රෙජී රණතුංගට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය

November 4, 2001
Publication:
A young man who had got a job through Reggie Ranatunga was beaten to death after joining another party. The editorial cites inquest evidence that the politician struck him, notes that the Gampaha magistrate granted bail while the victim was in intensive care and was then promoted Director General of the Bribery Commission, and condemns the police for still not arresting him.

රෙජී රණතුංග මහතාගෙන් රැකියාවක් ලබාගත් තරුණයෙකු ඒ මහතාගේ පක්ෂය අතහැර වෙනත් පක්ෂයකට එකතුවීම නිසා එම දේශපාලකයා ඇතුළු ආධාරකරුවන්ගෙන් පහර කා එම තරුණයාට මිය යන්නට සිදුවූයේ ය. එයින් කියවෙන්නේ දේශපාලනඥයකුගෙන් රක්ෂාවක් ලබාගත්තෙකු හැමදාමත් ඒ දේශපාලකයාට දේශපාලන වශයෙන් බැලමෙහෙවර කළ යුතු බව ද? තමන්ට අවශ්‍ය අවස්ථාවක සිය දේශපාලන ස්වාමියා හා එම පක්ෂය අතහැර වෙනත් පක්ෂයකට එකතුවීමේ අයිතිය එවැනි පුද්ගලයෙකුට නැති බව ද? මේ ඛේදජනක සිද්ධිය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව, යුක්තිය ඉටු කිරිමේ ක්‍රියාවලිය ද ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය මනා ලෙස පෙන්නුම් කරයි.

මරණ පරික්ෂණයේදි හෙළිදරව් වී ඇති සාක්ෂි අනුව පහරදි මරණයට පත් මෙම තරුණයා වෙනත් පක්ෂයක් වෙනුවෙන් සැරසිලි කරමින් සිටියදි පැජරෝ රථ තුනකින් එහි පැමිණ රෙජී රණතුංග මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවෝ පිරිසක් ඔහුට පහර දුන් හ. පළමුවෙන්ම රෙජී රණතුංග මෙම තරුණයාට බැණ වැදි ඔහුගේ කම්මුලට පහර දි ඇත. ඒ සමග තවත් පුද්ගලයෙක් ඔහුගේ හිසට පොල්ලකින් පහරදිම නිසා එම තරුණයා බිම වැටී ඇති අතර, නැවත බිම වැටුණු තරුණයාගේ හිසට දේශපාලකයා පයින් පහර දි තිබේ.

ගම්පහ මහේස්ත්‍රාත්වරයා දේශපාලකයාට ඇප දි ඇත්තේ එම තරුණයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ය. පහරදිමක් නිසා පුද්ගලයකු දෑඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවක එම පහරදිමට සම්බන්ධ පුද්ගලයන්ට ඇප දිමේ හැකියාවක් නැත. එහිදි පොලිසිය සේ ම, මහේස්ත්‍රාත්වරයා ද නීති විරෝධී ලෙස දේශපාලකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කර ඇති බව පැහැදිලි ය.

ඉන්පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තරුණයා මිය ගියේය. එහෙත් සාක්ෂි තිබියදිත් පොලිසිය තවමත් දේශපාලකයා අත් අඩංගුවට ගෙන නැත. ඒ වෙනුවට සිදුවන්නේ රෙජී රණතුංග මහතාට ඇප ලබා දුන් මහේස්ත්‍රාත්වරයාට අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට උසස්වීමක් ලැබීම ය. මෙය නින්දා සහගත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. නීතිය ක්‍රියාත්මක වීම මේ තරමට ම වල් වැදි ඇත්නම් රටට වී ඇත්තේ කුමක් ද යන්න තේරුම් ගැනීමට අමාරු නැත.