ව්යවස්ථාවක් සම්මත කරගැනීමට ආණ්ඩුව දරන ලද හදිසි උත්සාහයෙන් ආණ්ඩුව අපේක්ෂා කළේ රටේ දැවෙන ප්රශ්නයක් වී තිබෙන ජනවාර්ගික ප්රශ්නයට විසඳුමක් ලබාදිම නොව, එම ප්රශ්නයට විසඳුමක් ලබාදිම මුවාවක් කොටගනිමින් විධායක ජනාධිපති ක්රමය ආරක්ෂා කරගනිමින් වඩා ඒකාධිපති ක්රමයකට බර තබන පාලන ක්රමයක් ස්ථාපිත කරගැනීමය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි ජනාධිපතිවරණයේ දි ලබාගත් ඡන්ද සංඛ්යාවට සමාන ඡන්ද සංඛ්යාවක් ලබාගැනීම අසීරුය. ඒ සමාන ඡන්ද ප්රමාණයක් ලබාගත්තද පවතින අනුපාතික ක්රමය යටතේ පොදු පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ සියලු පක්ෂවලට ලබාගත හැකිවනු ඇත්තේ ආසන 115කට නොවැඩි ගණනක් පමණය. ලබාගන්නා ඡන්ද සංඛ්යාව ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්යාවට වඩා 10%කින් අඩු වුවහොත් පොදු පෙරමුණට පාර්ලිමේන්තු බලය අහිමිවීම නොවැළැක්විය හැකිය. එය එසේ වුවහොත් ජනාධිපතිවරණයේ දි ලබාගත් ජයග්රහණය ද අභියෝගයට ලක්වන්නේය. ආණ්ඩුවට අවශ්ය වී තිබුණේ මේ අභියෝගය ජයගත හැකි හා ජනාධිපතිනියගේ බලය තවදුරටත් තහවුරු කළ හැකි වැඩපිළිවෙළකි.
අනුපාත ඡන්ද ක්රමය වෙනස් කොට කේවල ක්රමයට මන්ත්රීන් 168 දෙනකු ද, දිස්ත්රික් මට්ටමෙන් සමානුපාතික ක්රමයකට මන්ත්රීන් 100ක්ද, ජාතික ලැයිස්තුවෙන් තවත් මන්ත්රීන් 30ක් ද යනාදි වශයෙන් 225කින් යුත් පාර්ලිමේන්තුවක් වෙනුවට 298කගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට සැලසුම් කළේ ඊට පිළියමක් වශයෙනි. එවැනි ක්රමයක් පොදු පෙරමුණට පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමට පහසු පදනමක් ලබාදෙනවා පමණක් නොව, ඡන්දයකට ඉදිරිපත් කිරීමකින් තොරවම තමන් කැමති කිසියම් විශාල පිරිසක් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිරිමේ හැකියාව ද ජනාධිපතිනියට ලබා දෙන්නේය.
මැතිවරණ ක්රමයේ ඇති කරන මෙවැනි වෙනසක් සඳහා තුනෙන් දෙකේ පාර්ලිමේන්තු අනුමැතියක් සේ ම ඊට අතිරේක වශයෙන් ජනමතවිචාරණයකින් එය අනුමත කරවා ගැනීම ද අවශ්ය වේ. තමන් විසින් පත් කරන ලද සරත් සිල්වා මහතා ශ්රේෂ්ඨාධිකරණයේ ප්රධානියාව සිටින තෙක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියක් ඇතොත්, මැතිවරණ ක්රමයේ ඇති කරන වෙනසකට ජනමත විචාරණයක් අවශ්ය නොවේය කියන නිගමනය තමන්ට ලබාගත හැකි බව ආණ්ඩුව දැන සිටියේය. ජයගත යුතුව තිබුණු දුෂ්කරතම ගැටලුව වී තිබුණේ ඒ සඳහා අවශ්ය කරන තුනෙන් දෙකේ අනුමැතියක් ලබාගැනීමය.
ඡන්ද ක්රමයේ වෙනසක් සඳහා පමණක් තුනෙන් දෙකේ අනුමැතියක් සඳහා පක්ෂ එකග කරවාගැනීම අසීරුය. විශේෂයෙන්ම කේවල ක්රමයකට බර තබන ක්රමයක් සඳහා සුළු ජාතික පක්ෂ කැමති කරවා ගැනීම අසීරුය.
ජනවාර්ගික අර්බුදයට විසඳුමක් වශයෙන් නව ව්යවස්ථාවක් යන වැඩපිළිවෙළ ආණ්ඩුව ඉදිරියට ගත්තේ සුළු ජාතික පක්ෂවල එකගතාව ලබාගැනීම සඳහා ඊට වැඩි දෙයක් තවත් නැති නිසාය.
වාර්ගික අර්බුදයට විසඳුමක් ලබාදිම අරමුණ ලෙස පෙනෙන නව ව්යවස්ථාවකට සියලුම සුළු ජාතික පක්ෂ එක පොදියට ඡන්දය දෙනු ඇතිය යන්න ආණ්ඩුවේ තක්සේරුව වී තිබුණි. වාසුදේව නානායක්කාර හා රවි කරුණානායක අත්හළ විට පොදු පෙරමුණට තිබුණු ආසන සංඛ්යාව 103කි. ඒ හැර ඊපීඩීපීයට 09ක්ද, මුස්ලිම් කොංග්රසයට 07ක්ද. වතු කම්කරු කොංග්රසයට 07ක්ද. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට 05ක්ද, ප්ලොට් හා ටෙලෝ 03ක් ද යනාදි වශයෙන් සුළු ජාතික පක්ෂවලට තිබුණු ආසන ගණන 31කි. පොදු පෙරමුණට එක්ව සිටි විකල්ප කණ්ඩායමට ද ආසන 07ක් තිබුණි. එවිට එකතුව 141කි. එවිට තුනෙන් දෙකේ අනුමැතියක් සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අවශ්යවන්නේ 09ක් පමණයි. ඒ අඩුව ඉහළ මිලක් ගෙවා මිලදි ගතහැකි වනු ඇතැයි ආණ්ඩුව කල්පනා කළේය.
නව ආණ්ඩුක්රම ව්යවස්ථාව සම්මත කරගැනීම සඳහා අවශ්ය තුනෙන් දෙකේ බලයක් ස්ථාපිත කරගනිමින් නව ව්යවස්ථාව සම්මත කරගැනීමත් සමග නව ඡන්ද ක්රමය නීතිගත කරගැනීම ආණ්ඩුවේ උපාය මාර්ගය විය. අලුත් ඡන්ද ක්රමයට සුළු ජාතික පක්ෂ කෙරෙන් විරෝධයක් මතු වුවත්, ඔවුන් ඊට එකග කරවාගැනීම සඳහා පාවිච්චි කළ හැකි බලවත් තර්කයක් ද ආණ්ඩුව සතුව තිබුණේය.
නව ව්යවස්ථාව තුනෙන් දෙකේ අනුමැතියකින් සම්මත කරගත්තත්. එය ජනමතවිචාරණයකින් අනුමත වන තෙක් නීතිගත වන්නේ නැත. වර්තමාන පාර්ලිමේන්තු කාලය තුළ ජනමතවිචාරණයකට යාමට ඉඩක් නොපවතී. ඒ තත්ත්වය යටතේ සම්මත වූ ව්යවස්ථාව නීතිගත කරවා ගැනීමට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද තුනෙන් දෙකේ බලයක් ලබාගත යුතුය. එහෙත් අනුපාත ක්රමය යටතේ එවැනි ප්රතිඵලයක් ලැබිය නොහැකිය. අලුත් ඡන්ද ක්රමය ඒ අරමුණ ජයගැනීම සඳහා පමණක් බවටත්, එහෙත් නව ආණ්ඩුක්රම ව්යවස්ථාව නීතිගත කිරීමත් සමග නැවත අනුපාත ක්රමය ක්රියාත්මක වන බැවින් නව ඡන්ද ක්රමය හොඳ අරමුණක් සපුරා ගැනීම සඳහා යොදාගන්නා තාවකාලික දෙයක් පමණක් ලෙස සලකා ඊට ආධාර කරන ලෙස සුළු ජාතික පක්ෂවලින් ඉල්ලා සිටිය හැකිය. එවිට ඊට විරුද්ධ වීමේ හැකියාවක් ද ඔවුන්ට නොලැබෙන්නේය.
එජාපයෙන් තෝරාගත් පිරිසකට සුදුසු මිලක් ගෙවා ඔවුන් එකග කරවාගැනීමේ වැඩපිළිවෙළ ලහි ලහියේ ම ක්රියාත්මක විය. එජාප නායකත්වය කෙරෙහි කලකිරුණු පිරිස්, ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා නොලැබෙතැයි සැලකුණු පිරිස්, නඩු හබවලට පැටලී සිටි පිරිස් හා රාජ්ය බැංකුවලට ණයගැතිව සිටි පිරිස යනාදින් ඔවුන්ගේ ඉලක්ක බවට පත්විය.
අවශ්ය අවම සංඛ්යාව 9ක් වුවත්, සුළු ජාතික පක්ෂවල ඇතිවිය හැකි වෙනස්කම් සලකා 16 දෙනකු දිනාගැනීමේ අරමුණ ඇතිව ඔවුන් ක්රියාත්මක වූ බවක් ද පෙනී යයි. බැලු බැල්මට හැමදෙයක්මත් සාර්ථක වන බවක් පෙනෙන්නට තිබුණු අතර. ඇතැම් පුද්ගලයන් සඳහා කල්තියා අත්තිකාරම් ගෙවීමක් ද සිදුවූයේය.
මැතිවරණ සංශෝධන කෙටුම්පත ව්යවස්ථා සංශෝධනයක් ලෙස ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියවිට යෝජිත සංශෝධනය සඳහා තුනෙන් දෙකේ බලයක් පමණක් ප්රමාණවත් බව ශ්රේෂ්ඨාධිකරණය නිගමනය කළේය. එය ආණ්ඩුවේ අපේක්ෂාවන්ට ද හොඳින් ගැලපුණේය. එහෙත් ඒ වනවිට තමන්ගේ කූට වැඩ පිළිවෙලට සාධාරණ පෙනුමක් ලබාදිම සඳහා ඉදිරියට ගෙනා නව ව්යවස්ථාව බලවත් මහජන විරෝධයට හේතුවූ දෙයක් බවට පත්ව තිබුණේය. ඇතැම් සංවිධාන සිංහලවාදි පදනමක පිහිටාද. තවත් සංවිධාන ඊට ආවේණික ප්රජාතන්ත්ර විරෝධී ගති ලක්ෂණ සලකා ද විරුද්ධ වූයේය. අවසානයේ ඊට සමහර දෙමළ දේශපාලන පක්ෂ ද එකතුවීම තුළ එය වාර්ගික මායිම් ඉක්මවා ගිය පොදු විරෝධයක් බවට පත්විය. එම තත්ත්වය එජාපයෙන් පොදු පෙරමුණට පලායාමට අපේක්ෂාවෙන් සිටි අය අතර මානසික සසල කිරීමක් ඇති කිරීමට හේතුවීමෙන් නොනැවතී පොදු පෙරමුණ තුළ ද නව ඉරිතැලීම් ඇති කිරීමට හේතුවිය ඒ තත්ත්වය තුනෙන් දෙකේ අනුමැතියක් ලබාගැනීමට තිබෙන ඉඩ අහුරාලීමට හේතුවූ අතර, ඒ සමග ආණ්ඩුවට තමන්ගේ සමස්ත වැඩපිළිවෙළම හකුළා ගැනීමට සිදුවිය.
ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළ පරාජය වීම රටේ වාසනාවකි. එසේ නොවන්නට ජනවාර්ගික අර්බුදයට විසඳුමක් වෙනුවට රටට ලැබෙන්නට තිබුණේ දරුණු ඒකාධිපතිත්වයකට මුල පුරන ආණ්ඩුවකි. එහි ප්රතිඵලය වන්නට ඉඩ තිබුණේ සාමය නොව ලේ වැගිරීම් ය.
මේ ක්රියාවලියේදි ආණ්ඩුව ලැබූ මේ පරාජය පෙරළා පාර්ලිමේන්තු මැතිවරණය කෙරෙහි ද බලපානු නොවැළැක්විය හැකිය. අවසානයේ සිදුවී ඇත්තේ ආණ්ඩුව විසින් ම ආණ්ඩුවට එරෙහිව ක්රියාකරන බලවත් විරුද්ධ පක්ෂ ව්යාපාරයක් තනා දිමය.