නට ඇතත්, පාසල් අධ්‍යාපන තලයෙහි තාමත් එවැනි වැදගත් වෙනස්කම් ඇතිවෙමින් තිබෙන බවක් පෙනෙන්නට නැත. ජාතික අධ්‍යාපන කොමිසම පාසල් අධ්‍යාපනයේ ඇති කළ යුතු වෙනස්කම් පිළිබඳ ඉතා වැදගත් යෝජනා ඇතුළත් විශාල වාර්තාවක් අධ්‍යාපන ඇමතිවරයා වෙත ලබාදී තිබේ. එම යෝජනා ක්‍රියාත්මක කළ යුතුය. අධ්‍යාපන ශරීරයෙහි එක් කොටසක් පමණක් වෙනස්වීම ප්‍රමාණවත් නැත. මුළු ශරීරයම එක ක්‍රමයකට වෙනස්විය යුතුය.
ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවලට අතිරේකව ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇතිව විදේශ විශ්වවිද්‍යාලවල සහයෝගය ඇතිව උපාධි පාඨමාලා පවත්වාගෙන යන පෞද්ගලික ආයතන ක්රමයක්ද රටේ පවතී. ඒ මගින් ද කිසියම් විශාල පිරිසක් උපාධි අධ්‍යාපනයේ යෙදී සිටිති. එම ආයතන ක්‍රමය පිළිබඳව සිදුකර තිබෙන අධ්‍යයනවලින් පෙනීයන්නේ එම ආයතනවලින් 33%ක පමණ තත්ත්වය ඉතා උසස් වුවත් තවත් 33%ක පමණ තත්ත්වය අයහපත් බවය. සමහර ආයතන නිසි පිළිගැනීමක් නැති විදේශීය ආයතන සමගද අනුබද්ධ වී ක්‍රියාකරන බව පෙනී යයි. මෙම ආයතන ක්‍රමය ලබාදෙන උපාධි අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සහතික කරන නියාමන ක්‍රමයක් ආණ්ඩුව ඇති කළ යුතුය.
විශ්වවිද්‍යාල පවත්වාගෙන යන සමහර උපාධි පාඨමාලා හා ශ්‍රම වෙළෙඳපොළේ වුවමනාවන් අතර නොගැළපීමක් පවතී. රජයේ විශ්වවිද්‍යාලවලින් උපාධි පාඨමාලා හදාරන 32%ක් පමණ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍රය හදාරණ සිසුන් වන අතර එවැනි උපාධිධාරීන් වැඩි කොටසකට ඉක්මනින් ඵලදායී රැකියාවක් ලබාගැනීම දුෂ්කර දෙයක් බවට පත්වී තිබේ. මේ තත්ත්වයද වෙනස් විය යුතුය. ගෝලීය වශයෙන් හා දේශීය වශයෙන් නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන, උපාධි අධ්‍යාපනයෙන් පසු රැකියාවක් ලබාගැනීමට පහසු වන ආකාරයට උපාධි පාඨමාලා ප්‍රතිසංස්කරණය කළ යුතු අතර නව පාඨමාලා ඇති කළ යුතුය. උපාධි අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන ශිෂ්‍යයන්ට පාඨමාලා තෝරාගැනීමේදී බුද්ධිමත් තෝරාගැනීමක් සඳහා මගපෙන්වන ක්‍රමයක් ඇති කළ යුතු අතර උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කිරීමෙන් පසු ද රැකියා සඳහා අතිරේක කෙටි පුහුණුවක් ලබාදෙන හා මගපෙන්වන ක්‍රමයක් ඇති කළ යුතුය.
රට බිහිකළ යුතුව තිබෙන්නේ උපාධි අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ආණ්ඩුවේ රැකියා සඳහා උද්ඝෝෂණය කරන වර්ගයේ උපාධිධාරීන් නොව, රැකියා වෙළෙඳපොළට පහසුවෙන් එකතුවීමේ හැකියාවක් ඇති හා තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ආත්ම විශ්වාසයක් ඇති උපාධිධාරීන්ය.