වව්නියාවේ නගර සභා පාලනය හිමි කරගත් දෙමළ සන්ධානයේ නියෝජිතයන් දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්දන් ඉදිරියේ දිවුරුම් දෙන උත්සවය ආරම්භ කොට ඇත්තේ ජාතික ගීය වාදනය කිරීමෙනි. එය දෙමළ සන්ධානය රටට දෙන ලද ඉතා වැදගත් සංඥාවක් ලෙස සැලකිය හැකිය. ජාතික ගීය එහි තිඹෙරිගෙය සිටම විවාදයට හේතුවී තිබුණි. එහෙත් ජාතික ගීය දෙමළ දේශපාලන පක්ෂ මුළුමනින් ප්‍රතික්ෂේප කරන තැනකට ආවේ වෙනම දෙමළ රාජ්‍යයක් දිනාගැනීමට තීරණය කෙරුණු 1976 වඩුක්කොඩෙයි සම්මේලනයෙන් පසුවය. එතැන් සිට පෙඩරල් පක්ෂය සේ ම දෙමළ විමුක්ති පෙරමුණ ද ජාතික ගීය භාවිත කිරීමෙන් වැලකී සිටියේය. කොටි සංවිධානය උතුරු නැගෙනහිර දෙමළ ප්‍රදේශවල ඇති පාසල්වල ජාතික ගීය ගායනය කිරීම තහනම් කර තිබුණි. එහෙත් දශක ගණනාවකට පසුව දැන් නැවත දෙමළ සන්ධානය තමන් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනයක නියෝජිතයන් දිවුරුම් දෙන උත්සවයක් සඳහා ජාතික ගීය භාවිතයට ගැනීමෙන් සංකේතවත් කරන්නේ බෙදුම්වාදී දේශපාලනය අතහැර එක රටක ජීවත් වන ජනතාවක් ලෙස ක්රියාකරන්නට තමන් කැමති බව නොවේද? එය දෙමළ සන්ධානය සිංහල ජනයාට දෙන ලද හොඳ සංඥාවක් ලෙස සැලකිය හැකිය.
දෙමළ බෙදුම්වාදය කෙරෙහි දෙමළ දේශපාලන නායකයන්ගේ අන්තවාදී අදහස් පමණක් නොව, දෙමළ ජනතාව කෙරෙහි පීඩාකාරී ලෙස බලපෑ සිංහල අගතියද බලපෑවේය. එම වටාපිටාව තුළ පෝෂණය වූ දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් සිංහල ජනතාවට පමණක් නොව, දෙමළ ජනතාවට ද විශාල වන්දියක් ගෙවන්නට සිදුවිය. දෙමළ බෙදුම්වාදයේ රණකාමී ප්‍රකාශකයා ලෙස සැලකිය හැකි ප්රභාකරන්ගේ අවසානයත් සමග රටේ සිංහල ජනතාව සේ ම දෙමළ ජනතාව ද නැවත අලුතෙන් කල්පනා කළ යුතු තැනකට පැමිණ සිටින්නේය. දෙමළ සන්ධානය ඒ සඳහා ගෙන තිබෙන ඉදිරි පියවර ඉතා වැදගත්ය. තමන්ගේ ප්‍රධාන දේශපාලන උත්සවයකදී ජාතික ගීය ගායනා කිරීමෙන් දෙමළ සන්ධානයේ නායකයන් සංකේතාත්මකව පෙන්නුම් කර ඇත්තේ වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා කරන අරගලය අතහැර එකම රටක් තුළ සිය ප්‍රශ්න විසඳා ගන්නා තැනකට ඒමට තමන් තුළ ඇති සූදානම නොවේද? සංකේතාත්මක අර්ථයකින් සිදුකරන ලද එම ක්‍රියාව, ඉතාමත් විප්ලවකාරී ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය.
සිංහල ජනයා දෙමළ ජනයා ගැන අලුතෙන් සිතන තැනකට යායුතු අතර, දෙමළ ජනයා ද සිංහල ජනයා ගැන පමණක් නොව, සුළු ජනවර්ගයක් වශයෙන් තමන් මුහුණ දී තිබෙන ප්‍රශ්න ගැන අලුතෙන් සිතන තැනකට යා යුතුය. දෙමළ ජනතාවට ඔවුන්ගේ ආත්ම ගෞරවය ඇතිව ජීවත් විය හැකි වටාපිටාවක් සහතික කිරීම සිංහල ජනයාගේ වගකීමකි. අනෙක් අතට බෙදුම්වාදී අදහස් අතහැර එක රටක් තුළ සිංහල ජනයා සමඟ සුහදව ජීවත්වීමට දෙමළ ජනතාව ද හිත හදාගත යුතුය. දෙමළ සන්ධානය මේ ක්‍රියාවෙන් නතර නොවිය යුතුය. ඊපීඩීපී, ප්ලොට් වැනි අනෙකුත් දෙමළ දේශපාලන පක්ෂ සමග ද සහයෝගයක් ඇති කරගනිමින් අවතැන්වූවන් පිළිබඳ ප්රශ්නය පමණක් නොව, දෙමළ ජනතාවට ආවේණික ප්‍රශ්න ද සියලුදෙනාගේ ගෞරවයට හේතුවන ලෙස විසඳා ගැනීම සඳහා ආණ්ඩුව සමග සේම විපක්ෂය සමග ද සහයෝගයෙන් හා අවබෝධයෙන් ක්‍රියාකරන තැනකට ආ යුතුය. දැන් එල්ටීටීඊයක් රටේ නැති බැවින් තුවක්කුවෙන් එල්ල වන බලපෑම්වලට බියවිය යුතු තත්ත්වයක් නොපවතී.
බෙදුම්වාදය දෙමළ ජනතාවගේ ජීවිත කාලකණ්ණි කිරීමට හේතුවී තිබෙන බව තේරුම් ගනිමින් දෙමළ දේශපාලනයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීම ඔවුන් අතින් සිදුවිය යුතුය.