අගවිනිසුරු සරත් නන්ද සිල්වා 6 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය. ඔහු හොඳට හෝ නරකට රටේ වැඩියෙන්ම කථාබහට ලක්වූ අගවිනිසුරුවරයාය. ඔහු දේශීය වශයෙන් පමණක් නොව, ලෝක මට්ටමෙන් වුවද අවිනීත භාවයේදී හා නිල බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේදී ඔහුගේ භූමිකාව අසමසමවීයැ”යි කිව හැකිය. ඔහු තම නැදෑ හිතවතුන්ගේ නඩු අසා ඔවුන්ට සහන හෝ වාසි ලබා දුන්නේය. තමන් අකමැති හෝ තමන්ගේ තරහකාරයින්ගේ නඩු අසා ඔවුන්ට උපරිම වශයෙන් දඬුවම් ලබාදුන්නේය. තමන්ගේ බලපරාක්‍රමය ප්‍රදර්ශනය කරනු පිණිස විධායකය හා ව්‍යවස්ථාදායකයට නියෝග දුන්නේය. තමන්ට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගයක් ව්‍යර්ථ කරනු පිණිස තමන්ට හිතවත් නීතිඥයන් තිදෙනෙකු මගින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගෙන්වා ගනිමින් හා එම පෙත්සම් විභාග කිරීම පිණිස තමන්ට හිතවත් විනිශ්චය මණ්ඩලයක් යොදාගනිමින් එම දෝෂාභියෝගය භාරගැනීම වැළකීම සඳහා කථානායකවරයාට එරෙහිව අතුරු තහනම් නියෝගයක් පනවන තැනකට පවා ගියේය.
සිය නිල කාලය අවසන්වීමට ආසන්න අවසාන කාලයේදී අපකීර්තිමත් ඉතිහාසය වසා ගනිමින් මහජනයා අතර ජනප්‍රියභාවයක් දිනාගැනීම සඳහා නීතියට පටහැනි බැලූ බැල්මට පොදු මහජනතාවගේ හිත සුවයවේයැ”යි පෙනෙන ජනප්‍රිය නඩු තීන්දු ගණනාවක් ප්‍රකාශයට පත් කළේය. එල්ටීටීඊයට එරෙහිව යුද්ධයක් ආරම්භ කොට එය පවත්වාගෙනයමින් තිබෙන අවස්ථාවක ආරක්ෂාව සඳහා යොදා තිබෙන සියලු මාර්ග බාධක ඉවත් කරන ලෙස නියෝග කළේය. සැකකටයුතු පුද්ගලයන්ගේ නිවාස පරීක්ෂා කිරීමට කාලවේලාවක් නියම කළේය. හෙජින් ගිවිසුම දූෂිත ගනුදෙනුවක් බව ප්‍රකාශ කරමින් ගිවිසුමට තහනම් නියෝගයක් ලබාදෙන අතර, පෙට්‍රල් සඳහා තමන් නියම කළ මිල භාරගැනීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ විට හෙජින් ගිවිසුමට එරෙහිව නිකුත් කර තිබුණු තහනම් නියෝගය ඉවත් කරගනිමින් ඒ වෙනුවෙන් ඩොලර් මිලියන සිය ගණනක් විදේශීය බැංකුවලට ශ්‍රී ලංකාව වන්දි ගෙවිය යුතු තත්ත්වයක් ඇති කළේය.
විශ්‍රාම යෑමෙන් පසු තමන්ට අගමැති තනතුර හෝ ඒ හා සමාන උසස් තනතුරක් ලැබිය යුතුයැ”යි ඔහු විශ්වාස කළේය. ඊට ඉඩක් නැති බව තේරුම් ගත් විට දිගට හරහට ආණ්ඩුවට විරුද්ධව තීන්දු දෙන ප්‍රතිපත්තියක් මගින් විරුද්ධ පක්ෂ බලවේගයන්ගේ ආස්වාදයට හේතුවන වීරයෙකු බවට පත්විය. ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමේ ශක්තියක් ඇති පොදු අපේක්ෂකයා තමාය යන හැඟීමක් විරුද්ධ පක්ෂ ව්‍යාපාර තුළ ඔහු ඇතිකර තිබුණේය. එහෙත් ආණ්ඩුවට එරෙහිව දෙන නඩු තීන්දු මගින් කෙරෙන ආණ්ඩු විරෝධී අරගලය ඔහු අපේක්ෂා කළ තරමට දුරදිග ගෙනයෑමට ඔහුට හැකිවූයේ නැත. චන්ද්‍රිකා අවලංගු කළ ආකාරයට මහින්ද අවලංගු කිරීමට ඉඩක් නැති බව තේරුම් ගත් විට ඔහු සටන් කිරීම අතහැර පක්ෂපාතභාවය හා කීකරුභාවය ප්‍රදර්ශනය කරන්නට වූ අතර, ඔහු කෙරෙන් ප්‍රකාශ වූ වෙනස ඔහු කෙරෙහි බලාපොරොත්තු ඇති කරගෙන සිටි විරුද්ධ පක්ෂ බලවේගයන් අන්දමන්ද කිරීමට හේතුවිය.
දැන් ඔහුට විශ්‍රාම යන්නට සිදුවී තිබෙන්නේ ආරක්ෂාව සඳහා ලොකු තනතුරක් නැතිවය. පොදු අපේක්ෂකයා වීමේ සිහිනය ද අත්හරිමිනි. මින්පසු ඔහු චන්ද්‍රිකා මෙන් වටිනාකමක් නැති අවලංගු කාසියකි. නිල බලය යොදා ඔහු අතින් පීඩාවට ලක්වූ දහස් ගණනක් රටේ සිටිති. අගවිනිසුරුවරයාගේ ගම අවට එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම සඳහා වැලි හෑරූ මිනිසුන්ට පවා ඔහු සාධාරණ නඩු විභාගයකින් තොරව සිරදඬුවම් ලබාදී තිබේ. තමන්ගේ හිතවතුන්ට ලබාදෙන ලද නීතියට පටහැනි වාසිදායක තීන්දු නිසා දේපළ හා වටිනා ඉඩම් අහිමි කරගත් මිනිසුන් ද අසාධාරණයට ලක්වූවන් අතර සිටිති. තමන්ට පක්ෂපාත නැති නිසා සාධාරණ හේතු නැතිව අධිකරණ සේවයෙන් පලවා හැරීම නිසා ජීවිත කාලකණ්ණි කරගත් පිරිසක් ද ඔවුන් අතර සිටිති. මා හා අගවිනිසුරු අතර පැවති ගැටුම ප්‍රකට කරුණක් වීම නිසා අගවිනිසුරු අතින් අසාධාරණයට ලක්වන සමහරෙක් මා හමුවී ඔවුන්ගේ දුක්ගැනවිලි කියන සිරිතක් තිබුණේය.
ඔවුන් සමහරෙකුගෙන් අසන්නට ලැබුණු කථා ඉතාමත්ම අනුවේදනීය විය. මට ඔවුන් වෙනුවෙන් කරන්නට දෙයක් නොතිබුණි. ඔවුන්ට ද අසාධාරණකම් සිදුවී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවලින් වන නිසා ඒ සියලුදෙනාටද හඬා වැලපෙනවා හෝ සාප කරනවා හැරෙන්නට ඔවුන්ට වරදක් සිදුවී තිබුණේ නම් එම වරද නිවැරදි කරගැනීමට යන්නට තැනක් නොතිබුණි. මට අගවිනිසුරු සමග පැටලෙන්නට සිදුවූයේ මහේස්ත්රාත්වරයෙකු (ලෙනින් රත්නායක) තමන් ඉදිරියේ ඇසෙන නඩුවක රිමාන්ඩ් භාරයට පත්කර තිබූ වගඋත්තරකරුවකුගේ බිරිඳක් දූෂණය කිරීමේ සිද්ධියක් පිළිබඳව කරන ලද වාර්තාකරණයක් නිසාය. සිය බිරිඳ තමන්ගේ නඩුව අසන මහේස්ත්‍රාත්වරයා විසින් දූෂණය කර ඇති බව දැනගත් පසු රිමාන්ඩ් සිරකරුවා මහේස්ත්‍රාත්වරයාගෙන් පළිගත්තේ මහේස්ත්රාත්වරයාට සඟවාගෙන පැමිණි අසූචි පාර්සලයකින් පහරදීමෙනි. එහි ප්‍රතිඵලය වූයේ උසාවි සේවකයන් හා අසූචිවලින් පහර කනු ලැබූ මහේස්ත්‍රාත්වරයා එකට එකතු වී උසාවි භූමියේදීම පොලු මුගුරුවලින් සිරකරුවට ඔහුගේ අතපය කැඩෙන තෙක් පහරදීමය.
සිරකරුවා ප්‍රතිකාර පිණිස මහනුවර රෝහලට යවන ලදුව සිරකරුවා විසින් ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට පහරදීම කෙරෙහි බලපෑ පසුබිම් කථාව කියන ලදුව වෛද්‍යවරයා මේ සිද්ධිය සොයා බලන ලෙස ඒ කාලයේ තිබූ මානව හිමිකම් කොමිසමේ නුවර ශාඛාව වෙත පැමිණිලි කළේය. මානව හිමිකම් කොමිසමේ මහනුවර ශාඛාව සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළේය. ප්‍රතිකාර ලබන සිරකරුවාගෙන් කටඋත්තරයක් ලබාගැනීමෙන් පසු ඔහුගේ බිරිඳගෙන් ද කටඋත්තරයක් ලබාගත්තේය. මහේස්ත්‍රාත්වරයා ඇය රැගෙන ගොස් තිබුණු ගම්පොළ තානායමෙන් ද කරුණු පරීක්ෂා කරන ලදුව කාන්තාව කියන ඒ දිනයේදී මෙම මහේස්ත්‍රාත්වරයා පාවිච්චි කළ අංකය සහිත මෝටර් රථයෙන් කිසියම් පුද්ගලයෙකු කාන්තාවක් සමග තානායමේ රාත්‍රිය ගතකර ඇති බව සොයාගන්නා ලදි. මෙම පරීක්ෂකවරයා දූෂණයට ලක්වූ කාන්තාවගෙන් වැඩිදුර කරුණු විමසන අවස්ථාවකදී කොමිසමෙන් යුක්තිය ඉටුවීමට දීර්ඝ කාලයක් ගතවිය හැකි බැවින් යුක්තිය ඉටුකරවා ගැනීම ඉක්මන් කරවාගැනීමට අවශ්‍ය නම් රාවය කතුවරයා හමුවී සිදුවූ දේ කියන ලෙස ඇයට කියා තිබෙන අතර, ඇය මා හමුවීමට පැමිණියේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
මාගේ විස්මයට හේතුවූ ඇගේ එම කථාව ඇසීමෙන් පසු ඇය කියන කථාව හරියටම ඇත්තක්දැ”යි දැනගැනීම පිණිස ඇය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමකට ලක් කළෙමි. ඇගේ කථාව සත්‍යයක් බව තේරුම් ගැනීමෙන් පසු එම කථාව පුවත්පතේ පළ කළේ මහේස්ත්‍රාත්වරයාගෙන් ද කරන ලද කරුණු විමසීමකින් පසුව ඔහු ඒ ගැන කියන කතාව ද ඇතුළත් වන ආකාරයටය. මෙම කථාව මුල් පුවතක් වශයෙන් පළවීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා නීතිපති හමුවන්නට ගොස් ඔහුගෙන් උපදෙස් ලබාගත්තේය. එවකට නීතිපති ධුරය හොබවන ලද්දේ මෙම අගවිනිසුරුවරයාය. නීතිපති හා මහේස්ත්‍රාත් අතර ඥාති සම්බන්ධයක් ද, මිත්‍ර සම්බන්ධයක් ද තිබුණි. නීතිපති සිද්ධියේ ඇත්ත නැත්ත සොයා බලා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම පිණිස ක්‍රියාකරනවා වෙනුවට කළේ සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කිරීම සඳහා මට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස මහේස්ත්රාත්වරයාට උපදෙස් දීමය.
මේ අතර එම දූෂිත මහේස්ත්රාත්වරයාගේ පසුබිම් තොරතුරු සොයා බලන තැනකට මම ගියෙමි. ඔහු අධිකරණ සේවයට එන්නට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කර තිබුණු අතර, තෙවැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරීමේ සිද්ධියක් මත වැඩතහනම් කරන ලදුව විනය පරීක්ෂණයෙන් සියලු චෝදනාවලට වරදකරුවීමෙන් පසු ඔහු එම රැකියාවෙන් නෙරපා හැර තිබුණි. ඉන්පසු මට ඇතිවූ ප්රශ්නය වූයේ මුදල් වංචා චෝදනා මත සංස්ථා සේවයෙන් පලවා හරින ලද තක්කඩි පුද්ගලයෙකු සිය අපකීර්තිමත් ඉතිහාසය වසන් කරමින් අධිකරණ සේවයට එකතු වූයේ කෙසේද යන්නයි. ඒ සඳහා ඔහුට උදව් කර තිබූ බලවතුන් කවුදැ”යි සොයාගැනීමට හැකිවිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්රාත්වරයාගේ පැමිණිල්ල මත මගෙන් කටඋත්තරයක් ලබාගත්තේය. ස්ත්‍රී දූෂණ සිද්ධියට අදාළව එම කාන්තාවගෙන් අසන්නට ලැබුණු තතු විස්තර කරදී මෙම පුද්ගලයා මුදල් වංචා කිරීමේ සිද්ධියක් මත සංස්ථා සේවයෙන් පලවා හරින ලද පුද්ගලයෙකු බව කියා එම පරීක්ෂණයට අදාළ ලිපි ලේඛනවල පිටපත්ද දී මෙවැනි අපකීර්තිමත් ඉතිහාසයක් ඇති පුද්ගලයෙකු අධිකරණ සේවයට එකතු වූයේ කෙසේද යන ප්රශ්නය ද සොයා බලන ලෙස මම මගෙන් කටඋත්තරය ලබාගත් නිලධාරියාගෙන් ඉල්ලා සිටියෙමි.
ඔවුන් දූෂණයට ලක්වූ කාන්තාවගෙන් ද කටඋත්තරයක් ලබාගෙන රක්ෂණ සංස්ථා සිද්ධිය ගැන ද ඔවුන් සොයා බැලීමක් කළේය. පරීක්ෂණය අවසානයේදී වැඩිදුර උපදෙස් පතා පරීක්ෂණ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති වෙත යැව්වේය. නීතිපති මෙම වාර්තාවේ එන කරුණු අනුව මහේස්ත්රාත්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තැනකට යනවා වෙනුවට තම ඥාති මිත්‍රයා ආරක්ෂා කරනු පිණිස පරීක්ෂණ වාර්තාව යට ගසාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. නීතිපතිගේ මෙම ක්‍රියාකලාපය මාගේ පුදුමයට සේ ම පිළිකුලට ද හේතුවූ අතර, මා ඒ ගැන එවකට අධිකරණ ඇමතිව සිටි මහාචාර්ය ජී.එල්. පීරිස්ට පැමිණිලි කරන අතර, නීතිපති ද මෙම දූෂිත මහේස්ත්‍රාත්වරයා තරම්ම දූෂිත පුද්ගලයෙකු විය යුතුයැ”යි උපකල්පනය කරමින් නීතිපති පිළිබඳව කරුණු සොයා බලන තැනකට ගියෙමි. ඔහු පිළිබඳව වැදගත් තොරතුරු ගණනාවක් සොයාගැනීමට හැකිවූ අතර, එසේ සොයාගත් දේවල් අතර ඔහුගේ දූෂිත ස්වරූපය පෙන්නුම් කරන ප්‍රබල කථාවක් ද විය.
සරත් නන්ද සිල්වා අභියාචනාධිකරණයේ ප්‍රධානියා ලෙස ක්‍රියාකරමින් සිටියදී තමන්ගේ සමීප මිතුරකුගේ (රසායන ඉංජිනේරුවරයෙකුගේ) බිරිඳක් සමග අනියම් සම්බන්ධකමක් ඇතිකර ගනිමින් තමන් විවාහ වී සිටි බිරිඳගෙන් දික්කසාද නොවී සිය මිත්‍රයාගේ බිරිඳ සමග සිය නිවසේ එකට ජීවත් විය. මෙය රසායන ඉංජිනේරුවා කම්පාවට පත් කළ සිද්ධියක් වී ඔහු මෙම ප්රශ්නය බේරුම් කරගැනීමට දරන ලද සියලු උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු සිය විවාහක බිරිඳ හා අභියාචනාධිකරණයේ සභාපති සම වගඋත්තරකරුවන් කරමින් ඔවුන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීය. සිය බිරිඳ සරත් නන්ද සිල්වා සමග ගතකරන අනාචාර ජීවිතය සලකා සිය විවාහය විසුරුවා හරින ලෙසත්, සරත් නන්ද සිල්වාගේ ක්‍රියාකලාපය නිසා පවුල් ජීවිතය අවුල්වීමෙන් තමන්ට සිදුවී තිබෙන අලාභය වෙනුවෙන් ඔහුගෙන් රුපියල් 50 ලක්ෂයක වන්දියක් අයකර දෙන ලෙසත් ඔහු එම නඩුවෙන් ඉල්ලා තිබුණි.
මෙම නඩුව විභාග කළ දිසා විනිසුරුවරයා ක්‍රියා කළේ නීතියට අනුකූලව නොව, අභියාචනාධිකරණයේ ප්‍රධානියා අතින් නැටවෙන රූකඩයක් ලෙසය. පළමු නඩු පැවරීමේදී පැමිණිල්ලෙන් කරන කිසිදු කරුණක් විමසීමකින් තොරව උපාලි අබේරත්න දිසා විනිසුරුවරයා පැමිණිල්ල ඉවත දැමුවේය. තමන්ගේ පැමිණිල්ලට කුමක්වීද යන්න නොදත් රසායන ඉංජිනේරුවා නැවත අලුතෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එහිදී විනිසුරුවරයා පැමිණිල්ලෙන් කරන කරුණු විමසීමකින් තොරව අභියාචනාධිකරණයේ සභාපති වගඋත්තරකාර තත්ත්වයෙන් ඉවත් කරන නියෝගයක් පනවා ඔහු සමග අනාචාරයේ ජීවත් වූ කාන්තාවට පමණක් සිතාසි නිකුත් කළේය. එම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ ලබා නොදීම සඳහා තමන් විසින් දෙන ලද නියෝගයට පැමිණිලි පාර්ශ්වයට ලබාගත නොහැකි තත්ත්වයක් පවත්වාගෙන ගියේය. මෙම නඩුව සමතයකට පත්කර ගන්නා ලෙස උපාලි අබේරත්න විනිසුරුවරයා පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේය.
රසායන ඉංජිනේරුවරයා ඊට එකඟ නොවූ විට විනිසුරු කළේ සරත් නන්ද සිල්වා සමග අපචාර ජීවිතයක් ගෙවමින් සිටි කාන්තාවට රුපියල් දස දහසක මාසික නඩත්තු ගාස්තුවක් හා රුපියල් 50,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසට රසායන ඉංජිනේරුවාට නියෝග කිරීමය. මෙම නීති විරෝධී නියෝගයට එරෙහිව රසායන ඉංජිනේරුවාගේ නීතිඥයා සංශෝධනයක් ගොනු කළත්, විනිසුරුවරයා එය සලකා බැලුවේ නැත. ඒ වෙනුවට වගඋත්තරකාර කාන්තාව ඉදිරිපත් කර තිබූ හිමිකම් චෝදනාවක් විභාගයට ගෙන නඩත්තු ගාස්තු වශයෙන් රුපියල් දස ලක්ෂයක වන්දියක් ඇයට ගෙවන ලෙස රසායන ඉංජිනේරුවාට නියම කළේය. උපාලි අබේරත්න දිසා විනිසුරුවරයාගේ මෙම නීති විරෝධී තීන්දු දෙකට එරෙහිව රසායන ඉංජිනේරුවා අභියාචනාධිකරණය වෙත පෙත්සම් දෙකක් ගොනු කළේය. එම පෙත්සම් දෙක ඉවත් නොකරගන්නේ නම්, නියමකර තිබෙන රුපියල් දශ ලක්ෂයේ වන්දිය අයකර ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීම සඳහා ක්‍රියාකරන බවට ප්රතිපක්ෂයේ නිීතිඥයන් රසායන ඉංජිනේරුවාට දැනුම් දුන්නේය.
තම දරු දෙදෙනා සමග තමන් ජීවත් වන නිවස පවරා ගැනීමෙන් සිදුවිය හැකි ලැජ්ජාව සලකා රසායන ඉංජිනේරුවා එම පෙත්සම් දෙක ඉවත් කර ගත්තේය. ඉන්පසු රසායන ඉංජිනේරුවා දිසා විනිසුරුවරයාගෙන් නීති විරෝධී ක්‍රියාකලාපය ගැන අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළේය. එහිදී අධිකරණ සේවා කොමිසම සමන්විත වූයේ එවකට අගවිනිසුරුවරයාව සිටි ජී.පී.එස්. ද සිල්වා හා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනා වී සිටි තිස්ස බණ්ඩාරනායකගෙන් හා මාක් ප්රනාන්දුගෙනි. අගවිනිසුරුවරයා ඒ ගැන පරීක්ෂණයක් කිරීමේ වගකීම තිස්ස බණ්ඩාරනායක හා මාක් ප්‍රනාන්දු යන විනිසුරුවරුන් දෙදෙනා වෙත භාර කළේය. ඒ දෙදෙනා පැමිණිල්ල ගැන පරීක්ෂණයක් ආරම්භ කොට දිසා විනිසුරු උපාලි අබේරත්නගෙන් ද නිදහසට කරුණු ලබාගත්තේය. පරීක්ෂණයෙන් දිසා විනිසුරු වරදකරු කොට චෝදනා පත්‍රයක් ද කෙටුම්පත් කොට ඔහුට එරෙහිව ක්‍රියාකිරීම සඳහා කොමිසම එම ලිපිගොනුව නීතිපති වෙත යැවීය.
සරත් නන්ද සිල්වා නීතිපති ධුරයට ඒමෙන් පසු තමන්ගේ නඩුව තමන්ගේ වාසියට විමසූ දිසා විනිසුරුවරයාගේ ආරක්ෂාව පිණිස ඉදිරි පරීක්ෂණ ලිපිගොනුව යට ගැසුවේය. විස්තරාත්මකව රාවයේ පළ කරන ලද මෙම අනුවේදනීය කතා පුවත නීති සමාජය තුළ බලවත් කම්පනයක් ඇති කිරීමට හේතුවිය. මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට, දිසා විනිසුරු උපාලි අබේරත්නට හා නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව රාවය දිගින් දිගට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් කුමක් කළයුතුද යන්න තීරණය කිරීම සඳහා නීතිඥ සංගමය නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ විශේෂ සම්මේලනයක් කැඳවීය. මෙම විශේෂ රැස්වීම පවත්වන ලද්දේ අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිවසේය. දිසා විනිසුරු උපාලි අබේරත්නට හා මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට එරෙහිව රාවය කරන චෝදනා අධිකරණ සේවා කොමිසම විභාග කළයුතු බවත්, රාවය නගන චෝදනා සත්‍ය නොවේ නම්, රාවයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගතයුතු බවටත් විනිසුරුවරුන් දෙදෙනාගේ පරීක්ෂණ අවසන්වීමෙන් පසු ඇතිවන තත්ත්වයක් තුළ නීතිපති සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ප්‍රතිපත්තිය තීන්දු කළයුතු බවටත් තීරණය කරන ලදි.
සභාපතිවරුන්ගේ සම්මේලනය තමන් ගනු ලැබූ තීරණයන්, අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා වෙත දැනුම් දෙන ලද අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට හා දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව රාවය නගන චෝදනා පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත් කරන ලදි. මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක පිළිබඳ පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ හෙක්ටර් යාපා, අශෝකා ද සිල්වා, ටී.බී. වීරසුරිය යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙනි. දිසා විනිසුරු උපාලි අබේරත්න පිළිබඳ පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අමීර් ඉස්මයිල්, හෙක්ටර් යාපා, පී එදිස්සූරිය යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙනි. පරීක්ෂණ කමිටු දෙක වෙන් වෙන්ව කරුණු පරීක්ෂා කර බලා මෙම අධිකරණ නිලධාරීන් දෙදෙනාට එරෙහිව රාවය නගන ලද ප්‍රසිද්ධ චෝදනාවලට ඔවුන් වරදකරුවන් බව තීරණය කළේය.
එම තීරණය ප්‍රකාශවීමෙන් පසු මම කළේ ලෙනින් රත්නායක පරීක්ෂණයේදී නීතිපති වශයෙන් නීතිපති අනුගමනය කළ අසාධාරණ හා නීතියට පටහැනි පිළිවෙත ගැන ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමය. රසායන ඉංජිනේරුවා තමන් විසින් පවරන ලද නඩුව පදනම් කොටගෙන නීතිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය රැස්වී මෙම පැමිණිලි දෙක සලකා බලා පැමිණිලි දෙක පරීක්ෂා කිරීමට තීරණය කළේය. එම පරීක්ෂණ දෙක භාරව ක්‍රියාකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ද පත් කරන ලද අතර, පරීක්ෂණ දෙකේ සුපරීක්ෂකයා වශයෙන් ක්‍රියාකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය මාක් ප්‍රනාන්දු පත් කළේය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගවිනිසුරු ජී.පී.ඇස්. ද සිල්වා මහතා විශ්‍රාම යෑමෙන් පසු එම තනතුරට නීතිපති ධුරයේ සිටි සරත් නන්ද සිල්වා මහතා පත් කළේ ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණ දෙකක් ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබූ අවස්ථාවකය.
සරත් නන්ද සිල්වාට අත්වන්නට නියමිතව තිබූ අවාසනාවන්ත ඉරණමෙන් ඔහු බේරාගැනීමට ජනාධිපතිනිය සමත් වුවත් ඒ වෙනුවෙන් පොදුවේ රටට පමණක් නොව, ඇයට ද විශාල වන්දියක් ගෙවන්නට සිදුවිය. අධිකරණ සේවා කොමිසම විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක සියලු චෝදනාවලට වරදකරු කිරීමෙන් පසුත්, අගවිනිසුරු ධුරයට පත් සරත් නන්ද සිල්වා එම දූෂිත පුද්ගලයා තවදුරටත් අධිකරණ සේවයේ තබාගැනීමට උපරිම ලෙස උත්සාහ කළේය. එය වැළකුණේ අධිකරණ සේවා කොමිසමේ එක් සාමාජිකයකු (එදිස්සූරිය) අනුගමනය කළ දැඩි ප්‍රතිපත්තිය නිසාය. එහෙත් තමන්ගේ අනාචාර නඩුව තමන්ට අවශ්‍ය ලෙස විභාග කළ දිසා විනිසුරුවරයා ආරක්ෂා කරගැනීමට අගවිනිසුරුවරයා සමත් විය. පළමුවෙන් තීරණය වී තිබුණේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු සේවයෙන් විශ්‍රාම ගැන්වීමය. ඉන්පසු එම තීරණය වෙනස් කොට අවුරුදු දෙකක කාලයක් සඳහා උසස්වීම් අත්හිටුවා මොනරාගලට දඬුවම් මාරුවක් ලබාදෙන ලදි.
දඬුවම් කාලය ඉකුත් වන්නට පෙර අගවිනිසුරුවරයා ඔහුට උසස්වීමක් ලබාදෙන ලද අතර, අද ඔහු ඉන්නේ අභියාචනාධිකරණයේය. ඔහුගේ සේවය අවසන් වනු ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. ගරු කටයුතු හා පූජනීය තැනක් ලෙස සැලකෙන අධිකරණය තිබෙන්නේ කොතරම් අවාසනාවන්ත තැනකද? මෙම අවාසනාවන්ත තත්ත්වය අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින් ඇති කරන ලද තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිවුවත්, අධිකරණයේ පැවති දූෂිතභාවය අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින් උපරිම ත්තත්වයකට ගෙනාවේයැ”යි කිව හැකිය.
Editors Note
Sarath Nanda Silva was Chief Justice from 1999 to 6 June 2009. The impeachment motions
against him were brought in 2001 and 2003. This article is continued the following week in
‘අගවිනිසුරුට ප්‍රීතිමත් විශ්‍රාම ජීවිතයකට සුබ පතමු’.