විදේශ ප්‍රතිපත්තිය නිවැරදි කරගැනීම

May 20, 2012
Publication:
The government appears to be retreating from its strongly anti-Western foreign policy, built on the belief that world power is passing to China. That shift, Ivan argues, is neither imminent nor China's alone, since India is also rising, and the US works to weaken states aligned with rival powers. A small country on a strategic sea lane should stay out of rival camps, stay friendly with all, and above all keep India's trust. He recalls how J.R. Jayewardene's hostility to India, including an insult to Indira Gandhi, led India to back Tamil militants, halt the Vadamarachchi operation and air-drop supplies, and how India's support was decisive in the final war. Having promised 13-plus, Sri Lanka must either deliver or offer a credible alternative, and build friendship with Tamil Nadu as well as New Delhi.

ආණ්ඩුව මෙතෙක් පවත්වාගෙන ආ දැඩි බටහිර විරෝධී විදේශ ප්‍රතිපත්තියෙන් ඉවත්වෙමින් සිටින බව පෙනේ. දැඩි බටහිර විරෝධී විදේශ ප්‍රතිපත්තියක් යුද්ධය පැවති කාලයට ගැළපුණා විය හැකි වුවත් ඉන්පසු එළැඹෙන යුගයට ගැළපුණේ නැත. දැඩි බටහිර විරෝධී විදේශ ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමේ බලපෑ දර්ශනය වූ බව පෙනෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ට තිබෙන ආධිපත්‍යය බිඳ වැටෙමින් චීනය ප්‍රමුඛ බටහිර විරෝධී අලුත් ලෝක බලවේගයන් අතට ලෝක ආධිපත්‍යය මාරුවෙමින් තිබෙන්නේද කියන අදහසය. මෙය ඇත්තක් විය හැකි වුවද එය ඉතා ඉක්මනින් ඇතිවන වෙනසක් ලෙස සැලකිය නොහැකිය. අනෙක් අතට නැගී එන විකල්ප බලවතුන් අතර තරගයේ ඉදිරියෙන්ම සිටින එකම රට චීනය කියන අදහසද වැරදිය. ඉන්දියාවද ඒ තරගයේ සිටින්නේය.

ලෝක ආධිපත්‍යය දරන බලවතෙක් තමන් හිමිකරගෙන සිටින ස්ථානය ලේසියෙන් අතහැර යන්නේ නැත. ඒ තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගැනීම සඳහා තමන්ට කළහැකි හැම දෙයක්ම කරන්නේය. ඉරානය, ලිබියාව, ඉරාකය, බුරුමය, උතුරු කොරියාව වැනි රටවල් විකල්ප ලෝක බලතුලනයකට ශක්තිය ලබාදෙන රටවල් ලෙස සලකා ඒ රටවල්වල දේශපාලන ගමන් මග හොඳින් හෝ නරකින් වෙනස් කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූ අතර ඒ අරමුණ තාමත් සම්පූර්ණ කරගැනීමට නොහැකි වී තිබෙන්නේ ඉරානය හා දකුණු කොරියාව යන රටවල් දෙක සම්බන්ධයෙන් පමණය. අතීතයේදී මෙන් මහා බලවතා සිය ප්‍රධාන තරගකරුවාට ඍජු ලෙස පහර දෙන තැනකට යන ප්‍රතිපත්තියක් වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ නැත. ඒ වෙනුවට කරන්නේ විකල්ප ඇලියට ආධාර කරන රටවල් තෝරාගෙන ඒවා එකින් එක දුර්වල කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. එහිදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් සාර්ථක ප්‍රතිඵල හිමි කරගෙන තිබෙන බවද පෙනෙන්නට තිබේ. ඉරානය සිය මග වෙනස් නොකළහොත් ඉරානයද විනාශ කැරෙනු ඇති අතර ඉන්පසු ඒ දේ කොරියාවටද සිදුවනු ඇත.

ලෝක බලවතුන් අතර සිදුවන තරගයේදී පුංචි රටක් වන ශ්‍රී ලංකාව හැමදාමත් වැදගත් වූයේ එය වැදගත් මුහුදු මාර්ගයක් පාලනය කළහැකි උපායමාර්ගික වැදගත්කමක් ඇති සන්ධිස්ථානයක පිහිටා තිබීම හේතු කොටගෙනය. ලංකාව ආසන්නයේ ඉන්දියාවත් තිබීම එම ප්‍රශ්නය වඩා සංකීර්ණ කිරීමට හේතුවී තිබෙන්නේයැ”යි කිව හැකිය. මෙය ලංකාවේ පැවැත්ම කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරන සාධකයකි. මෙම විශේෂ තත්ත්වය තුළ ලංකාවට සිය ආරක්ෂාව සඳහා අනුගමනය කළහැකි හොඳම පිළිවෙත නම් මහ බලවතුන් අතර තරගයේදී කිසිම ඇලියක කොටස්කරුවකු නොවී ඒ සියලුදෙනා සමග මිත්‍රශීලී පිළිවෙතක් අනුගමනය කරන අතර අසල්වැසි ඉන්දියාව සමගද සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන යෑමය.

ආණ්ඩුව මෙතෙක් පවත්වාගෙන ගිය දැඩි බටහිර විරෝධී පිළිවෙතින් ඉවත්වී ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර සමග මිත්‍රශීලීව ගනුදෙනු කරන ප්‍රතිපත්තියකට මාරුවීම ඉතා වැදගත් වුවත් ඒ සමග ලංකාවේ අසල්වැසියා වන ඉන්දියාව සමග විශ්වාසදායක මිත්‍රත්වයක් පවත්වාගෙන යෑමට අසමත් වේ නම් ලංකාවට යහපත් ඉදිරි ගමනක් යෑමට හැකිවනු ඇතැ”යි සිතිය නොහැකිය. එල්ටීටීඊයට එරෙහිව යුද්ධයක් කැරුණු අවස්ථාවේදී ලංකාව ඉන්දියව සමග ප්‍රශස්ත මට්ටමේ මිත්‍රත්වයක් පවත්වාගෙන යෑමට සමත් විය. එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු දෙරට අතර පැවති එම මිත්‍රත්වයේ කිසියම් පිරිහීමක් ඇතිවී තිබේයැ”යි කිව හැකිය. ඒ කෙරෙහි බලපා තිබෙන හේතු මොනවා වුවත් එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. ශ්‍රී ලංකාව ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සමග කොතරම් හොඳ අන්තර් සම්බන්ධයක් පවත්වාගෙන යෑමට සමත් වුවද ඉන්දියාව සමග තිබෙන අන්තර් සම්බන්ධය අයහපත් නම් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය වැරදි විදේශ ප්‍රතිපත්තිය නිවැරදි කරගැනීමෙන් අපේක්ෂා කරන කිසිවක් සම්පූර්ණ කරගැනීමේ හැකියාව රටට ලැබෙන්නේ නැත.

ඉන්දියාව ලංකාවේ ළඟම අසල්වැසියාය. අප ජීවත්වන්නේ ඉන්දියාවේ කට ළඟය. ඇය කලාපීය බලවතා වනවා පමණක් නොව, මහබලවතකුගේ තත්ත්වයට වර්ධනයවෙමින් තිබෙන රටකි. අප ඇය ඉදිරියේ දීන තත්ත්වයකට පත්විය යුතු නැතත් ඇගේ සැකයට හෝ අසතුටට හේතුවන තත්ත්වයකට පත්වීමෙන්ද වැළකී සිටිය යුතුය. අපි ඇයගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන මිත්‍රයෙකුගේ තත්ත්වය දිනාගත යුතුය. ඒ සඳහා ලංකාවට ආධාර කළ පාකිස්තානය හා චීනය සමග තිබෙන මිත්‍රශීලී සම්බන්ධයද අත්හළ යුතු නැත.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වැඩ වරද්දාගත්තේද ඉන්දියාව පිළිබඳ විෂයේදීය. ඉන්දිරා ගාන්ධිට ආණ්ඩු බලය අහිමවූ අවස්ථාවේදී ආණ්ඩුවේ ප්‍රකාශකයකු ඇය හැඳින්වූයේ වැස්සියකු ලෙසය. ඒ අපහාසය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙවන්නට සිදුවූ වන්දිය සුළුපටු නැත. ඊට අතිරේකව ඉන්දියාව සමග මිත්‍රශීලී සම්බන්ධයක් පවත්වාගෙන යෑමට එම ආණ්ඩුව අසමත් විය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය සමග තිබුණු සමීප බැඳීම මත ඉන්දියාවේ සතුටට හේතු නොවන හා ඇගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි නොමනා දේවල් සිදුකරන ලදි. ඉන්දියාව ජනාධිපති ජයවර්ධන මට්ටු කරන්නට උත්සාහ කළේ උතුරේ ගොඩනැගෙමින් තිබුණු ආයුධ සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාර පෝෂණය කරන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීම මගිනි. යාපනයේ බලය හිමිකරගෙන සිටි එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමේ අරමුණින් ක්‍රියාවට නගන ලද වඩමරච්චි මෙහෙයුම තවදුරටත් ඉදිරියට ගෙනයෑම ඉන්දියාව වැළකුවේය. ඉන්දියාව ලංකාවට පරිප්පු ප්‍රහාරයක් එල්ල කරමින් ශ්‍රී ලංකාවේ ගුවන්සීමා ආක්‍රමණය කළ අවස්ථාවේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට ආධාර කරනවා තබා ඉන්දියාව කළ එම ක්‍රියාව හෙළාදකින්නටවත් කිසිදු බටහිර බලවතකු ඉදිරිපත් වූයේ නැත. තමන්ගේ අසරණභාවය හා රටේ පුංචිකම ජනාධිපති ජයවර්ධන හරියටම තේරුම්ගත්තේ ඉන්දියාවේ එම පරිප්පු ආක්‍රමණයත් සමගය. අවසානයේ ජනාධිපති ජයවර්ධනට සිය පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා රටේ පැවැත්ම නොසලකා ක්‍රියාකරන තැනකට යන්නට සිදුවිය.

එම කාලයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය නිවැරදි නොවනවා සේ ම ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියද වැරදිය. දෙරටම එම වැරදි වෙනුවෙන් අතිවිශාල වන්දි ගෙවීමක් කරන්නට සිදුවිය.

පසුකලක මෙම රටවල් දෙකම එකිනෙකා කෙරෙහි පවත්වාගෙන ගිය වැරදි ප්‍රතිපත්ති නිවැරදි කරගත්තේය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහිව කරන ලද යුද්ධයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට උපරිම මට්ටමින් ආධාර කළේය. එසේ නොවී ඊට අවහිර කරන තැනකට ගියේ නම් ශ්‍රී ලංකාණ්ඩුවට එල්ටීටීඊය පරාජය කිරීමට හැකිවන්නේ නැත. යුද්ධය අවසන් කිරීමෙන් පසු ලංකාවේ දෙමළ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාදෙනු ඇතැ”යි ඉන්දියාව අපේක්ෂා කළේය. 13 වන සංශෝධනය ඉක්මවා ගිය විසඳුමක් ලබාදෙන බවට ශ්‍රී ලංකාණ්ඩුවද පුන පුනා ඉන්දියාවට සහතික විය. දෙන ලද එම පොරොන්දුව ඉටු නොකිරීම ගැන ශ්‍රී ලංකාව පිළිබඳව ඇති කරගත් කනස්සල්ලක් සේ ම අවිශ්වාසයක්ද ඉන්දියාවට තිබෙන්නේය.

ලංකාවේ දෙමළ ප්‍රශ්නය ඉන්දියාවටද සංවේදී ප්‍රශ්නයකි. තමිල්නාඩුවේ මහජන මතය නොසලකා ක්‍රියාකිරීමේ හැකියාවක් ඉන්දියාවට නැත. 13 වැනි සංශෝධනය ප්‍රශ්නයට විසඳුමක් නොවේ නම් ඉන්දියාව සතුටු කිරීමේ අරමුණින් පමණක් එය ක්‍රියාත්මක කළ යුතු නැත. එහෙත් එය එසේ නම් ඒ සඳහා ලංකාවේ දෙමළ ජනතාවගේ සේ ම ඉන්දියාවේද විශ්වාසයට හේතුවන වෙනත් විකල්ප විසඳුමක් ශ්‍රී ලංකාවට තිබිය යුතුය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ළඟම අසල්වැසි රට වනවා සේ ම එම අසල්වැසි රටේ ශ්‍රී ලංකාවට ආසන්නම කොටස සමන්විතවන්නේ දකුණු ඉන්දියාවෙන් බව අපි අමතක කිරීම වරදකි. එහි වෙසෙන දෙමළ ජනතාව ඉන්දියානු දමිළයන් වුවත් ශ්‍රී ලංකාවේ දමිළ ප්‍රශ්නය ඔවුන්ටද ඉතාමත් සංවේදී ප්‍රශ්නයක් බව අපි අමතක නොකළ යුතුය. ඒ නිසා අපේ යාළුකම ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට සීමා නොකොට තමිල්නාඩුව සමගද හොඳ මිත්‍ර සම්බන්ධයක් ඇති කරගන්නා තැනකට අප යා යුතුය.