තමන් විශාල දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටියදි ජනාධිපතිනියට සිය විමුක්ති පුතා (කුමාරයා) රටට පෙන්වන්නට සලස්සන්නට ඇත්තේ කුමාරයාට තිබෙන ඉල්ලුමේ ප්රමාණය දැනගැනීමේ හා මැන ගැනීමේ අදහසින් විය හැකිය. කුමාරයා එහිදි කතා කළේ දේශපාලනය ගැන නොව, බල්ලන් ගැනය. බල්ලන් ගැන කතා කරන්නට ගොස් ඔහු තමන්ගේ සීයා මෙන් භාෂාව ද පටලවා ගත්තේය. තමන්ට සිංහල භාෂාවෙන් සමහර කරුණු පැහැදිලි කිරීමට තිබෙන නොහැකියාව ගැන ඔහු කණගාටුව පළ කළේය.
විමුක්තිගේ මව් පාර්ශ්වයෙන් සීයා වන දිවංගත අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ද මීට වෙනස් ආකාරයකින් බල්ලන්ගේ ප්රශ්නය හා භාෂා ප්රශ්නය පටලවා ගත්තේය. සිංහල භාෂාව කතා කිරීමේ වැදගත්කම, සිංහල සිරිත් විරිත් හා ඇඳුම් පැළඳුම් ඇඳීමේ වැදගත්කම අළලා කරන ලද වේගවත් කතාවකින් පසුව ඊට පසු දින පැවැත්වෙන බලු ප්රදර්ශනයකට අගමැතිවරයා සිය සුරතල් බල්ලා සමග සහභාගි වූයේ ත්රීපීස් ඇඳුම් කට්ටලයකින් සැරසීය. එහි සිටි ඡායාරූප ශිල්පියෙක් සිය බල්ලා සමග ත්රීපීස් ඇඳුමින් සිටි අගමැතිවරයාගේ ඡායාරූප කිහිපයක් ගෙන අගමැතිවරයාට ළංවී, පෙරදින වේදිකාවේ කරන ලද ජාතික මාමක කතාව හා ඇඳ සිටින ඇඳුම ගැන ප්රශ්න කළේය. කොක්හඬලා සිනාසෙමින් අගමැතිවරයා ඊට දෙන ලද පිළිතුර වූයේ, පැමිණියේ බලු වැඩකට නිසා බලු ඇඳුමින්ම සැරසී පැමිණි බවය.
විමුක්තිගේ සීයාගේ සිංහල භාෂා ප්රතිපත්තිය ගැන අපූරු සඳහනක් අමිර්තලිංගම්ගේ චරිතාපදානයට ඇතුළත්ය.
බණ්ඩාරනායක හා චෙල්වනායගම් අතර ගිවිසුමක් ඇති කරගැනීමට හේතු වූ සාකච්ඡාවලියේ ආරම්භක සාකච්ඡාවේදි අගමැතිවරයාගේ අත අල්ලාගෙන චෙල්වනායගම් මෙසේ ප්රකාශ කර තිබේ.
“බණ්ඩා අපි දෙන්නා එකතුවෙලා මේ ප්රශ්නය දැන්මම විසඳලා ඉවරයක් කරමු. නැතිනම් මේ ප්රශ්නය විසඳීමට අමාරු අර්බුදයක් බවට පත්වේවි”
චෙල්වනායගම්ගේ අදහස අනුමත කරමින් සාකච්ඡා මේසයට වාඩිවී බණ්ඩාරනායක මෙසේ කීවෙලු.
“රාජ්ය භාෂා නීතිය ගැන අනවශ්ය බයක් ඇති කරගන්න එපා. එය ක්රියාත්මක වන්න තවත් හුගාක් කල් ගතවේවි. මට පවා සිංහලෙන් වැඩ කරන්න බැහැ. කතා කරන්න දැනගත්තත් ලියන්න දන්නෙ නැහැ.
ශ්රී ලංකාව අද පවතින්නේ ආණ්ඩුවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති අවිනිශ්චිත තත්ත්වයක ය. එම මූසල තත්ත්වය රටේ දෛනික ජීවිතය කෙරෙහි සේ ම සංවර්ධනය හා ආණ්ඩුකරණය කෙරෙහි ද විනාශකාරි ලෙස බලපාමින් තිබේ.
ශ්රී ලංකාව හැමදාමත් නිසරු වාදවලට පැටලී සිටින රටක් ලෙස සැලකිය හැකි ය. සුනාමි සහන මණ්ඩල වැඩපිළිවෙළ ගැන කෙළවරක් නැති තරමට වාද කෙරිණි. සමහරෙක් ඒ වෙනුවෙන් පණ නහගන්නට ද උත්සාහ කළේ ය. අවසානයේ මේ සියලු දෙනා වාද කළේ රටට පිනට ලැබුණු දෙයක් බෙදාගන්නට බැරි ව ය.
ඒ නිසරු වාදය අවසන් වීමෙන් පසුව ඊ ළගට කරළියට ආවේ ජනාධිපතිවරණ වාදය යි. ජනාධිපතිනිය හා ඇගේ අනුගාමිකයන් 2006 ට පක්ෂව වාද කරන විට රනිල් වික්රමසිංහ ඇතුළු වෙනත් අය 2005 වෙනුවෙන් වාද කළහ.
මෙය කොහේවත් නැති අර්බුදයක් ඇති කරගන්නට දරන මෝඩ උත්සාහයක් ලෙස සැලකිය හැකි ය. ජනාධිපතිනිය 2000 නොවැම්බර් වලදි දිවුරුම් දුන්නේ නම් ව්යවස්ථාව අනුව ඇයගේ ධුර කාලය අවසන් විය යුත්තේ 2006 දී ය. එහෙත් වෙනත් හේතු නිසා ඇය 1999 දෙසැම්බර් වලදි දිවුරුම් දුන්නා ය. ඒ අනුව ඇගේ ධුර කාලය 2005න් අවසන් විය යුතු ය.
ධුර කාලය අවසානය පිළිබඳ මතභේදයක් ජනාධිපතිනියට හෝ ඇගේ උපදේශකයන්ට තිබුණු බවක් පෙනෙන්නට නැත. ඔවුන් හැම කෙනෙක් ම ජනාධිපතිනියගේ ධුර කාලය අවසන් වන්නේ 1999 දෙසැම්බර් 22 වැනිදායින් ආරම්භ වී අවසන් වන හය වසකින් බව දැන සිටියහ. 2000 යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා කෙටුම්පතට එම කාලය ඇතුළත් කළේ ඒ නිසා ය.
අවුරුද්දකින් ධුර කාලය වැඩි කරගැනීමේ ආශාව ඇතිවී තිබෙන්නේ පසුකාලයකදි ය. අගවිනිසුරුගේ සහාය ලැබෙන්නේ නම් එසේ කිරීම අමාරු නොවනු ඇතැයි කල්පනා කළ බවක් ද පෙනෙන්නට තිබේ.
එහෙත් එය ඛේදජනක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. අවුල් ඇති කිරීමෙන් රටට යහපතක් වන්නේ නැත.
1999 දෙසැම්බර් 22 වැනිදා දෙන ලද දිවුරුම අනුව ජනාධිපතිවරණය 2005 අවසානයේ පැවැත්විය යුතු බව මැතිවරණ කොමසාරිස්වරයාගේ තීරණය වී තිබේ. අධිකරණය ඒ ගැන කියන්න යන්නේ කුමක් ද යන්න පැහැදිලි නැත. අධිකරණය ඊට පටහැනි තීන්දුවක් දුනහොත් ඒ තීන්දුව සියලු දෙනාගේ පිළිගැනීමට හේතුවනු ඇතැයි සිතිය නො හැක.
එජාප කියන්නේ ජනාධිපතිවරණය 2005 පැවැත්විය යුතු බව ය. එසේ නො වෙතොත් එය දිනාගැනීම සඳහා ජනතාව සමග අරගල කරන බව එම පක්ෂය කියයි.
මැතිවරණ පැවැත්විය යුතු කාලවකවානු පිළිබඳවත් රටේ පවතින්නේ ඇණකොටාගන්නා තත්ත්වයක් නම් ඒ රට ශිෂ්ටසම්පන්න රටක් ලෙස සැලකිය නො හැකි ය. තිබෙන අවුල් ප්රමාණවත් ය. නැති අවුල් ඇති කිරීමට ඉඩදිය යුතු නැත. මහජනයා තෝරාපත් කරගන්නා පාලකයන් සිය ධුර කාලය අවසානයත් සමග ගෙදර යා යුතු ය. ඒ අනුව ගෙදර යන්නට සිටින අය ගේ වයස වැදගත් නැත. පිළිගත් සම්ප්රදායන්ට ගරු කිරීමට පාලකයන් වග බලාගත යුතු ය. සම්ප්රදායන් කඩා බිඳ දැමූ විට රටක් අරාජික තත්ත්වයකට පවා තල්ලු වී යා හැකි ය. මහජනතාව මෙවැනි කාරණාවලදි පක්ෂ අනුව බෙදි ක්රියා නො කළ යුතු ය. වැරදි කරන්නේ කවුරුන් වුවත්, ඊට එරෙහිව පොදුවේ නැගී සිටිය යුතු ය. වැරදි සම්ප්රදායක් ඇති කරගැනීමට ඉඩ දුන් විට ඊළගට බලයට පත්වන්නන් ද ඒ වැරදි සම්ප්රදාය ඉදිරියට ගෙනයයි.