ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ මේ වසරේ ද නැත්නම් ලබන වසරේ ද යන ප්රශ්නය පහසුවෙන් ලිහාගත නොහැකි තරමට පැටලුණ නෛතික ගැටයක් බවට පත්ව තිබේ.
මැතිවරණ කොමසාරිස් වරයා දෙන්න යන තීන්දුව තමන්ගේ වාසියට හේතු නොවනු ඇතැයි කල්පනා කළ ජනාධිපතිනිය, මැතිවරණ කොමසාරිස්වරයා තීන්දුවක් දෙන්නට පෙර ඒ ගැන ශ්රේෂ්ඨාධිකරණයෙන් අර්ථ කථනයක් ඉල්ලා සිටියෝය. එය මැතිවරණ කොමසාරිස්වරයාගේ කට වැසීමට ගසන ලද නෛතික ගැටයක් ලෙස සැලකිය හැකිය.
ජනාධිපතිනිය ඒ සඳහා වන ඉල්ලීම ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළාට පසුදිනම හෙළ උරුමයේ මහ ලේකම් ඕමල්පේ සෝභිත හිමියන් ද ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. ඒ පෙත්සමෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරණය මේ වසර අග නොපවත් වන්නේ නම් එයින් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීමට හේතුවන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන ලෙසය.
එය ජනාධිපතිනිය ඉල්ලා සිටි අර්ථ නිරූපණය ලබාදිමට වැළැකීමට ගසන ලද තවත් නෛතික ගැටයක් ලෙස සැලකිය හැකිය. නඩුවක් තිබෙන අවස්ථාවක එම නඩුවට බලපාන ආකාරයේ අර්ථ නිරූපණයක් දිමේ හැකියාවක් ශ්රේෂ්ඨාධිකරණයට නැත.
සෝභිත හිමිගේ දිවුරුම් පෙත්සම එය ඉදිරිපත් කළ දිනට දින දෙකකට පසුව (අගෝස්තු 05දා) මූලික විභාගයට ගත් අතර වැඩිදුර විභාගය අගෝස්තු 22 වැනිදාට නියම කොට, ඒ සඳහා පස් පුද්ගල විනිශ්චය මණ්ඩලයක් ද පත් කෙරිණි.
අගවිනිසුරුවරයා තමාට එරෙහිව යමින් සිටින බව ජනාධිපතිනිය තේරුම් ගැනීම නිසාදෝ ජනාධිපතිනිය ශ්රීලනිපයේ ලේකම් මගින් සෝභිත හිමිගේ පෙත්සමට මැදිහත්වීමට ඉල්ලා සිටිමින් අගෝස්තු 9 වැනිදා තවත් පෙත්සමක් ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළාය. එම පෙත්සමෙන් ශ්රීලනිප ලේකම්වරයා කියා සිටින්නේ ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ 2006 අවසානයේ වන බැවින්, ඒ බව ප්රකාශ කරමින් සෝභිත හිමියන්ගේ පෙත්සම නිෂ්ප්රභා කරන ලෙසය. එම පෙත්සමෙන් ජනාධිපතිනිය පළමු දිවුරුම් දිමෙන් පසු නැවත 2000 නොවැම්බර් 12 වැනිදා දෙවැනි වරට ද අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දුන් බව සඳහන් වේ. මෛත්රීපාල සිරිසේන මහතා මගින් ඉදිරිපත් වූ එම පෙත්සම අගවිනිසුරුවරයා අර්බුදයකට තල්ලු කිරීම සඳහා ගසන ලද තවත් නෛතික ගැටයක් ලෙස සැලකිය හැකිය.
ජනාධිපතිනිය දෙවැනි වරට දිවුරුම් දුන්නේ අගවිනිසුරුවරයා ඉදිරියේ නම්, එම දිවුරුම ලබාගත් පුද්ගලයා වශයෙන් මෙම නඩුව විසඳීමේ හැකියාවක් අගවිනිසුරුවරයාට තිබේද යන ප්රශ්නය එම පෙත්සම අනියම් ලෙස මතු කරයි. අනෙක් අතට දෙවැනි දිවුරුම් දිම නීත්යානුකූල නොවේ නම් එවැනි වැරදි දිවුරුම් දිමකට අගවිනිසුරුවරයා සම්බන්ධ වූයේ කෙසේද යන ප්රශ්නයක් ද මතු කරයි.
ශ්රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලා සිටි ජනාධිපතිනිය හා එම අර්ථ නිරූපණය වැළැක්වීම සඳහා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් යන දෙදෙනාම අගවිනිසුරුවරයාගේ සමීප හිතවතුන්ය.
නීතිපතිධුරයේ සිටි සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව දූෂණ චෝදනා මත ශ්රේෂ්ඨාධිකරණය පරික්ෂණයක් පවත්වමින් සිටින අවස්ථාවක එය නොසලකා ජනාධිපතිනිය ඔහු අගවිනිසුරුධුරයට ගෙනාවේ සරත් නන්ද සිල්වා මහතා මගින් ශ්රේෂ්ඨාධිකරණය පාලනය කිරීමේ අවශ්යතාව සලකාය. ඉතාමත් තීරණාත්මක මොහොතක තමා ආරක්ෂා කරගනිමින් තමන්ට එම ධුරය ලබාදිම වෙනුවෙන් අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ද ජනාධිපතිනියට දේශපාලන නෛතික අර්ථයෙන් උදව් කළාය. එහෙත් අගවිනිසුරුවරයා ඉදිරියේ දැන් තිබෙන ප්රශ්නය, අවලංගු වීමට ආසන්න පුද්ගලයෙකු ආරක්ෂා කරනවාද නැත්නම් ජනාධිපතිනියට විරුද්ධ බලවේග සතුටු කරන ප්රතිපත්තියක් මගින් තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගන්නවාද යන ප්රශ්නයයි. ඔහු එහිදි දැනට තෝරාගෙන ඇති බව පෙනෙන්නේ ජනාධිපතිනිය නොව ජනාධිපතිනියගේ ප්රතිපක්ෂ බලවේගයන්ය.
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ද අගවිනිසුරුගේ සමීප හිතවතෙකි. සෝභිත හිමියන්ගේ පනස්වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් 2000 මැයි 28 වැනි දින ඇඹිලිපිටියේ පැවති උත්සවයේ ප්රධාන අමුත්තා ලෙස සහභාගි වූයේද අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාය. දියවන්නා ඔය අපචාර සිද්ධියට අදාළව පරික්ෂණයක් ඉල්ලා එජාප පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාවට හෙළ උරුමය වෙනුවෙන් හිමිනමක් අත්සන් තැබූ අවස්ථාවේදි එම අත්සන ඉවත් කරගැනීම සඳහා අගවිනිසුරු වෙනුවෙන් බලපෑවේ ද සෝභිත හිමියන්මය.
දැන් අගවිනිසුරු ඉන්නේ පරස්පර විරෝධී බලවේග දෙකකට මැදිවී හිරවූ තත්ත්වයකය. අවලංගු වන්නට යන ජනාධිපතිනියගේ පැත්ත ගතහොත් ප්රතිපක්ෂයේ විරෝධයට ලක්වී ජනාධිපතිනියගේ අවලංගු වීමත් සමග තමා ද අවලංගු වන තත්ත්වයක් ඇතිවිය හැකි බව ඔහු දනී. අනෙක් අතට ජනාධිපතිනියට එරෙහිව ගියහොත් අවලංගු වීමට නියමිතව සිටියත්, තවමත් වලංගුව සිටින ජනාධිපතිනියගේ කෝපයට තමා ලක්විය හැකි බව ද ඔහු දනී.
දෙවැනි දිවුරුම්දිම පිළිබඳ කතාව නිර්මාණය කළ බව පෙනෙන්නේ ද අගවිනිසුරුවරයාය. දිර්ඝ කාලයක් ගතවීමෙන් පසු එය පුවත්පතක පළවන පුවතක් බවට පත් කළේ ද අගවිනිසුරුවරයාය. ඒ සියල්ල එසේ කිරීමට අවශ්ය වූයේ ජනාධිපතිනියගේ හා තමාගේ ආරක්ෂාව සලකාය. එහෙත් දැන් අගවිනිසුරුවරයාට ජනාධිපතිනියගෙන් වෙන්වීමට අවශ්ය වී තිබෙන තත්ත්වයක් තුළ තමාම නිර්මාණය කළ දේ දිරවා ගත නොහැකි තත්ත්වයකට මුහුණ දෙන්නට අගවිනිසුරුට සිදුව තිබෙන්නේය.
මෛත්රීපාල සිරීසේන මහතා ඉදිරිපත් කර තිබෙන පෙත්සමට දෙවැනි වර රහසේ දිවුරුම් දුන්නේ යැයි කියන දිනය ඇතුළත්ව ඇතත් හොර රහසේ හෝ සිදුකළ එම උත්කර්ෂවත් අවස්ථාවට සහභාගි වූවන් කව්ද යන්න සඳහන් වන්නේ නැත. ප්රසිද්ධියේ කළ දිවුරුම ගැන ගැසට් නිවේදනයක් ඇතත්, රහස් දිවුරුම ගැන ගැසට් නිවේදනයක් නැත. අවසානයේ අගවිනිසුරුවරයා විසින්ම ගසන ලද ගැට ලිහීමට සිදුවී තිබෙන්නේ ද අගවිනිසුරුටමය.
ජනාධිපතිනිය සතුටු කරන ප්රතිපත්තියක් ප්රතිපක්ෂයේ විරෝධයට හේතුවන අතර, ප්රතිපක්ෂය සතුටු කරන ප්රතිපත්තියක් ජනාධිපතිනියගේ විරෝධයට හේතුවේ. මෙය අන්තෝ ජටා බහි ජටා තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.