කරන්දෙණියේ වෛද්‍යවරයකු සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය, එම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ගේ සමාජ වටාපිටාව, විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම ප්‍රදේශයේ ජනතාව කෙරෙන් පළවූ ප්රචණ්ඩ හැසිරීම යන කාරණා අප රට මුහුණ දී තිබෙන අර්බුදයේ වැදගත් පැතිකඩ කිහිපයක් රටට පෙන්නුම් කරයි.
ඝාතනයට ලක්වූ තරුණ වෛද්‍යවරයා මුදල් උපයනවාට වඩා ප්‍රධාන කොට සැලකුවේ සිය ප්‍රදේශයේ දුප්පත් ජනයාට සේවය කිරීමය. ඔහුගේ එම ජනහිතකාමී ක්‍රියාකලාපය නිසා ප්‍රදේශයේ ජනතාව ද මේ තරුණ වෛද්‍යවරයාට ආධාර කළේය.
මුදල් ඉපැයීම ප්‍රධාන පරමාර්ථය කොට ගෙන ප්‍රදේශයේ වෛද්‍ය රසායනාගාරයක් හා වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු මෙම තරුණ වෛද්‍යවරයා පවත්වාගෙන ගිය ජනහිතකාමී වැඩපිළිවෙළ ගැන කෝපවී සිය ව්‍යාපාරයේ පැවැත්ම සඳහා තරුණ වෛද්‍යවරයාගේ ජීවිතය තොර කිරීමට තීරණය කළේය. ඔහු ඝාතනය කරන වැඩසටහන ක්‍රියාවට නැගීම සඳහා ආධාර කොටගත්තේ යුද හමුදා සේවයේ නිරත කපිතාන්වරයෙකි. කපිතාන්වරයා එම ඇණවුම ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගනු ලැබුවේද යුද හමුදා සේවයේ නිරත හමුදා සෙබළුන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් කමාන්ඩෝ සෙබළෙකි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් විට ප්‍රදේශයේ ජනතාව ප්‍රකෝප විය. ඔවුහු නීතිය සියතට ගෙන මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ගේ දේපළ විනාශ කළහ.
මෙහිදී වඩාත්ම සැලකිල්ලට ගතයුතුව තිබෙන සාධකය වන්නේ දෙවැනි සාධකයයි. වෛද්‍යවරයා ඝාතනය කරවීමට අවශ්‍ය වූ ව්‍යාපාරිකයා ඒ සඳහා අවශ්‍ය කුලී මිනීමරුවන් ලබාගන්නේ පාතාල ලෝකයෙන් නොව යුද හමුදාවෙනි. එහි අතරමැදියා ලෙස ක්‍රියාකර තිබෙන බව පෙනෙන්නේ ද යුද හමුදාවේ සාමාන්‍ය සෙබළකු නොව නිලලත් කපිතාන්වරයෙකි.
මෙය මෙවැනි තත්ත්වයක් අසන්නට ලැබුණු පළමු අවස්ථාව නොවේ. විටින් විට වුවත් අවස්ථා බොහෝ ගණනක අසන්නට ලැබුණු තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. බිහිසුණු දේවල් කරන පාතාල ලෝකයක් රටේ තිබෙන්නේය. යුද හමුදාවෙන් පැනගිය සෙබළුන් කිසියම් පිරිසක්ද පාතාල ලෝකයට එකතු වී තිබෙන තත්ත්වයක් ඒ පාතාල ලෝකය වඩා බිහිසුණු ලෝකයක් බවට පත්කිරීමට හේතුවී තිබේ. නැවත ඒ පාතාල ලෝකයට තිබෙන සමීප දේශපාලන සම්බන්ධකම් ඒ තත්ත්වය වඩා උග්‍ර කිරීමට හේතුවී තිබේ. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව තේරීම් කාරක සභාවක් සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් 70 දෙනකුගෙන් අත්සනින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවලියට, හිටපු අගවිනිසුරු, ධුරයේ සිටියදී පාතාල නායකයකු සමග පවත්වාගෙන ගිය සමීප සම්බන්ධයක් පෙන්නුම් කරන කරුණක්ද ඇතුළත්ය. එම කාරණයම මෙම අගවිනිසුරුවරයාට එරෙහිව විරුද්ධ පක්ෂය ඉදිරිපත් කළ දෝෂාභියෝග දෙකටද ඇතුළත්ව තිබුණේය. දේශපාලනඥයන් හා පාතාල ලෝකය අතර තිබෙන සම්බන්ධකම් තේරුම් ගැනීම අමාරු නැත. එහෙත් අගවිනිසුරු ධුරය වැනි ඉතා බලවත් හා ගරු කටයුතු තනතුරක් දැරූ පුද්ගලයකු එම තනතුරේ සිටියදී පාතාල ලෝකය සමග සම්බන්ධකම් පවත්වන තත්ත්වයක් පැවතියේ නම් එයින් පෙන්නුම් කැරෙන්නේ ද මෙම පිළිලය කොතරම් දුරදිග ගොස් තිබුණේද යන්නයි. මහාධිකරණ විනිසුරු ඝාතනය කළ, එකල රටේ ලොකුම කුඩු ව්‍යාපාරිකයා ලෙස සැලකුණු, නවුෆර් අධිකරණයේ විනිශ්චයාකරවරුන් සඳහා පැවැත්වෙන ප්‍රිය සම්භාෂණවල බරපැන උසුලන සත්කාරකයකු ලෙසද ක්‍රියා කළේය. එයින් පෙන්නුම් කැරෙන්නේද මේ ප්රශ්නය දුරදිග ගොස් තිබෙන ප්‍රමාණයයි.
කලක් පාතාල ලෝකයට පමණක් සීමාවූ තිබූ කුලී මිනීමරුවන් ලබාගැනීමේ හැකියාව, නිල වශයෙන් පවත්වාගෙන යන ආරක්ෂක හමුදා හා පොලීසිය මගින්ද ලබාගත හැකි තත්ත්වයක් රටේ පවතී නම් හා, එය ඉතාමත් කලාතුරකින් පමණක් අසන්නට ලැබෙන දෙයක් නොවී නිතර නිතර අසන්නට ලැබෙන සාමාන්‍ය දෙයක් වී ඇති නම් ලැබෙන චිත්‍රය ඉතාමත් නරක බව අමුතුවෙන් කිවයුතු නැත. ත්‍රස්තවාදය පරාජය කොට තිබෙන බව ඇත්තකි. එහෙත් ඒ දේම ඊට වෙනස් ආකාරයකින් සිදුවන තත්ත්වයක් රටේ පවතී නම් ඒ ගැන පූර්ණ අවධානය යොමු කිරීම ආණ්ඩුවේත්, විරුද්ධ පක්ෂවලත්, සමාජයේත් වගකීමකි. ප්රභාකරන් පරාජය කිරීමෙන් පමණක් ප්රශ්නය අවසන් වී නැති බව ඒ සියලුදෙනා තේරුම් ගත යුතුය. දැන් රටට අවශ්‍යව ඇත්තේ සන්සුන් මනසකින් යුතුව දශක තුනකට ආසන්න කාලයක් පැවති ප්රචණ්ඩ ව්‍යාපාර හා ඒවා මර්දනය කිරීම සඳහා යොදාගත් ප්රතිප්රචණ්ඩ ව්‍යාපාර විසින් සමාජ දේශපාලන ක්රමයේ ඇති කර තිබෙන විකෘතීන් තේරුම් ගනිමින් එම විකෘතීන් නැති කරන ප්‍රඥාවන්ත වැඩසටහනකි.