කරන්දෙණියේදී වෛද්‍යවරයකු වෙඩි තබා ඝාතනය කර ඇති බව අසන්නට ලැබුණු විට ඒ ඇයිද යන්න දැනගැනීමේ කුහුලක් මා සිත තුළ ඇතිවිය. මා දන්නා හඳුනන කරන්දෙණියට සම්බන්ධයක් තිබූ කොළඹ ජීවත් වන කිහිප දෙනකුගෙන්ම කරුණු විමසූ මුත් ඒ හැම කෙනකුගෙන්ම ඔහු එම ප්‍රදේශයේ ජනතාව කෙරෙහි මහත් ආදරයකින් යුතුව ක්‍රියා කළ හිත හොඳ තරුණ වෛද්‍යවරයකු වේය යන අදහස හැර ඔහුගේ ඝාතනය කෙරෙහි බලපෑ හේතු ඒ කිසිවකුගෙන් අසන්නට ලැබුණේ නැත. ඖෂධ විෂයයට සම්බන්ධ, ඒ ප්‍රදේශය ගැනද සාමාන්‍ය වැටහීමක් ඇති එක් පුද්ගලයකු පමණක් ඔහු සමග තරග කළ වෛද්‍ය ක්ෂේත්‍රයටම සම්බන්ධ වෙනත් තරගකරුවකු විසින් කරන ලද්දක් බව පෙනෙන්නට තිබෙන බව කීවේය. ඊටත් වඩා මට ඔහුගෙන් අසන්නට ලැබුණු ලොකුම දේ වනුයේ මෙම හිත හොඳ තරුණ දොස්තර, කරන්දෙණියේ ධර්මදාස ජයසිංහගේ පුතා වන බවය. ඝාතනයට ගොදුරු වී තිබෙන දොස්තර ධර්මදාස ජයසිංහගේ පුතා බව අසන්නට ලැබුණු විට දොස්තර ඝාතනය පිළිබඳව මා තුළ ඇතිව තිබූ කුහුල හා කම්පනය දෙගුණ තෙගුණ කළේය. මා හොඳින් දන්නා හඳුනන මගේ මිත්‍රයකු මියගියා වැනි හැඟීමක් මා තුළ ක්ෂණිකව ඇතිවිය.
මා 71 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ පුද්ගලයකු ලෙස කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවාගෙන සිටි ආරම්භක කාලයේදී ධර්මදාස ජයසිංහ සිටියේද එම බන්ධනාගාරයේය. ජවිපෙ ක්‍රියාධරයකු ලෙස මා ටික කලක් මීගමුව ප්‍රදේශයේද වැඩ කර තිබුණි. ධර්මදාස ජයසිංහ මට පළමුවෙන්ම හමුවූයේ මීගමුවේදීය. ඔහු එකල මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ සේවය කළ උපාධිධාරී ගුරුවරයෙක් විය. පසුව ඔහු එම විද්‍යාලයේ විදුහල්පති ලෙසද සේවය කළේය. ඉන්පසු නැවත ජයසිංහ මට හමුවූයේ මැගසින් බන්ධනාගාරයේදීය.
මැගසින් බන්ධනාගාරය මගේ සිව්වැනි සිරගෙදර විය. අත්අඩංගුවට ගැනීමෙන් පසු යුද හමුදා මූලස්ථානයේද, ඉන්පසු තවත් දින කිහිපයක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේද, ඉන්පසු මාස දෙකක් පමණ කාලයක් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන ගිය සිරකඳවුරේද ගත කොට තිබුණි.
මැගසින් බන්ධනාගාරයට පැමිණීමෙන් පසු මගේ හිතේ කැරැල්ල ගැන මූලික ප්‍රශ්නයක් ගොඩනැගී තිබුණි. අප කැරැල්ල ජයගත්තේ නම් රට පාලනය කිරීමේ හැකියාවක් හා ඒ සඳහා අවශ්‍ය දැනුම ජවිපෙට තිබුණේද යන ප්‍රශ්නයයි. මගේ මතය වූයේ ඒ සඳහා වන ඇත්ත හැකියාවක් අපට නොතිබුණු බවය. මා තුළ ඇතිවූ මෙම අහිංසක හැඟීම බන්ධනාගාරයේ සිටි කැරැල්ලේ විවිධ අය සමග ප්‍රකාශ කරන්නට වීම, බන්ධනාගාරය තුළ මතවාදී තලයේ පුංචි කාලගෝට්ටියක් ඇති කිරීමට හේතුවිය. ජවිපෙ එම ප්‍රශ්න කිරීම නොඉවසුවේය. ඒ නිසා ඇතිවූ උණුසුම් වාද නිසා මා ජවිපෙන් ඉවත් වූ පුද්ගලයකු බවට පත්වීමි. ඉවත් වූ සුළු පිරිසකට අයත් වූ අය අතර කරන්දෙණියේ ධර්මදාස ජයසිංහද සිටියේය. ඔහුටද ජවිපෙ ගැන දේශපාලන විවේචනයක් තිබුණි.
එහෙත් ධර්මදාස ජයසිංහ ජවි පෙරමුණෙන් ඉවත් වී සිටින තත්ත්වයක සිටියේ ටික දිනක් පමණය. ඔහු ආපසු ජවිපෙට එකතු වූයේය. එසේ එකතු වන්නට පෙර තමන් නැවත ජවිපෙරමුණට යන්නට තීරණය කළේ ඇයිද කියා ඒ ගැන වන ඔහුගේ අවංක අදහස් මා සමග ප්‍රකාශ කළේය.
ධර්මදාස ජයසිංහ විශේෂ දුක්ගැනවිලි ඇති සමාජ කණ්ඩායමක් නියෝජනය කළේය. කරන්දෙණිය ජවිපෙට ඒ කාලයේ වැඩියෙන්ම පූර්ණකාලීන ක්‍රියාධරයන් නිෂ්පාදනය කර දුන් ප්‍රදේශය විය. ඔවුන්ගෙන් සමහරෙක් විවිධ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් නායකයන් ලෙස හෝ එම දිස්ත්‍රික්කවල කැපී පෙනෙන ක්‍රියාධරයන් ලෙස සේවය කළෝය. ඒ අය අතරින් කිසියම් පිරිසක් මැගසින් බන්ධනාගාරයේද සිටියෝය. ඔවුන්ගේ පිළිගත් නායකයා වූයේ ජයසිංහය. ජයසිංහ ජවිපෙන් ඉවත් වුවත්, ඔවුන් ජවිපෙන් ඉවත් වූයේ නැත.
ඒ ගැන ජයසිංහට විශේෂ අර්ථකථනයක් තිබුණි.
“මේ ළමයි හුඟක් ඉගෙන ගත්ත අය නෙවෙයි. සාගපෙළ දක්වා හෝ ඊට අඩු අධ්‍යාපනයක් ලැබූ අයයි. ඔවුන් ජවිපෙ පන්ති පහ ග්‍රහණය කරගත්තේ ඉතා දුෂ්කර ක්‍රියාවක යෙදෙන ආකාරයෙනි. පසුව එසේ ඉතාමත් දුෂ්කර ලෙස ඉගෙන ගත් පන්ති පහ උගන්වන දේශකයන් බවට පත්වුණා. ඔවුන් ඒ කාරිය දක්ෂ ලෙස කළා. ඉන්පසු ඔවුන් පූර්ණකාලීනයන් බවට පත්වී රටේ විවිධ ප්‍රදේශවලට යවනු ලැබුවා. ඒ නිසා ඒ හැම කෙනෙක්ම පහළම තත්ත්වයක සිට පැමිණ පක්ෂය තුළ පිළිගැනීමට හා ගෞරවයට හේතුවූ පුද්ගලයන් බවට පත්වුණා. ඒ හිමිකරගත් තත්ත්වය අත්හැරියහොත් ඔවුන් නැවත වැටෙන්නේ පෙර සිටි අවාසනාවන්ත තත්ත්වයටයි. අනෙක් අතට ඉතාමත් අමාරුවෙන් ග්‍රහණය කරගත් දෙයක් අත්හරින්න ඔවුන් කැමති වන්නේ නැහැ. ඊට වඩා ලොකු අලුත් දෙයක් ග්‍රහණය කරගැනීමට අවශ්‍ය බුද්ධිමය ධාරිතාවකුත් ඔවුන්ට නැහැ. ඒ නිසා ඔවුන් ජවිපෙ අත් නොහැරීම ඔවුන්ගේ පැත්තෙන් ගත්විට සාධාරණයි. මා ඔවුන් තනිකොට ඔවුන්ගෙන් ඉවත්වීම නිවැරදි නැහැ. මා මේ ව්‍යාපාරයට ඔවුන් රැගෙන ආවේ නම් මා ඉන් පිටවී යායුත්තේද ඔවුන් සමගයි. ඔවුන් වෙනස් වනතෙක් මා ඔවුන් මග එහි ඉඳිය යුතුයි.” ඒ සියල්ල ඔහුගේම වචන නොවෙතත්, ඔහු කරන ලද පැහැදිලි කිරීමේ අර්ථය එය විය. ඔහුගේ ප්‍රවේශයේ අසාධාරණයක් මටද නොපෙනුණි. එම නිශ්චිත ප්‍රශ්නය මගේ මතකයට නැගෙන වර්තමානයේ මට සිහියට එන්නේ කුලවාදය හා හින්දු දහම පිළිබඳව අම්බෙඩ්කාර් හා ගාන්ධි අතර සිදුවූ අදහස් හුවමාරුවය. හින්දු ධර්මය චතුර්වර්ණ කුල ක්‍රමය අනුමත කරන දහමක් වන නිසා අවංක ලෙස කුලභේදයට විරුද්ධ නම් ගාන්ධි හින්දු ආගම අත්හළ යුතු බවට අම්බෙඩ්කාර් තර්ක කළේය. ගාන්ධි හින්දු ආගම අත්හැරියේ නැතත්, කුලභේදයට එරෙහිව මුළු ශක්තිය යොදා සටන් කළේය. එහිදී අම්බෙඩ්කාර් නිවැරදිය. ගාන්ධි ද නිවැරදිය. ගාන්ධි බුද්ධිමය තර්කයක් මත පිහිටා හින්දු ආගම අත්හරින තැනකට ගියේ නම් ගාන්ධිගේ මුළු සමාජ පරිවර්තන වැඩසටහනම අසාර්ථක දෙයක් වන්නට ඉඩ තිබුණි.
ධර්මදාස ජයසිංහ එහිදී කරන ලද කරුණු පැහැදිලි කිරීමෙන් මා ඉගෙන ගත් වැදගත් පාඩමක්ද ඇති බව කිව යුතුය. කිසියම් මතවාදයක් ඉතාමත් අමාරුවෙන් ග්‍රහණය කරගත් විට එය අත්හැරීමද දුෂ්කරය.
ධර්මදාස ජයසිංහ මීට වසර කිහිපයකට ඉහතදී මියගිය විට හා ඒ බව අසන්නට ලැබුණු විට ඔහු පිළිබඳව සටහනක් ලිවීමේ උනන්දුවක් ඇති වුවද ඒ යුතුකම මගෙන් ඉටු නොවීය. ඔහු මියයන විට ක්‍රියාකාරී දේශපාලනයේ නොසිටි බව මම අසා ඇත්තෙමි. ඔහු බුද්ධිමත්, වර්ණවත්, හොඳ ගති පැවතුම් තිබූ සිංහල සමාජයේ සැඟවී පවත්නා අසමානතාවන්ගේ එක් වැදගත් පැතිකඩක් නියෝජනය කළ පුද්ගලයෙකි. මියගිය ඔහුගේ පුත් වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ ද මහජන සේවය සඳහා ඇප කැපවූ යහපත් හා වර්ණවත් පුද්ගලයකු බව පෙනේ. ඔහු වෛද්‍ය වෘත්තියෙන් මුදල් උපයනවාට වඩා වැඩි උනන්දුවක් දැක්වූ බව පෙනෙන්නේ පීඩිත ජනතාවට සේවය කිරීමය. යහපත් දෙමාපියන්ගේ දූ දරුවෝද බොහෝ විට යහපත් වෙති. පියාගේ මරණය වෙනුවෙන් උපහාර සටහනක් ලිවීමේ වුවමනාව මට තිබුණද එය සිදු නොවීය. ඉන්පසු පුතාගේ මරණයේදී ලියන මෙම කෙටිසටහන පියා හා පුතා යන දෙදෙනාටම උපහාර පිණිස ලියන සටහනකි. ඒ දෙදෙනාට සදාකාලික සුව නින්දක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.