ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තැබීම

February 13, 2011
Publication:
The savage attack on the Lanka e-News office should be condemned by the whole country: it is hard for it to have been done by anyone other than the government or people attached to it, and it disgraces not only the president and his government but the country. Ivan then says the other half of what he thinks, which is that the do-or-die reporting of many anti-government websites cannot be approved either.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවි කාර්යාලයට එල්ල කර තිබෙන සාහසික පහරදීම මුළු රටම හෙළාදැකිය යුතුය. එම සාහසික ක්‍රියාව ආණ්ඩුවට හා ආණ්ඩුවට සම්බන්ධ පිරිසකට හැර වෙනත් පිරිසකට කිරීම අමාරුය. එය ජනාධිපතිවරයා හා ඔහුගේ ආණ්ඩුව පමණක් නොව, මුළු රටමද අපකීර්තියට ලක් කෙරෙන අශෝබන හා අශීලාචාර ක්‍රියාවකි.

ජනමාධ්‍ය විෂයට අදාළ මෙවැනි සාහසික ක්‍රියා යුද්ධය පැවති කාලයේදී සිදුවිය. සමහර එවැනි ක්‍රියා ආණ්ඩුවේ උද්ධච්ඡභාවය හා ජනමාධ්‍යවේදීන්ගේ ඔලමොට්ටලභාවය නිසා ඇතිවූ ඒවා ලෙස සැලකිය හැකිය. එහෙත් යුද්ධයක් පවතින කාලයක එවැනි දේවල් ඇතිවීම අසාමාන්‍ය නොවන නිසා යුද්ධයේ අවසානයත් සමග තත්ත්වය නැවත සාමාන්‍ය අතට හැරෙනු ඇතැ”යි අපි අපේක්ෂා කළෙමු. ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදීද ජනමාධ්‍ය විෂයට අදාළව එවැනි සාහසික ක්‍රියා සිදුවිය. එහෙත් කැරැල්ල පරාජය කිරීමත් සමග නැවත තත්ත්වය සාමාන්‍ය අතට හැරුණි. ඒ ආකාරයටම එල්ටීටීඊයේ පරාජයත් සමග රටේ කටයුතුද සාමාන්‍ය අතට හැරෙනු ඇති බව එල්ටීටීඊයට එරෙහිව ආණ්ඩුව පවත්වාගෙන ගිය යුද පිළිවෙත අනුමත කළ බොහෝ දෙනකුගේ අපේක්ෂාව වී තිබුණි. එහෙත් විටින් විට අසන්නට ලැබෙන මෙවැනි සාහසික සිද්ධීන් එම අපේක්ෂා බොඳ කිරීමට හේතුවී තිබේ.

ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන්වීමේ සිද්ධිය තවමත් පවතින්නේ නොවිසඳුණු ප්‍රහේළිකාවක් ලෙසය. ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිළිබඳවද මහජන විශ්වාසයට හේතුවන පරීක්ෂණයක් සිදුවන බවක් පෙනෙන්නට නැත. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවි කාර්යාලයට පහරදීමේ සිද්ධිය මෙම විෂයට අදාළව සිදුවී තිබෙන ඊළඟ බිහිසුණු සිද්ධිය ලෙස සැලකිය හැකිය.

මෙවැනි සාහසික ක්‍රියා අශීලාචාර වනවා පමණක් නොව ඒවා රාජ්‍ය නායකයා හා ආණ්ඩුව කෙරෙහි පමණක් නොව, රටේ ජනතාව කෙරෙහිද විනාශකාරී ලෙස බලපායි. එවැනි දේ විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් කෙරෙහි අවමානයක් ඇති කරයි. රට අපකීර්තියට ලක් කරයි. විදේශ ආයෝජකයන් අධෛර්යමත් කරයි. රටේ මහජනයා භීතියට පත් කරයි.

ලංකා ඊ නිව්ස් ඇතුළු මහින්ද විරෝධී හා ආණ්ඩු විරෝධී ස්වරූපයකින් පවත්වාගෙන යන බොහෝ වෙබ් අඩවි ජනමාධ්‍ය විෂයෙහි පිළිගත් ආචාර් ධර්මවලට පටහැනිව පවත්වාගෙන යන ඩූ ඕ ඩයි පන්නයේ රස්තියාදුකාර වාර්තාකරණ සම්ප්‍රදාය කිසිසේත්ම අනුමත කළ නොහැකිය. ඒවාට ආවේණික දේශපාලන පක්ෂපාතකම් ගැන අපට ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නයක් වන්නේ ඒවා පවත්වාගෙන යන සාහසික හා රස්තියාදුකාර සම්ප්‍රදායයි. ඔවුන්ට වාර්තා කරන දේවල ඇත්ත නැත්ත වැදගත් නැත. කිසිම පදනමක් නැති බොරු පුවත් ඔවුහු වැදගත් ප්‍රවෘත්ති ලෙස පළ කරති. ජනමාධ්‍යවල යුතුකම් හා වගකීම් විෂයෙහි නිල අද්වකාත්වරුන් ලෙස ක්‍රියාකරන්නන්ට පවා මෙම රස්තියාදුකාර සම්ප්‍රදාය ප්‍රශ්නයක් වී නැත. ඔවුන්ට ඔවුන් පෙනෙන්නේ නිර්භීතව ලියන මාධ්‍යවේදීන් ලෙසය.

ජනමාධ්‍යවලට ආවේණික ආචාර්ධර්ම අන් හැම ජනමාධ්‍යයකට සේ ම අන්තර්ජාලයේ ජනමාධ්‍යවලට ද අදාළය. එහෙත් මෙම පිරිස වැඩ කරන්නේ අන්තර්ජාලයේ වන නිසාදෝ ඔවුන් ජනමාධ්‍ය ආචාර ධර්මවලට පමණක් නොව රටේ මූලික නීතිරීතිවලට පවා කිසිම තැකීමක් කරන බවක් පෙනෙන්නට නැත.

එහෙත් ඔවුන් කෙරෙන් ප්‍රකාශ වී තිබෙන මෙම රස්තියාදුකාර පිළිවෙතට පිළිතුර ඔවුන්ට පහරදීම, ඔවුන් මරා දැමීම හෝ ඔවුන් පවත්වාගෙන යන ආයතන ගිනි තැබීම නොවේ. අන්තර් ජාලයට සේ ම ප්‍රකාශන විෂයට අදාළද නීති රීති පවතී. ඔවුන් නීති උල්ලංඝනය කරන්නේ නම් විය යුත්තේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමය.

බරපතළ සීමාසහිතකම් තිබියදීත් ශ්‍රී ලංකාව තවමත් ඒකාධිපති රටක් ලෙස සැලකිය නොහැකිය. පෝස්ටර ඇලවීමේ නිදහසට සීමා පැනවී ඇති බව කියතත්, ආණ්ඩු විරෝධී පෝස්ටර් සේ ම සරත් ෆොන්සේකාට පක්ෂපාත පෝස්ටර් ද අඩුවක් නැතිව රට පුරා ප්‍රදර්ශනය වේ. ජනාධිපතිවරයා පමණක් නොව, ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ද දැඩි ස්වරයකින් විවේචනයට ලක් කැරෙන ලිපි ද අන්තර්ජාලයේ පමණක් නොව, දේශීය පුවත්පත්වලද නිතර නිතර පළවේ.

එල්ටීටීඊය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අනුගමනය කළ දැඩි පිළිවෙත නිවැරදිය. එහෙත් එවැනි දැඩි පිළිවෙතක් නිවැරදි වන්නේ ආයුධ අතට ගත් ත්‍රස්තවාදීන්ට පමණය. විරුද්ධ පක්ෂ ව්‍යාපාර හා ඔවුන්ගේ ක්‍රියාධරයන්, ප්‍රධාන ධාරාවේ විරුද්ධවාදීන් සම්බන්ධයෙන් එවැනි පිළිවෙත් නිවැරදි වන්නේ නැත. ඒකාධිපති පන්නයේ පාලකයන්ට මහජනයා බිය වෙතත් එවැනි අයට මහජනයා හදවතින් ගරු කරන්නේවත් ආදරය කරන්නේවත් නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මහජනයා ආදරය කළේය. ගරු කළේය. ඒ ආදරය හා ගෞරවය ආරක්ෂා කරගනිමින් තවදුරටත් වර්ධනය කරගත හැකිවනු ඇත්තේ යුද්ධය අවසන් වී තිබෙන තත්ත්වයක් තුළ වැඩි වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදී වීමෙන් හා සාධාරණ වීමෙනි. අදහස් පළකිරීමේ නිදහස දුර්වල කිරීමට හේතුවී තිබෙන මෙවැනි සාහසික ක්‍රියාවන්ට වගකිවයුතු අයට එරෙහිව අකුරටම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් හා අදහස් පළකිරීමේ නිදහස ශක්තිමත් කිරීමෙනි.