අපේ රටේ දේශපාලන ක්‍රමයට ආවේණික නරක ලක්ෂණ අතර රජය මට්ටමෙන් සිදුවන සමහරවිට කෝටි ගණන් වටිනා ගනුදෙනුවලදී හා ගිවිසුම්වලදී, ඒවාට අවසාන අනුමැතිය ලබාදීමට ප්‍රථම ඒවාහි හොඳ නරක හෝ ඒවායින් රටට සිදුවන ලාභ හා අලාභ පිළිබඳව තුලනාත්මකව සලකා බලන විධිමත් ක්‍රමයක් නැතිකමද මහජන අවධානයට යොමුවිය යුතු වැදගත්ම ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය.
හෙජින් ගිවිසුම්
හෙජින් ගිවිසුම හා ඒ වෙනුවෙන් රටට ගෙවන්නට සිදුවී තිබෙන මිල මේ කියන කරුණ තේරුම් ගැනීම සඳහා යොදාගත හැකි ආසන්න හොඳ නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය. 2008 ජනවාරි මාසයේ සිට ලෝක බොරතෙල් මිල නොසිතූ ලෙස ඉහළ ගියේය. එයින් රටට සිදුවන අතිරේක බර පාලනය කරගැනීමේ අරමුණින් ඛනිජ තෙල් සංස්ථාව ප්‍රධාන විදේශ බැංකු තුනක් සමග හෙජින් ගිවිසුමක් ඇතිකර ගත්තේය. මෙවැනි ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා පුරෝගාමීව ක්‍රියාකළේ සිටි බැංකුවය. ඒ ක්‍රියාවලියට ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව හා ඩොයිෂ් බැංකුවද තවත් දේශීය බැංකු දෙකක්ද සම්බන්ධ විය.
හෙජින් ගිවිසුමේ අරමුණ යහපත් විය. දරන්නට සිදුවන අතිරේක වියදම අවම කරගැනීම ඛනිජ තෙල් සංස්ථාවේ අරමුණ විය. අතිරේක තොග තබා ගැනීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම මගින් සාධාරණ ලාභයක් උපයා ගැනීමට බැංකු අපේක්ෂා කළේය. එහෙත් ගිවිසුම කෙටුම්පත් කර තිබුණේ දෙපැත්තටම සාධාරණය ඉටුවන ආකරයකට නොව බැංකුවට ලැබෙන ලාභ උපරිම වන ආකාරයටය. නොසිතූ විරූ ලෙස ඉහළ ගිය තෙල් මිල 2008 මැද භාගයේදී නොසිතූ විරූ ලෙස පහළ ගියේය. මෙම ගිවිසුම යටතේ අනවශ්‍ය ලෙස විශාල අතිරේක තෙල් තොගයක් රැස්කර ගැනීම නිසා බොරතෙල් මිල විස්මයජනක ලෙස පහළ ගිය අවස්ථාවේදී ගිවිසුමට ඇතුළත් බැංකුවලට මෙම ඔරොත්තු නොදෙන තරම් අතිවිශාල වන්දියක් ගෙවිය යුතු තත්ත්වයක් ඇතිවිය. ඒ සමග මෙම ගිවිසුම මුල් කොටගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය. මෙම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එය අසමබර බැංකුවල වාසියට හේතුවන ලෙස සකස් කළ ගිවිසුමක් ලෙස පිළිගනිමින් බැංකුවලට කළයුතු සියලු ගෙවීම් තාවකාලිකව අත්හිටුවන නියෝගයක් පැනවීය. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය සිය සීමා මායිම් ඉක්මවායමින් ආණ්ඩුව මහජනයාට විකිණිය යුතු ඉන්ධන මිල ගණන් නියම කළේය. එම විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ එවකට අගවිනිසුරු ධුරය ඉසුලූ සරත් නන්ද සිල්වාය. ඔහු ඒ වනවිටත් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාව ඇතිව ජනප්‍රිය නඩු තීන්දු දෙන අර්ධ දේශපාලකයකු බවට පත්ව සිටියේය. ඔහු දෙනු ලැබූ තීන්දුව ආණ්ඩුව නොපිළිගත් විට ඔහු කළේ 2009 ජනවාරි අවසානයේදී හෙජින් ගිවිසුමට අදාළව දෙන ලද සියලු අතුරු තහනම් නියෝග ඉවත්කර ගැනීමය. ඔහු සාධාරණ විනිශ්චයකාරවරයකු වී නම් හෙජින් ගිවිසුම්වල තිබුණු එක පැත්තකට බර අසමබරතාව ඉවත් කැරෙන ලෙස ගිවිසුම් නැවත ප්‍රතිසංවිධානය කරගන්නා ලෙසට ගිවිසුමට ඇතුළත් බැංකුවලට නියෝග කළ හැකිව තිබුණි. ඔහු එසේ නොකොට පනවා තිබූ සියලු අතුරු තහනම් නියෝග ඉවත් කරගැනීම නිසා පරණ ගිවිසුම් යටතේ තමන්ට ලැබිය යුතු වන්දි මුදල් ඉල්ලාගෙන ජාත්‍යන්තර බේරුම්කාර මණ්ඩලයක් වෙත යෑමට ශක්තිමත් වටාපිටාවක් ලබා දුන්නේය. ඒ මගින් අවසානයේ ඔහු පළිගත්තේ ආණ්ඩුවෙන් පමණක් නොව මුළු රටේම ජනතාවගෙනි.
ගිවිසුම්වල තිබූ වැරදි නිවැරදි කිරීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව අවසන් වූ පසුව හෝ ආණ්ඩුව මෙම ආරාවුල බේරුමක් කරගැනීම සඳහා ගිවිසුමට ඇතුළත් බැංකු සමග සාකච්ඡා කරන තැනකට ගියේ නම් ගෙවිය යුතු වන්දිය කිසියම් ප්‍රමාණයකට අඩුකර ගැනීමටත්, පොලී රහිතව එය ගෙවීමටවත් ඔවුන් එකඟ කරවා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් ඒ අවස්ථාවේදී නීතිපතිගේ මතය වූයේ ජාත්‍යන්තර බේරුම්කාර මණ්ඩලයකට ගිය පසුව රටේ වාසියට හේතුවන ලෙස මෙම ආරාවුල බේරුම් කරගැනීමේ හැකියාව තිබෙන බවය.
එහෙත් දැන් ලැබී තිබෙන ප්‍රතිඵලය වී ඇත්තේ එය නොව, බැංකු ඉල්ලා සිටින සම්පූර්ණ වන්දි ඒවාට ලැබිය යුතු පොලිය සමග ශ්‍රී ලංකාව ආපසු ගෙවිය යුතු තත්ත්වයක් ඇතිවීමය.
ජාත්‍යන්තර බේරුම්කාර මණ්ඩලයක් විසින් දැනට විභාග කොට අවසන් කොට ඇත්තේ සිටි බැංකුවට අදාළ පැමිණිල්ල පමණය. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් හා ඩොයිෂ් යන බැංකු දෙකේ පැමිණිලි සඳහාද ඒ සමාන තීන්දු ලැබෙනු ඇතැ”යි සිතිය හැකිය.
සිටි බැංකුව ඉල්ලා සිටි වන්දි මුදලේ ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 94ක් හෝ රුපියල් බිලියන 10.3කි. දැන් එම මුදල ශ්‍රී ලංකාව ඊට අයත් පොලියත් සමග ආපසු ගෙවිය යුතුය. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඉල්ලා සිටින වන්දියේ ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 103ක් හෝ රුපියල් බිලියන 11.3කි. ඩොයිෂ් බැංකුව ඉල්ලා තිබෙන වන්දියේ ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 64ක් හෝ රුපියල් බිලියන 7කි. එවිට බැංකු තුනට ලැබිය යුතු පොලියට අතිරේකව ශුද්ධ වශයෙන් ගෙවන්නට සිදුවන වන්දියේ ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 261ක් හෝ රුපියල් බිලියන 28.6කි. ලැබිය යුතු පොලිය ඇතුළත් කළ විට එය ඩොලර් මිලියන 287ක් හා රුපියල් බිලියන 31.4ක් පමණ විය හැකිය. එවිට ගෙවන්නට සිදුවන වන්දියේ ප්‍රමාණය රුපියල් මිලියන 32144ක් හෙවත් රුපියල් කෝටි 3214.4කි.
හෙජින් ගිවිසුම ආශ්‍රයෙන් මතුවී තිබෙන තත්ත්වය විශ්ලේෂණය කරන විට පෙනීයන මූලික වැදගත්කමක් ඇති කාරණා මෙසේය.
1. තෙල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල විශාල වශයෙන් ඉහළ යන තත්ත්වයක් ඇතිවූ විට අවශ්‍ය අතිරේක තොග කල්තබා ගබඩා කරගැනීමෙන් දරන්නට සිදුවන අතිරේක බර අඩු කරගත හැකිය. ඒ සඳහා වාණිජ බැංකු සමග මෙවැනි ගිවිසුම් ඇතිකර ගන්නට සිදුවන්නේය. එහෙත් එවැනි ගිවිසුම් සමබර හා සාධාරණ විය යුතුය. එහෙත් හෙජින් ගිවිසුම බැංකුවල වාසියට බර තබා කෙටුම්පත් කරන ලද අසමබර ගිවිසුමකි.
හෙජින් විෂය සංකීර්ණ හා විශේෂ ගණයේ විෂයක් වන අතර විශේෂයෙන්ම රටක් එවැනි විෂයකට අතගැසිය යුත්තේ එම විෂය පිළිබඳ අවබෝධයක් ඇති විශේෂඥයන්ගේද සහාය ලබාගනිමිනි. තෙල් මිලදී ගැනීම සඳහා බැංකු සමග ඇති කරගත් හෙජින් ගිවිසුම් බැංකුවල වාසියට බර තබා සකස් කරන ලද ගිවිසුම් බව කල්තියා තේරුම් ගැනීමට අසමත් විය. ගිවිසුම්වලට අනුමැතිය දීමට පෙර විවිධ තත්ත්වයන් යටතේ ලැබිය හැකි ලාභ අලාභ පිළිබඳව ගණනය කිරීමක් සිදුකර නැත.
2. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ප්‍රශ්නය ගියවිට එහි තිබූ වැරදි නිවැරදි කිරීමේ හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට තිබුණද ඒ යුතුකම හා වගකීම ශ්‍රේෂ්ඨාධිකරණය අතින්ද සිදු නොවීය.
3. ගිවිසුම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබූ අතුරු තහනම් නියෝග ඉවත් කරගැනීමෙන් පසු බැංකුකරුවන් සමග ප්‍රශ්නය සාකච්ඡා කොට විසඳුමක් ඇතිකර ගැනීමට තිබුණු ඉඩ ප්‍රයෝජනයට ගැනීමක් සිදුවිය.
ක්‍රමයේ ඇති අනුචිත බව හා ඒ නිසා මහජනයාට ගෙන්නට සිදුවී තිබෙන වන්දියේ විශාලත්වය පෙන්නුම් කරන තවත් නිදර්ශනයක් මෙසේය.
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම
විදුලි බලය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමේ ක්‍රමයක් ආරම්භවන්නේ 1996 චන්ද්‍රිකා කුමාරතුංග පාලන යුගයේදීය. එකල පැවති නියඟය නිසා ජල විදුලි උත්පාදනය සීමාවී දැඩි විදුලිබල හිඟයකට මුහුණ දෙන්නට රටට සිදුවූ අතර පෞද්ගලික අංශයෙන් විදුලි බලය මිලදී ගන්නා ක්‍රමයක් හඳුන්වා දෙන ලද්දේ ඊට පිළියමක් වශයෙනි. මේ ලිපිය ලියන මොහොත වන විට පෞද්ගලික අංශයේ විදුලි බලය මිලදී ගැනීමේ ප්‍රමාණයන් පිළිබඳව මා ළඟ තිබෙන දත්ත අලුත් නැත. මේ මොහොතේ මා ළඟ ඇත්තේ 2007 වර්ෂයට අදාළ දත්තයන්ය. පෞද්ගලික අංශයේ දායකත්වයේ ප්‍රමාණයන් පිළිබඳව දළ අදහසක් ඇතිකර ගැනීමට ඒවා ප්‍රයෝජනවත්ය.
එම වර්ෂයේ ශ්‍රී ලංකාවේ මුළු විදුලි බලය උත්පාදනය ගිගාවොට් පැය 9814කි. එයින් පෞද්ගලික අංශයේ නිපැයුම ගිගාවොට් පැය 3873ක් හෙවත් මුළු විදුලිබල උත්පාදනයෙන් 40%කි. (පසුගිය වර්ෂයේද පෞද්ගලික අංශය මුළු විදුලිබල උත්පාදනයෙන් 40%ක් නිපදවා තිබුණේ පෞද්ගලික අංශයයි.) ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විදුලිබල නිෂ්පාදනය සමන්විත වන්නේ තාප විදුලිබලය සපයන ආයතන හා සුළු පරිමාණයෙන් ජල විදුලිබලය සපයන ආයතනවලිනි. මුළු පෞද්ගලික අංශයේ විදුලිබල උත්පාදනයෙන් තාප බල විදුලි උත්පාදනය 90%ක මට්ටමක පවතී. මෙම අංශයට පෞද්ගලික අංශය කැඳවා ගැනීමේ ප්‍රධාන අරමුණු ලෙස ප්‍රකාශ වූයේ පහත දැක්වෙන කාරණා තුනය.
රාජ්‍ය අරමුදල් මත විශාල පීඩනයක් ඇති නොකර වේගයෙන් වර්ධනය වන විදුලිබල ඉල්ලුම සපුරා ගැනීම සඳහා බාහිර ප්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීම.
තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය සහ වඩාත් කාර්යක්ෂමව මෙහෙයුම් කටයුතු සිදුකිරීම හරහා විදුලි මිල අවම කිරීම.
පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය අතර අවදානම් හා ප්‍රතිලාභ බෙදාගැනීම.
එහෙත් විදුලි බලය මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශය සමග ඇති කරගෙන තිබෙන කොන්දේසි ඉහත කී මූලික අරමුණු තුනට සපුරා වෙනස්ය. එම ගිවිසුම් මුළුමනින් උපරිම වස්තු කොල්ලයකට ඉඩ ලබාදෙන අවසානයේ එම වස්තු කොල්ලයේ සම්පූර්ණ බර මහජනයා මත පැටවීම අරමුණු කරගත් දුෂ්ට ගිවිසුම් ක්‍රමයක් ලෙස සැලකිය හැකිය.
මෙගාවොට් 100ක තාප විදුලි බලාගාරයක් සඳහා යන වියදම රුපියල් බිලියන 10ක් ලෙසම ඇස්තමේන්තු කර තිබේ. මෙම ගිවිසුම් ක්‍රමය යටතේ පෞද්ගලික අංශය අරඹන තාප බලාගාරයකට යන මුළු පිරිවැයෙන් 70%ක්ම දරනු ලබන්නේ විදුලිබල මණ්ඩලය මගිනි. නිදර්ශනයක් වශයෙන් රුපියල් බිලියන 10ක පිරිවැය ඇති විදුලි බලාගාරයක් සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයා රුපියල් බිලියන 3ක් වැය කරන විට ඉතිරි බිලියන 7 වැය කරනු ලබන්නේ විදුලිබල මණ්ඩලය විසිනි. එහෙත් බලාගාරයේ සියලු ආදායම්වලට සේ ම වත්කම්වලට විදුලිබල මණ්ඩලයට කිසිදු හිමිකමක් නැත. ඒ සියල්ලේ අයිතිය ඇත්තේ 30%ක් පමණක් ආයෝජනය කරන ආයෝජකයාටය.
මෙම ගිවිසුම් අනුව ආයෝජකයාට ක්‍රම ගණනාවකට (ඔමරබ-ණැහ සහ ඨරුැබසෙැකා) විදුලි බලාගාර ලබාගත හැකිය. එහිදී කිසිදු තරගකාරී ටෙන්ඩර් කැඳවීමේ ක්‍රමයකින් තොරව බලාගාරයේ සිවිල් ඉදිකිරීමේ කටයුතු මෙම ආයෝජකයාට කළහැකි අතර, ඒ මගින් මෙහෙයුම් කටයුතු ඇරඹීමට පෙරම අධි තක්සේරු කළ පිරිවැය මගින් විශාල ලාභයක් හිමිකර ගැනීමේ අවකාශය ලබාදී තිබේ.
ආයෝජකයා ලබාගත් මූල්‍ය පහසුකම් සඳහා පොලී ගෙවන්නේ විදුලිබල මණ්ඩලය විසිනි. එහිදී සාමාන්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතිකයට වඩා බෙහෙවින් වැඩි අනුපාතිකයක් විදුලිබල මණ්ඩලය විසින් ගෙවනු ලබන බව මහ බැංකුවේ මතය වී තිබේ.
මෙම බලාගාරවල රක්ෂණ වාරික සඳහා මිල ගෙවනු ලබන්නේද විදුලිබල මණ්ඩලය විසිනි. එහිදීද වෙළෙඳපොළ මිල ගණන්වලට වඩා ඉහළ මිලකට තරගකාරී නොවන පදනමක් හරහා එම මිල ගෙවන බවද මහ බැංකුවේ මතය වී තිබේ.
කාරක ප්‍රාග්ධනයෙන් වැඩි කොටසක් වැයවන්නේ ආරක්ෂණ ඉන්ධන තොග සඳහාය. ආරක්ෂක ඉන්ධන තොග සපයන්නේද විදුලිබල මණ්ඩලය විසිනි. එය මූලික ව්‍යාපෘති වැයට එකතු කෙරේ. වාණිජ මෙහෙයුම් ඇරඹීමෙන් පසු එහි ප්‍රතිලාභ ආයෝජකයා ලබාගන්නාමුත් ඒ සඳහා විදුලිබල මණ්ඩලය දරන ලද වියදම ආපසු ගෙවීමක් හෝ ගැළපීමක් සිදු නොකරයි.
ආයෝජකයාට ඉන්ධන ප්‍රවාහන පිරිවැය ලෙස ගෙවන මිල ඛනිජ තෙල් සංස්ථාව විසින් පෞද්ගලික අංශයට ගෙවනු ලබන ඉන්ධන ප්‍රවාහන අනුපාතිකයන්ට වඩා තුන් ගුණයක් පමණ වන බවද මහ බැංකුවේ නිරීක්ෂණය වී තිබේ.
අවසාන වශයෙන් පෞද්ගලික අංශයෙන් විදුලි බලය මිලදී ගැනීමේ ක්‍රමය සැලකිය හැක්කේ කලඑළියේ සිදුකෙරන මහා වස්තු මංකොල්ලයක් ලෙසය. මෙම ගිවිසුම් සකස් කර තිබෙන්නේ සියලුම පාර්ශ්වවල එකඟත්වය නැතිව ගිවිසුම් වෙනස් කළ නොහැකි ලෙසය. මෙම ව්‍යාපෘති සඳහා විදුලිබල මණ්ඩලයේ දායකත්වය 70%කටත් වැඩිය. එහෙත් බලාගාරවල වත්කම්වල අයිතිය සේ ම ආර්ථික ප්‍රතිලාභවල සම්පූර්ණ අයිතිය ද ලැබී තිබෙන්නේ පෞද්ගලික ආයෝජකයාටය.
ව්‍යාපෘති ආයෝජන වියදමෙන් 70%ක්ම දරනු ලබන්නේ විදුලිබල මණ්ඩලය විසින් නම් එම ව්‍යාපෘතියේ වත්කම්වලින් සේ ම ව්‍යාපෘතිය උපයන ආදායම්වලින් 70%ක් විදුලිබල මණ්ඩලයට හිමිවිය යුතුය. ඒ වෙනුවට සිදුවී තිබෙන්නේ ව්‍යාපෘතියේ වත්කම්වල මුළු අයිතියත්, ව්‍යාපෘතිය උපයන මුළු ආදායමත් පෞද්ගලික ආයෝජකයාට ලබාදීමය.
මෙවැනි කොල්ලයකට ඉඩදීම ගැන වගකිවයුත්තේ කවුද? ඒ මගින් රටට සිදුවී තිබෙනව දැවැන්ත අලාභයට වගකිවයුත්තේ කවුද?
තාප බලය ලබාගන්නා සමාගම් 10ක් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම්වලට ඇතුළක් කොන්දේසිවලින් පමණක් විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව දරන්නට සිදුවී තිබෙන අලාභය රුපියල් බිලියන ගණනකි. එහෙත් විදුලිබල නිෂ්පාදනයෙන් 40%ක්ම නිපදවන්නේ එම තාප බලාගාර විසින් නිසා විකල්ප ක්‍රමයකට එම ප්‍රමාණය නිපදවන තෙක් ඒ හිමිකම් අත්හැරීමේ හැකියාවක්ද ආණ්ඩුවට නැත. ආණ්ඩුව හිතන්නේ ඒ ආකාරයටය. නව විදුලිබල ඇමතිවරයා 2016දී මෙම ගිවිසුම් අත්හරින්නට තීරණය කර ඇත්තේ ඒ නිසාය. එහෙත් මෙම දුෂ්ට ක්‍රමය වෙනුවෙන් මහජනයාට ගෙවන්නට සිදුවී තිබෙන වන්දියේ ප්‍රමාණය කොතරම් විශාලද?
මෙය ආණ්ඩුවට පමණක් නොව, මහජනතාවටද කර තිබෙන දැවැන්ත වංචාවක් බව හඳුනාගෙන ඇත්නම් එම වංචාවට වගකිවයුතු අය නීතිය ඉදිරියට නොපමුණුවන්නේ ඇයි? සියලු පාර්ශ්වයන්ගේ එකඟත්වයෙන් තොරව ගිවිසුම වෙනස් කළ නොහැකි බවට ගිවිසුමේ සඳහන් වී තිබුණු පමණින් එම ගිවිසුම් දූෂිත නම් ඒ තත්ත්වය ජයගැනීමට යොදාගත හැකි අන් ක්‍රමයක් ඇත්තේම නැද්ද?
ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන් රටේ සිටී නම් මෙම විෂය ගවේෂණාත්මක අධ්‍යයනයක් සඳහා හොඳ තෝතැන්නකි. ගිවිසුම සකස් කර ඇත්තේ පෞද්ගලික ආයෝජකයාට සම්පූර්ණ ආයෝජනය වසර තුනක් තුළ ලබාගත හැකි ආකාරයටය. මෙම ගිවිසුම් ඇතිකර ගන්නේ අනූ ගණන් අවසානයේදීය. අද අප ජීවත්වන්නේ 2011හිය. මෙම සමාගම් දහය කොල්ලකා තිබෙන වස්තුවේ ප්‍රමාණය විදුලිබල මණ්ඩලයේ මුළු වත්කම්වලට වඩා වැඩිවිය හැකිය.
මෙම තාප බලාගාර ව්‍යාපෘති පිටුපස ඉන්නේ විදුලිබල මණ්ඩලයේ ඉන්න හෝ හිටපු උසස් නිලධාරීන්ය. මෙම වස්තු කොල්ලය තුළ සමහර දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් උපයා තිබෙන ධනයේ ප්‍රමාණය අතිවිශාලය.
ඉතාමත් වැදගත් ප්‍රශ්නය වන්නේ එය දැවැන්ත මංකොල්ලයක් බව පෙනි පෙනීත් ඊට එරෙහිව ගතහැකි පියවරක් නැති තැනට ආණ්ඩුව හා රට ඇද වැටී තිබීමය.