ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය රටට ඵලදායක ලෙස අවසන් කිරීමට නම් රටට අත්යවශ්ය ප්රතිසංස්කරණ ඉලක්ක කොට ගත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගැනීම අත්යවශ්ය බවට සැකයක් තිබිය නොහැකි ය. ආණ්ඩුව එවැනි අදහසක් පිළිනොගන්නා නිසාම ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන අතර, එය ජයගැනීම පහසු නැති තැනකට ආණ්ඩුව පත්ව සිටින්නේ ය.
විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජය කළහොත් ඇති කරන්නට යන ආණ්ඩුවේ ස්වභාවය කුමක්ද? එසේ ඇති කරන ආණ්ඩුව ඇති කරන්නට යන ප්රතිසංස්කරණ මොනවාද යන්න විධිමත් ලෙස රටට ඉදිරිපත් කිරීම ප්රධාන විපක්ෂයේ වගකීමකි. විධායක ජනාධිපති ක්රමය ප්රතිසංස්කරණය කරන්නේ ද? ඒ ප්රතිසංස්කරණයට ඇතුළත් අංග මොනවාද යන්න සහ ස්වාධීන කොමිෂන් පහක් ඇති කරනවාට අතිරේකව ඇති කරන්නට යන වෙනත් ප්රතිසංස්කරණ මොනවා ද? විශේෂයෙන් ම යුද්ධය අරභයා රටේ සියලු ජනවර්ගවල පිළිගැනීමට, විශ්වාසයට හා ගෞරවයට හේතුවන විසඳුමක් ලබාදෙන්න යන්නේ කවර ආකාරයකට ද යන්න රටට පැහැදිලි කිරීම වැදගත් ය.
ඒ සමග ප්රතිසංස්කරණ සඳහා ඇති කරන්නට යන සංයුතිය, ඊට ඇතුළත් පක්ෂ අතර බලය බෙදාහැරෙන ආකාරය, ගොඩ නගන සර්ව පාක්ෂික ආණ්ඩුව කවර කාලසීමාවක් සඳහා ගොඩ නගන්නේ ද යන්න හා ඇති කරන්නට යන ප්රතිසංස්කරණ සඳහා වන කාල නියමයන් මොනවාද යන්න පැහැදිලිව රටට ප්රකාශ කිරීම වැදගත් ය.
තිබෙන ආත්මාර්ථකාමී දේශපාලන ස්ථාවරයේ මූලික වෙනසක් ඇති කිරීමට අවශ්ය ප්රතිසංස්කරණ දිනාගැනීමට මේ ලැබී තිබෙන අවස්ථාව නැවත ලැබෙනු ඇතැයි සිතිය නොහැකි ය. සියලු දේශපාලන පක්ෂ ඉදිරියට යා නොහැකි තැනක හිරවී සිටින අතර, මේ තත්ත්වයෙන් ගොඩ ආ හැකි එක ම ක්රමය වී ඇත්තේ ද රටට අත්යවශ්ය දේශපාලන ප්රතිසංස්කරණ සඳහා පොදු එකගතාවක් ඇතිකර ගැනීම පමණ ය.
දේශපාලන බල තරගය තුළ සිටින සියලු දෙනා තමන් විසින් අපවිත්ර කොට තිබෙන පිටිය පිරිසිදු කොට බල තරගයේ නීති රිති සියලු දෙනාගේ පිළිගැනීමට හේතුවන ලෙස ප්රතිසංස්කරණය කිරීම සඳහා පොදු එකගතාවකින් ක්රියාකළ යුතු තැනකට පැමිණ ඇත්තේ ද යන්න එහි තේරුමයි. සියලු දෙනා එකට එකතු වී ඒ අරමුණ සාර්ථක කරගැනීමට හැකිවේ නම් අලුත් “හෙට දිනක්” ආරම්භ කිරීමට රටට හැකිවනු නො අනුමාන ය.