පොදු පෙරමුණු ආණ්ඩුව ඇද වැටීම නොවැළැක්විය හැකි ය. එහෙත් එය සිදුවන්නට යන්නේ කෙසේද, ඉන්පසු ඇතිවන්නට යන්නේ කු ආණ්ඩුවක් ද යන්න තේරුම් ගැනීම ඉතා වැදගත්ය.
පොදු පෙරමුණු ආණ්ඩුව දේශපාලන වශයෙන් බෙලහීන තත්ත්වයකට ඇද දැමීම කෙරෙහි බලපා ඇති එක් ප්රධාන දේශපාලන සාධකයක් වනුයේ අත්යවශ්ය දේශපාලන ප්රතිසංස්කරණ ඇතිකර ගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ අවශ්යතාව අළලා දැන් කලක් තිස්සේ සමාජයේ මතුවී තිබෙන දේශපාලන කථිකාවය. එය සිවිල් සමාජයේ සේ ම ආගමික නායකයන්ගේ ද පොදු පිළිගැනීමට හේතුවී තිබෙන මතවාදයකි. ඒ අරමුණ වෙනුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ අවශ්යතාව විරුද්ධ පක්ෂවල පොදු පිළිගැනීමට හේතුවී තිබුණු අතර, ඒ අදහස පිළිගත් පිරිසක් ආණ්ඩු පක්ෂය තුළ ද සිටියේය.
අත්යවශ්ය ප්රතිසංස්කරණ සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවට එජාපය හා ශ්රීලනිපය එකතු කොට ඒකාධිපති පන්නයේ ජාතික ආණ්ඩුවක් ඇති කළයුතුයි කියන මතවාදයක් ද පසුකලකදි ඉදිරියට ආ අතර, ඒ අදහසේ මුල් ප්රකාශකයා වී ඇත්තේ එස්.බී. දිසානායක මහතාය.
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී තිබෙන විශ්වාසභංගයේ මුල් ඉලක්කය වූයේ ද විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව පරාජය කොට යෝජිත ප්රතිසංස්කරණ සඳහා වන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගැනීමය. සමස්ත ක්රියාවලිය ඒ අරමුණෙන් පිටස්තර කොට එජාපය හා ශ්රීලනිපය එකතු කොට ඒකාධිපති පන්නයේ ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීමේ අරමුණ වෙත සමස්ත ක්රියාවලිය තල්ලු කරන්නට වැර දරන වෑයමක් ද පවතී.
විශ්වාසභංගයේ දි සිහළ උරුමය කරන්නට යන්නේ කුමක්ද යන්න නොපැහැදිලිය. ජනතා විමුක්ති පෙරමුණ ද තමන් කුමක් කරන්නට යන්නේ ද යන්න තවමත් පැහැදිලිව ප්රකාශ කර නැත.
සිහළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් 11 දෙනා විශ්වාසභංගයේ දි ඡන්දය පාවිච්චි කිරිමෙන් වැළකී අන් සියලුදෙනා ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය වශයෙන් ඡන්දය පාවිච්චි කළහොත් යෝජනාව වැඩි ඡන්ද 5කින් පරාජය කිරිමේ හැකියාව ආණ්ඩුවට ලැබෙන්නේය. එහෙත් එවැනි තත්ත්වයක් යටතේ පවා විරුද්ධ පක්ෂයට ආණ්ඩුව පරාජය කිරීම සඳහා ආණ්ඩුවේ අභ්යන්තරයෙන් අවශ්ය වනු ඇත්තේ ඡන්ද 3ක් පමණය. එවිට ආණ්ඩු පක්ෂයට ලැබෙන ඡන්දය සංඛ්යාව 106ක් වී විරුද්ධ පක්ෂයට ලැබෙන ඡන්ද සංඛ්යාව 107ක් වන්නේය. එහි තේරුම වන්නේ සිහළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි නොකරන තැනක තබාගැනීමට ආණ්ඩුව සමත් වුවත් විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජය වීමේ වැඩි හැකියාවක් තිබෙන බවය.
සමස්ත චිත්රයේ ශීඝ්රගාමී හා විප්ලවකාරි වෙනසක් ඇතිවීම ආරම්භ වනු ඇත්තේ විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජයට පත්වීමත් සමගය. ඊ.පී.ඩී.පී.ය හා වතු කම්කරු කොංග්රසය වැනි පක්ෂ පොදු පෙරමුණු ආණ්ඩුවේ පරාජය තෙක් ආණ්ඩුව සමග එකට සිටියත්, ඉන්පසු එම පක්ෂ දෙකම ගොඩ නැගෙන ඕනෑම ආණ්ඩුවකට සහාය දෙන තැනකට යොමුවීම නොවැළැක්විය හැකිය. ඊ.පී.ඩී.පී.යට සිය පැවැත්ම සඳහා බලයට එන ඕනෑම ආණ්ඩුවක් සමග එක්ව ක්රියා කිරීමට සිදුවන්නේය. තොණ්ඩමන්ගේ වතු කම්කරු කොංග්රසයට ද ආණ්ඩු පක්ෂය සමග මිස, විරුද්ධ පක්ෂය සමග කටයුතු කිරිමේ හැකියාවක් නොපවතී.
ඊළගට මතුවන වැදගත්ම ප්රශ්නය විශ්වාසභංගයකදි ආණ්ඩුව ලබන පරාජයක් ඉදිරියේ පොදු පෙරමුණේ පක්ෂවල මන්ත්රීවරුන් කෙසේ ක්රියාකරනු ඇත්ද යන්නයි.
පාර්ලිමේන්තුවේ සිටින කිසිවෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමක් කිරීමට කැමති නැත. අනෙක් අතට තමන්ගේ පාලනයෙන් පිටස්තර ආණ්ඩුවක් ඇතිවනවා දකින්නට ජනාධිපතිනිය ද කැමති නැත. ඇයට එවැන්නක් ඇතිවීම වැළකිය හැකි වනු ඇත්තේ පාර්ලිමේන්තුව වසරක් සම්පූර්ණ වන තෙක් මොන උප්පරවැට්ටියකින් හෝ අල්ලා ගෙන සිටිමින් ඒ සමග පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පමණය.
පාර්ලිමේන්තුව විසුරුවා නොහරින තත්ත්වයක තබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට තිබෙන වුවමනාව හා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිනියට තිබෙන මෙම වුවමනාව අතර තිබෙන ගැටුම විධායක ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර කෙරෙන මහා දේශපාලන ගැටුමක් බවට පත්වනු ඇති අතර, විධායක ජනාධිපති ක්රමය බෙලහීන වීම හෝ අවසන් වීම ද ඒ නිසා ඇතිවන එක් ප්රතිඵලයක් විය හැකිය. ඇතිවන්නට යන මේ ගැටුමේදි ශ්රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයට එරෙහිව පාර්ලිමේන්තුව පක්ෂ භේදයකින් තොරව එක්ව නැගී සිටියා සේ, ජනාධිපතිනියට එරෙහිව පාර්ලිමේන්තුවේ වැඩි පිරිසක් එක්ව නැගී සිටින තත්ත්වයක් ඇතිවීම ද නොවැළැක්විය හැකිය. ඊළගට ගොඩ නැගෙන්නට නියමිත ආණ්ඩුවේ මුහුණුවර හා අභ්යන්තරික සංයුතිය තීන්දු කරනු ඇත්තේ ද එම අරගලයයි.
මේ ගැටුමේදි ජනාධිපතිනියට තිබෙන විධායක බලය අනුව අවශ්ය නම් පාර්ලිමේන්තු සැසිය කල් දැමිය හැකිය. පාර්ලිමේන්තුවේ වසරක කාලය සම්පූර්ණ වීමත් සමග පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය.
එහෙත් පාර්ලිමේන්තුව අවශ්ය නම්, එංගලන්තයේ පළමුවැනි චාර්ල්ස් රජුට එරෙහිව නැගී සිටියා සේ ජනාධිපතිනියගේ අභියෝග නොසලකා ක්රියාකිරිමේ හැකියාවක් ද පවතී. ජනාධිපතිනියට ඇත්තේ 51%ක ජනවරමක් පමණ. එහෙත් පාර්ලිමේන්තුවට තිබෙන ජනවරමේ ප්රමාණය 100%කි. විධායක ජනාධිපති ක්රමයක් ඇති කළේ ද පාර්ලිමේන්තුවය. අවශ්ය නම් එය නැතිකිරිමේ බලය ඇත්තේ ද පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තු ක්රමය හා ජනාධිපති ක්රමය අතර මතුවෙමින් තිබෙන මෙම ගැටුම පාර්ලිමේන්තු ක්රමය නැතිවී දරදඬු ඒකාධිපති ක්රමයක් ඇතිවීමෙන් හෝ විධායක ජනාධිපති ක්රමය නැතිවී පාර්ලිමේන්තුවේ ස්වාධිපත්යය තහවුරු වීමෙන් කෙළවර විය හැකිය. එහෙත් ඇතිවන්නට නියමිත ඒ ගැටුම ප්රජාතන්ත්රවාදයට නව ගතිකත්වයක් ද, නව මානයක් ද ලබාදිමට හේතුවනු නොඅනුමානය.
මෙවැනි ගැටුමක් ඇතිවීම වැළකිය හැකි ක්රමයක් ද පවතී. එනම් ඒ සඳහා ජනාධිපතිනිය ජනාධිපති ඩී.බී. විජේතුංග කෙනෙකු බවට පත්විය යුතුය. බහුතර බලයට හිස නමා, බහුතර බලයක් ඇති අයට තමන් කැමති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ දි අවහිර කිරීමකින් තොරව පැත්තකට වී බලා සිටින ප්රතිපත්තියක් ඔස්සේ තමන්ට තිබෙන ජනාධිපතිකම රැකගැනීමය. ජනාධිපතිනිය ප්රඥාවන්ත නම්, ගතහැකිව තිබෙන හොඳම තීන්දුව වනු ඇත්තේ ද එයයි.