ආණ්ඩුව දයා පතිරණ ඝාතනය හේතුවක් කරගනිමින් සමාජවාදී ශිෂ්ය සංගමය තහනමට ලක් කර තිබේ. මේ ඝාතනය කොයි කවුරුන් කළත් එය අමානුෂික හා තුච්ඡ ක්රියාවක් වන බවට සැකයක් නැත. එහෙත් එය හේතුවක් කරගනිමින් ශිෂ්ය සංවිධානයක් තහනම් කිරීම බරපතල ක්රියාවකි.
දයා පතිරණ ඝාතනයට සමාජවාදී ශිෂ්ය සංගමය සම්බන්ධ බව ආංඩුව කියන මුත් තවමත් එය ඔප්පු වූ දෙයක් නොවේ. අනෙක් අතට එබඳු ත්රස්තවාදී ක්රියාවල යෙදෙන සංවිධාන තහනම් කිරීම කොයි කවුරුන් සඳහා වුවත් අනුගමනය කෙරෙන පොදු ප්රතිපත්තියක් වේ නම් ආංඩුවට තමන් ගැනම ද එබඳු තීන්දුවක් ගැනීමට සිදුවේ. මක්නිසා ද යත් ඡන්ද පෙට්ටි පැහැර ගැනීමේ ක්රියා සේම, නිදහස් බුද්ධිමතුන්ට බයිසිකල් චේන්වලින් පහර දීමේ ක්රියා ද ත්රස්තවාදී ක්රියා වන නිසාය. වගකිවයුතු ආංඩුවක් අනුන්ගේ ක්රියාකාරකම් ගැන සෝදිසියෙන් සිටීම වැදගත්ය. එහෙත් එහි දී ඊට කලින් තමන්ගේ ක්රියාකාරකම් නිවැරදි කරගෙන සිටීම වැදගත්ය.
දැනට ප්රජාතන්ත්රවාදී ක්රියාවලියෙන් පිටුවහල් කොට තිබෙන දේශපාලන සංවිධාන යළි එම ක්රියාවලියට අනුයුක්ත කරගන්නා ආකාරයට ප්රජාතන්ත්රවාදී ව්යුහය පිරිසිදු කොට පුළුල් කොට ශක්තිමත් කිරීම තිබෙන ත්රස්තවාදයට සේම ඇතිවිය හැකි ත්රස්තවාදයන්ට ද තිබෙන හොඳ විසඳුමකි. එහෙත් එහි දී ආංඩුව පළමුව තමන් විසින් ප්රජාතන්ත්රවාදී දේශපාලන ව්යුහයට එකතු කොට තිබෙන කුණු කසල සෝදා හැරිය යුතුය. ඒ සඳහා තිබෙන හොඳම ක්රමය මහා මැතිවරණයකට යාමයි. එසේ නොකොට ආංඩුව එම කුණු කසල පල්වෙන්නට ඉඩ දී එය ප්රජාතන්ත්රවාදී දේහය අභ්යන්තරයෙන් කුණු කරන විසබීජ බවට පත්වන්නට ඉඩහරී නම් ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ අනාගතය බිහිසුණු වීම නොවැළැක්විය හැකිය.