මා පසුගිය දිනක එජාපය තුළ කිසියම් ප්‍රමාණයකට කැපී පෙනෙන තත්ත්වයක් හිමි කරගෙන සිටින එහෙත් එම පක්ෂය තුළම විවාදයට හේතුවී සිටින උගත් පුද්ගලයකු සමග දුරකතනයෙන් කරන ලද සාකච්ඡාවකදී ඔහුගෙන් මෙසේ අසා සිටියෙමි.
“ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ටීටීඊයට එරෙහිව කරන ලද යුද්ධයේදී යූඑන්පීය යුද්ධයට අවහිර කරන තැනකට නොගොස් විවේචනාත්මකව සහාය දෙන තැනකට ගියේ නම් ජනාධිපතිවරයාගේ පාලන ස්වභාවය මීට වඩා මටසිලුටු වී එජාපයට මහජනයා අතර තිබෙන පිළිගැනීම මීට වඩා ශක්තිමත් වන්නට ඉඩ තිබුණා නොවේද?”
මොනම ප්‍රශ්නයක්වත් සන්සුන්ව ගැඹුරින් හා විශ්ලේෂණාත්මකව සලකා බලන දේශපාලන සංස්කෘතියක් එජාපයේ පමණක් නොව, ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් තුළ නැතිය යන්න ඔහු ඊට දෙන ලද පිළිතුර විය. ඔහු කී දෙය සත්‍යයකි.
ශාස්ත්‍රීය දුගීභාවය
ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනත් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ජේ.ආර්. ජයවර්ධන ඉහළ අධිකරණයට විනිශ්චයකරුවන් පත් කළ ආකාරය ගැනත් ලියන ලද විශ්ලේෂණාත්මක ප්‍රකාශන දෙක හැරුණු විට පසුගිය දශක තුනකට වැඩි කාලය තුළ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය තුළ සිටින මොනම පක්ෂයක් වෙතින්වත් ශ්‍රී ලංකාවේ මොනම ප්‍රශ්නයක් ගැනවත්ගැඹුරු විශ්ලේෂණයක් සහිත එකම ප්‍රකාශනයක්වත් පළවී නැතැ”යි කිව හැකිය.
දේශපාලන තලයේ ඇතිවී තිබෙන මෙම ශාස්ත්‍රීය පරිහානිය දැක්වීම සඳහා ඉදිරිපත් කළ හැකි නිදර්ශනයක් මෙසේය. ජනතා විමුක්ති පෙරමුණෙන් උගත් නාමධාරී හිටපු නායකයෙක් 1980 ගණන් මුලදී විජේවීරගේද අනුමැතිය හා අනුග්‍රහය ඇතිව ජනවර්ග ප්‍රශ්නය පිළිබඳ න්‍යායික විග්‍රහයක් ඇතුළත් පොත් පිංචක් පළ කළේය. බැලූ බැල්මට එය හරබර ලේඛනයක් විය. එහෙත් ඒ ගැන වැඩිදුර සොයා බැලීමේදී ලෙනින්ගේ රචනා කිහිපයක් එකට පූට්ටු කොට ව්‍යාජ ලෙස ලියන ලද්දක් බව සොයාගත හැකිවිය. වෙනසකට තිබුණේ ලෙනින්ගේ රචනාවලට ඇතුළත් රුසියන් දේශපාලනඥයන්ගේ නම් ඉවත් කොට ඒ වෙනුවට ලංකාවේ දේශපාලනඥයන්ගේ නම් ඇතුළත් කර තිබීම පමණය. මා ඒ ගැන පුවත්පතකට ලියන ලද විචාරයක් සමසමාජ පක්ෂය පොත් පිංචක් වශයෙන් පළ කළේය.
මේ බොරුව සොයාගත් විට මා තුළ කෝපයකට වඩා ඇතිවූයේ සංවේගයකි. පොත ලියා පළ කරන ලද පුද්ගලයා දෙවැනි වූයේ විජේවීරට පමණය. පොත පළකර තිබුණේ විජේවීරගේ දැනුම හා අනුග්‍රහය ඇතිව ජනතා විමුක්ති පෙරමුණේ විශ්ලේෂණයක් ලෙසය. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පමණක් නොව, විප්ලවකාරී දේශපාලන පක්ෂ පවා ශාස්ත්‍රීය දැනුමේදී පෙන්නුම් කරන දූෂිත හා බංකොළොත් ස්වරූපයේ තරම ඉන් පෙන්නුම් කරන්නේයැ”යි සිතමි.
සිතුවිලි ගබඩාවක් ඇති එකුදු දේශපාලන පක්ෂයක්වත් රටේ නැත. එකුදු දේශපාලන පක්ෂයක් තුළවත් ශාස්ත්‍රීය සංවාද නැත. දේශපාලන පක්ෂ වෙතින් විශ්ලේෂණාත්මක විග්‍රහයක් අසන්නට ලැබෙන්නේම නැති තරම්ය. මෙම ශාස්ත්‍රීය බංකොළොත්භාවය සිංහල දේශපාලන පක්ෂවලට පමණක් සීමාවී නැති අතර, දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ තුළද දක්නට තිබෙන පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. අතීතයේ පාර්ලිමේන්තු හෑන්සාඩ් වාර්තා එකතු කරන අය සිටියෝය. පාර්ලිමේන්තුවේ කැරෙන හරබර වාද විවාද සමාජ චින්තනය පෝෂණය කළේය. විජේවීර හා ප්‍රභාකරන්ට තමන්ගේ කැරලිකාර ක්‍රියාමාර්ගයට තරුණ තරුණියන් පොළඹවා ගැනීමේ මනා හැකියාවක් තිබුණද ඒවා අවසානයේ ඇති කරන්නට යන ප්‍රතිඵල මොනවාදැ“යි කල් තියා දැක්මේ හැකියාවක් නොතිබුණි. දෙමළ ඊලමක් පිළිබඳ අදහස දෙමළ තරුණ පරපුරට කියා දුන්නෝ සාම්ප්‍රදායික දෙමළ නායකයෝය. අවසානයේ එය දෙමළ ජනතාව කෙරෙහි පමණක් නොව, තමන්ගේ ජීවිත කෙරෙහි පවා බලපාන ආකාරය කල්තියා දැකීමේ හැකියාවක් එම සාම්ප්‍රදායික දෙමළ නායකයන්ට නොතිබුණේය. අවසානයේදී ඔවුන්ට මියයන්නට සිදුවූයේද ඊලමක් සඳහා ආයුධ අතට ගත් එම තරුණ පරපුර අතිනි. ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, සිරිමා බණ්ඩාරනායක වැනි සිංහල නායකයන් ද තාවකාලික වාසිය පිණිස වර්ගවාදය ආයුධයක් කරගන්නා විට එය ඇති කරන්නට යන විනාශය කල්තියා දැකීමට අසමත් වූහ. අවසානයේදී ඒ සියලුදෙනා ඉතිහාසයට එකතු වනු ඇත්තේ රට ලේ විලක් බවට පත්කිරීමට දායක වූ අඥාන හා අවස්ථාවාදී නායකයන් ලෙසය.
මෙම ශාස්ත්‍රීය දුගීභාවය දේශපාලන විචාරකයන් තුළද නොමඳව දැකිය හැකි ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. මතුපිටට සීමාවූ සරල විචාර මිස බුද්ධිය අවදිකරන විචාර දකින්නට ලැබෙන්නේම නැති තරම්ය. බොහෝ ආණ්ඩු විරෝධී දේශපාලන විචාරකයන්ගේ ජනප්‍රියම හා එකම මාතෘකාව වී ඇත්තේ රාජපක්ෂ පවුලය. ඔවුහු භ්‍රමණය වන්නෝ රාජපක්ෂ පවුල නමැති සූර්යයා වටාය. රාජපක්ෂ පවුල විවේචනයට හා විචාරයට ලක්විය යුතුය. එහෙත් එය අලුතෙන් පහළ වූ ප්‍රපංචයක් ලෙස සැලකීම වැරදිය. මීට පෙර බලයේ සිටි නායකයෝද පවුල ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ තරකරන පිළිවෙතක් අනුගමනය කළෝය. අතීත නායකයන් කළ වරදක් අනුප්‍රාප්තිකයන් ද පවත්වාගෙන යෑම යුක්තිසහගතවන්නේ නැත. එහෙත් දේශපාලනයේ ඥාති සංග්‍රහය හෝ මිත්‍ර සංග්‍රහය මැජික් බලයෙන් නැති කළ නොහැකිය.
පාක්ෂිකයන් රැවටීම
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ මහජනයා බලයට පත් කළ ආණ්ඩුවක් ඊට පසු දිනම පෙරළා දමන්නට සිහින දකින පක්ෂයක් ප්‍රඥාවන්ත පක්ෂයක් ලෙස සැලකිය නොහැකිය. එය පුද්ගලයන්ටද ඒ ආකාරයටම ආදේශ කළ හැකිය. අපි ඉක්මනින් ආණ්ඩුවක් පෙරළා දමා අපේ ආණ්ඩුවක් ඇති කරගනිමුයි කියන අදහස පාක්ෂිකයන් තුළ තාවකාලික උද්යෝගයක් ඇති කිරීමට හේතුවිය හැකි වුවත් එය දීර්ඝකාලීන අර්ථයෙන් විනාශකාරී ප්‍රතිඵල ඇති කළ හැකිය. ඉක්මන් ආණ්ඩු පෙරළියක් ගැන සිහින දකින පාක්ෂිකයා තුළ ඒ දේ එසේ සිදු නොවන විට කලකිරීමක් ඇති විය හැකිය. ඒ කලකිරීම ඔහු අක්‍රිය පුද්ගලයකු බවට පත්කිරීමට හේතුවිය හැකිය. වියයුතු හරි දේ වනුයේ පරාජයකින් පසුව පාක්ෂිකයා හරි විදියට දැනුවත් කිරීමය. මහජනයා විසින් අප පරාජය කර ඇති නිසා ජයග්‍රාහකයාට කලක් ආණ්ඩු කරන්නට ඉඩදී ආණ්ඩුව අතින් සිදුවන වැරදි ප්‍රයෝජනයට ගනිමින් නැවත ශක්තිමත්වීමේ වැදගත්කම ඔවුන්ට කියා දිය යුතුය.
එජාපය 2005 මැතිවරණය ගැන පූර්ණ බලාපොරොත්තු ඇතිව සිටියේය. නැවත තම පක්ෂයට රාජ්‍ය බලය ලැබෙන මැතිවරණය එය වන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබුණි. ප්‍රතිපක්ෂය තරග බිමට ආවේ අලුත් අශ්වයකු සමගය. එජාප තරග බිමට ගියේ ප්‍රතිපක්ෂයේ තම අශ්වයාට ගැළපෙන අලුත් අශ්වයකු සමග නොව, සුපුරුදු පරණ අශ්වයා සමගය. අලුත් අශ්වයා උපරිම උද්යෝගයකින් හැල්මේ දුවන විට එජාපයේ පරණ අශ්වයා ඒ සමාන උද්යෝගයකින් දුවන්නට අසමත් විය. අවසානයේ අලුත් අශ්වයා ළඟ ළඟ තරගයකින් ජයගත්තේය. ප්‍රභාකරන් එහිදී අනුගමනය කළ පිළිවෙතද එජාප ලැබූ පරාජය කෙරෙහි බලපෑවේය.
එජාපය පරාජය වූයේ ළඟ ළඟ තරගයකින් වන නිසාත්, පූර්ණ විශ්වාසය තබාගෙන සිටියේ ජයග්‍රහණයන් ගැන වන නිසාත්, ඒ නිසා පාක්ෂිකයන් තුළ ඇතිවන කඩා වැටීම වළකා ගන්නට එය උත්සාහ කළේ ඉක්මන් ආණ්ඩු පෙරළියක් ගැන පාක්ෂිකයන් තුළ බොරු බලාපොරොත්තු ඇති කිරීමෙනි. ආණ්ඩුව යුද්ධය අනාගනු ඇතැ”යි ද, සමහරවිට යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇතිවී ඒ නිසා ඉක්මන් ආණ්ඩු පෙරළියක් ඇති කිරීමට හේතුවනු ඇතැ”යි ද විශ්වාස කරමින් දැඩි යුද විරෝධී ප්‍රතිපත්තියක් වෙත තල්ලු විය.
එයින් පෙනෙන්නේ සිදුවෙමින් තිබුණු යුද්ධය ගැන හරි තක්සේරුවක් එජාපයට නොතිබුණු බවය. විශ්ලේෂණාත්මකව කරුණු දකින්නට දරන උත්සාහයක් තුළ ඇතිවන ප්‍රතිඵලය කල්තියා දකින්නට එම පක්ෂය බුද්ධිමය හා ශාස්ත්‍රීය උත්සාහයක යෙදී නැති බවය. එක්සත් ජාතික පක්ෂය එහිදී පවත්වාගෙන ගිය දැඩි යුද විරෝධී පිළිවෙත සමහර එජාපයට හිතවත් ජනතාව අතරද පක්ෂය පිළිබඳව කලකිරීමක් ඇති කරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කළේය. එය එම පක්ෂයේ ජනපදනම දුර්වල කළේය.
මැතිවරණයකදී, තරගය ළඟ තරගයක් වී, ඒ ළඟ ළඟ තරගයෙන් පරාජය ලබන පක්ෂය ප්‍රතිපක්ෂය ලැබූ ජයග්‍රහණය බාරගැනීම ප්‍රතික්ෂේප කරයි නම් එය ඉතා නරක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පැවතිය හැක්කේ මැතිවරණ තරගයකදී පරාජය ලබන පිල පරාජය භාරගන්නේ නම් පමණය. එසේ නොවුවහොත් සමහරවිට සිවිල් යුද්ධ තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් තුළ තිබිය යුතු ඒ සංයමය එජාපයට නොතිබුණේය.
යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට තිබෙන මහජන පිළිගැනීම ශක්තිමත් කළේය. දෙවැනි ජනාධිපතිවරණයේදී මොනම ජගතකුටවත් ඔහු පරාජය කිරීමේ හැකියාවක් නොතිබුණි. නගරයේ කැරෙන උණුසුම් කතාබහ නිසා මාද මුලදී සිතා සිටියේ ළඟ ළඟ තරගයකින් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරනු ඇති බවය. එහෙත් හැඟීම්බර නොවී කරුණු සලකා බැලූ විට මට පෙනී ගියේ ඔහු ලබන ජයග්‍රහණය දැවැන්ත ජයග්‍රහණයක් වනු නොවැළැක්විය හැකි බවය. නගරවල මහින්ද විරෝධී ඝෝෂාවක් තිබුණද ගම්වල තිබුණේ මහින්ද රාජපක්ෂට දැඩි පක්ෂපාත ආකල්පයකි.
එම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ අතිවිශාල ජයග්‍රහණයක් ලබාගත්තත් එය ජයග්‍රහණයක් ලෙස පිළිගන්නට විරුද්ධ පක්ෂය කැමති නොවීය. වෙබ් අඩවිවල නිර්මාණය කළ විවිධ කතා පළවිය. මැතිවරණ කොමසාරිස්වරයාගේ හැසිරීමද සැකයට හේතුවී තිබුණි. අවසානයේ එය පරිගණක වංචාවක් ලෙස අර්ථ ගැන්විණ.
මට මෙම අර්ථකථනයේ ඇත්ත සොයන්නට අවශ්‍ය වී ගණන් ගැනීමේ මධ්‍යස්ථානවලින් ගණන් ගැනීමේ අවස්ථාවට සහභාගි වූ දේශපාලන පක්ෂ නියෝජිතයන් වෙත ලබාදෙන ලද ප්‍රතිඵල ලේඛන සැලකිය යුතු ගණනක් ලබාගෙන විමර්ශනය කළෙමි. මා ලබාගත් ප්‍රතිඵල ලේඛනවලින් සැලකිය යුතු කොටසක් ලබාගත්තේ ප්‍රාදේශීය මට්ටමෙන් ඡන්ද ගණන් ගැනීමේ ක්‍රියාවලියට සහභාගි වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය නායකයන්ගෙන් නොව විරුද්ධ පක්ෂයේ ප්‍රාදේශීය නායකයන්ගෙනි. එය නියැදි පරීක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ප්‍රාදේශීය ප්‍රතිඵල ලේඛන, මැතිවරණ දෙපාර්තමේන්තුවට නිකුත් කළ ප්‍රතිඵල ලේඛන සමග හොඳින් ගැළපුණි.
ප්‍රාදේශීය මට්ටමින් ප්‍රතිඵල ගණන් කැරුණේ විරුද්ධ පක්ෂ අපේක්ෂකයාගේ ප්‍රාදේශීය නියෝජිතයන් ඉදිරියේය. එහිදී සකස් කරන ලද ප්‍රතිඵල ලේඛනයේ පිටපත් ඔවුන්ටද ලබාදී තිබුණි. ඔවුන් ඒවා සිය නිවෙස්වලට රැගෙන ගොස් තිබුණි. ජාතික ප්‍රතිඵලය සකස් වූයේ කොළඹට යවන එම ප්‍රාදේශීය ප්‍රතිඵල ලේඛන ආශ්‍රයෙනි. කොම්පියුටර් ජිල්මාට්ටුවක් සිදුවී ඇත්නම් ලොකු පරීක්ෂණයකින් තොරව ප්‍රාදේශීය ප්‍රතිඵල ලේඛන ආශ්‍රයෙන් පමණක් ඒ බව සනාථ කළ හැකිය. රාජපක්ෂ විරෝධී දේශපාලන විචාරකයන්ද සාධාරණ කරුණු සොයා බැලීමකින් තොරව මේ බොරුව වර්ණවත් කොට එය වැපිරුවේය. විශාල මැතිවරණ පරාජයකින් පසුත් බොරුව මත පදනම් වී රජය අස්ථාවර කිරීම ඒ සියලුදෙනාගේ අරමුණ වූ බව පෙනෙන්නට තිබේ.
මහජනයා දෙන ලද තීන්දුවක් බොරුව මත පදනම් වී නිෂ්ප්‍රභ කිරීමට වෙර දැරීම මහජනයාට කරන බලවත් වරදකි. එය ද ඡන්දය මංකොල්ලයක් බවට පත්කර ගැනීමට දරන ලද වියරු උත්සාහයක් ලෙස ද සැලකිය හැකිය.
මා මින් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ විරුද්ධ පක්ෂයේ අසාර්ථකභාවය කෙරෙහි, ඇත්ත කරුණු මත පදනම් නොවී නිර්මාණය කළ බොරු කරුණු මත පදනම් වී ක්‍රියාකිරීමේ සාධකයද වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව පෙන්වාදීම සඳහාය.
බොරු සීයක් කියනවාට වඩා එක ඇත්තක් බලවත්ය. බොරුව මත පදනම් වී කිසිම හොඳ දෙයක් ඇති කළ නොහැකිය.
විරුද්ධ පක්ෂ හා දේශපාලන විචාරකයන් රාජපක්ෂ පාලනය ගැන කරන විවේචනයන් තුළද ඒ ලක්ෂණය දැකිය හැකිය. රාජපක්ෂ පාලනය බොහෝ කොට එක පවුලකට බර තබා ක්‍රියාකරන පාලනයක් බව විරුද්ධ පක්ෂය කියන විට එය වැරදි නැත. එය බැලූ බැල්මට වුවත් පෙනෙන්නට තිබෙන තත්ත්වයකි. එක පවුලකට බර තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියක් යහපත් වන්නේද නැත. එහෙත් මේ ක්‍රමය රාජපක්ෂ පාලනයට පමණක් සීමාවූ දෙයක් ලෙස සැලකිය නොහැකිය. එක්සත් ජාතික පක්ෂය තුළද ඒ සමාන තත්ත්වයක් අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක විය. ඩී.එස්. සේනානායක ආණ්ඩුව හැඳින්වූයේද මාමා බැණාලාගේ ආණ්ඩුව වශයෙනි. වෙනසකට තිබෙන්නේ රාජපක්ෂ තනි පවුලකට සීමා වන විට එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ පවුල පවුල් කල්ලි ගණනාවකින් සමන්විත ලොකු පවුලක් වීමය. චන්ද්‍රිකා කුමාරතුංග යුගයේ පවුලට බර තබන ප්‍රතිපත්තියක් පෙනෙන්නට තිබුණේ නැතත්, සිරිමා බණ්ඩාරනායක පාලන යුගයේදී පවුලට බර තබන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය. සමහර නායකයන් ඥාතීන්ට කැමති නැත. වඩා කැමති මිත්‍රයන්ටය. එවැනි අයකු පාලකයා වූ විට පුද්ගලික මිත්‍රයන්ට බර තබන ආණ්ඩුවක් ඇතිවිය හැකිය.
තමන් තෝරාගත් කණ්ඩායමක් සමග වෙනුවට ලැබෙන කණ්ඩායමක් සමග වැඩ කරන්නට සිදුවන නායකයන් බොහෝවිට කණ්ඩායම සමග ප්‍රශ්න ඇතිකර ගත්තේය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට වැඩ කරන්නට සිදුවූයේ සිය පූර්වගාමියාගේ කණ්ඩායම සමගය. අගමැති ප්‍රේමදාස හා ජේ.ආර්. ජයවර්ධන අතර ප්‍රශ්න ඇති බව තේරුම් ගත් විට ජේ.ආර්. ජයවර්ධනගේ සමහර ඇමතිවරු සිය පැවැත්ම සඳහා අගමැති ගණන් නොගන්නා තත්ත්වයකින් ක්‍රියා කළෝය. ඒ නිසා ප්‍රේමදාස ජනාධිපති වූ විට ඔවුන් කෙරෙහි විශ්වාසය නොතැබීය. ප්‍රේමදාස ප්‍රඥාවන්ත නායකයකු නම් බොහෝවිට ඒ සියලුදෙනා තමාට එසේ කළේ ඔවුන් තමන්ට අකමැති නිසා නොව, ඔවුන්ගේ පැවැත්ම සඳහා බව තේරුම් ගනිමින් ඔවුන් සමග වැඩ කරන තැනකට ගියේ නම් ඒ සියලුදෙනා ජනාධිපති ප්‍රේමදාස කෙරෙහි විශ්වාසයෙන් ක්‍රියාකරන පිරිසක් බවට පත්වන්නට ඉඩ තිබුණි. ප්‍රේමදාස ජනාධිපතිවරයා, ගාමිණී දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි ගැන ජනපති ජයවර්ධන යුගයේදී ඇති කරගෙන තිබුණු හැඟීම්වලින් ඉවත් වී ඔවුන් සමග එක්ව වැඩ කරන තැනකට ගියේ නම් සමහරවිට එම නායකයන් තිදෙනා අද දක්වා ජීවත් වන්නට ඉඩ තිබුණා සේ ම තවත් සමහරවිට ආණ්ඩු වෙනසක් නොවී අද දක්වා එජාප පාලන බලයේ ඉන්නටද ඉඩ තිබුණි.
මම මෙම ප්‍රශ්නය ලලිත් ඇතුලත්මුදලි සමග කතා කර ඇත්තෙමි. ඔහුද ගාමිණී දිසානායක මෙන් මම මේ රටේ නායකයා වෙමියි කියා සිහින දකින තැනක සිටි නායකයෙකි. ඒ සඳහා අවශ්‍ය කරන පරිණතභාවය සේ ම අනාගත ශ්‍රී ලංකාවක් සඳහා වන ප්‍රායෝගික දැක්මක්ද ඔහුට තිබුණේය. දෘෂ්ටිමය වශයෙන් ගත් විට ලලිත් වාමාංශිකයකු නොවූවද බහුශ්‍රුතභාවයේදී ඉක්මනින් කරුණු තේරුම් ගැනීමේ හැකියාවේදී ඔහු නූතන දේශපාලන නායකයන් අතරින් දෙවැනි වූයේ එන්.එම්. පෙරේරාට පමණය. ජේ.ආර්. ජයවර්ධනගෙන් පසු ඊළඟ නායකත්වය තමාට ලැබිය යුතුයැ”යි ඔහු විශ්වාස කළේය. එය එසේ නොවී රණසිංහ ප්‍රේමදාස රටේ නායකයා වූ විට ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කළයුතුයැ”යි කියන අදහසක් ඔහුට තිබුණේය. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඔහු කෙරෙහි විශ්වාසය තබා වැඩ කරන තැනකට ගියේ නම් ඔහු ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙනුවෙන් වැඩ කරන අතර ප්‍රේමදාස ජනාධිපතිගෙන් පසුව මම රටේ නායකයා වෙමියි කියා සිතන තැනකට යන්නට ඉඩ තිබුණේය. ගාමිණී, ලලිත් වැනි නායකයන් කොන්කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා, ප්‍රේමදාස ජනාධිපතිවරයා, ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට තිබුණු හැකියාව නැති කරගත්තේය. ඒ නිසා ආණ්ඩුව පමණක් නොව එම පක්ෂයද බෙලහීන කරගත්තේය. ප්‍රේමදාසගේ මරණයෙන් පසු කෙටි කාලයක් සඳහා බලයට පැමිණි විජේතුංග ජනාධිපතිවරයා පවා ප්‍රේමදාස ජනාධිපතිවරයා ප්‍රිය කළ සමහර පුද්ගලයන්ට කැමති නොවීය. මේ ලක්ෂණය චන්ද්‍රිකා කුමාරතුංග පාලනය තුළද දකින්නට තිබුණි. පක්ෂය තුළ ඇතිවූ අර්බුදවලදී තමන්ට සහාය නොදී මවගේ හෝ අනුරගේ පැත්ත ගෙන ක්‍රියා කළ අය කෙරෙහි ඇය විශ්වාසය නොතැබීය. ඇය පූර්ණ විශ්වාසය තැබුවේ පළපුරුදු ජ්‍යෙෂ්ඨයන් කෙරෙහි නොව තමන් සමග කල්ලි ගැසී ක්‍රියාකළ පුද්ගලයන් කෙරෙහිය. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහිද ඒ තත්ත්වය බලපා තිබෙන බව පෙනෙන්නට තිබේ.
ඔහුට ජනාධිපතිවරණය සඳහා තරග කරන්නට සිදුවී තිබුණේ පක්ෂ නායකත්වය චන්ද්‍රිකා අත තිබියදීය. ජනාධිපතිවරණයේදී ඇය වැඩි කැමැත්තක් දැක්වූයේ සිය පක්ෂ අපේක්ෂකයා දිනනවාට නොව පරදිනවාටය. ඒ තත්ත්වය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතරද යම් අවිනිශ්චිතභාවයක් ඇති කිරීමට හේතුවී තිබුණි. ඒ තත්ත්වය පෙරළා මහින්ද රාජපක්ෂ කෙරෙහි ද බලපෑවේය.
පවුල් දේශපාලනය
බලයට පත්වන්නට පෙර චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ අතර ගැටුමක් තිබුණි. ඒ වන විටත් මහින්ද තුළද කවදා හෝ මම මේ රටේ නායකයා වෙමියි කියන සිහිනය තිබුණේය. මා ආධාර කළේද චන්ද්‍රිකාටය. එහෙත් ඇය බලයට පත්වූ වහාම දැන් බලය ලැබී ඇති බැවින් මහින්ද සමග තිබෙන සිත් අමනාපකම් අමතක කොට ඔහු සමග සහයෝගයෙන් වැඩ කරන තැනකට යන ලෙස මම ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටියෙමි. ඒ අදහස ඇය පිළිගත්තේ නැත. ඇය මහින්දගෙන් පළිගත්තේය. මහින්ද ඒ සියල්ල විඳ දරාගෙන සිටියේය. අවසානයේ වාසනාවේ චක්‍රය මහින්දගේ වාසියට හැරුණු විට ඇයට ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්නට සිදුවිය. ඒ වෙනුවට ඇය ජය ලැබීමෙන් පසු පරණ කෝන්තර අමතක කොට ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය හා හැකියාවන් සලකා ඔහුගේ තෘප්තියට හේතුවන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් තනතුර අහිමිවීමෙන් පසු ඇය මහින්දගේ අනුග්‍රහය ලබන, පක්ෂය තුළ තවදුරටත් ගරු කටයුතු පිළිගැනීමක් හිමි තත්ත්වයක් ලැබෙන්නට ඉඩ තිබුණි.
මෙම චක්‍රය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටද පොදුය. මොනම පුද්ගලයකුටවත් හැමදා හොඳවන්නේ නැත. නරක කාලද ඇතිවිය හැකිය. අභ්‍යන්තරයේ සැඟවුණු අතෘප්තියක් ඇතොත් ඒවා විවෘත කරළියට එන්නේ නරක කාලවලදීය.
පවුලට බර තබන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මහින්දගේ ලොකුම ශක්තිය සේ ම ලොකුම දුර්වලතාව ලෙසද සැලකිය හැකිය. සීමිතකම් තිබිය හැකි වුවත් බැසිල් හා ගෝඨාභය යන සහෝදරයන් දෙදෙනාම දක්ෂ වැඩකාරයන් බව ක්‍රියාවෙන් සනාථ කොට තිබේ. ඔවුන්ගේ ශක්තිය වී ඇත්තේ රාජ්‍ය නායකයාට තිබෙන සහෝදරකමින් පමණක් නොව, වැඩ කිරීමේදී පෙනෙන්නට තිබෙන ඇප කැපවීම නිසාය. මෙම සහෝදරයන් දෙදෙනා බැහැර කිරීමේ ඇත්ත හැකියාවක් ජනාධිපතිට තිබිය නොහැකි වුවත් පවුලට බර තබන ප්‍රතිපත්තිය ඊට පමණක් සීමා කොට අභ්‍යන්තර අතෘප්තියක් ඇතිවීමට හේතු නොවන ලෙස අන් අය කෙරෙහිද විශ්වාසයෙන් ක්‍රියාකරන ප්‍රතිපත්තියක් ජනාධිපතිගේ යහපතට සේ ම පොදුවේ ආණ්ඩුවේ යහපතට ද හේතුවනු ඇත්තේය.
ඉදිරි දැක්මේ ඇති සීමා
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වැරදුණු ප්‍රධාන තැන වන්නේ ප්‍රභාකරන් අභිබවා ලබන යුද්ධ ජයග්‍රහණයෙන් හා ලොකු ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළකින් පමණක්, ශක්තිමත් ඉදිරි ගමනක් යා හැකිවනු ඇතැ”යි යන විශ්වාසය මත පිහිටා ක්‍රියාකිරීමය. රටේ තිබෙන දූෂිත දේශපාලන ක්‍රමයට සමගාමීව දශක තුනක කාලයක්, එක දිගට පැවති ප්‍රචණ්ඩ ව්‍යාපාර හා ඒවා මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වූ යුද ව්‍යාපාර නිසා මිනිස් ජීවිත පමණක් නොව මිනිස් වටිනාකම්ද මහා පරිමාණයෙන් බුල්ඩෝසර්වීමක් සිදුවිය. අන්තර් වාර්ගික සම්බන්ධතාවල පමණක් නොව පොදු මනුෂ්‍ය සම්බන්ධතාවලද මහා විකෘතියක් හා පිරිහීමක් ඇතිවිය. ආයතන ක්‍රමයේ ද මහා ගරාහැලීමක් ඇතිවිය. සමාජය පාදඩකරණයකට ද අපරාධකරණයකටද ගොදුරු විය. නීතියේ ආධිපත්‍යය බිඳ වැටී අල්ලස දූෂණය අයුක්තිය හා මැර බලය රජ කරන තත්ත්වයක් ඇතිවිය. මිනිසුන් බුරුතු පිටින් ඝාතනයට ලක්වන විට ජීවත්වන මිනිස්සුද ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වූ පිරිසක් බවට පත්වූහ. පන්සල, කෝවිල හා පල්ලිය ද මෙම ප්‍රවාහයේ ගොදුරක් බවට පත්විය. මෙම රැල්ලට හසුනොවූ එකුදු අංශයක්වත් නොවීයැ”යි කිව හැකිය. රටේ පැවති ප්‍රචණ්ඩ වටාපිටාව තුළ මෙවැනි පරිහානියක් ඇතිවීම නොවැළැක්විය හැකිවූ අතර සමාජ දේශපාලනයේ ඇතිවී තිබෙන එම මහා විකෘතිය ප්‍රතිශෝධනයකට ලක්කිරීමකින් තොරව එම විකෘති වූ සමාජය සමග සාර්ථක ඉදිරි ගමනක් යෑමේ හැකියාවද තිබිය නොහැකිය. දේශපාලකයන් පමණක් නොව සමාජයද නිරායුධ කළ යුතුය. ආයුධ අතට ගත් අයගේ මනස් පමණක් නොව සාමාන්‍ය සමාජයේ මනස් ද පුනරුත්ථාපනය කළ යුතුය. සමාජ පාදඩකරණය හා අපරාධකරණය ආපස්සට හැරවිය යුතුය. අල්ලස හෝ දූෂණයට ලැබී තිබෙන අවකාශය හා පිළිගැනීම නැති කළ යුතුය. මිනිසුන්ගේ නැතිවී ගිය වටිනාකම් නැවත ඇති කළ යුතු අතර බිඳ වැටී තිබෙන අන්තර් ජනවර්ග සම්බන්ධතා පමණක් නොව පොදු මනුෂ්‍ය සම්බන්ධතාද යළි ගොඩනැගිය යුතුය. නීතියේ ආධිපත්‍යය යළි ඇති කළ යුතුය.
ඒ සියල්ල එසේ කිරීම සරල හා පහසු නැතත් ඒ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමෙන් තොරව, රටට යහපත් හා ශක්තිමත් ඉදිරි ගමනක් යා නොහැකිය. ප්‍රධාන දේ මේ සියල්ල මෙසේ වූයේ ඇයිද යන්න ගැන ගැඹුරින් කරුණු සොයා බලන තැනකට යායුතුය. නැවත එවැනි අශීලාචාර තත්ත්වයක් ඇතිවීම වළකාගත හැකිවනු ඇත්තේ එවිටය. ත්‍රස්තවාදය ජයගත් පමණකින් ත්‍රස්තවාදය හා ඊට එරෙහිව කැරුණු යුද්ධ ව්‍යාපාර නිසා සමාජ දේශපාලනයේ ඇතිවී තිබෙන මහා විකෘතිය ඉබේ නැතිවන්නේ නැත. ත්‍රස්තවාදයේ අවසානය සමාජ දේශපාලන ජීවිතයේ මහා ප්‍රතිශෝධනයක් ඉල්ලා සිටියේය. එහෙත් යුද්ධය ජයගැනීමෙන් පසු රට ඉදිරියට යන්නට තාමත් උත්සාහ කරමින් තිබෙන්නේ එවැනි ප්‍රතිශෝධනයකින් තොරවය. එයින් පෙන්නුම් කැරෙන්නේ ආණ්ඩුවේ දැක්ම තුළද ශාස්ත්‍රීය දුගීභාවයක් තිබෙන බවය. මතුපිටින් පෙනෙන්නට තිබෙන අර්ධය මිස සැඟවී තිබෙන අර්ධය දකින්නට අසමත්ව තිබෙන බවය. කොළොන්නාවේදී පිපිරුණේ ඒ නොපෙනෙන අර්ධයේ ඇති එක් කොණක් පමණය. පිපිරීමේ හැකියාවක් ඇති තවත් කොන් එහි තිබෙන බව තේරුම් ගන්නට ආණ්ඩුව උත්සාහ කළ යුතුය.