විදේශ ප්‍රතිපත්තිය නැවත සලකා බැලිය යුතුයි

September 13, 2009
Publication:
The foreign secretary was told to appear in person for a British visa, which the government reads as a breach of diplomatic courtesy. Ivan agrees the government's position is right and argues that being right is not enough: a small country gains nothing by quarrelling with the Western world, and he recalls what calling Indira Gandhi a cow cost the country under Premadasa.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බටහිර ලෝකය දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරන තැනකට යොමුවී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. විදේශ අමාත්‍යාංශයේ ලේකම් පාලිත කොහොන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් වීසා ලබාගැනීමට දරන ලද උත්සාහයකදී වීසා ලබාදීම ප්‍රතික්ෂේප කොට වීසා ලබාගැනීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ පෞද්ගලිකව පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ආණ්ඩුවේ අදහස වී ඇත්තේ පාලිත කොහොන මහතා විදේශ ලේකම්වරයා නිසා ඔහුට මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ පෞද්ගලිකව පෙනී සිටීමක් අවශ්‍ය නොවන බව හා ඒ ක්‍රියාව මගින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පිළිගත් තානාපති ආචාර ධර්ම උල්ලංඝනය කර තිබෙන බවය. මීට පෙර මේ හා සමාන සිද්ධියක් නීතිපතිවරයාට ද සිදුවිය. ශ්‍රී ලංකාව ද අවස්ථා ගණනාවකදී සමහර බටහිර රටවල ආණ්ඩුවල නියෝජිතයන් සම්බන්ධයෙන් මේ සමාන පිළිවෙතක් අනුගමනය කර තිබෙන බවද අමතක නොකළ යුතුය.

කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගුවන්තොටුපොළේ පැය හයක කාලයක් රඳවා තබාගෙන රටට ඇතුල් වන්නට ඉඩ නොදී පිට කළේය. ස්වීඩනයේ විදේශ ඇමතිවරයාට ශ්‍රී ලංකාවට ඒමට අවසර ලබා නොදුන්නේය. ලංකාවේ යුනිසෙෆ් ප්‍රකාශකයාට රටින් පිටවී යන ලෙස නියෝග කළේය. ශ්‍රී ලංකාව හා බටහිර රටවල් අතර ඇතිවී තිබෙන මෙම ගැටුම කෙරෙහි එල්ටීටීඊ විරෝධී යුද්ධය ආශ්‍රයෙන් මතුවූ විවාද බලපා තිබෙන බව පැහැදිලිය. විශාල දෙමළ ජනතාවක් බටහිර රටවල්වල ජීවත් වන තත්ත්වයක් තිබීම නිසා එල්ටීටීඊය පරාජය කරන යුද්ධයක් ඒ රටවල දෙමළ ජනතාව හිංසාකාරී ක්‍රියාවකට තල්ලු කිරීමට හේතුවනු ඇති බවට ඇති කරගත් බිය නිසා බටහිර රටවල් මෙහි කෙරෙන යුද්ධය කෙරෙහි වැරදි ලෙස බලපෑමට උත්සාහ කළේය. ආණ්ඩුවත් එම බලපෑම්වලට යට නොවී එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරන තෙක්ම සිය යුද්ධ වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගියේය.

එහිදී ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්තිය නිවැරදි වුවත්, ඒ නිසා බටහිර ලෝකය සමග ඇති කරගත් භේදය සමනය කරගන්නා තැනකට නොයෑම යහපත් දෙයක් ලෙස සැලකිය නොහැකිය. අප බටහිර ලෝකයට යටත්විය යුතු නැතත්, පුංචි රටක් වශයෙන් අප බටහිර ලෝකය සමග රණ්ඩු කරන තැනකට යෑම සුදුසු නැත. රණසිංහ ප්‍රේමදාස මහතා ඉන්දිරා ගාන්ධි එළදෙනකු ලෙස හැඳින්වීම නිසා ඇතිවූ භේදය වෙනුවෙන් රටක් වශයෙන් අපට ගෙවන්නට සිදුවූ වන්දිය සුළුපටු නැත. අප වැනි පුංචි රටක් ලෝක බලවතුන් සමග ගැටෙන තැනකට ගියහොත් අප වැනි රටක් අවුල් ජාලාවකට තල්ලු කිරීමේ හැකියාව ඔවුන් සතුය. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ලෝක ආයතනයක් සමග ගැටුම් ඇති කරගන්නට යෑම විනාශකාරී ප්‍රතිඵල කිරීමට හේතුවිය හැකිය. එම ආයතනයේ හරි වැරදි මොනවා වුවත්, එය ලෝකයේ රටවල් එකට එකතු වී ඇති කරගත් ලෝක සංවිධානයක් වන අතර, ශ්‍රී ලංකාව ද එහි සාමාජික රටකි.

ඔවුන්ගේ පොදු එකඟතාවන්ට ගරු කිරීමේ වගකීමක් සාමාජික රටක් වශයෙන් අපට ඇත්තේය. මෙම ගැටුම දෙපාර්ශ්වයේම ගෞරවයට හේතුවන ලෙස අවසන් කරගැනීමට නොහැකි වෙතොත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට විශාල වන්දියක් ගෙවන්නට සිදුවිය හැකිය. එය රටට තහංචි පනවන තත්ත්වයක් දක්වා දුරදිග යන ප්‍රශ්නයක් බවට වර්ධනය විය හැකිය. විරුද්ධ පක්ෂය ද මෙම අවස්ථාවේදී මෙම තත්ත්වය අවුල් නොකොට ගෞරවයට හේතුවන විසඳුමක් ඇතිකර ගැනීම සඳහා ආණ්ඩුවට සහාය දෙන පිළිවෙතක් අනුගමනය කළ යුතුය. චැනල් 4 නාලිකාව මුදාහළ වීඩියෝ පටයෙන් ද පෙනෙන්නේ රටෙන් පළිගැනීමට කැමති පිරිස කලාතුරකින් හෝ රට තුළම සිටින බවය. ආණ්ඩුවද මැතිවරණවලට පමණක් සිය අවධානය සීමා නොකොට අප පවත්වාගෙන යන විදේශ ප්‍රතිපත්තිය දෙස ආපසු හැරී බලන තැනකට යායුතුය. දැන් යුද්ධය අවසන්ය. බලවත් රටක් ලෙස නැගී සිටීමට අප සමත්වනු ඇත්තේ සියලුදෙනාගේ ගෞරවය හිමිකර ගැනීමට අප සමත් වේ නම් පමණය.