“කොළඹ නගර සංවර්ධන විවාදය” යන හිසින් මීට පෙර කලාපයක පළවූ මාගේ ලිපිය විවේචනයට හා විචාරයට ලක් කරන කුමුදු කුසුම් කුමාරගේ ලිපියක් පසුගිය රාවයේ පළවී තිබුණි. කුමුදු 71 කැරැල්ලට නෑකමක් ඇති සමාජ විද්‍යාඥයෙකි. එවැනි කෙනකු අතින් කොළඹ සිදුවන නගර සංවර්ධනය ගැන පළවූ මාගේ අදහස් විවේචනයට හා විචාරයට ලක්වීම සුදුසුය. ඒ නිසා මට නැවත එම සාකච්ඡාවට යොමුවීමට අවස්ථාවක් ලැබීම ගැනද සතුටු විය හැකිය.
කුමුදු සිය ලිපියෙන් දියුණු ප්රජාතන්ත්රවාදී රටවල් නගර සංවර්ධනයේදී අනුගමනය කරන ප්‍රතිපත්ති හඳුන්වාදෙමින් අප විසින්ද ඒ ප්‍රතිපත්ති ඒ සමාන ආකාරයකින් යොදා ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි. ඔහු එහිදී යොදා ගතයුතු වැදගත් මාන තුනක් අවධාරණය කරයි. එනම් ප්රජාතන්ත්රවාදය, ජන දිවියේ විවිධත්වය සුරැකීම හා දුප්පතුන්ගේ අයිතිය රැකීමය. කොළඹ නගරයේ දැන් සිදුවන සංවර්ධනය එම ප්‍රතිපත්තිවලට අනුකූල නොවන නිසා එය අසාර්ථක හා අයහපත් වැඩපිළිවෙළක්ය යන්න ඔහුගේ මතය වී තිබේ.
චෞර යුගය අමතක කිරීම
ඔහු දියුණු ප්රජාතන්ත්රවාදී රටවල නගර සංවර්ධන ප්‍රතිපත්ති ගැන කතා කර ඇත්තේ ඒවා කෙරෙහි ඇති කරගත් ගෞරව පූර්ව හැඟීමකිනි. ඒ රටවල පෙනෙන්නට තිබෙන වර්තමාන දියුණුව මිස, ඒවා එම දියුණුව අත්පත් කරගත් ආකාරය ඔහුගේ දැක්මට බලපා තිබෙන බවක් පෙනෙන්නට නැත. දැන් සුපිරි ප්රජාතන්ත්රවාදී තත්ත්වයක් හිමි කරගෙන සිටින දියුණු රටවල් ඔවුන්ගේ කාර්මික විප්ලවය සඳහා අවශ්‍ය ධනය සොයාගත්තේ රටවල් කොල්ලකෑමෙනි. එක්සත් රාජධානිය රටවල් කොල්ලකනවාට අතිරේකව රටවල් කොල්ලකන වෙනත් කොල්ලකරුවන් මුහුදෙන් රැගෙන යන ධනය මුහුදේදී කොල්ලකෑවේය. එංගලන්තයේ කාර්මික විප්ලවයට මුහුදු කොල්ලකරුවෝද වැදගත් දායකත්වයක් ලබා දුන්නෝය. ඒ මගින් ඔවුන්ගෙන් ඉටුවූ කාර්යභාරය සලකා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සිය රටේ හොඳම මුහුදු කොල්ලකරුවන්ට නයිට් පදවි ප්රදානය කළේය. ධනවාදයේ ඒ යුගය සැලකෙන්නේ “චෞර යුගය” වශයෙනි. කාර්මික විප්ලවයෙන් පසු ඒ හැම රටක්ම පාහේ සිය දියුණුවේ පරිණාමයේ එක අවස්ථාවකදී කර්මාන්ත කම්කරුවන්ගේ වාසස්ථාන බවට පත්ව තිබූ නගරවල මුඩුක්කු හා පැල්පත් ඉවත් කළේය. එසේ කරන ලද්දේ ප්රජාතන්ත්රවාදය, ජන ජීවිතයේ විවිධත්වය හා දුප්පතුන්ගේ අයිතිවාසිකම් සැලකිල්ලට ගන්නා ප්‍රතිපත්තියක් මත පිහිටා නොව බලහත්කාරයෙනි. කුමුදු කියන යහපත් ප්‍රතිපත්ති ක්‍රියාත්මකවීම ආරම්භවන්නේ නගරවල තිබුණු මුඩුක්කු හා පැල්පත් ඉවත් කොට ඒවා දියුණු හා නවීන නගර බවට පත්කිරීමෙන් පසුවය. නැතිනම් ධනවාදයේ “චෞර යුගය” අවසන් කොට “සත්පුරුෂ” යුගය (විශාල ප්‍රමාණයකට බාහිර පෙනුමෙන්) මාරුවීමෙන් පසුවය. බටහිර රටවල් සිය පරිණාමයේ දියුණු අදියරයකදී යොදාගත් ප්‍රතිපත්ති, පරිණාමයේ ඊට වඩා පහළ අදියරයක තිබෙන රටවල් සඳහා ගෙඩි පිටින් ගිල්ලන ප්‍රතිපත්තියක් කොතරම් ප්‍රායෝගිකද යන ප්රශ්නය කුමුදු සැලකිල්ලට ගෙන නැත. මෙම අදහස් පළකිරීමේදී ඔහුගේ චින්තනය ධනවාදයේ චෞර යුගය මුළුමනින් අමතක කොට ධනවාදයේ සත්පුරුෂ යුගයකට සීමා කොට තිබෙන බවක් පෙනේ. මා මේ ලිපියෙන් වැඩියෙන්ම කතා කරන්නට බලාපොරොත්තු වන්නේද මහ පොළොවේ තිබෙන යථාර්ථය නොසලකා දියුණු රටවලින් ආනයනය කරන ලද අදහස් ගෙඩි පිටින් පැළ කරන්නට දරන උත්සාහයන් නිසා ලංකාවේ සමහර අංශවල ඇතිවී තිබෙන අවුල් ගැනය. ඊට පෙර කොළඹ සංවර්ධනය ගැන පළකර තිබෙන අදහස් කෙටියෙන් සලකා බලන්නට කැමතිය.
කුමුදු ඉදිරිපත් කර තිබෙන ප්‍රවේශය පරමාදර්ශී ප්‍රවේශයක් ලෙස සැලකිය හැකිය. තිබෙන ලොකුම ප්රශ්නය එම පරමාදර්ශී ප්‍රවේශය හා රටේ මහ පොළොවේ තිබෙන යථාර්ථය අතර මහා පරතරයක් තිබීමය. ඔහුගේ ප්‍රවේශය සමාන කළ හැක්කේ බුදුවූ පසුව පමණක් කළ හැකි විශේෂ දේවල් බුදුවන්නට පෙර කරන්නට දරන උත්සාහයක් ලෙසය.
කුමුදුට අනුව කොළඹ නගර සංවර්ධනයේදී හැම වැදගත් පියවරකදීම ඒ බව කල්තියා පුරවැසියන්ට දැනුම් දිය යුතුය. ඒ සඳහා පුරවැසියන්ගේ අනුමැතිය හා සහභාගිත්වය ලබාගත යුතුය. නගරයේ පිරිසිදුකම පවා ඇති කරගත යුත්තේ අණකිරීම්වලින් හෝ නීති පැනවීමෙන් නොව පුරවැසියන් ස්වේච්ඡාවෙන් ඇතිකර ගන්නා දෙයක් ලෙසය. ඒ අනුව අපිරිසිදුකමට දඬුවම් පමුණුවන නීති පවා තිබිය යුතු නැත.
මුඩුක්කු හා පැල්පත්වල යථාර්ථය
මුඩුක්කු හෝ පැල්පත් ලෙස හැඳින්වෙන නගරයේ අඩු ආදායම්ලාභීන්ගේ නිවාසවල තදබදයක් ඇතත්, සෞඛ්‍ය ගැටලු හෝ සමාජ ආරාවුල් වාර්තා නොවන බවද ඔහු කියයි. එහෙත් ඔහු, එම මතය සනාථ කිරීමට සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැත. ඔහු ඒ මගින් අනියම් ලෙස කියන්නේ ඒ නිවැසියන් විසින්ම ඔවුන්ගේ ස්වභාවයන්ගෙන් වඩා හොඳ නිවාස ක්‍රමයක් තෝරා ගන්නා තෙක් ඔවුන්ට එම නිවාසවල ඉන්නට ඉඩදිය යුතු බවය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් පළකොට තිබෙන Poverty Profile City of Colombo (2002) යන වාර්තාවේ එන තොරතුරුවලට අනුව කොළඹ නගර සීමාව තුළ තිබෙන මේ ගණයට වැටෙන නිවාසවලින් යුතු වතු හෝ ජනවාස සංඛ්‍යාව 1614කි. එක් වත්තකට හෝ ජනාවාසයකට අයත් නිවාස සංඛ්‍යාවේ සාමාන්‍යය 36කි. ඒ සියලු වතු හෝ ජනාවාසවල තිබෙන නිවාස ඒකක සංඛ්‍යාව 53659කි. එම නිවාස ඒකක 53659යේ පදිංචි පවුල් සංඛ්‍යාව 77612කි. එවිට එක නිවසකට වැටෙන පවුල් සංඛ්‍යාව 1.44කි. නිවෙස් 50%කට ආසන්න සංඛ්‍යාවක එක පවුලකට වැඩි පිරිසක් සිටින බව පෙනේ. එක පවුලකට වැටෙන සාමාජික සංඛ්‍යාව 5ක් ලෙස සැලකුවහොත් මේ නිවාසවල සිටින ජනගහනය 388060කි.
මේ නිවාස පිහිටා ඇත්තේ ඇළ ඉවුරුවල, මාර්ග රක්ෂිත ප්‍රදේශවල හා ගංවතුරට ගොදුරු වන ප්රදේශවලය. තමන් පදිංචි නිවස පිහිටි ඉඩමේ අයිතිය ඇත්තේ පවුල් 19117ක් හෙවත් මුළු පවුල් සංඛ්‍යාවෙන් 23%කට පමණය. නිවාස 23%ක් ස්ථිර ගණයට වැටෙන තට්ටු නිවාස වන අතර 47%ක් ස්ථිර ගණයට වැටෙන තනි තට්ටු නිවාස වේ. අර්ධ ස්ථිර නිවාස ප්‍රමාණය 19%කි. 11%ක් තාවකාලික ගණයට අයත්ය. 44%ක් ජල නළ පහසුකම්වලින් යුතුය. නිවාස 23%කට ජල නළ පහසුකම් නැතත් පහසුවෙන් පොදු ජල නළවලින් ජලය ලබාගත හැකි තත්ත්වයක පවතී. තවත් 31%ක් ජලය ලබාගන්නේ පොදු ජල නළවලින් වුවද එම පොදු ජල නළ ඔවුන්ගේ නිවාසවලට සමීප නැත. පොදු ජල නළවලින් ජලය ලබාගත නොහැකි තත්ත්වයක තිබෙන නිවාස ප්‍රමාණය 2%කි.
නිවාස 33%කට වැසිකිළි ඇත්තේය. පොදු වැසිකිළි ප්‍රයෝජනයට ගන්නා නිවාස ප්‍රමාණය 65%කි. තමන්ගේ වැසිකිළි නැති පොදු වැසිකිළි පහසුකම්වලින්ද තොර නිවාස ප්‍රමාණය 2%කි. වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කැරෙන පොදු නළ පද්ධතියට සම්බන්ධයක් නැති වැසිකිළි ප්‍රමාණය 30%කි. ඒවායින් සමහරක් වළවල්වලට අපද්‍රව්‍ය ඉවත් කැරෙන අතර තවත් සමහරක් ඒවා ඉවත් කැරෙනුයේ ඇළ මාර්ගවලටය.
මෙම නිවාසවල ජීවත් වන වැඩ කරන වයසේ අයගෙන් ස්ථිර රැකියා මාර්ග ඇත්තේ 12%කට පමණය. 45%ක් පමණ නුපුහුණු තාවකාලික ශ්‍රමිකයන් වශයෙන් වැඩ කරන අතර 9%කට කිසිම ආදායම් මාර්ගයක් නැත. පුරුෂයා වෙන්වීම, මියයෑම හා ආබාධිත වීම වැනි හේතු නිසා ස්ත්‍රිය ගෘහ මූලිකයා ලෙස ක්‍රියාකරන අය 50%කට වැඩියෙන් සිටින වතු හෝ ජනාවාස ගණන 2%කි. තවත් වතු හෝ ජනාවාස 22%ක ස්ත්‍රිය ගෘහ මූලිකයා වශයෙන් ක්‍රියාකරන පවුල්වල ප්‍රතිශතය 10%කට වැඩිය.
මෙම ඹභෘඡ වාර්තාවට මෙම පවුල්වල සමාජීය පසුබිම තේරුම් ගැනීමට අවශ්‍ය වෙනත් තොරතුරු ඇතුළත්වන්නේ නැත. මා වෙනත් සමීක්ෂණ වාර්තාවලින් දැක තිබෙන පරිදි ඔවුන් අතර මත්පැන් හා මත්ද්‍රව්‍ය පරිභෝජනය සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පවතී. සාමාන්‍ය අධ්‍යාපන මට්ටමද සාපේක්ෂ වශයෙන් පහත් තත්ත්වයක පවතී. පාසල් යන ළමුන් අතර අතරමග පාසල් අතහැර යන්නන්ගේ අනුපාතිකයද සාපේක්ෂ වශයෙන් ඉහළය.
පසුගිය දශක තුනක් තරම් කාලය තුළ ග්‍රාමීය සමාජයේ දුප්පතුන්ගේ ජීවිතවල සැලකිය යුතු වෙනසක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට ඇතත්, නගරවල මුඩුක්කු හා පැල්පත් ලෙස සැලකෙන නිවාසවල ජීවත් වන දිළිඳු ජනයාගේ ජීවිතවල එවැනි යහපත් වෙනසක් ඇතිවී තිබෙන බවක් පෙනෙන්නට නැත. ගම්වල අන්ත දුප්පතුන්ගේ අනුපාතිකයේ කැපී පෙනෙන තරමේ පහළ වැටීමක් දක්නට තිබේ. දැන් ගම්වල අතු සෙවිලි කළ වරිච්චි ගෙවල් ඇත්තේම නැති තරම්ය. විදුලි බලය නැති ගෙවල් ඇත්තේද ඉතාමත් සුළු ප්රමාණයකි. වැසිකිළි නැති ගෙවල් ද ඇත්තේම නැති තරම්ය. එහෙත් නාගරික දුප්පතුන්ගේ ජීවිතවල එවැනි කැපී පෙනෙන යහපත් වෙනසක් ඇතිවී නැත.
මා හිතන අන්දමට කොළඹ නගරයේ මුඩුක්කුවල හා පැල්පත්වල වෙසෙන දිළිඳු ජනයා විශේෂ අවධානය යොමු කළ යුතු පිරිසක් ලෙස සලකා ක්‍රියාකළ යුතුය. දැන් ජීවත් වන මුඩුක්කු හා පැල්පත්වලින් ඔවුන් ඉවත් කළයුතු වන්නේ නගරයේ යහපත පිණිස පමණක් නොව, ඔවුන්ගේද යහපත සඳහාය. සුදුසු තට්ටු නිවාස ලබාදෙන ක්‍රමයක් මිස නගර සීමාව තුළ ඒ සඳහා අන් විසඳුමක් ඇතැ”යි මට නොපෙනේ. ඔවුන් ජීවත් වන ඉඩම් විශාල ඉඩම් බවට හරවා ඒ ඉඩම් විකුණා උපයන ආදායම තට්ටු නිවාස වැඩපිළිවෙළක් සඳහා යොදා ගැනීම ඒ සඳහා යොදාගත හැකි එක විකල්පයකි. අවශ්‍ය අරමුදල් ඇති නම් යොදාගත හැකි හොඳම ක්‍රමය තට්ටු නිවාස ඉදිකොට ඒවා ඔවුන්ට ලබාදී ඔවුන් දැන් ජීවත් වන නිවාසවලින් ඔවුන් ඉවත් කිරීමය. ඔවුන් අතර ග්‍රාමීය ප්‍රදේශවලට සංක්‍රමණය වීමට උනන්දුවක් ඇති අයද සිටිය හැකිය. ඒ සඳහා ඔවුන් පොළඹවන ආකර්ෂණීය දිරිගැන්වීම් ලබාදෙන පිළිවෙතක් අනුගමනය කළ හැකිය.
අනවසර ඉදිකිරීම්
අනවසර ඉදිකිරීම් පිළිබඳ ප්රශ්නය දුප්පතුන්ට පමණක් සීමාවූ ප්‍රශ්නයක් ලෙස සැලකිය නොහැකිය. ඉදිකිරීම්වලදී ඒ වැරැද්ද ධනවත්තුද සිදුකරති. අනවසර ඉදිකිරීම්, නගරවල විධිමත්භාවය හා අලංකාරය නැති කරනවා පමණක් නොව, නගරවල ජල ගැලීම් පිළිබඳ ප්රශ්නය උග්‍ර කරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කරයි. අනවසර ඉදිකිරීම්වලට ඉඩ නොතැබිය යුතුය. අනවසර ඉදිකිරීම් නීතියට පටහැනි වුවත් මෙතෙක් සිදුවූයේ විවිධ හේතු නිසා එම නීති විරෝධී ක්‍රියාවලිය නොකඩවා පවත්වාගෙන යෑමට ඉඩදී බලා සිටීමය. නගරයේ අනවසර ඉදිකිරීම් පවත්වාගෙන ගිය ධනවතුන් හා ව්‍යාපාරිකයන් ඒවා පවත්වාගෙන ගියේ සිය බලය යොදා ගනිමිනි. ඒ තත්ත්වය බලය යොදා හෝ නැති කිරීම යහපත්වේය යන්න මගේ මතයයි.
ආරක්ෂක හමුදා ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳ ප්‍රශ්නයද සාධාරණව සලකා බැලෙන බවක් පෙනෙන්නට නැත. ආරක්ෂාව බරපතළ ප්රශ්නයක්ව පැවති කාලයේදී ඒ අභියෝගය ජයගැනීමට රටට විශාල හමුදාවක් අවශ්‍ය වූයේය. දකුණු ආසියානු රටවල ජනගහනයේ අනුපාතිකයක් වශයෙන් ගත්විට ප්‍රමාණයෙන් විශාලතම ආරක්ෂක හමුදාවක් සිටින්නේ ශ්‍රී ලංකාවටය. දැන් ආරක්ෂාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් නැති තත්ත්වයක් තුළ එවැනි විශාල ආරක්ෂක හමුදාවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නැත. එවැනි විශාල හමුදාවක් නඩත්තු කිරීමේ හැකියාවද ශ්‍රී ලංකාවට නැත. යුද්ධය අවසන් වී ඇතත්, ආරක්ෂක හමුදාවෙන් කිසියම් විශාල පිරිසක් වහාම ගෙදර යැවීමේ හැකියාවක් ද නැත. ශ්‍රී ලංකා ආණ්ඩුව මුහුණ දී තිබෙන මෙම උභතෝකෝටික ප්රශ්නය තේරුම් ගැනීමට බොහෝ විචාරකයන් සමත්ව නැත. නිකම්ම කන්න අඳින්න දී පඩිදෙන ප්‍රතිපත්තියක් වෙනුවට ඔවුන්ගේ ශ්‍රමය ඉදිකිරීම් වැනි කටයුතු සඳහා යොදාගැනීම මගින් රටට දරන්නට සිදුවී තිබෙන අලාභය අවම කරන වෑයමක් මෙම ක්‍රියාවලිය තුළ අන්තර්ගතව පවතී. මම ආරක්ෂක හමුදාවල සේවය කරන මා දන්නා හඳුනන කිහිපදෙනකු සමග යුද්ධයෙන් පසු දැන් ඔවුන් කරන්නේ මොනවාද යන ප්රශ්නය අසා ඇත්තෙමි. ඔවුන් හැම කෙනකුගෙන්ම මට ලැබුණු පිළිතුරේ අවසාන තේරුම වූයේ දැන් ඔවුන් බර වැඩ කරන ශ්‍රමිකයන්ගේ තත්ත්වයට පත්කර තිබෙන බවය. එය මේ ප්‍රශ්නයට තිබෙන හොඳම විසඳුම නොවිය හැකි වුවත් හරි විසඳුම් සොයා ගන්නා තෙක් තෝරා ගැනීමට තිබෙන හොඳ විසඳුම ලෙස එය සැලකිය හැකිය.
පිරිසිදුකම හා පොලීසිය
කොළඹ නගරයේ පිරිසිදුකම පිළිබඳ ප්රශ්නයේදී රාජපක්ෂ විරෝධී විචාරකයන් ඇත්ත කතා කිරීමට මැලිකමක් දක්වන්නේ ඇයිද යන්න මට තේරුම් ගැනීමට අමාරුය. මීට පෙර කොළඹ නගරය තිබුණේ අපිරිසිදු තත්ත්වයකය. එහෙත් අද පවතින තත්ත්වය ඊට බොහෝ වෙනස්ය. මෙය කොළඹ නගරය තුළ පමණක් නොව රටේ බොහෝ ප්‍රදේශවල ද දක්නට ලැබෙන තත්ත්වයකි. කුණු ප්රශ්නය ගැන වෙනදා නොතිබුණු අවධානයක් ජාතික වශයෙන් යොමුවී තිබෙන බව පෙනේ. එය සැලකිය යුත්තේ නරක දෙයක් ලෙස නොව, හොඳ දෙයක් ලෙසය. එම ප්‍රවණතාව ආරක්ෂා කරගනිමින් එය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑමට උත්සාහ කළ යුතුය.
කුමුදුට අනුව කොළඹ නගරයේ පිරිසිදුව පවත්වාගෙන ගොස් ඇත්තේ පොලීසියේ මැදිහත්වීමෙනි. පොලීසිය කළේ කුණු එකතු කිරීම නොව, ප්‍රසිද්ධ ස්ථානවලට කුණු දමන්නේද යන්න සොයා බැලීම පමණය. ඒ අරමුණ වෙනුවෙන් පරිසර පොලීසිය නමින් නව ඒකකයක්ද ඇති කරන ලදි. ඒ ඒකකයේ ක්‍රියාකාරීත්වය කොළඹ නගරයට සීමා නොවීය. එම වැඩපිළිවෙළ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නක් ලෙස මට පෙනෙන්නේ නැත. කොළඹ නගර සභාව එජාප ජයගැනීමෙන් පසු කොළඹ නගරයේ පිරිසිදුකරණයට අදාළව පොලීසිය ඉටු කරන ලද කාර්යභාරය නතර කළේයැ”යි කියන කතාවේද ඇත්තේ අර්ධ සත්‍යයක් පමණය. කොළඹ නගර සභාව එජාප ජයගැනීමෙන් දින දෙකකට පසුව නව නගරාධිපතිවරයා සමග කැරුණු දුරකතන කතාබහකදී පොලීසියේ පරීක්ෂාව ඉවත් කරගැනීම පිළිබඳ ප්‍රශ්නයද නව නගරාධිපතිවරයා සමග මම කතා කළෙමි. ඔහු ඊට දෙන ලද පිළිතුර වූයේ තමා නගර සභාව ජයගැනීමෙන් පසුව පක්ෂ නායකයාගේද අනුදැනුම ඇතිව ජනාධිපතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාටත් කතා කළ බවත් ඒ කතාබහේදී ආරක්ෂක ලේකම්වරයාගෙන් එම නිශ්චිත ප්‍රශ්නයද අසන ලද බවත් නගර සභාවේ විරුද්ධ පක්ෂය බලයට පත්ව තිබෙන තත්ත්වයක් තුළ ඒ කාර්යය නගර සභා පාලනයේ අනුමැතිය නැතිව සිදුකිරීම සුදුසු නැති නිසා එසේ කළ බව කී බවත් තමාට ඒ සේවාව අවශ්‍ය බව කී විට ආරක්ෂක ලේකම්වරයා පොලීසිය කරන සේවාව වහාම ලබාදෙන්නට එකඟ වූ බවත්, දැන් ඒ සේවාව ලැබෙන බවත් ඔහු කීවේය. එයින් පෙනෙන්නේ ඒ ගැන කුමුදුගේ නිරීක්ෂණය මුළුමනින් නිවැරදි නොවන බවය.
නගරයේ ප්‍රවාහන ප්‍රතිසංවිධානය පයින් ගමන් කරන්නන් නොසලකා මෝටර් රථවලින් ගමන් කරන්නන්ගේ පහසුව මුල් කරගෙන පමණක් කරන්නක් යන නිගමනයද පිළිගත නොහැකිය. පදික වේදිකාවල තිබූ වෙළෙඳ කුටි ඉවත් කිරීමෙන්ද පදික වේදිකාවල සිමෙන්ති ගඩොල් ඇල්ලීමෙන්ද පයින් ගමන් කරන්නන්ගේ සුව පහසුව වර්ධනය වී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
පදික වේදිකාවෙන් ඉවත් කළ වෙළෙඳුන් සඳහා ලබාදී තිබෙන විකල්ප වෙළෙඳපොළ ක්‍රමය ගැන ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණයද පිළිගත නොහැකිය. ලබාදී තිබෙන විකල්ප වෙළෙඳපොළ ක්‍රමය තුළ පදික වෙළෙඳාමේ යෙදුණු කිසියම් පිරිසකට වෙළෙඳ කුටි නොලැබී පක්ෂ හිතවතුන් පිරිසකට ලබාදී තිබෙනවා විය හැකි වුවත් පදික වේදිකාවේ යෙදුණු විශාල බහුතරයකට නව ක්‍රමය තුළ වෙළෙඳ කුටි ලැබී ඇති නම් හා ඒ මගින් ඔවුන්ට වඩා හොඳ වෙළෙඳාමක් ලැබී ඇති නම් එය සැලකිය යුත්තේ සාර්ථක විකල්ප ක්‍රමයක් වශයෙනි. කිසියම් යෝජනා ක්රමයක සාර්ථකභාවය සඳහා 100%ක්ම සාර්ථකවීම අවශ්‍ය වන්නේ නැත. 90%ක් 85%ක් 80%ක් වැනි ඉලක්කයක් සපුරා තිබීම වුව සැලකිය යුත්තේ සාර්ථක භාවයක් ලෙසය.
මතවාදී තලය හා මූලධර්මවාදය
දැන් මට කතා කරන්නට අපේක්ෂා කළ ඊළඟ කාරණය වෙත ආ හැකිය. ශ්‍රී ලංකාවේ මතවාදී තලයේ පවත්නා පසුගාමී බව කෙරෙහි ඒ කෙරෙහි බලපා තිබෙන මූලධර්මවාදී අදහස් ද බලපා ඇතැ”යි කිව හැකිය. මූලධර්මවාදය, ආගම, වර්ගය, සංස්කෘතිය, දේශපාලනය, විද්‍යාව හා තාක්ෂණය, කාන්තා විමුක්තිය, පරිසරය, යහපාලනය හා මානව හිමිකම් වැනි දෘෂ්ටීන් හා මතවාදයන් ආශ්රයෙන් ඇතිවිය හැකිය. මේ හැම කෝණයක්මත් සමාජයේ තිබීම ඉතා වැදගත් වුවත් දැක්ම එක කෝණයකට පමණක් සීමා කොටගෙන දේවල් දකින්නට, විග්රහ කරන්නට හා ඒ අනුව ක්රියාකරන්නට දරන උත්සාහය සමාජ චින්තනය සේ ම සමාජ ගමන් මගද විශාල ප්‍රමාණයකට අවුල් කිරීමට හේතුවී ඇතැ”යි කිව හැකිය. ඕනෑම වාදයක් හෝ මතවාදයක් මූලධර්මවාදයක් බවට පත් කරගත් විට එම රාමුවට පටහැනි හෝ එකඟ නොවන හැම දෙයක්මත් පෙනෙන්නේ එකඟවිය නොවිය යුතු, අනුමත නොකළ යුතු වැරදි හෝ නපුරු දේවල් ලෙසය. ආගමික මූලධර්මවාදීහු ආගම මතත්, වාර්ගික මූලධර්මවාදීහු වර්ගය මතත්, දේශපාලන මූලධර්මවාදීහු තමන්ගේ පිළිගැනීමට හේතුවී තිබෙන දේශපාලන මතවාදයන් පදනම් කොටගෙනත්, පරිසර මූලධර්මවාදීහු පරිසරය කේන්ද්‍ර කොටගෙනත්, මානව අයිතිවාසිකම් මූලධර්මවාදීහු මානව අයිතිවාසිකම් මුල් කොටගෙනත් ලෝකය දක්නට විග්රහ කරන්නට හෝ ඇතිවන දේවල්වලට ප්‍රතික්‍රියා කරන්නට උත්සාහ දරති. මේ කෝණ හැම තැනටම එකාකාරව ගැළපෙන්නේ නැත. නොගැළපෙන බොහෝ තැන්ද තිිබිය හැකිය.
මිනිසාගේම නිෂ්පාදනයක් ලෙස සැලකිය හැකි විද්‍යාව හා තාක්ෂණය අපරාජිත බලයක් ලෙස සැලකුණු, විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව තුළ මිනිස් වර්ගයාගේ ප්‍රගතිය නොවැළැක්විය හැකිවේයැ”යි විශ්වාස කළ යුගයක් තිබුණි. එය මාක්ස්වාදී චින්තනයේද වැදගත් පුරුකක්වීයැ”යි ද කිව හැකිය. මාක්ස්වාදී දර්ශනය විද්‍යාත්මක දර්ශනයක් ලෙස කැරෙන හැඳින්වීම ගැන බර්ට්‍රන්ඩ් රසල්, පෘථිවියට හා එහි ජීවත් වන මිනිසුන්ට සීමාවූ දර්ශනයක් විද්‍යාත්මක වියහැක්කේ කෙසේද කියා ප්‍රශ්න කළේය. විද්‍යාව හා තාක්ෂණය මිනිසුන්ගේ ජීවිතවල විස්මයජනක භෞතික දියුණුවක් ඇති කළේය. එහෙත් මිනිසුන්ගේ විද්‍යාත්මක ක්‍රියාකාරීත්වය පෘථිවියේ පැවැත්ම විශාල අවුලකට තල්ලු කිරීමට හේතුවී තිබේ. දේශගුණයේ ඇතිවී තිබෙන සාහසික වෙනස්කම්, ඒ තත්ත්වය වර්තමාන මිනිසාට හොඳින් දැනෙන තත්ත්වයක් ඇතිකර තිබෙන්නේය. විද්‍යාව හා තාක්ෂණය මිනිසාගේ භෞතික ජීවිතයේ විස්මයජනක දියුණුවක් ඇති කර තිබුණද ඒ දියුණුව ස්වභාව ධර්මයේ සමතුලිතභාවය බිඳ දැමීමට හේතුවී තිබේ. සමහරවිට එය මහා විනාශයකින් කෙළවර විය හැකිය. ඒ තත්ත්වයට විසඳුම් දීමේ හැකියාවක් විද්‍යාවට තිබෙන බවක් පෙනෙන්නට නැත. ඒ තත්ත්වය විද්‍යාව හා තාක්ෂණය හිමි කරගෙන තිබුණු අභිමානය දෙදරුම් කන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.
මාක්ස්වාදී ව්‍යාපාරයයේ අර්බුදය
ශ්‍රී ලංකාවේ මතවාදී තලයේ එක දිගට දීර්ඝ කාලයක් ආධිපත්‍යය හිමිව තිබුණේ මාක්ස්වාදයටය. අන් සියලු දේශපාලන මතවාදයන් සඳහා සිංහල භාෂාවෙන් පළවී තිබෙන මුළු පොතේ ප්‍රමාණය මෙන් සමහරවිට දහගුණයක් තරම් පමණ වන පොත් ප්‍රමාණයක් මාක්ස්වාදය පිළිබඳව සිංහල භාෂාවෙන් පළවී තිබේ. සෝවියට් දේශය හා චීනය මාක්ස්ගේ, එංගල්ස්ගේ, ලෙනින්ගේ හා මාඕ සේතුංගේ පොත්පත් නොමිලේ හෝ ඉතා අඩු මුදලකට තොග ගණනින් ලංකාවට සැපයීය. ඒවාහි එන අදහස් මේ රටේ මිනිසුන්ගේ චින්තනය කෙරෙහි බලපෑවේය. නුවුවමනා තරමින් එක පැත්තකට බරව සිතන තත්ත්වයක් ඔවුන් තුළ ඇති කළේය. දේශපාලන අර්ථයෙන් ලංකාවේ මිනිසුන්ට මූලධර්මවාදීව සිතන්න හා ක්‍රියාකරන්න පුරුදු පුහුණු කළ දේශපාලන ධර්මය වූයේ මාක්ස්වාදයයි. එය තවත් යහපත්යැ”යි සිතන අරමුණක් සඳහා මිනිසුන් මරන්නට හා තමන්ගේ ජීවිත පූජා කරන්නට ද මිනිසුන්ට ඉගැන්නුවේය. ගොඩනැගී තිබුණු සමාජවාදී ලෝකයේ කඩා වැටීමක්, මාක්ස්වාදීහු අපේක්ෂා නොකළෝය. ට්‍රොට්ස්කිගෙන් පසුව ට්‍රොට්ස්කිවාදයට සිටි බහුශ්රුතම න්‍යායවාදියා ලෙස සැලකිය හැකි අයිසෙක් ඩොයිශ්චර් පවා නිලධාරිවාදී පිරිහීම් තිබියදී වුවත් සමාජවාදී ලෝකයේ ඉදිරියට මිස ආපසු හැරීමක් සිදු නොවන බව ප්‍රකාශ කළේය.
එහෙත් ඒ සියලු විශ්වාසයන්ට පටහැනිව සමාජවාදී ලෝකය බිඳ වැටුණේය. ඒ බිඳ වැටීම සිදුවන අවස්ථාව වනවිටත්, එනම්, ඔක්තෝබර් විප්ලවයේ දරුවන් ඔක්තෝබර් විප්ලවයට එරෙහිව නැගී සිටින කාලවකවානුවක ලංකාවේ සමාජවාදී තරුණ පරපුර සමාජවාදී ලංකාවක් සඳහා ආයුධ අතට ගෙන සටන්කරමින් සිටියේය. සෝවියට් දේශයේ වෙමින් තිබුණු දේ ඔවුහු නොදැන සිටියෝය. සමාජවාදී ලෝකයේ පූර්ණ කඩා වැටීමක් ඇතිවීමෙන් පසුත් ආගමක් ලෙස ඇදහූ මාක්ස්වාදය අතහැරීමේ හැකියාවක් ලංකාවේ බොහෝ මාක්ස්වාදීන්ට නොතිබුණි. එම කඩා වැටීම මාක්ස්වාදයේ වරදක් නිසා නොව එය ක්‍රියාවට නගන්නන් අතින් සිදුවූ වැරදි නිසා සිදුවූවක් ලෙස ඔවුහු විශ්වාස කළෝය.
එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඍජු ලෙස මාක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ ප්‍රමාණයේ විශාල පහත වැටීමක් සිදුවිය. විශාල පිරිසක් මාක්ස්වාදී ක්‍රියාධරයන්ගේ තත්ත්වයෙන් ඉවත් වුවද මාක්ස්වාදය කෙරෙහි ඔවුන් තුළ පැවති බැති බව අත්හැරියේ නැත. පහසුවෙන් ගැළවිය නොහැකි තරමට මාක්ස්වාදය ඔවුන් තුළ ජීර්ණ වී තිබුණි. කිසියම් සුළු පිරිසක් සාම්ප්‍රදායික මාක්ස්වාදීන් ලෙසද, තවත් සුළු පිරිසක් නව මාක්ස්වාදීන් ලෙස ද මාක්ස්වාදී ව්‍යාපාරය තුළ ඉතිරි වනවිට තවත් විශාල පිරිසක් මාක්ස්වාදයෙන් පරිබාහිර වෙනත් අංශවලට මාරුවී ඒවාහි ක්රියාකාරිකයන් බවට පත්වූහ. සමහරෙක් සිංහල හා දෙමළ වර්ගවාදී සංවිධාන හා එකතුවෙමින් ඒවාහි න්‍යායධරයන් හෝ කැපී පෙනෙන ක්‍රියාධරයන් බවට පත්වූහ. තවත් සමහරෙක් ස්ත්‍රී විමුක්තිවාදීන්, පරිසරවාදීන්, ලිබරල්වාදීන්, ආධ්යාත්මිකවාදීන්, යහපත් ආණ්ඩුකරණවාදීන් හා මානව හිමිකම්වාදීන් බවට පත්වූහ. ඉතාම වැදගත්ම දේ වනුයේ මෙසේ විවිධ ව්‍යාපාරවලට අලුතෙන් එකතු වූ මාක්ස්වාදීන් ඒ ව්‍යාපාරවලට එකතු වූයේ මාක්ස්වාදය කෙරෙහි ඔවුන් තුළ පැවති බැති බව අත්නොහරිමිනි. ඒ නිසා ඔවුන් ප්‍රසිද්ධියේ අලුතෙන් පෙනීසිටින පුරුෂාර්ථ හා හදවතේ සැඟවී තිබුණු පැරණි පුරුෂාර්ථ අතර නොගැළපීමක් තිබුණි. නිදර්ශනයක් වශයෙන් ලංකාවේ රාජ්‍ය නායකයන් කැරලි මර්දනයේදී අනුගමනය කළ මනුෂ්‍ය ඝාතන ප්‍රතිපත්තිය ගැන ඔවුන්ට සැර විවේචනයක් තිබුණද, ඔවුන් තමන්ගේ ලෝකයේ වීරයන් ලෙස සැලකූ ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටැලින්, මාඕ, කස්ත්‍රෝ වැනි නායකයන් පවත්වාගෙන ගිය මනුෂ්‍ය ඝාතන ප්‍රතිපත්තිය ඔවුන්ගේ විරෝධයට හේතුවූයේ නැත. ඔවුහු ලංකාවේ ඡන්ද බලයෙන් පත්වන රාජ්‍ය නායකයන් දුටුවෝ නපුරු ඒකාධිපති නායකයෙක් ලෙසය. එහෙත් ආයුධ බලයෙන් බලයට පත් සැබෑ ඒකාධිපති නායකයන් ලෙස සැලකිය හැකි ලෙනින්, ස්ටාලින්, මාඕ සේතුං, පිදෙල් කස්ත්‍රෝ වැනි නායකයන්ගේ ඒකාධිපති ස්වරූපය ඔවුන්ට පෙනුණේ නැත. මාක්ස්වාදී ව්‍යාපාරයෙන් උරුම කරගෙන තිබූ මුලධර්මවාදී හැඩගැස්ම ඔවුහු ඊළඟට එකතු වන ව්‍යාපාරයටද එකතු කළෝය. ඒවාහි න්‍යායවාදයන් පෝෂණය කරන අතර එවැනි මූලධර්ම මත දැඩිව ක්‍රියාකරන තත්ත්වයක් ඇති කළෝය.
මානව හිමිකම්වාදයේ මූලධර්මවාදී නැඹුරුව
ලංකාවේ මානව හිමිකම් සඳහා වන විශේෂ මතවාදයක් සේ ම ඒ වෙනුවෙන් උනන්දුවෙන් ක්‍රියාකරන රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් ඇතිවූයේද ඉතාමත් මෑත කාලවකවානුවකදීය. ඒ ව්‍යාපාරවල ක්රියාධරයන්ගෙන් වැඩි පිරිසක් ද හිටපු මාක්ස්වාදීහු වූහ. 71 කැරැල්ල වනවිට මානව හිමිකම් සඳහා වන සංවාදයක් රටේ තිබුණේම නැති තරම්ය. ජේවීපීයේ දෙවැනි කැරැල්ල වනවිට මානව හිමිකම් සඳහා වන කිසියම් සංවාදයක් තිබුණද එය බලවත් තත්ත්වයක නොතිබුණි. එහෙත් එල්ටීටීඊයට එරෙහිව කැරෙන අවසාන යුද්ධය ආරම්භ වන අවස්ථාව වන විට මානව හිමිකම් සඳහා වන බලවත් සංවිධාන ජාලයක් රට තුළ ගොඩනැගී තිබුණු අතර මානව හිමිකම් සඳහා වන අවබෝධයේ ද වර්ධනයක් ඇතිවී තිබුණි. එහිදී ඇතිවන යුද්ධය සම්බන්ධයෙන් මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින මතධාරීහු ක්රියාකළෝ මූලධර්මවාදී ආකාරයකටය. ඔවුන්ට යුද්ධය පෙනුණේ තොග වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමට දරන සාහසික උත්සාහයක් වශයෙනි. දෙමළ ජනතාව කෙරෙහි පැවති අනුකම්පාවද ඒ කෙරෙහි බලපෑවේය. එල්ටීටීඊයේ ආයුධ සන්නද්ධ පැවැත්ම හා ඒ නිසා ඇතිවන මානව හිමිකම් උල්ලංඝනයන් ඔවුන්ට නොපෙනුණේය. ඒ නිසා ඔවුහු මුළු වැර යොදා යුද්ධයට එරෙහිව නැගී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළෝය. එය මීට පෙර එල්ටීටීඊයට එරෙහිව කැරුණු කිසිම යුද්ධයකදී ඇති නොවූ අලුත් තත්ත්වයක් ලෙසද සැලකිය හැකිය.
මහත්මා ගාන්ධි අහිංසාව වෙනුවෙන් දැඩිව පෙනීසිටි කෙනකු වුවද ඔහු අහිංසාව මූලධර්මවාදයක් බවට පත්කර ගත්තේ නැත. ලන්දේසි පදිංචිකරුවන් හා බ්‍රිතාන්‍යය අතර 1889-1902 අතර කාලයේදී ඇතිවූ බුවර් යුද්ධයේදී, ගාන්ධි බ්‍රිතාන්‍ය පක්ෂයට ආධාර කළේය. නැවත දෙවන ලෝක යුද්ධයේදීද මිත්‍ර පක්ෂයට ආධාර කළේය. මිත්‍ර පක්ෂයට හානි ඇති කරන ක්‍රියාවල යෙදීමෙන් ඔහු කොංග්‍රසය වැළකීය. හින්දු පූජනීය සතකු ලෙස සලකා බුහුමන් කරන ගවයාගේ මස් මුස්ලිම්වරුන් ආහාරයට ගැනීම සම්බන්ධයෙන් ගාන්ධි දක්වන ලද්දේ සහනශීලී ආකල්පයකි.
ත්රස්තවාදීන් සමග කරන යුද්ධයක් හා ඒ ගණයට නොවැටෙන යුද්ධයත් අතර ඇති, වෙනස තේරුම් ගැනීමට ලංකාවේ මානව හිමිකම්වාදීහු අසමත් වූහ. ඔවුන් දියුණු ප්රජාතන්ත්රවාදී රටක් ලෙස සලකන ඇමරිකාව පවා, අත්අඩංගුවට ගන්නා ත්‍රස්තවාදී සැකකරුවන් රඳවා තැබීම සඳහා සාමාන්‍ය නොවන සිරගෙවල් ක්‍රමයක් පවත්වාගෙන ගියේය. අත්අඩංගුවට ගන්නා ලද එවැනි පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා යොදාගත් විධි ක්රමයද අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය ක්‍රමයට වඩා වෙනස් විය. ප්රභාකරන්ගේ මරණයෙන් අවසන් වූ යුද්ධයේදී සාමාන්‍ය ජනයා සංදර්ශනාමත්ක ආකාරයකින් පළ කරන ලද ප්‍රීතිය ඔවුන්ගේ බලවත් විරෝධයට හේතුවූ අතර ඔවුන් එය දැක්කේ ශ්‍රී ලංකාවේ ජනයාගේ නොදියුණු බව පෙන්නුම් කැරුණු වැදගත් අවස්ථාවක් ලෙසය. එය ඊට වෙනස් පොදු මනුෂ්‍ය ධර්මතාවක් බව ඔවුන් තේරුම් ගත්තේ බින් ලාඩන්ගේ මරණයෙන් පසුව ඇමරිකානු ජනතාව වඩා ප්‍රදර්ශනාත්මක ආකාරයකින් ප්‍රීතිය ප්‍රකාශ කළ අවස්්ථාවේදීය. නපුරු ඉතිහාසයක් ඇති අංක එකේ ගණයට වැටෙන ත්‍රස්තවාදී නායකයන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මරා දමන හා අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබියදී මරා දමන ක්‍රමය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දෙයක් නොවන බව ඔවුන් තේරුම් ගත්තේද ඇමරිකාව බින් ලාඩන් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියෙන් පසුවය. මානව වර්ගයාට අදාළ ප්රශ්නවලදී මානව හිමිකම් කෝණය සැලකිල්ලට ගතයුතු වැදගත්ම කෝණයකි. එහෙත් ඒ කෝණය වලංගු නොවන විශේෂ අවස්ථාද පවතී.
මානව හිමිකම් කෝණය හැම දේකටම ගෙඩි පිටින් ගිල්වන්නට දරන වෑයම විශාල අවුල් ඇති කිරීමට හේතුවිය හැකිය. ලිපිය දීර්ඝවීම වළකා ගැනීම පිණිස මම මෙහිදී එක නිදර්ශනයකට පමණක් සීමාවෙමි.
ශ්‍රී ලංකාවේ පවරන අපරාධ නඩුවලදී වැරදිකරුවන් වන්නන්ගේ ප්‍රතිශතය පවතින්නේ 4%ක් වැනි පහළම මට්ටමකය. ඉන්දියාවේ එය 70%කට වැඩිය. දියුණු රටවල 85%කට වඩා වැඩිය. ඉන් පෙනෙන්නේ අපේ රටේ අපරාධ වැරදි කරන විශාල පිරිසකට දඬුවම් නොලබා තවදුරටත් ඒ වැරදිවල නිරතවීමේ පුළුවන්කම ලැබී තිබෙන බවය. ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ විෂයෙහි දක්නට තිබෙන ශීඝ්‍ර වර්ධනය කෙරෙහි එයද වැදගත් සාධකයක් ලෙස බලපා තිබේ. ඒ කෙරෙහි බලපා තිබෙන හේතු විවිධය. අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන් සම්බන්ධයෙන් මානව හිමිකම් කෝණය එක පැත්තකට බර තැබෙන ආකාරයට යොදා ගැනීම මෙම විසම තත්ත්වය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධකයක් වී තිබේ. පොලීසියට මානව හිමිකම් රැකීමේ වැදගත්කම අවධාරණය කර ඇතත්, මානව හිමිකම් උල්ලංඝනය නොවන ආකාරයට පරීක්ෂණ කටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය දැනුම, පුහුණුව හා තාක්ෂණය ලබාදී නැත. ඔවුන් දන්නේ පහර දී ඇත්ත දැනගැනීමේ යල් පැනගිය ක්‍රමය පමණය. මානව හිමිකම් නීතිවලට ඇති බිය නිසා බොහෝ විට සාර්ථක අපරාධ පරීක්ෂණයකින් තොරව පොලීසිය අපරාධකරුවන්ට එරෙහිව නඩු පවරති. ඔවුන්ගේ නඩු පැවරීම්වල තිබෙන දුර්වල තත්ත්වය නිසා දරුණු අපරාධකරුවන්ට පවා නඩු ජයගැනීම පහසු දෙයක් වී තිබේ. මෙම තත්ත්වය රටේ අපරාධකරුවන්ගේ පැවැත්ම ශක්තිමත් කොට රටේ සිදුවන අපරාධවල වේගවත් වර්ධනයක් ඇති කිරීමට හේතුවී තිබේ. එහිදී මානව හිමිකම්වාදීන් වැදගත් කොට සැලකුවේ අත්අඩංගුවට ගන්නා අයගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම පමණය. අපරාධ පරීක්ෂකයන්ට මානව හිමිකම් උල්ලංඝනය කිරීමකින් තොරව සාර්ථක අපරාධ පරීක්ෂණයක් සඳහා අවශ්‍ය දැනුම පුහුණුව හා තාක්ෂණය ලබාදීමේ වැදගත්කම සැලකිල්ලට ගත්තේ නැත. මේ විකෘතිය වෙනත් බොහෝ තැන්වලද දැකිය හැකිය.
##