අවුල් විසඳා ගැනීම

September 20, 2009
Publication:
The pleasure of the victory is already evaporating, Ivan warns, and a second term will be harder than the first. On GSP+ he points out that the tangle was made by the courts rather than the government — the moment a chief justice traded the country's future for his own protection — and that releasing two LTTE leaders on bail while Tissainayagam serves twenty years cannot be explained to anyone.

යුද්ධයේ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් කරනු ලැබුවද එම නම්බුවෙන් පමණක් ආණ්ඩුවට සාර්ථකව ඉදිරියට යා නොහැකිය. මහජනයා අතර පැවති යුද්ධයේ ජයග්‍රහණයේ ආස්වාදය කාලයාගේ ඇවෑමෙන් වාෂ්ප වී යනු ඇත්තේය. එම ක්‍රියාවලිය දැනටමත් ආරම්භ වී ඇති බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. මීට මාස දෙකකට පෙර මහජනතාව අතර ආණ්ඩුව කෙරෙහි පැවති පක්ෂපාතභාවයේ පරිමාව හා අද පවතින තත්ත්වය අතර වෙනසක් පවතී. මේ වෙනස තව තව වර්ධනය විය හැකිය. මේ මොනම හේතුවක් නිසාවත් ඉදිරි ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජය ලැබීම වැළැක්විය නොහැකි වුවත්, මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන රාජ්‍ය පාලනයක් පෙන්නුම් කිරීමට නොහැකි වෙතොත්, දෙවැනි ධුර කාලය ජනාධිපතිවරයාට සේ ම ආණ්ඩුවට ද අසුභ විය හැකිය. මහජනයා යුද්ධය වෙනුවෙන් තමන්ට මුහුණ දෙන්නට සිදුවී තිබුණු අගහිඟකම් ඉවසාගෙන සිටියා පමණක් නොව, මතුවන හැම ප්‍රශ්නයකදීම ආණ්ඩුව කොන්දේසි විරහිතව ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය.

දැන් මහජනයා සිතන්නේ යුද්ධය අවසන් නිසා එම ප්‍රතිලාභ තමන්ට ලැබිය යුතු බවය. ආර්ථිකය හොඳින් කළමනාකරණය කරනවා දකින්නට සේ ම අගහිඟකම් අඩු ජීවිතයක් දකින්නට ද මහජනයා අකැමතිය. පොදුවේ රටට ලැබිය යුතු ඵල සුළු පිරිසක් ඩැහැ ගන්නවා දකින්නට මහජනයා කැමතිය. ඉහවහා ගිය දූෂණයේ පාලනයක් දක්නට මහජනයා කැමති නැත. සංකේතාත්මක වැදගත්කමක් ඇති හැම සිද්ධියකදීම යුක්තිය ඉටුවනවා දකින්නට මහජනයා කැමතිය. යහපත් ආර්ථික වටාපිටාවක් සඳහා දේශීය හා විදේශ වෙළෙඳාම වර්ධනය කරගන්නා තැනකට යායුතුය. ඒ සඳහා බටහිර බලවතුන් හා අප අතර ඇති ආරාවුල දෙපක්ෂයේම විශ්වාසයට හා ගෞරවයට හේතුවන ආකාරයට විසඳාගත යුතුය. ජීඑස්පී ප්ලස් ආරාවුල විසඳාගැනීමේ වැදගත්කම කෙරෙහි ජනාධිපතිවරයා විශේෂ අවධානයකින් ක්‍රියාකරන තැනකට යොමුවීම යහපත් ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකිය, ජීඑස්පී ප්ලස් ඔවුන් අපට දෙන්නෙ නැහැ.

ඒ නිසා ඒ සඳහා උත්සාහ කිරීම තේරුමක් නැහැ”යි කියන පිළිවෙත රටේ යහපතට හේතුවන්නේ නැත. යුරෝපා සංගමය ඒ සම්බන්ධයෙන් ගනු ලබන අවසාන තීරණය කුමක් වුවත් එය ශ්‍රී ලංකාවට ලබාදීමේ යුක්තිසහගතභාවය තහවුරු කිරීමට අපට ඕනෑ තරම් කරුණු තිබේ. අභ්‍යන්තර යුද්ධයක් පවතින අවස්ථාවක රටක මානව හිමිකම් උල්ලංඝනයවීමක් සිදුවිය හැකිය. එය ඕනෑම යුද්ධයක් තුළ දැකිය හැකි සාමාන්‍ය තත්ත්වයකි. යුද්ධයක් පවතින අවස්ථාවක මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඇති විධිවිධාන තාවකාලිකව අත්හිටුවීමේ බලය රාජ්‍යයකට ඇති බව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියෙන්ම පිළිගනී. ඉතාමත් බිහිසුණු හා සංවිධානාත්මක ත්‍රස්තවාදී ව්‍යාපාරයකට එරෙහිව කරන යුද්ධයක් රටේ පැවතියේය යන සාධකය නොසලකා එම කාලවකවානුව තුළ රටේ සිදුවූ නරක දේවල් පමණක් සැලකිල්ලට ගෙන ජීඑස්පී ප්ලස් පිළිබඳව තීන්දුවක් ගැනීම යුක්තිසහගත නොවන බවට ආණ්ඩුවට බලවත් ලෙස තර්ක කළ හැකිය.

බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවක් පැවති 70 යුගයේදී දකුණේ සිංහල තරුණ කැරැල්ලක් මතුවූ අවස්ථාවේදීද බලයේ සිටි සමගි පෙරමුණු ආණ්ඩුවට එම කැරැල්ල මර්දනය කරන්නට සිදුවූ අතර, එහිදීද මානව හිමිකම් උල්ලංඝනයවීමක් සිදුවිය. එහෙත් එම කැරැල්ලේ පරාජයෙන් පසු මානව හිමිකම් විෂයේදී රට නැවත යථා තත්ත්වයට පත්විය. ඉන්පසු ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදී මතුවී ප්‍රේමදාස පාලන යුගයේ ආරම්භයෙන් අවසන් වන ජේවීපී දෙවැනි කැරැල්ලේදීද එම කැරැල්ල මර්දනය කිරීමට බලයේ සිටි යූඑන්පී ආණ්ඩුවට සිදුවූ අතර, එහිදී මානව හිමිකම් උල්ලංඝනයවීමක් සිදුවිය. එහෙත් කැරැල්ල මර්දනයෙන් පසුව රටේ මානව හිමිකම් තත්ත්වයද නැවත යථා තත්ත්වයට පත්විය. එල්ටීටීඊය පරාජය කිරීමේ යුද්ධය තුළ ද සිදුවූයේ ඒ දේය. එල්ටීටීඊය වැනි බිහිසුණු හොඳින් සංවිධානය වූ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් අවසාන වශයෙන් පරාජය කිරීම වෙනුවෙන් අප ගෙවා තිබෙන වන්දියේ ප්‍රමාණය ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කිරීම වෙනුවෙන් අප ගෙවන ලද වන්දියට වඩා අඩු වන්දියක් බව ඔප්පු කළ හැකිය.

දැන් යුද්ධය අවසන්ය. මානව හිමිකම් තත්ත්වය නැවත යථා තත්ත්වයට ගැනීම පිණිස අවංක හැඟීමකින් ආණ්ඩුවට ක්‍රියා කළ හැකිනම් ජීඑස්පී ප්ලස් ප්‍රශ්නයේදී විවාදයට හේතුවී තිබෙන ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අන්තර්ජාතික ප්‍රඥප්තියට ගරු කිරීම පිළිබඳ ප්‍රශ්නයටද ඉක්මන් විසඳුමක් දිය හැකිය. මෙම අවුල ඇති කළේ ආණ්ඩුව නොව අධිකරණයයි. එය හිටපු අගවිනිසුරුවරයා තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා රටේ අනාගතය බිලි දුන් අවස්ථාවක් විය. රටක් තමන් අත්සන් තබන ලද අන්තර්ජාතික ප්‍රඥප්තීන්ට ගරු කළ යුතුය. එය ශ්‍රී ලංකාව සඳහා පමණක් බලපාන ධර්මතාවක් නොව හැම රටක් සඳහාම බලපාන ධර්මතාවකි. ආණ්ඩුවට අවශ්‍ය නම් ඒ වරද වහාම නිවැරදි කළ හැකිය. ඊට අතිරේකව කඳවුරුවල සිටින අවතැන්වූවන් පිළිබඳ ප්‍රශ්නය විසඳන්නට යන ආකාරය පිළිබඳව කාලසටහනක් ද ඇතුළත් පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකිය.

මෙවැනි ක්‍රියාමාර්ගයකට යොමුවීමෙන් පමණක් වුවත් ජීඑස්පී ප්ලස් සහනය ආරක්ෂා කරගත හැකිය. එම අවුල අපට සාර්ථක ලෙස විසඳා ගැනීමට හැකිවේ නම් ඒ නිසා පමණක් බටහිර බලවතුන් හා අප අතර පවතින ආරාවුලෙන් අඩක් ඒ නිසා පමණක් විසඳෙන්නේය. මෙම ප්‍රශ්නවලදී විරුද්ධ පක්ෂයද වගකීමෙන් ක්‍රියා කරන තැනකට යායුතුය. ජීඑස්පී ප්ලස් ප්‍රශ්නය අවුල් කිරීමට ඔවුහු ද දායක වූහ. එය විරුද්ධ පක්ෂයේ වරදකට වඩා මේ දේශපාලන ක්‍රමය විසින් ඇති කර තිබෙන දේශපාලන සංස්කෘතියේ වරදක් ලෙස සැලකිය හැකිය. කරු ජයසූරිය කර තිබෙන මැදිහත්වීම වැදගත් හා ආදර්ශවත්ය. ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය දෙකක් වුවත් ආණ්ඩුවක් සකස් වන්නේ ඒ දෙකම ඇතුළත් වන ලෙසය. පොදු ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නවලදී එකට එකතු වී වැඩ කිරීමේ හැකියාව ඒ දෙපක්ෂයටම තිබිය යුතුය. ජීඑස්පී ප්ලස් සහනය බලපාන්නේ ආණ්ඩුව කෙරෙහි පමණක් නොවේ.

රටේ ජනතාව කෙරෙහිද එය බලපායි. ජනමාධ්‍යවේදීන්ද ආණ්ඩුව සමග ඇති කරගෙන තිබෙන හිත් අමනාපකම් නිසා රට අවුල් කරන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා නොකළ යුතුය. චැනල් 4 විකාශය තුළ වීඩියෝ පටය නිර්මාණයක් නම් අවසානයේ එහි චෝදනාලාභීන් බවට පත්වන්නේ ජනමාධ්‍යවේදීන්ය. එය විකාශය වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජනමාධ්‍යවේදීන් යන නමින් ඇති සංවිධානයකින් ලබාගන්නා ලද වීඩියෝ පටියක් වශයෙනි. එවැනි නමකින් සංවිධානයක් ගොඩනගා ගත්තේ සාධාරණ හේතු ඇතිව හෝ නැතිව ශ්‍රී ලංකාවෙන් පලාගිය මාධ්‍යවේදීන් විසිනි. ආණ්ඩුව සමග තිබෙන තරහට රටින් පළිගැනීම යහපත් ක්‍රියාවක් වන්නේ නැත. දේශපාලකයන් පමණක් නොව ජනමාධ්‍යවේදීන් ද වගකීමෙන් ක්‍රියා කරන තැනකට යායුතුය. ආණ්ඩුව ද ජනමාධ්‍යවේදීන් සතුරන් පිරිසක් ලෙස සලකා ක්‍රියාකරන තැනකට නොයා යුතුය. අදහස් පළකිරීමේ නිදහස නූතන ලෝකයේ තිබෙන ඉතාමත්ම සංවේදී විෂයක් වන බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.

තිස්සනායගම්ට ද විශාල සිරදඬුවමක් පමුණුවන ලද්දේ අධිකරණය වුවත්, ලෝක මට්ටමෙන් එහි අපකීර්තිය ආවේ ආණ්ඩුවටය. ආරක්ෂක හමුදාවට භාරවූ ජෝර්ජ් මාස්ටර් හා දයා මාස්ටර් යන දෙදෙනා නිදහස් කිරීම සංකේතාත්මක වැදගත්කමක් ඇති සිද්ධියකි. එහෙත් එවැනි පුද්ගලයන් දෙදෙනකු ඇප මත නිදහස් කරන අතර, තිස්සනායගම්ට අවුරුදු 20ක සිරදඬුවමක් පැමිණවීම අතර මහා නොගැළපීමක් පවතී. රටේ තිබෙන අවුල් පැය 24ක් තුළ විසඳාගත නොහැකිය. එහෙත් අපට ඒවා සාර්ථක ලෙස විසඳා ගැනීමට හැකිවනු ඇත්තේ දෙපැත්තකට අදින ප්‍රතිපත්තියක් මත පිහිටා ක්‍රියාකිරීමෙන් නොව, එක්ව ක්‍රියාකරන ප්‍රතිපත්තියකට යොමුවීමෙනි.