ඉංදියාව ලංකාව ආක්රමණය කරයිද? ඉංදියාව කලාපීය බලවතාවූ පලියට ඇය මේ පුංචි දිවයින ආක්රමණය කිරීමට තරම් සැහැසි වේ නම්, මරණය පෙනි පෙනි වුවත් රටේ ගෞරවය හා ආරක්ෂාව වෙනුවෙන් සටන් කිරීමට මේ රටේ ජනතාව බැඳී සිටින බවට සැකයක් නැත. එහෙත් ඊට කලින් මේ ගැටළුවට තුඩු දී තිබෙන හේතු සාධක තේරුම් ගැනීම වැදගත්ය.
පවතින ජනප්රිය මතයට අනුව නම් අවුලට මුල උතුරේ ප්රශ්නයයි. එහෙත් එය ඒ වන විටත් ඇති වී තිබුණු මතභේදය උග්රකළ හේතුව වනවා මිස මතභේදය ඇති කළ හේතුව වන්නේ නැත. මතභේදවලට මුල ලංකාව 1977 න් පසුව අනුගමනය කළ දැඩි ඇමරිකන් හිතවාදී විදේශීය පිළිවෙතයි. ඉංදියාව එය දක්කේ ඉංදියාවට එරෙහිව ඉංදියානු සතුරන් සමග කරන පෙළගැසීමක් සේය. ඇමරිකාව සතුටු කිරීමේ අදහසින් ලංකාව ඉංදියාවට කිනිමිනිකම් කරන්නට වූ අතර, ඉංදියාවද ද්රවිඩ අනාථයන්ගේ ප්රශ්නය හේතුවක් කරගනිමින් ලංකාවට පෙරළා කිනිමිනිකම් කෙළේය. දැන් ඒ සියලු කුඩු කේඩුකම් ආක්රමණික යුද්ධයක් ඇති විය හැකි තැනට දුර දිග ගොස් ඇත්නම් තමන් අනුගමනය කළ වැරදි ක්රියා මාර්ගවලින් ඇති වී තිබෙන විනාශකාරී ප්රති විපාකවලින් අත සෝදා ගැනීමට ආංඩුවට පුළුවන් කමක් නැත.
මේ පුංචි ලංකාව, විශාල ඉංදියාව අසල තිබෙන රටක් වූ පලියට අවශ්යයෙන්ම ඉංදියානු ගැති පිළිවෙතක් අනුගමනය කළ යුතු නැත. එහෙත් ඉංදියානු විරෝධී ප්රතිපත්තියක් වෙත නොයාමට තරම් ඥානාන්විත විය යුතුය. ලංකාව ඉංදියානු ගැති පිළිවෙතක් අනුගමනය නොකළත් කලාපීය බලවතුන් අතර ගැටුමේදී ලංකාව කාගේවත් බළල් අණ්ඩක් නොවී සිටින තාක් ලංකාව කෙරෙහි සතුරු නොවන ප්රතිපත්තියක් අනුගමනය කිරීමට අවශ්යයෙන්ම ඉංදියාවට සිදුවේ. 1977 වන තෙක්ම ලංකාව අනුගමනය කළ ප්රතිපත්තිය ඊට අනුරූපීවූ අතර ඒ නිසාම ලංකාව පිළිබඳ ඉංදියානු ආකල්පයද පසමිතුරු නොවීය. එය තමන්ගේ ආරක්ෂාව සඳහා ලංකාවට අනුගමනය කිරීමට තිබෙන හොඳම ප්රතිපත්තියයි. මක්නිසාදයත් එබඳු ප්රතිපත්තියක් බලවතුන්ගේ විශේෂ ප්රසාදය දිනා ගැනීමට හේතු නොවෙතත් එය ඔවුන්ගේ විශේෂ උදහසටද හේතු නොවන නිසාය.
එහෙත් පක්ෂග්රාහී ප්රතිපත්තියකින් ලැබෙන ප්රතිඵල මීට වෙනස්ය. ඒවා මොනවාද යන්න දැන් අප ඇස් ඉදිරිපිටම ඔප්පුවෙමින් පවතී. ඒ නිසා නොබැඳි ලෝකයේ රටවල් අතර ලංකාවට තිබුණු ගෞරවය නැති වී ඉංදියාව හා ලංකාව අතර තිබුණු හොඳ හිතද විනාශ විය. ඒ නිසාම රටේ අභ්යන්තර ප්රශ්නයක් වන ජනවාර්ගික ගැටළුව විසඳිය නොහැකි අවුලක් බවට පත්ව තිබේ. වැරදි ක්රියා මාර්ගවලින් ඇති වී තිබෙන මෙබඳු ගැටළු විසඳා ගැනීමට අවශ්ය නම් පළමුව ක්රියා මාර්ග නිවැරදි කර ගත යුතුය. එවිට ගැටළු විසඳාගැනීමට තිබෙන ඉඩ ප්රස්ථා පුළුල් වේ.